දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
බන්ධනාගාරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය 2026 ඔක්තෝබර් 10 වැනිදා මහනුවරින් පා ගමනක් ආරම්භ කළහ. එම පා ගමනේ දසුනක් ලෙස, භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් විශාල පිරිසක් මාර්ගයක දිගු පෙළකින් ගමන් කරන බව පෙන්වන ඡායාරූපයක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු විය. මෙම ඡායාරූපය සැබෑ දසුනක්ද යන්න සොයා බැලීම සඳහා අපි කරුණු විමර්ශනයක් සිදු කළෙමු.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“කොළඹ කැළඹෙන බොදු බල මහා සඟ පා ගමන” යන සිරස්තලයෙන් මෙම ඡායාරූපය පළ කර තබුනේ මෙලෙසින්.



Facebook Facebook | Archived Link Facebook | Archived Link
මෙම ඡායාරුපය ඔස්සේ X (කලින් Twitter) වේදිකාවේ ද කතිකාවතක් නිර්මාණය වී තිබුනේ මෙලෙසින්.

Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ව 2026 ඔක්තෝබර් 03 වන දා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ උන්වහන්සේට එරෙහිව නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවක් ක්රියාත්මක කිරීම සඳහාය.
මීට ප්රධාන හේතුව වූයේ 2016 හෝමාගම අධිකරණයේදී සිදු වූ අධිකරණයට අපහාස කිරීමේ සිදුවීමට අදාළව උන්වහන්සේට නියම වී තිබූ වසර 6ක සිරදඬුවමයි. 2019 දී එවකට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් උන්වහන්සේට “ජනාධිපති සමාව” ලබා දී නිදහස් කර තිබුණද, 2026 සැප්තැම්බර් මාසයේදී ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, එම ජනාධිපති සමාව ලබා දීම නීති විරෝධී සහ අවලංගු එකක් බවයි. එම නිසා අභියාචනාධිකරණය නියෝග කළේ උන්වහන්සේගේ වසර 6ක සිරදඬුවමෙන් ඉතිරි වී ඇති කාලය විඳීම සඳහා වහාම නැවත බන්ධනාගාරගත කරන ලෙසයි.
ඥානසාර හිමියන් වෙනුවෙන් පාද යාත්රාවක්
බන්ධනාගාරගත කර සිටින ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් “නිදහසේ පාද යාත්රාව” සහ “සිවුරට යුක්තිය” යන තේමාවන් යටතේ මහා සංඝරත්නය සහ බෞද්ධ සංවිධාන එක්ව පා ගමනක් සංවිධානය කර තිබේ.
මෙහි අරමුණ වූයේ, ඥානසාර හිමියන්ව වහාම නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම සහ උන්වහන්සේ බන්ධනාගාරගත කිරීමෙන් පසු චීවරය ඉවත් කර සිවිල් (ගිහි) ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් රැකදෙන ලෙස බලකිරීමයි.
මෙම හය දින පාද යාත්රාව ඔක්තෝබර් 10 වන දා මහනුවර ශ්රී දළදා මාලිගාව අභියසින් ආරම්භ විය. එය කඩුගන්නාව, කෑගල්ල, වරකාපොල, නිට්ටඹුව සහ කඩවත යන නගර පසුකරමින් ඔක්තෝබර් 15 වැනිදා කොළඹට ළඟා වීමට නියමිතයි.
පා ගමනේ පළමු දිනය
ඔක්තෝබර් 10 උදෑසන පිරිත් සජ්ඣායනයෙන් පසු පා ගමනේ ආරම්භක අවස්ථාවේ දී මෙන්ම දෙවන දිනයේ පාගමන ආරම්භක අවස්ථාවේ දීත් සැලකිය යුතු විශාල ජනකායක් එක්ව තිබුණා. පළමු දින ආරම්භක අවස්ථාවේ වීඩියෝවක් මෙතනින් සහ මෙතනින්. මාධ්ය සහ සමාජ මාධ්ය සටහන්හි පළවූ අවස්ථාවන්හි රූප රාමු පෙළක් පහතින්.

මෙම පාගමන පළමු දින (ඔක්තෝබර් 10) කඩුගන්නාවෙන් අවසන් වීම නියමිතව තිබුණි. කෙසේ වෙතත් එම පාගමනේ කඩුගන්නාවට ආසන්නයේදී පිළිමතලාව ප්රදේශයේ දී , ඉහළින් පිහිටි ස්ථානයක සිට ලබාගත්, පා ගමනේ ඡායාරූප / වීඩියෝ, ඇතැම් ප්රාදේශීය මාධ්යවේදීන් සහ පරිශීලකයින් සමාජ මාධ්ය වෙත මුදා හැර ඇති බව දැක ගන්න ලැබුණා. පිළිමතලාවේදී එම පාගමනේ ජනකාය අඩු පිරිසක් බව දැක ගන්නට ලැබේ.
ඒ අනුව, සැබෑ පා ගමනේ එම අවස්ථාවේ සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ දැක්වෙන ලෙස ජනකායක් සිටින බවට දැක ගන්නට නොලැබේ. එමෙන් ම සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය හා සැබෑ අවස්ථාවේ ඡායාරූපය පසුබිම් එකම වේ.
සමාජ මාධ්ය ඔස්සේ දැක්වෙන ඡායාරූපයේ ප්රධාන වශයෙන්, මාර්ගයට ඉහළින් විදුලි රැහැන් හරහා ගිය කළු පැහැති දැන්වීම් පුවරුවක් සහ එහි මැද කුඩා සුදු ස්ටිකරය, දකුණු පස පිහිටි කොළ පැහැති වහලක් සහිත වෙළෙඳසල, රතු සහ නිල් ත්රිරෝද රථ, යතුරුපැදි ද, සත්ය අවස්ථාවේ එලෙසින් ම දැන ගන්නට ලැබේ.
නමුත් සත්ය වීඩයෝවේ දැක ගන්නට ලැබෙන්නේ, භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් සුළු පිරිසක් වේ. සමාජ මාධ්ය ඡායාරූපය සහ සත්ය ඡායාරූප අතර සංසන්දනය පහතින්.

