Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගංගාරාමයේ පුස්කොළ පොත් ඉන්දියාවට ගෙන යනවා ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-29
    13 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ඓතිහාසික පුස්කොළ පොත් සංරක්ෂණය සහ ඩිජිටල්කරණය කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් 2026 ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ කරන ලද අතර, මේ සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණු ඇතැම් සටහන් මඟින් හඟවා තිබුණේ, මේ හ

    කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ඓතිහාසික පුස්කොළ පොත් සංරක්ෂණය සහ ඩිජිටල්කරණය කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් 2026 ඔක්තෝබර් 23 වැනිදා ආරම්භ කරන ලද අතර, මේ සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණු ඇතැම් සටහන් මඟින් හඟවා තිබුණේ, මේ හරහා අදාළ පුස්කොළ පොත් මෙරටට අහිමි වීමේ, විනාශ වීමේ අවදානමක් ඇති විය හැකි බවයි. ඇතැම් සටහන් මෙය ලංකාවේ පුස්කොළ පොත් සහ ඒවායේ “රහස්” දැනුම ඉන්දියාවට යැවීමක් ලෙස හුවා දැක්වූ අතර, තවත් සටහන් ඩිජිටල් දත්තවල අයිතිය කාටද යන ප්‍රශ්නය මතු කළේය. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය, අතීතයේ පුස්කොළ පොත් ඩිජිටල්කරණය කළ ආකාරය සහ මෙරට නීතිය සම්බන්ධයෙන් සිදුකරන ලද සොයා බැලීමක් සමග අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ජන සවන් පන පවුමු නමැති පිටුවේ පළ කර ඇති, ගංගාරාම විහාරස්ථානයේ පුස්කොළ පොත් පිළිබඳ සමාජ මාධ්‍ය සටහනේ තිර රුවක්

    Facebook 1 | Archived Link

    අදාළ සටහන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් එක් කර තිබූ ප්‍රතිචාර ඔස්සේ “මේ හරහා ඓතිහාසික තොරතුරු විනාශ වී යෑමේ අවදානමක් තිබේද”, “මෙම කර්තව්‍යය මෙරටදී කළ නොහැක්කේ ඇයිද ?” වැනි කරුණු මතු කර තිබේ.

    ගංගාරාමයේ පුස්කොළ පොත් සම්බන්ධ සමාජ මාධ්‍ය සටහනකට පරිශීලකයන් එක් කළ ප්‍රතිචාරවල තිර රුවක්

    මෙම රූපසටහනම 2026 ඔක්තෝබර් 26 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) නිල Facebook පිටුවේද, “ඉතිහාසය සම්පූර්ණයෙන්ම විනාශ කරල ඉන්දියාව ප්‍රාන්තයක් බව තහවුරු කරමු” යන සටහන සමඟ පළ කර තිබුණි. ඔක්තෝබර් 28 වැනිදා තවත් සටහනක් මෙය වත්මන් ජනාධිපතිවරයා ඉන්දියාවට යටත් වීමක් ලෙස දේශපාලනිකව ඉදිරිපත් කළේය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ Facebook පිටුවේ පළ කර ඇති, ගංගාරාමයේ පුස්කොළ පොත් ඉන්දියාවට ගෙන යන බව කියන රූපසටහනේ තිර රුවක්
    පොඩි හාමුගේ Facebook සටහනේ තිර රුවක්, ගංගාරාම විහාරස්ථානයේ පුස්කොළ පොත් ඩිජිටල්කරණය පිළිබඳ රූපසටහන සහිතව

    Facebook 2 | Facebook 3

    ඔක්තෝබර් 28 වැනිදා පළ වූ තවත් සටහනක, “හෙළ වෙදකම වාණිජව භාවිත කිරීම, නිධන් හා පුරාවිද්‍යා තොරතුරු, ගංගාරාම විහාරස්ථානය හා IIC අතර ගිවිසුම” පිළිබඳව ප්‍රශ්න මතු කර තිබුණි.

