Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    පෙට්‍රල් ලීටරයක මිල රු. 610 ක් දක්වා වැඩි වුණාද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-11-02
    8 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) 2026 නොවැම්බර් 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් හැර අනෙකුත් සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමුවා. ඊට දින කිහිපයකට පෙර සිට, “ඔක්තෝබර් 31 රාත්‍රි 12.00 ට” පෙට්‍රල් ලීටරයක මිල රු. 610 දක්වා ඉහළ යන බව පවසන සටහනක් සමාජ මා

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) 2026 නොවැම්බර් 1 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් හැර අනෙකුත් සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමුවා. ඊට දින කිහිපයකට පෙර සිට, “ඔක්තෝබර් 31 රාත්‍රි 12.00 ට” පෙට්‍රල් ලීටරයක මිල රු. 610 දක්වා ඉහළ යන බව පවසන සටහනක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තිබිණි.

    එම සටහනේ මිල ගණන් සැබෑ මිල සංශෝධනය සමඟ ගැළපෙන්නේ ද, යන්න සහ මේ වසරේ ඉන්ධන මිල වෙනස් වූ ආකාරය ද අප පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “ඔක්තෝබර් 31 රාත්‍රි 12.00 ට නව ඉන්ධන මිල” ලෙස ඔක්ටේන් 92 රු. 610, ඔක්ටේන් 95 රු. 720 සහ ඔටෝ ඩීසල් රු. 600 ලෙස දක්වා ඇති බවට දක්වමින්. ඉන්ධන පිරවුම්හලක් අසල කෑන් රැගත් ජනතාව පෝලිම් ගැසී සිටින අතර NPP ලෙස සලකුණු කළ වාහන පෙළක් ගමන් කරන දර්ශනයක් ද සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබුණා.

    එම තේමාවෙන් පළ වූ සටහන් කිහිපයක් පහතින්.

    ඔක්ටේන් 92 රු. 610, ඔක්ටේන් 95 රු. 720, ඔටෝ ඩීසල් රු. 600 ලෙස නව ඉන්ධන මිල දැක්වෙන තවත් ෆේස්බුක් සටහනක තිර රුවක්
    ඔක්ටේන් 92 රු. 610 ඇතුළු ව්‍යාජ ඉන්ධන මිල ගණන් දැක්වෙන ෆේස්බුක් සටහනක තිර රුවක්
    ‘ඔක්තෝබර් 31 රාත්‍රි 12.00 ට නව ඉන්ධන මිල’ ලෙස ඔක්ටේන් 92 රු. 610, ඔක්ටේන් 95 රු. 720, ඔටෝ ඩීසල් රු. 600 දැක්වෙන ව්‍යාජ ෆේස්බුක් සටහනක තිර රුවක්

    Facebook 1 | Facebook 2 | Facebook 3 | Facebook 4 | Facebook 5

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය :

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2026 ඔක්තෝබර් 31 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 610, ඔක්ටේන් 95 රු. 720 සහ ඔටෝ ඩීසල් රු. 600 දක්වා ඉහළ දමයි.

    Fact Check (කරුණු පරීක්ෂාව) :

    ඔක්තෝබර් 31 මධ්‍යම රාත්‍රියේ කිසිදු මිල සංශෝධනයක් සිදු වී නැහැ

    මාසික ඉන්ධන මිල සංශෝධනය ඔක්තෝබර් 31 මධ්‍යම රාත්‍රියේ සිට සිදු නොවූ අතර මිල සංශෝධනය නිවේදනය කළේ, නොවැම්බර් 1 වන දා රාත්‍රියේ වන අතර, එය එදින මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වූ බව මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින් ය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල නිවේදනයට අනුව මිල ඉහළ ගියේ රු. 5 සිට රු. 15 දක්වා පමණි

    “සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කිරීම – 2026.11.01” යන මාතෘකාව යටතේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ මාධ්‍ය නිවේදනය ප්‍රවෘත්ති මාධ්‍ය හරහා පළ වූයේ මෙලෙසින්. 2026 නොවැම්බර් 01 දින මධ්‍යම රාත්‍රී 12.00 සිට නව සිල්ලර මිල බලපැවැත්වෙන බව එහි සඳහන් වේ.

    නොවැම්බර් 2 උදෑසන සංස්ථාවේ වෙබ් අඩවියේ ඉහත සඳහන් මිල ලැයිස්තු යාවත්කාලීන කර තිබුනේ මෙලෙසින්.

    ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෙබ් අඩවියේ ඩීසල්, පෙට්‍රල් 92, පෙට්‍රල් 95 සහ භූමිතෙල් නිල මිල ගණන් දැක්වෙන තිර රුවක්

    එම නිවේදනයට අනුව ලංකා සුදු ඩීසල් (ඔටෝ ඩීසල්) රු. 5 කින් රු. 397 දක්වා ද, සුපිරි ඩීසල් රු. 15 කින් රු. 543 දක්වා ද, ඔක්ටේන් 95 පෙට්‍රල් රු. 15 කින් රු. 490 දක්වා ද, ඔක්ටේන් 92 පෙට්‍රල් රු. 10 කින් රු. 424 දක්වාද ඉහළ ගිය අතර, භූමිතෙල් මිල රු. 285 ලෙස නොවෙනස්ව පවතී. නිවේදනයේ “පැවති මිල” ලෙස දක්වා ඇති ගණන්, සැප්තැම්බර් 30 සංශෝධනයෙන් පසු මිල ගණන් ලෙස වාර්තා වූ ගණන්වලට සමාන වේ.

    ඉන්ධන වර්ගයඔක්. 31 දක්වා CPC මිලසමාජ මාධ්‍ය සටහනේ “නව මිල”නොවැ. 1 සිට සැබෑ CPC මිලසැබෑ වැඩිවීමසැබෑ මිලට වඩා වැඩි ප්‍රමාණය*
    ඔක්ටේන් 92 පෙට්‍රල්රු. 414රු. 610රු. 424+ රු. 10රු. 186
    ඔක්ටේන් 95 පෙට්‍රල්රු. 475රු. 720රු. 490+ රු. 15රු. 230
    ඔටෝ ඩීසල්රු. 392රු. 600රු. 397+ රු. 5රු. 203
    සුපර් ඩීසල්රු. 528සඳහන් නැතරු. 543+ රු. 15–
    භූමිතෙල්රු. 285සඳහන් නැතරු. 285වෙනසක් නැත–

    * අපගේ ගණනය කිරීම: සටහනේ මිලෙන් නොවැම්බර් 1 සිට සැබෑ CPC මිල අඩු කිරීමෙනි.

    ඒ අනුව, සමාජ මාධ්‍ය සටහන්හි මිල ගණන් සැබෑ නව මිලට වඩා රු. 186 සිට රු. 230 දක්වා වැඩිය. ඔක්ටේන් 92 සඳහා සටහන ඇඟවූයේ ලීටරයකට රු. 196 ක, එනම් ආසන්න වශයෙන් සියයට 47 ක වැඩිවීමකි. සැබෑ වැඩිවීම රු. 10 ක්, එනම් සියයට 2.4 කි.

    ව්‍යාජ සටහනේ මිල සහ 2026 නොවැම්බර් 1 සංස්ථාවේ නිල මිල සංසන්දනය කරන තීරු ප්‍රස්ථාරයක්

    ලංකා IOC සහ සිනොපෙක් ඔක්තෝබර් මාසයේදී CPC මිලටත් වඩා ඔක්ටේන් 95 මිල ඉහළ දැමීය

    ඔක්තෝබර් 1 සංශෝධනයේදී ලංකා IOC සමාගම CPC මිලටම ගැළපෙන සේ සිය මිල සංශෝධනය කර තිබු බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි . එහෙත් ඔක්තෝබර් 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ලංකා IOC සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 475 සිට රු. 495 දක්වා ඉහළ දැමූ බව වාර්තා වූ අතර, සිනොපෙක් සමාගම ද එම මිලම නියම කර තිබේ. එවකට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල රු. 475 විය.

    නොවැම්බර් 1 වන දා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයෙන් පසු මෙම සමාගම් දෙක නව මිල නිවේදනය කළ බවට වාර්තාවක් හෝ ඔවුන්ගේ නිල Facebook පිටුවල (ලංකා IOC, සිනොපෙක්) සටහනක් නොවැම්බර් 2 උදෑසන වන විට දැක ගන්නට නොලැබුණි. ඔවුන්ගේ නිල නිවේදන සමඟ මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

    ඉන්ධන මිල පෙබරවාරි අග සිට සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත

    සමාජ මාධ්‍ය සටහනේ මිල ගණන් අසත්‍ය වුව ද, මේ වසරේ ඉන්ධන මිල ඉහ ගොස් තිබේ. මැදපෙරදිග යුද තත්ත්වය ආරම්භ වූ පෙබරවාරි 28 ‍වනදාට පෙර ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රු. 292 ක්, ඔටෝ ඩීසල් රු. 277 ක් වූ බව අපගේ මාර්තු විශ්ලේෂණයේ මෙතනින් දැක්වේ. නොවැම්බර් 1 වන විට එම මිල ගණන් පිළිවෙළින් රු. 424 සහ රු. 397 වේ. එය ආසන්න වශයෙන් සියයට 45 ක සහ සියයට 43 ක වැඩිවීමකි.

