Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ප්‍රංශ පොලිසිය විරෝධතාකරුවන්ට එරෙහිව “ඌරු බළකායක්” යෙදවූවා ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-30
    9 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    සති ගණනාවක් තිස්සේ ප්‍රංශය විරෝධතාවලින් උණුසුම් වෙලා. මේ සියල්ල පටන් ගත්තේ සැප්තැම්බර් මැද භාගයේ, දිරාපත් වූ පාසල් ගොඩනැගිලි සහ ගුරු හිඟයට විරෝධය පාමින් ද්විතීයික පාසල් සිසුන් තමන්ගේම පාසල් අවහිර කළ විටයි. ටික කලකින් එය ජීවන වියදම ගැන වඩාත් පුළුල් කෝපයක්

    සති ගණනාවක් තිස්සේ ප්‍රංශය විරෝධතාවලින් උණුසුම් වෙලා. මේ සියල්ල පටන් ගත්තේ සැප්තැම්බර් මැද භාගයේ, දිරාපත් වූ පාසල් ගොඩනැගිලි සහ ගුරු හිඟයට විරෝධය පාමින් ද්විතීයික පාසල් සිසුන් තමන්ගේම පාසල් අවහිර කළ විටයි. ටික කලකින් එය ජීවන වියදම ගැන වඩාත් පුළුල් කෝපයක් බවට පත් වුණා. ඔක්තෝබර් 24 වැනිදා වන විට රට පුරා විරෝධතාකරුවන් 410,000ක් සිටි බවත්, පොලිස් නිලධාරීන් සහ ජෙන්ඩාම් භටයන් 70,000කට වැඩි පිරිසක් යොදවා තිබූ බවත් ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා. ඒ පිළිබඳ වාර්තාව මෙතනින්.

    ඔය අතරේ තමයි අමුතු වීඩියෝවක් Facebook, X සහ TikTok හරහා සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් පැතිරෙන්න පටන් ගත්තේ. “POLICE” ලෙස සටහන් කළ පටි දමාගත් ඌරන් රැගෙන ප්‍රංශ පොලිසිය විරෝධතාකරුවන් ඉදිරියට පැමිණි බවයි එහි කියැවුණේ. ඇත්තටම එහෙම දෙයක් වුණා ද? මේ වීඩියෝව ආවේ කොහෙන් ද, එවැනි ඒකකයක් ඇත්තටම තිබේ ද, ඇයි ඌරන්ම තෝරා ගත්තේ කියන කාරණා අපි පරීක්ෂා කළා.

    සමාජ මාධ්‍ය පළ කිරීම් : (Social Media Posts)

    තත්පර 10ක් පමණ දිග මේ වීඩියෝවේ, පලස්තීන කොඩි ලෙළවන ජනතාවක් ඉදිරියේ CRS කැරලි මර්දන පොලිසිය ඌරන් ලණුවලින් බැඳගෙන ගෙන යන අයුරු දැක්වෙනවා. එය ප්‍රංශ පොලිසියේ අලුත්ම උපක්‍රමය ලෙසයි ශීර්ෂ පාඨවල ඉදිරිපත් කර තිබුණේ.

    ඔක්තෝබර් 25 වැනිදා පළ වූ සිංහල රීල් එකක, පලස්තීනය සම්බන්ධයෙන් ප්‍රංශයට අසභ්‍ය භාෂාවෙන් සමච්චල් කරමින් “අන්තිමෙ උද්ගෝශන නවත්වන්න ප්‍රංශයෙ පොලිසියට “පිග්” ස්කොඩ් එකක් හදන්න උනා කියහන්කො” යනුවෙන් සඳහන් වුණා. ඉංග්‍රීසියෙන් වැඩිපුරම බෙදාගත් Facebook පිටපතක් වූයේ “French police are ready for the ‘protest’ in ‘Paris’… I had heard of the dog squad, but I’m seeing the ‘pig squad’ for the first time!” (පැරිසියේ ‘විරෝධතාවට’ ප්‍රංශ පොලිසිය සූදානම්… සුනඛ බළකාය ගැන අහලා තිබුණා, ඒත් ‘ඌරු බළකාය’ දකින්නේ පළමු වතාවට!) යන ශීර්ෂ පාඨය සහිත රීල් එකක්. එය 3,800 වාරයක් පමණ බෙදාගෙන තිබුණා. ඔක්තෝබර් 24 වැනිදා පළ වූ දෙමළ රීල් එකක් තවත් ඉදිරියට ගියා. කලබලවලදී “මිනිස් ඌරන්” පාලනය කරන්න ප්‍රංශ පොලිසිය ඇත්තම ඌරන් යොදවා ඇති බවත්, එය ඌරු මස් නොකන අයට එල්ල කළ පහරක් බවත් එහි කියැවුණා.