    කීර්ති මොණරවිල පළ කළ, SAMHiTA ව්‍යාපෘතිය පිළිබඳ Facebook සටහනේ තිර රුවක්

    Facebook 4

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය : ගංගාරාම විහාරස්ථානයේ පුස්කොළ පොත් සහ ඒවායේ දැනුම SAMHiTA ව්‍යාපෘතිය හරහා ඉන්දියාවට රහසින් යවන බවත්, ඒ නිසා එම පොත් මෙරටට අහිමි වන බවත්. අප විසින් පරීක්ෂා කළේ, අදාළ ව්‍යාපෘතිය කුමක්ද, අදාළ ව්‍යාපෘතිය ඔස්සේ සිදු කරන්නේ කුමක්ද, එය සිදු කරන්නේ මෙරටදීද, කවුරුන් විසින්ද, මේ සඳහා යොදා ගන්නා පුස්කොළ පොත් වල ආරක්ෂාව තහවුරු කර තිබේද, අතීතයේ මෙවැනි ව්‍යාපෘති සිදු වූයේ කෙසේද සහ ඩිජිටල් පිටපත්වල අයිතිය පැහැදිලිද යනාදී කරුණු ය.

    Fact Check (කරුණු පරීක්ෂා කිරීම) :

    කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ඇති ඓතිහාසික පුස්කොළ පොත් සංරක්ෂණය සහ ඩිජිටල්කරණය කිරීම වෙනුවෙන් ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක වන SAMHiTA (South Asian Manuscript Histories and Textual Archive) ව්‍යාපෘතිය 2026 ඔක්තෝබර් 23 වන සිකුරාදා දින කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී නිල වශයෙන් ආරම්භ වී තිබේ. මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබේ. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

    අදාළ මාධ්‍ය වාර්තා ඔස්සේ දක්වා ඇත්තේ, ශ්‍රී ලංකාවේ පෞරාණික පුස්කොළ පොත් සංරක්ෂණය කිරීමේ අරමුණින් ඉන්දීය රජයේ මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක SAMHiTA ඩිජිටල්කරණ ව්‍යාපෘතිය කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කර ඇති බවත්, ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි ඉන්දියා ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ ගංගාරාම විහාරස්ථානය එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය පසුගිය 23 වැනිදා නිල වශයෙන් ආරම්භ කෙරුණු බවත් ය. දකුණු ආසියාවේ පෞරාණික පුස්කොළ පොත්වල අන්තර්ගත ආගමික, දාර්ශනික, භාෂාමය සහ සංස්කෘතික දැනුම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සංරක්ෂණය කර අනාගත පරපුරට දායාද කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ ලෙස දක්වා තිබේ. ඩිජිටල්කරණ කටයුතු 2026 නොවැම්බර් අවසානය වන විට නිම කිරීමට අපේක්ෂිත බව මෙතනින් වාර්තා වේ.

    ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්නේ මෙරටදීම, මෙරට කණ්ඩායමක් විසින්මය.

    ඉහත මාධ්‍ය වාර්තා ඔස්සේ දක්වා ඇත්තේ ව්‍යාපෘති උපදේශක මහාචාර්ය ගාමිණී රණසිංහගේ උපදේශකත්වයෙන් ශ්‍රී ලාංකික විශේෂඥ කණ්ඩායමක් මෙම කටයුතු සිදුකරන බවයි. අදාළ ව්‍යාපෘතියේ කටයුතු ප්‍රායෝගිකව සිදු කරන ආකාරයද දර්ශන සහිතව එම පුවත් වාර්තා ඔස්සේ පෙන්වා දී තිබේ. අදාළ දර්ශන ඔස්සේ දක්නට ලැබෙන්නේ මෙරටදීම, ගංගාරාම විහාරස්ථානයේදී, මෙරට කණ්ඩායමක් විසින්ම අදාළ පුස්කොළ පොත් පරීක්ෂා කරමින් ඒවා ඩිජිටල්කරණය කිරීමේ කටයුතු වල නියැලෙන ආකාරයයි.

    Facebook

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින්ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. නිවේදනය මගින් දක්වා ඇත්තේ, දකුණු ආසියාවේ ඉපැරණි බුද්ධිමය හා සංස්කෘතික උරුමයන් අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ආයතනය ලෙස ගංගාරාම විහාරස්ථානය 2026 ජූලි මාසයේදී අවබෝධතා ගිවිසුමකට එළඹි බවයි. සංවිධායකයන් ලෙස දිල්ලි හි ඉන්දියා ඉන්ටර්නැෂනල් සෙන්ටර් (IIC) ආයතනය සහ ගංගාරාම විහාරස්ථානය එක්ව ඉන්දීය රජයේ මූල්‍ය සහාය සහිතව මෙය ක්‍රියාත්මක කරන බවත්, ගංගාරාම විහාරස්ථානයේදී මෙම පුස්කොළ පොත් සුරක්ෂිත කිරීම සහ ඩිජිටල්කරණය කිරීමේ කටයුතු ප්‍රායෝගිකව සිදු කරනු ලබන බවත්, ප්‍රායෝගික ඩිජිටල්කරණ සහ සංරක්ෂණ කටයුතු ශ්‍රී ලාංකික විශේෂඥ කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන බවත්, මෙම කණ්ඩායම මෙහෙයවමින් ව්‍යාපෘති උපදේශක ලෙස කටයුතු කරන්නේ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා බවත් එම නිවේදනය මගින් දක්වා තිබේ. එම නිවේදනය මෙතනින්.

    ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පළ කර ඇති නිවේදනය සමගද අදාළ ව්‍යාපෘතියේ කටයුතු ප්‍රායෝගිකව සිදු කරන ආකාරය ඡායාරූප ඔස්සේ ඉදිරිපත් කර තිබේ. එම ඡායාරූප ඔස්සේද දර්ශනය වන්නේ මෙරටදීම, මෙරට විද්වත් කණ්ඩායමක් විසින්ම අදාළ පුස්කොළ පොත් පරිශීලනය කර ඒවායේ දත්ත ඩිජිටල්කරණය කරන ආකාරයයි.

    ගංගාරාම විහාරස්ථානයේ හිමිවරුන් සහ ඉන්දීය නියෝජිතයන් පුස්කොළ පොත් සමඟ සිටින ඡායාරූප එකතුවක්

    SAMHiTA යනු ඉන්දියාවෙන් පිටත එකතුවල ඇති දකුණු ආසියානු අත්පිටපත් ලේඛනගත කරන ව්‍යාපෘතියකි

    ‘SAMHiTA’ යන්නෙහි සම්පූර්ණ අර්ථය South Asian Manuscript Histories and Textual Archive යන්නයි. සංස්කෘත භාෂාවෙන් ‘සංහිතා’ යනු ‘එකතුව’ හෝ ‘සංග්‍රහය’ යන්නයි. ඉන්දියාවෙන් බැහැරව දකුණු ආසියානු කලාපයේ විසිරී පවතින පෞරාණික අත්පිටපත් හා පුස්කොළ පොත් භෞතිකව සංරක්ෂණය කිරීම, අධි-විභේදිත (High-resolution) ඡායාරූපකරණය මඟින් ඩිජිටල්කරණය කිරීම සහ ඒවායේ දත්ත ඇතුළත් දත්ත ගබඩාවක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි. ‘සංහිතා’ (SAMHiTA) ව්‍යාපෘතිය යනු ඉන්දියාවෙන් බැහැරව ලොව පුරා විසිරී පවතින දකුණු ආසියානු සහ ඉන්දීය ශාස්ත්‍රීය උරුමයන් සහිත පුස්කොළ පොත් සහ අත්පිටපත් එක් මධ්‍යගත ඩිජිටල් පද්ධතියකට ගොනු කිරීමේ ගෝලීය වැඩපිළිවෙළකි. මෙලෙස කැටලොග්ගත කෙරෙන සියලුම පුස්කොළ පොත්වල දත්ත, දකුණු ආසියානු බුද්ධිමය ඉතිහාසය උදෙසා වන PANDiT (Prosopographical Database of Indic Texts and Records) ගෝලීය විවෘත දත්ත පද්ධතියට (Open-access platform) ඇතුළත් කරනු ලැබේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    IIC ආයතනයට අනුව මෙම ව්‍යාපෘතියට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ (MEA) සහාය ලැබෙන අතර, එහි අරමුණ ඉන්දියාවෙන් පිටත ජාත්‍යන්තර එකතුවල ඇති අත්පිටපත් සමීක්ෂණය කර, ලේඛනගත කර, ප්‍රවේශ විය හැකි කිරීමයි. වැඩිදුර තොරතුරු මෙතනින්.