    2026 පෙබරවාරි සිට නොවැම්බර් දක්වා සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධන දැක්වෙන රේඛා ප්‍රස්ථාරයක්

    මිල නිතරම ඉහළ නොගිය අතර ජුනි 29 වැනිදා ඔක්ටේන් 92 සහ ඔටෝ ඩීසල් මිල ද, අගෝස්තු 30 වැනිදා ඔක්ටේන් 92 සහ 95 මිල ද සුළු ප්‍රමාණයකින් අඩු කළ බව මෙතනින් වාර්තා විය. ඉන්පසු සැප්තැම්බර් 30 සහ නොවැම්බර් 1 සංශෝධනවලින් මිල නැවත ඉහළ ගොස් තිබේ.

    ඩීසල් ලීටරයකට රු. 70 ක සහනාධාරයක් ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා මාස තුනකට ලබා දීමට රු. බිලියන 41 ක් කැබිනට් මණ්ඩලය අනුමත කළ බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසා තිබුණා. බෙදාහරින්නන් ලීටරයකට රු. 120 සිට රු. 247 දක්වා පාඩු වාර්තා කළ බව ත්, සහනාධාරය එම පාඩුව සම්පූර්ණයෙන් පියවා නොගන්නා බව ත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.

    මිල ඉහළ යාම ගැන රජය සහ විපක්ෂය දරන මත වෙනස් වේ

    ඉහත සඳහන් ඩීසල් සහනාධාරය ලබා දෙන අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිවැය ආවරණ උපදෙස් තිබියදී ත් සම්පූර්ණ බර ජනතාව මත නොපටවා සහන ලබා දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන ලදී.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජුනි 17 වැනිදා සඳහන් කළේ, ලෝක තෙල් මිල පහළ යන විට දේශීය මිල ද අඩු කළ යුතු බව ත්, ඉන්ධන මත අධික බදු පවතින බව ත්, ඉන්ධන මිල අඩු කිරීම පිළිබඳ පෙර පොරොන්දු ඉටු නොකළ බව ත්ය.

    සමාජ මාධ්‍ය ප්‍රතිචාර ද දෙපැත්තටම බෙදී ඇත. නිල මිල නිවේදනය පළ කළ සටහනක ඇතැමුන් රජයට උපහාස කළ අතර, තවත් අයෙක් මැදපෙරදිග අර්බුදය නිසා ලෝකයේ බොහෝ රටවල මිල ඉහළ ගොස් ඇති බව පෙන්වා දී තිබූ බව මෙතනින් දැකිය හැකිය. ව්‍යාජ මිල සහිත සටහනක අදහස් දැක්වූ අයෙක් ද එය ගෝලීය අර්බුදයක ප්‍රතිඵලයක් බව පවසා තිබූ බව මෙතනින් දැකිය හැකිය.

    ඉන්ධන මිල සම්බන්ධ අසත්‍ය සටහන් අප මීට පෙර ද පරීක්ෂා කළ අතර මැයි මාසයේ ව්‍යාජ මිල සංශෝධන සටහනක් පිළිබඳ වාර්තාව මෙතනින්, සැප්තැම්බර් මාසයේ පැරණි මිල ලැයිස්තුවක් නව එකක් ලෙස හුවමාරු වූ අවස්ථාව පිළිබඳ වාර්තාව මෙතනින්, බොරතෙල් බැරලයක් ඩොලර් 286 කට මිලදී ගත් බවට වූ වාර්තා පිළිබඳ විශ්ලේෂණය මෙතනින් සහ ඉන්ධන අර්බුදය සම්බන්ධ ව්‍යාජ ප්‍රකාශ පිළිබඳ වාර්තාව මෙතනින්.