    ප්‍රංශ පොලිසියේ “ඌරු බළකාය” යනුවෙන් ෆ්‍රැන්සියානු විරෝධතාවක් අසල ඌරෙකු සමඟ සිටින පොලිස් නිලධාරීන් පෙන්වන වීඩියෝවේ තිර රුව
    වීඩියෝව පිළිබඳව කතා කරන කාන්තාවක් සහ කුඩා කවුළුවක ඌරෙකු සහිත පොලිස් නිලධාරීන් පෙන්වන සමාජ මාධ්‍ය වීඩියෝවක තිර රුව
    පලස්තීන කොඩි අතර ඌරෙකු සමඟ සිටින ප්‍රංශ පොලිස් නිලධාරීන් පෙන්වන වීඩියෝවේ තිර රුව

    Facebook 1 | Facebook 2 | Facebook 3

    තවත් සිංහල රීල් එකක මෙය අනතුරු ඇඟවීමක් බවට පත් කර තිබුණා. ප්‍රංශයට වුණු දේ ලංකාවටත් වෙනවා කියමින්, ප්‍රංශයට හමුදාවයි මිසයිලයි පැත්තකින් තියලා ඌරු හමුදාවක් හදන්න වුණා කියලයි එහි කියැවුණේ. කලින් පළ වූ ඉංග්‍රීසි සහ හින්දි පිටපත්වල “DOG SQUAD suna tha… PIG SQUAD pehli baar!” (සුනඛ බළකායක් ගැන අහලා තිබුණා, ඌරු බළකායක් නම් පළමු වතාවට!) යන වාක්‍යය සඳහන් වුණා.

    Facebook 4 | Facebook 5

    මේක Facebook එකට පමණක් සීමා වුණේ නැහැ. X හි මෙන්ම TikTok හි, පුවත් පිටුවක ස්වරූපයෙන් පවත්වාගෙන යන ප්‍රංශ භාෂා ගිණුමක් ද එය සත්‍ය සිදුවීමක් ලෙස ඉදිරිපත් කර තිබුනේ: “පලස්තීන ගැති රැලියක් මැද, CRS ඉදිරියේ Police පටි පැළඳි ඌරන් පෙනී සිටිති.” යනුවෙන්.

    ඌරු බළකායක් ගැන හින්දි භාෂාවෙන් පළ කළ X සටහනක් සහ ඌරෙකු සමඟ පොලිස් නිලධාරීන් සිටින රූපයක තිර රුව
    “POLICE” ලිපිය සහිත ඇඳුමක් පැළඳූ ඌරෙකු සමඟ සිටින පොලිස් නිලධාරීන් පෙන්වන ටික්ටොක් වීඩියෝවේ තිර රුව

    X 1 | TikTok 1

    පරීක්ෂාවට ලක්වන ප්‍රකාශය :

    2026 ඔක්තෝබර් මාසයේ පැරිසියේ විරෝධතාකරුවන් පාලනය කිරීමට ප්‍රංශ පොලිසිය ඌරන්ගෙන් සමන්විත ඒකකයක් (“ඌරු බළකායක්”) යෙදවූ බව.

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    වීඩියෝව මුලින්ම පළ කළේ AI අන්තර්ගත නිර්මාණකරුවෙක්, AI ලේබලය සමඟින්

    එහෙනම් මේක පටන් ගත්තේ කොහෙන් ද? Keyframe සෙවුමක් හරහා අපට jaranor.films නම් Instagram ගිණුම හමු වුණා. එම ගිණුම 2026 ඔක්තෝබර් 22 වැනිදා මේ වීඩියෝවම පළ කර තිබුණා. ඒ අප Facebook, X හෝ TikTok හි සොයාගත් පැරණිම පිටපත්වලටත් දවසකටත් වඩා කලින්. එහි ස්පාඤ්ඤ භාෂා ශීර්ෂ පාඨය “Nuevas unidades de la policía francesa antidisturbio” (ප්‍රංශ කැරලි මර්දන පොලිසියේ නව ඒකක) යන්නයි. වැදගත්ම දේ මෙයයි: Instagram විසින්ම මෙම පළ කිරීම “AI content” ලෙස සලකුණු කර තිබුණා. එය 3,500 වාරයක් පමණ repost කර තිබුණා.