    පොත් රටින් පිටතට ගෙන යාමක් සිදු නොවන බව ව්‍යාපෘති උපදේශක පවසයි

    අප විසින් සිදු කළ විමසීමේදී මෙම ව්‍යාපෘතියේ උපදේශක ලෙස කටයුතු කරන මහාචාර්ය ගාමිණී රණසිංහ විසින් සඳහන් කළේ, ගංගාරාම විහාරස්ථානයේ පුස්කොළ පොත් ඩිජිටල්කරණය කිරීමේ SAMHiTA ව්‍යාපෘතිය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ මූල්‍ය සහයෝගයෙන් ක්‍රියාත්මක වුවද, එය තමන් ඇතුළු මෙරට විද්වත් කණ්ඩායමකගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුකරන එකක් බවයි. ගංගාරාම විහාරස්ථානයේ ඇති සමස්ත පුස්කොළ පොත් 1,500ක පමණ ප්‍රමාණයෙන් පොත් 1,100කට අධික ප්‍රමාණයක් මේ වන විටත් සංරක්ෂණය කර ඇති අතර, තවත් පොත් 500ක් පමණ විනාශ වීමේ තර්ජනයට ලක්ව ඇති බවත් එයින් පොත් 250ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් එතුමා පැහැදිලි කළේය. එක් පුස්කොළ පොතක් ඩිජිටල්කරණය කිරීම සඳහා විශාල පිරිවැයක් වැය වන බැවින්, දකුණු ආසියානු කලාපය මූලික කරගනිමින් ඩිජිටල්කරණ වැඩසටහනක් ආරම්භ කර තිබූ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව හිමි වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පුස්කොළ පොත් 100ක් ඩිජිටල්කරණය කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දීමට ඔවුන් එකඟතාව පළ කළ බවත් එතුමා පැහැදිලි කළේය. ඉන්දීය ව්‍යාපෘතිය මගින් ලැබුණු සහාය මත පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් ඇතුළු විද්වත් කණ්ඩායම එක්ව පොත් 100ක් ඩිජිටල් කිරීමට තීරණය කළ බව සඳහන් කළේය.

    එම ඩිජිටල්කරණය සඳහා තෝරාගෙන ඇත්තේ සමස්ත ලෝකයටම උරුම බෞද්ධ දර්ශනය හා සම්බන්ධ සූත්‍ර සහ අභිධර්ම පිටපත් අඩංගු පුස්කොළ පොත් 100ක් පමණක් බවත්, දේශීය දැනුම, දේශීය වෙදකම, යන්ත්‍ර මන්ත්‍ර හෝ වෙනත් කිසිදු දේශීය ශාස්ත්‍රීය ලේඛනයක් මෙයට ඇතුළත් කර නොමැති බවත් එතුමා අවධාරණය කළේය. තවද, මෙම සමස්ත ඩිජිටල්කරණ ක්‍රියාවලිය සඳහා ඉන්දීය නියෝජිතයන් කිසිවෙකු සහභාගී නොවන අතර, ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රය තුළදීම විශේෂිත අල්මාරිවල තැන්පත් කර ඇති පොත් එක බැගින් පිටතට ගෙන ස්කෑන් කර නැවත තැන්පත් කිරීම පොලිස් ආරක්ෂාව සහ කැමරා නිරීක්ෂණ යටතේ සිදුකරන බැවින් මෙරට පුස්කොළ පොත් විදේශයකට රැගෙන යාමක් හෝ අහිමි වීමක් කිසිසේත්ම සිදු නොවන බව එතුමා තහවුරු කළේය. එමෙන්ම, අවශ්‍ය ඕනෑම පාර්ශ්වයකට හෝ මාධ්‍යවේදියෙකුට විහාරස්ථානයට පැමිණ මෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමට සහ ඡායාරූප/වීඩියෝ ලබාගැනීමට විවෘත අවකාශය පවතින බවද එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    මුල් පොත් විහාරස්ථානය තුළම පවතින බව ගංගාරාමය නිවේදනය කරයි

    අප විසින් මේ සම්බන්ධයෙන් සිදු කළ විමසීමේදී ගංගාරාම විහාරස්ථානය විසින්ද තහවුරු කළේ, විහාරස්ථානයේ දීර්ඝ කාලයක් තිස්සේ එක්රැස් කර සුරක්ෂිතව පවතින පුස්කොළ පොත් අතුරින් ආගමික හා සාහිත්‍යමය වටිනාකමකින් යුතු පොත් තෝරාගෙන මෙලෙස ස්කෑන් කර ඩිජිටල්කරණය කරනු ලබන බවයි. මෙම කිසිදු පුස්කොළ පොතක් විහාරස්ථානයෙන් පිටතට ගෙන යාමක් සිදු නොවන අතර, සමස්ත ක්‍රියාවලියම විහාරස්ථානයේ පූර්ණ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළු විෂේශඥයන්ගේ සහභාගීත්වයෙන් සිදුකරන බව සඳහන් කළේය. තවද, ඩිජිටල්කරණය කරනු ලබන සියලුම පුස්කොළ පොත් පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක් විහාරස්ථානය සතුව පවතින බවත්, ඉදිරියේදී මෙම ඩිජිටල්ගත අන්තර්ගතයන් අන්තර්ජාලය ඔස්සේ අවශ්‍ය ඕනෑම අයෙකුට භාවිත කළ හැකි වන පරිදි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් විහාරස්ථාන නියෝජිතයා වැඩිදුරටත් තහවුරු කළේය.