    ලෝක තෙල් මිල අධික මට්ටමක පවතින අතර කලාපයේ රටවල් ද මිල ඉහළ දමා ඇත

    නොවැම්බර් 2 වැනිදා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 ක් පමණ විය. එය ඔක්තෝබර් 23 වැනිදා ඩොලර් 116.72 ක් වූ ඉහළම මට්ටමේ සිට මඳක් පහළ ගොස් ඇතත්, වසරකට පෙර මිලට වඩා සියයට 70 කට වඩා ඉහළ බව මෙතනින් දැක්වේ. ඉරානය සම්බන්ධ යුද තත්ත්වය සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට ඇති වූ බාධා මීට හේතු ලෙස එහි සඳහන් වන අතර, OPEC+ කණ්ඩායම දෙසැම්බර් දක්වා නිෂ්පාදන ඉලක්ක නොවෙනස්ව තබා ගැනීමට එකඟ වී ඇත.

    ඉන්දියාවේ රාජ්‍ය තෙල් සමාගම් 2022 අප්‍රේල් මාසයෙන් පසු ප්‍රථම වරට 2026 මැයි 15 වැනිදා පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල ඉන්දියානු රුපියල් 3 කින් ද, මැයි 19 වන දා තවත් පයිසා 90 කින් ද ඉහළ දැමූ බව මෙතනින් වාර්තා විය. එරටේ රජය සහ සමාගම් පිරිවැයෙන් කොටසක් දරා ගනිමින් පාරිභෝගිකයාට යන බර සීමා කර ඇත.

    පාකිස්තානය ලෝක තෙල් මිල උච්චාවචනය නිසා ඉන්ධන මිල සතිපතා වෙනුවට දිනපතා සමාලෝචනය කිරීමට පටන් ගත් අතර, ඔක්තෝබර් 31 වන දා ඩීසල් ලීටරයක මිල පාකිස්තාන රුපියල් 2.29 කින් ඉහළ දැමූ බව මෙතනින් වාර්තා විය. බංග්ලාදේශය ජුනි 1 සිට ඔක්ටේන්, පෙට්‍රල් සහ භූමිතෙල් ලීටරයක මිල ටකා 5 කින් ඉහළ දැමූ බව මෙතනින් දැක්වේ.

    මිල සංශෝධන සංස්ථාවේ නිල නිවේදන

    ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනය කරනු ලබන්නේ ලෝක තෙල් මිල, විනිමය අනුපාතය, පිරිවැය සහ බදු සලකා මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයක් යටතේ බව අපගේ මාර්තු විශ්ලේෂණයේ මෙතනින් දැක්වේ. ලෝක තෙල් මිල ඉහළ මට්ටමක පැවතීම සහ ඩීසල් සහනාධාරය දෙසැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිත වීම නිසා ඉදිරියේදී ද මිල වෙනස් විය හැකිය. නමුත් එය කොපමණ ද යන්න පිළිබඳව කිසිදු නිල ප්‍රකාශයක් නොමැත.

    මෙවැනි සටහන් ජනතාව තුළ කලබලයක් ඇති කර ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ඇති කිරීමට හේතු විය හැකිය. මැයි මාසයේදී ව්‍යාජ මිල වාර්තා නිසා පෝලිම් ඇති වූ බව එවකට සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පැවසූ බව මෙතනින් වාර්තා විය.

    මිල සංශෝධනයක් පිළිබඳව සංස්ථාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන අතර, මෙවර නිවේදනය මෙතනින් දැකිය හැකිය. සංස්ථාවේ මිල ලැයිස්තුව එහි වෙබ් අඩවියේ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    අවසාන නිගමනය (Conclusion):

    ඔක්තෝබර් 31 මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 රු. 610, ඔක්ටේන් 95 රු. 720 සහ ඔටෝ ඩීසල් රු. 600 වැඩි වී ඇති බවට පළ වන සටහන් අසත්‍ය වේ. එදින කිසිදු සංශෝධනයක් සිදු නොවූ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිල මාධ්‍ය නිවේදනයට අනුව, ඊට පසු දින, එනම් නොවැම්බර් 1වන දා මධ්‍යම රාත්‍රියේ සිට මිල ඉහළ ගියේ රු. 5 සිට රු. 15 දක්වා පමණි. ඔක්ටේන් 92 රු. 424, ඔක්ටේන් 95 රු. 490 සහ ඔටෝ ඩීසල් රු. 397 වන අතර භූමිතෙල් මිල නොවෙනස්ව පවතී.

    කෙසේ වුවද, පෙබරවාරි අග සිට ඉන්ධන මිල සියයට 40 කට වඩා ඉහළ ගොස් ඇති අතර ලෝක තෙල් මිල ද තවමත් ඉහළ මට්ටමක පවතී.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-11-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.