    ඉන්ස්ටග්‍රෑම් වීඩියෝවක පොලිස් නිලධාරීන් සහ ඌරෙකු පෙන්වන රූපය සහ ඒ යටතේ ඇති ප්‍රතිචාර (comments) පෙන්වන තිර රුව

    Instagram මුල් පළ කිරීම

    මෙම ගිණුම තමන්ව හඳුන්වා දෙන්නේ “Productor Audiovisual & IA” (දෘශ්‍ය-ශ්‍රව්‍ය සහ AI නිෂ්පාදක) ලෙසයි. එයට අනුගාමිකයින් 173,000ක් පමණ සිටිනවා. ඔක්තෝබර් 23 වැනිදා එම ගිණුම TikTok හි තවත් පුළුල් ඌරු වීඩියෝවක් පළ කළා. මෙවර “Bastille → Opéra” බැනරයක් සහ පොලිස් පෙළ පිටුපසින් අයිෆල් කුළුණ දිස් වුණා. එය “Contains AI-generated media” (AI මගින් නිපදවූ මාධ්‍ය අඩංගුයි) ලෙස සලකුණු කර තිබූ අතර, 15,500 වාරයක් පමණ බෙදාගෙන තිබුණා.

    වීඩියෝව නිර්මාණය කළ jaranor.films නම් ඉන්ස්ටග්‍රෑම් පිටුවේ පැතිකඩෙහි තිර රුව
    පැරිස් නගරයේ ආයතන අසල පලස්තීන කොඩි සහිත විරෝධතාවක් පෙන්වන ටික්ටොක් වීඩියෝවක තිර රුව

    Instagram ගිණුම | TikTok (නිර්මාණකරු)

    ඉන්පසු අපි වෛරල් Facebook පිටපත සහ Instagram මුල් වීඩියෝව එකම මොහොතේදී (0:01) සසඳා බැලුවා. රාමුව සම්පූර්ණයෙන්ම සමානයි: එකම නිලධාරීන්, එකම ඌරන් දෙදෙනා, පටිවල එකම අකුරු. වෛරල් පිටපතේ අමතරව ඇත්තේ සිරස්තලයක් සහ උපසිරැසි පමණයි.

    ෆේස්බුක් හි පැතිරුණු වීඩියෝව සහ ඉන්ස්ටග්‍රෑම් හි පළ කළ මුල් AI වීඩියෝව සසඳන රූපය

    AI හඳුනාගැනීමේ මෙවලම් පෙන්වා දෙන්නේ AI මගින් නිපදවූ වීඩියෝවක් බවයි

    වඩාත් තහවුරු කර ගැනීමට අපි මෙම වීඩියෝව AI මගින් නිපදවූ මාධ්‍ය හඳුනාගන්නා මෙවලම් තුනකින් පරීක්ෂා කළා. එක් මෙවලමක් 96.5%ක කෘත්‍රිම ලකුණක් ලබා දුන්නා. තවත් එකක් එය AI මගින් නිපදවූවක් වීමේ සම්භාවිතාව 99%ක් ලෙස ශ්‍රේණිගත කළා. තුන්වැන්න ගොනුව තුළ AI සලකුණු හඳුනාගත් අතර, එය 2026 ඔක්තෝබර් 18 වැනිදා, එනම් පළ කිරීමට දින තුනකට පෙර, ජනක AI (generative AI) මගින් නිර්මාණය කළ බව පෙන්වා දුන්නා.

    වීඩියෝව කෘත්‍රිම (Synthetic) වීඩියෝවක් බව පෙන්වන AI හඳුනාගැනීමේ මෙවලමේ ප්‍රතිඵලය
    වීඩියෝව 99% AI මගින් නිර්මිත බව පෙන්වන AI හඳුනාගැනීමේ මෙවලමේ ප්‍රතිඵලය
    වීඩියෝවේ AI අත්සන් හමුවූ බව පෙන්වන AI හඳුනාගැනීමේ මෙවලමේ ප්‍රතිඵලය

    වීඩියෝවේම ඇති පරස්පරතා

    හොඳින් බැලුවොත් වීඩියෝවේම වැරදි පේනවා. එක් ඌරෙකුගේ පටියේ “POLICE K9” ලෙස සඳහන්. K9 යනු “canine” (සුනඛ) යන්නේ කෙටි යෙදුම වන අතර, එය පොලිස් සුනඛ ඒකක සඳහා භාවිත වෙනවා. ඒ කියන්නේ මේ වීඩියෝවේ සුනඛ ඒකකයක ලේබලයක් ඌරෙකුට අලවලා. පසුබිමේ ඇති කඩවල නාම පුවරු සහ විරෝධතා පුවරු බොඳ වී හෝ අවුල් වී තිබෙනවා. ඒක AI වීඩියෝවල නිතර දකින ලකුණක්.