    ගංගාරාම විහාරස්ථානය 2026 ඔක්තෝබර් 29 වැනිදා සිය නිල Facebook පිටුවේ පළ කළ නිවේදනයකද, මෙම ඩිජිටල්කරණය විහාරස්ථානයේ පාලනය හා අධීක්ෂණය යටතේ සිදුවන බවත්, තෝරාගෙන ඇත්තේ බුද්ධ වචනය සහ ධර්මය අඩංගු පුස්කොළ පොත් 100කට ආසන්න ප්‍රමාණයක් බවත් සඳහන් කර තිබුණි. “හෙළ වෙදකම, ඖෂධ වට්ටෝරු, යන්ත්‍ර මන්ත්‍ර හෝ වෙනත් රහසිගත පාරම්පරික දැනුම අඩංගු ග්‍රන්ථ” මීට ඇතුළත් නොවන බවත්, මුල් පොත් විහාරස්ථානයේ භාරයේම සුරක්ෂිතව රඳවා තබා ගන්නා බවත් එහි දැක්වේ. එම නිවේදනය මෙතනින්.

    ගංගාරාම විහාරස්ථානයේ නිල Facebook පිටුවේ පළ කළ නිවේදනයේ තිර රුවක්

    කෙසේ වෙතත්, එම නිවේදනයේ හෝ SAMHiTA නිල වෙබ් අඩවියේ, ඩිජිටල් පිටපත් ගබඩා කරන්නේ කොතැනද, ඒවායේ අයිතිය කාටද සහ ඒවා භාවිතයට ඇති කොන්දේසි මොනවාද යන්න සඳහන් නොවේ. ඒ ගැන පහතින් සාකච්ඡා කරමු.

    SAMHiTA පළමු අදියරේදී රටවල් හතරක අත්පිටපත් 1,100ක් ලේඛනගත කෙරිණි

    මෙම ව්‍යාපෘතිය මෙරට පමණක් ක්‍රියාත්මක කළ එකක් නොවේ. IIC ආයතනයට අනුව “සංහිතා” ව්‍යාපෘතියේ පළමු අදියර (2022-2023) යටතේ ඩෙන්මාර්කය, ප්‍රංශය, නේපාලය සහ එක්සත් රාජධානියේ ලේඛනාගාර සමඟ එක්ව අත්පිටපත් 1,100ක ඡායාරූප සහ විස්තර එකතු කර ඇත. දෙවැනි අදියරේදී (2025-2026) දකුණු ආසියාවේ, යුරෝපයේ සහ ඇමරිකාවේ තවත් අත්පිටපත් 3,000ක් එක් කිරීමට නියමිතය මෙතනින්. SAMHiTA වෙබ් අඩවියේ සහයෝගී ආයතන ලෙස දැක්වෙන ආයතන පහත පරිදි වේ මෙතනින්.

    රටSAMHiTA වෙබ් අඩවියේ සඳහන් සහයෝගී ආයතනසටහන
    නේපාලය (Nepal)අක්ෂේශ්වර මහාවිහාරය සහ ත්‍රිභුවන් විශ්වවිද්‍යාල මධ්‍ය පුස්තකාලය, කත්මණ්ඩු (Aksheswara Mahabihar, Tribhuvan University Central Library)නේපාල කලා කවුන්සිලය සමඟ එක්ව තවත් එකතු ලේඛනගත කිරීමට සැලසුම් කර ඇත
    එක්සත් රාජධානිය (UK)වෙල්කම් එකතුව, ලන්ඩන් (Wellcome Collection)සහයෝගී ආයතනයක් ලෙස සඳහන්
    ඩෙන්මාර්කය (Denmark)කෙනත් ජී. සිස්ක් ඉන්දීය අත්පිටපත් එකතුව, කෝපන්හේගන් (Kenneth G. Zysk Indological Manuscript Collection)සහයෝගී ආයතනයක් ලෙස සඳහන්
    ප්‍රංශය (France)ප්‍රංශ ජාතික පුස්තකාලය (Bibliothèque nationale de France)සහයෝගී ආයතනයක් ලෙස සඳහන්

    නේපාල කලා කවුන්සිලය සඳහන් වන්නේ සැලසුම් කළ සහයෝගීතාවක් ලෙස පමණි මෙතනින්. ඇමරිකාවේ හාවඩ් කලා කෞතුකාගාරය, පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය, ජපානයේ ටෝකියෝ විශ්වවිද්‍යාලය හෝ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල පුස්තකාලය SAMHiTA සහයෝගී ආයතන ලැයිස්තුවේ (2026 ඔක්තෝබර් 29 වන විට) සඳහන් නොවේ.

    මෙම සියලුම ජාත්‍යන්තර ආයතන හරහා රැස්කරගන්නා පුස්කොළ පොත්වල තොරතුරු, දකුණු ආසියානු බුද්ධිමය ඉතිහාසය පිළිබඳ විවෘත ගෝලීය දත්ත පද්ධතිය වන PANDiT (Prosopographical Database of Indic Texts and Records) සමඟ ඒකාබද්ධ කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ගංගාරාම විහාරස්ථානය මෙම පුළුල් ජාත්‍යන්තර ජාලය සමඟ නිල වශයෙන් අත්වැල් බැඳගත් ලංකාවේ ප්‍රථම ආයතනය වෙයි. වැඩිදුර තොරතුරු මෙතනින්සහ මෙතනින්

    මීට පෙරද ලංකාවේ පුස්කොළ පොත් ඩිජිටල්කරණය කළේ මුල් පොත් රට තුළම තබාගෙනය

    විදේශ අරමුදල් යටතේ ලංකාවේ පුස්කොළ පොත් ඩිජිටල්කරණය කිරීම නව දෙයක් නොවේ. බ්‍රිතාන්‍ය පුස්තකාලයේ Endangered Archives Programme (EAP) අරමුදල් යටතේ නූලහම් පදනම 2017 දී උතුරු ලංකාවේ පෞද්ගලික එකතු 21කින් අත්පිටපත් 135ක් (රූප 29,458ක්) ඩිජිටල්කරණය කළ අතර මෙතනින්, 2019 දී ශ්‍රී ලාංකික දෙමළ පුස්කොළ පොත් ඩිජිටල්කරණය හා නාමාවලිගත කිරීමේ තවත් ව්‍යාපෘතියක් ආරම්භ කළේය මෙතනින්.

    EAP නීතිරීතිවලට අනුව මුල් ලේඛන සුවිශේෂී අවස්ථාවක මිස මුල් රටින් පිටතට නොයන අතර, ඩිජිටල් පිටපත් කට්ටලයක් මුල් රටේම ආයතනයක තැන්පත් කළ යුතුය. ලේඛනවල ප්‍රකාශන අයිතිය (copyright) අයිතිකරු සතුවම පවතී මෙතනින්.

    දේශීයව, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨය සිය අරමුදල්වලින්ම විහාරස්ථාන 40ක සහ පෞද්ගලික එකතු 5ක පුස්කොළ පිටු 100,000කට අධික ප්‍රමාණයක් ඩිජිටල්කරණය කළ බව IFLA සමුළුවට ඉදිරිපත් කළ පත්‍රිකාවක සඳහන් වේ මෙතනින්. මැණික්හින්න SSPV විහාරස්ථානයේ පුස්කොළ පොත් සංරක්ෂණයට Whiting පදනම සහ Prince Claus අරමුදල 2017 දී යුරෝ 27,105ක ආධාර ලබා දී ඇත මෙතනින්.

    යටත්විජිත යුගයේදී පුස්කොළ පොත් රටින් පිටවූ බව සත්‍යයකි

    පුස්කොළ පොත් විදේශගත වීම පිළිබඳ සමාජයේ ඇති සැකයට ඓතිහාසික පදනමක් ඇත. බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ සේවය කළ හියු නෙවිල් එක්රැස් කළ සිංහල පුස්කොළ පොත් 2,000කට අධික එකතුවක් මේ වන විට බ්‍රිතාන්‍ය පුස්තකාලයේ ඇත මෙතනින්. එම එකතුවේ එක් පොතක වාර්තාවට අනුව එය 1903 අප්‍රේල් 4 වැනිදා රැල්ෆ් නෙවිල්ගෙන් මිලදී ගෙන ඇත මෙතනින්. ලන්ඩනයේ රාජකීය ආසියාතික සංගමය සතු සිංහල අත්පිටපත් 31 අතරින් කිහිපයක් 1827-1828 දී ශ්‍රීමත් ඒ. ජොන්ස්ටන් පිරිනැමූ ඒවා වන අතර මෙතනින්, කැනඩාවේ මැක්ගිල් විශ්වවිද්‍යාලයේ 1920 සහ 1930 දශකවල එකතු කළ, බොහෝමයක් වෙදකමට අදාළ ලාංකික පුස්කොළ පොත් 120ක් පමණ ඇත මෙතනින්.