    මෙවැනි ව්‍යාජ දේවල් ඔබටම හඳුනාගන්න පුළුවන්. නාම පුවරු සහ නිල ඇඳුම්වල අකුරු කියවන්න. අත්, ලණු සහ පාද හොඳින් බලන්න. කවුද කාට මුහුණලා ඉන්නේ කියලා බලන්න. බෙදාගන්න කලින්, මුලින්ම පළ කළ වීඩියෝව සොයන්න.

    ප්‍රංශ පොලිසිය යොදවන්නේ සුනඛයන්, ඌරන් නොවේ

    ප්‍රංශ ජාතික පොලිසිය පවසන්නේ තමන් සතුව සුනඛ බලඇණි 171ක් සහ සුනඛයන් 472ක් සිටින බවයි. ඔවුන් සෝදිසි කටයුතු (පුද්ගලයින්, ආයුධ, මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය) සඳහා සහ මෙහෙයුම්වලදී නිලධාරීන්ට සහාය වීමට යොදා ගන්නවා. 1845 සිට සුනඛයන් එහි සේවයේ යෙදී සිටිනවා. ඌරන් ගැන නම් එම වෙබ් පිටුවේ කිසිම සඳහනක් නැහැ. ඒ පිළිබඳ විස්තර මෙතනින් බලන්න.

    ඉංග්‍රීසි, ප්‍රංශ සහ ස්පාඤ්ඤ භාෂාවලින් පුවත් වාර්තා ද අපි සෙව්වා. ප්‍රංශ පොලිසිය හෝ වෙනත් කිසිදු පොලිස් බලකායක් විරෝධතාකරුවන්ට එරෙහිව ඌරන් යෙදවූ බවට එකදු වාර්තාවක්වත් හමු වුණේ නැහැ.

    ඇයි ඌරන්? මේ වීඩියෝව පදනම් වී ඇත්තේ මුස්ලිම් විරෝධී ඒකාකෘතියක් මතයි

    එහෙනම් ඇයි ඌරන්ම? බොහෝ ශීර්ෂ පාඨවල විරෝධතාකරුවන් මුස්ලිම් සංක්‍රමණිකයින් ලෙසත්, ඌරන් ඔවුන් වළක්වන උපක්‍රමයක් ලෙසත් ඉදිරිපත් කර තිබුණා. ඊට හේතුව ඉස්ලාම් දහම ඌරු මස් තහනම් කිරීමයි. කුරානයේ ඒ බව සඳහන් වන ආකාරය මෙතනින්. ඉන්දියාවේ ඇතැම් අසාම් භාෂා පළ කිරීම්වල කියැවුණේ, එදින පැරිසියේ “මුස්ලිම් සංක්‍රමණිකයින්” විරෝධතා දක්වන නිසා “ඌරු බළකාය” සූදානම් කළ බවයි.

    ප්‍රංශයේ කලබල ඇති කිරීමට ඌරන් පිළිබඳ ඡායාරූප භාවිත කළේ මේ පළමු වතාවට නොවෙයි. 2025 සැප්තැම්බර් 9 වැනිදා පැරිස් කලාපයේ මුස්ලිම් පල්ලි ඉදිරිපිට ඌරු හිස් නවයක් හමු වුණා. ඒවා තැබුවේ නොසන්සුන්තාවක් ඇති කිරීමේ අරමුණින්, ඉක්මනින්ම රටින් පිටව ගිය විදේශිකයින් බව නඩු පවරන බලධාරීන් ප්‍රකාශ කළා. ඒ පිළිබඳ වාර්තාව මෙතනින් බලන්න. පසුව සර්බියාව, නම් සඳහන් නොකළ විදේශ බුද්ධි සේවයක නියෝග මත ක්‍රියා කළ බව කියන පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඒ පිළිබඳ වාර්තාව මෙතනින් බලන්න.