    හෙළ ආයුර්වේද ක්‍රම අඩංගු පුස්කොළ පොත් බ්‍රිතාන්‍ය ආක්‍රමණ සමයේ රටින් රැගෙන ගොස් එක්සත් රාජධානියේ කෞතුකාගාර කිහිපයක ඇති බවත්, ඒවායේ පිටපත් ලබා ගැනීමට පියවර ගන්නා බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා 2020 දී ප්‍රකාශ කර තිබුණි මෙතනින්. කෙසේ වෙතත්, පුස්කොළ පොත් “නැව් පිටින්” රැගෙන ගිය බවට හෝ ඉන්දියාවට රහසින් යැවූ බවට සාධක අපට හමු නොවීය. වාර්තා වන්නේ තනි තනි එකතු කරන්නන් හරහා විදේශගත වූ එකතු ය.

    මුල් පුස්කොළ පොත් රටින් පිටතට ගෙන යාමට නීතිමය බලපත්‍රයක් අවශ්‍ය ය.

    1815 මාර්තු 2 වැනිදාට පෙර කාලයට අයත් වස්තු පුරාවස්තු ලෙස සලකන පුරාවස්තු ආඥාපනතට අනුව, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ බලපත්‍රයකින් තොරව කිසිදු පුරාවස්තුවක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කළ නොහැක. වැඩිදුර තොරතුරු මෙතනින්. 1973 අංක 48 දරන ජාතික ලේඛනාරක්ෂක නීතියට අනුව වසර 50කට වඩා පැරණි, ඓතිහාසික, සංස්කෘතික හෝ සාහිත්‍යමය වටිනාකමක් ඇති අත්පිටපතක් (පුස්කොළ ඇතුළුව) අපනයනය කිරීමටද ජාතික ලේඛනාරක්ෂක අධ්‍යක්ෂවරයාගේ බලපත්‍රයක් අවශ්‍ය වේ. වැඩිදුර තොරතුරු මෙතනින්. විහාරස්ථානය තුළ ස්කෑන් කිරීමේදී මුල් පොත් අපනයනය වීමක් සිදු නොවේ.

    ගංගාරාම විහාරස්ථානයේ සම්හිතා ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මහේෂ් බණ්ඩාර මහතා

    අප විසින් අදාළ පුස්කොළ පොත්වල ඩිජිටල් පිටපත් ගබඩා කරන්නේ කොතැනද, ඒවායේ අයිතිය කාටද සහ ඒවා භාවිතයට ඇති කොන්දේසි මොනවාද යන්න සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී ගංගාරාම විහාරස්ථානයේ සම්හිතා ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මහේෂ් බණ්ඩාර මහතා විසින් සඳහන් කළේ, ගංගාරාම විහාරස්ථානයේ ඇති පුස්කොළ පොත් අතරින් විද්වත් මණ්ඩලයක් සහ නායක හිමියන් විසින් තෝරාගත්, බුද්ධ භාෂිතය හා බුද්ධ වචනය පමණක් අන්තර්ගත පොත් 100ක් ඉන්දීය මූල්‍ය ආධාර සහිත සම්හිතා ව්‍යාපෘතිය යටතේ අවබෝධතා ගිවිසුමකට (MoU) යටත්ව ඩිජිටල්කරණයට ලක්කෙරෙන බවයි. මෙලෙස ඩිජිටල්කරණය කෙරෙන දත්ත ඕනෑම අයෙකුට කියවා පරිශීලනය කිරීම හා අධ්‍යයනය සඳහා භාවිත කළ හැකි පරිදි විවෘත ප්ලැට්ෆෝම් (PANDiT (Prosopographical Database of Indic Texts and Records) එකකට ඇතුළත් කරන බවත්, නෛතික රාමුවක් සහිත ගිවිසුමට අනුව එකී දත්තවල, ප්‍රකාශනවල, ඩිජිටල් මාධ්‍යයේ මෙන්ම පුස්කොළ පොත්වල සම්පූර්ණ අයිතිය ගංගාරාම විහාරස්ථානය සතුවම පවතින බවත් ඔහු පැහැදිලි කළේය. එමෙන්ම, මෙම දත්ත ඕනෑම අයෙකුට නිදහසේ පරිශීලනය කිරීමට අවස්ථාව තිබුණද, දත්ත පිටපත් කිරීම, වෙනත් තුන්වෙනි පාර්ශ්වයකට යොමු කිරීම හෝ වෙනත් කිසිදු වෙනත් කාර්යයකට භාවිත කිරීමට අවසර ලබා දී නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මීට අමතරව, මෙලෙස ඩිජිටල්කරණය වන පුස්කොළ පොත් අතර කිසිදු පාරම්පරික හෙළ වෙදකම්, ආයුර්වේද, මන්ත්‍ර හෝ නිදන් වදන් අඩංගු නොවන බවද ඔහු අවධාරණය කළේය.

    මෙය වත්මන් ආණ්ඩුවේ ගිවිසුමක් හෝ නව ව්‍යාපෘතියක් නොවේ

    ඇතැම් සටහන් මෙම ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව ඉන්දියාවට යටත් වීමක් ලෙස හුවා දක්වයි. කෙසේ වෙතත්, වාර්තා වන ආකාරයට අවබෝධතා ගිවිසුමට එළඹ ඇත්තේ ගංගාරාම විහාරස්ථානය සහ IIC ආයතනය වන අතර, SAMHiTA ව්‍යාපෘතියේ පළමු අදියර 2022 දී ආරම්භ විය මෙතනින්. බෞද්ධ සබඳතා ප්‍රවර්ධනය සඳහා ඉන්දියාව ඇමරිකානු ඩොලර් මිලියන 15ක ප්‍රදානයක් නිවේදනය කළේද 2020 සැප්තැම්බර් මාසයේදීය මෙතනින්. එම ප්‍රදානය සහ මෙම ව්‍යාපෘතිය අතර සම්බන්ධයක් ඇති බවට සාධකයක් අපට හමු නොවීය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය (Conclusion) :

    කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පුස්කොළ පොත් ඉන්දීය ආධාර සහිත SAMHiTA ව්‍යාපෘතිය යටතේ ඩිජිටල්කරණය කිරීමෙන් එම පොත් හෝ ඒවායේ දැනුම ඉන්දියාවට රහසින් යවන බවට සහ මෙරටට අහිමි වන බවට පැතිර ගිය සටහන් අවශ්‍ය සන්දර්භය මඟහරියි. මුල් පොත් විහාරස්ථානයේම පවතින අතර, ස්කෑන් කිරීම විහාර පරිශ්‍රය තුළදී ශ්‍රී ලාංකික විශේෂඥ කණ්ඩායමක් විසින් සිදු කරන බවත්, තෝරාගෙන ඇත්තේ බෞද්ධ ධර්ම ග්‍රන්ථ 100කට ආසන්න ප්‍රමාණයක් පමණක් බවත්, හෙළ වෙදකම හෝ යන්ත්‍ර මන්ත්‍ර වැනි දැනුම අඩංගු පොත් ඇතුළත් නොවන බවත් ගංගාරාම විහාරස්ථානය සහ ව්‍යාපෘති උපදේශක පවසයි. මුල් පොත් රටින් පිටතට ගෙන යාමට මෙරට නීතිය යටතේ බලපත්‍රයක්ද අවශ්‍ය වේ.

    ඩිජිටල්කරණය කෙරෙන දත්ත ඕනෑම අයෙකුට කියවා පරිශීලනය කිරීම හා අධ්‍යයනය සඳහා භාවිත කළ හැකි පරිදි විවෘත ප්ලැට්ෆෝම් (Open access platform) එකකට ඇතුළත් කරන අතර, එකී දත්තවල, ප්‍රකාශනවල, ඩිජිටල් මාධ්‍යයේ මෙන්ම පුස්කොළ පොත්වල සම්පූර්ණ අයිතිය ගංගාරාම විහාරස්ථානය සතුවම පවතී. මෙම දත්ත ඕනෑම අයෙකුට නිදහසේ පරිශීලනය කිරීමට අවස්ථාව තිබුණද, දත්ත පිටපත් කිරීම, වෙනත් තුන්වෙනි පාර්ශ්වයකට යොමු කිරීම හෝ වෙනත් කිසිදු වෙනත් කාර්යයකට භාවිත කිරීමට අවසර ලබා දී නොමැත.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-29

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.