    නමුත් දැනට පවතින විරෝධතා කිසිසේත්ම ආගමික ව්‍යාපාරයක් නොවෙයි. ද්විතීයික පාසල් සහ විශ්වවිද්‍යාල සිසුන්, ගුරුවරු, හෙදියන්, වෘත්තීය සමිති සහ කලින් “කහ කබා” (Yellow Vest) ව්‍යාපාරයේ සාමාජිකයින් පාසල්වල තත්ත්වය, අසමානතාව සහ ජීවන වියදම ගැන වීදි බැස තිබෙනවා. ඒ පිළිබඳ වාර්තාව මෙතනින් බලන්න.

    ප්‍රංශ විරෝධතා වටා පැතිරෙන බොහෝ AI ව්‍යාජයන්ගෙන් එකක්

    මේ ඌරු වීඩියෝව, මෙම විරෝධතා වටා පැතිරෙන ව්‍යාජ දෘශ්‍ය රැල්ලක එක් කොටසක් පමණයි. Pink Panther අත්අඩංගුවට ගත් බව කියන රූප සහ අයිෆල් කුළුණේ පලස්තීන කොඩියක් ඇතුළු ඒවා අප දැනටමත් පරීක්ෂා කර තිබෙනවා.

    මේ අතර, බිම් මට්ටමේ සිදුවීම් ද ඉදිරියට ගියා. ඔක්තෝබර් 26 වැනිදා ප්‍රංශ රජය, 2028 වන විට Parcoursup විශ්වවිද්‍යාල ඇතුළත් කිරීමේ වේදිකාව වෙනුවට නව ක්‍රමයක් හඳුන්වා දීමටත්, පාසල් අලුත්වැඩියාව සඳහා යුරෝ බිලියන 4ක් දක්වා අඩු පොලී ණය ලබා දීමටත්, උසස් අධ්‍යාපන අවස්ථා 15,000ක් එක් කිරීමටත් පොරොන්දු වුණා. ඒ වන විට විරෝධතා සම්බන්ධයෙන් 2,400ක් පමණ අත්අඩංගුවට ගෙන තිබුණා. ඔක්තෝබර් 31 වැනිදා තවත් විරෝධතා සහ නොවැම්බර් 5 වැනිදා වෘත්තීය සමිති වැඩ වර්ජන කැඳවා තිබුණා. ඒ පිළිබඳ වාර්තාව මෙතනින් බලන්න.

    Also Read: 

    ප්‍රංශ විරෝධතාවලදී Pink Panther ඇඳුමින් සැරසුණු විරෝධතාකරුවෙකු අත්අඩංගුවට ගත්තා ද?

    ප්‍රංශයේ විරෝධතාවල දර්ශන බව කියමින් හුවමාරු වන ඇතැම් වීඩියෝවල ඇත්ත නැත්ත!

    අයිෆල් කුළුණේ පලස්තීන කොඩිය: AI වීඩියෝවක්

    අපගේ කරුණු පරීක්ෂණ පිළිබඳ වැඩිදුර දැනගැනීමට අප සමඟ එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය (Conclusion)

    “ඌරු බළකාය” වීඩියෝව AI මගින් නිර්මාණය කළ එකක්. එය මුලින්ම පළ වුණේ 2026 ඔක්තෝබර් 22 වැනිදා, Jaranor Films නම් Instagram නිර්මාණකරුගේ ගිණුමේ, “AI content” ලේබලය සමඟින්. AI හඳුනාගැනීමේ මෙවලම් ද එය කෘත්‍රිම බව පෙන්වා දෙන අතර, ප්‍රංශ පොලිසිය යොදවන්නේ සුනඛයන් මිස ඌරන් නොවේ. එවැනි ඒකකයක් ගැන කිසිදු පුවත් වාර්තාවක් නැහැ.

    ප්‍රංශයේ විරෝධතා සහ දැඩි පොලිස් යෙදවීම සත්‍යයක්. වීඩියෝව විශ්වාස කරන්න පහසු වෙන්නේත් ඒ නිසාමයි: එය සැබෑ CRS නිල ඇඳුම් සහ පැරිසියේ වීදි දර්ශන භාවිත කරනවා. නමුත් ඌරන් යොදාගත් ආකාරය, මෙම ව්‍යාපාරයට කිසිසේත්ම අදාළ නොවන මුස්ලිම් ප්‍රජාවට විරෝධතා සම්බන්ධ කරනවා. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-30

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.