ඡායාරූපයේ ජනකාය කෘත්රිමව එක් කර ඇති බවට සාක්ෂි
සැබෑ වීඩියෝවල දැන්වීම් පුවරුව අසලට පැමිණ ඇත්තේ පා ගමනේ ඉදිරිපස සිටින සුළු පිරිසක් පමණි. ඒ අනුව ඉහත අප සඳහන් කළ පරිදි දැන්වීම් පුවරුව, වෙළෙඳසල සහ ත්රිරෝද රථවල වර්ණ සැබෑ දසුන්වලට ගැළපෙන බැවින්, එම ස්ථානයේ ගත් දසුනකට කෘත්රිම බුද්ධිය යොදා ජනකාය වැඩි කර ඇති බව පෙනී යනවා.
එකම මංතීරුවේ දෙපසටම යන වාහන, ත්රී රෝද රථයන්හි පිටුපසින් ද මැදින් රෝද දිස්වීම, කොළඹ නුවර මාර්ගයේ පිළිමතාලව ප්රදේශයේ දක්නට ලැබෙන දර්ශනවලට වඩා වැඩි මංතීරු ගණනක් දිස්වීම ඇතුළු වෙනස්කම් කිහිපයක්ම දැක ගන්නට ලැබේ.

ඒ අනුව අප මෙම ඡායාරූපය කෘථිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද ඡායාරූප හඳුනා ගැනීමේ මෙවලමකට යොමු කළ අතර එහිදී තහවුරු වූයේ මෙය කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කර ඇති බවයි.
ඡායාරූපය කෘත්රිම බුද්ධියෙන් නිර්මාණය කළ ඡායාරූපයක්!


කෙසේ වෙතත් පාගමන ආරම්භයේදී සිටින පිරිසේ ප්රමාණය, පා ගමන අවසනදී සැලකිය යුතු ලෙස අඩු වී ඇති අතර, එලෙසින් සෙනඟ අඩු වශයෙන් පවතින තැනකදී ලබා ගත් සත්ය අවස්ථාවක ඡායාරූපයක් සෙනඟ වැඩි වශයෙන් සිටින බවට දක්වමින් කෘතිම බුද්ධිය (AI) ඔස්සේ ඡායාරූපයක් ජනනය කර බෙදා ඇති අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැක.
පළමු දින කඩුගන්නාවේදී අවසන් වූ පා ගමන, දෙවන දින යළ කඩුගන්නාවින් ආරම්භ කොට කෑගල්ලෙදී අවසන් විය. සිවුරට නිසි ගරුත්වය ඉල්ලා මහනුවර සිට කොළඹට පැමිණෙන අධිෂ්ඨානයේ පාගමන අද(12) කෑගල්ල නගරයේ සිට වරකාපොළ දක්වා තෙවැනි දිනයට ක්රියාත්මක වේ. Facebook
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිවිල් ඇඳුමෙන් අධිකරණයට රැගෙන ඒම
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිවිල් ඇඳුමෙන් අධිකරණයට රැගෙන යාම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කරමින් සිය විරෝධය පළ කර තිබුණි. ඉන් අනතුරුව ඇති වූ සමාජයීය තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද ආරාධනාවකට අනුව 2026 ඔක්තෝබර් 08 වන දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනපති සහ තෛනිකායේම මහානායක හිමිවරුන් නියෝජනය කරමින් උසස් පෙළේ භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
එම හමුවේදී ජනාධිපතිවරයා ලබා දුන් නිර්දේශ සහ පත්කළ විශේෂ කමිටුව
වත්මන් බන්ධනාගාර පරිපාලනය සිදුවන්නේ 1877 වැනි පැරණි බන්ධනාගාර ආඥාපනත සහ ඊට අදාළ රෙගුලාසි මත වන අතර, එහි පොදුවේ සිරකරුවන් ගැන මිස බෞද්ධ භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාම පිළිබඳව විශේෂිත ප්රතිපාදන ප්රමාණවත් නොමැති බව ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.
පොදු නීතියක් පවතින අවස්ථාවක, තනි පුද්ගලයන් ඉලක්ක කරමින් විශේෂ නියෝග නිකුත් කිරීමට තමා සූදානම් නැති බවත්, පවතින නීති වර්තමානයට නොගැලපේ නම් කළ යුත්තේ නීතිය නිසි පරිදි සංශෝධනය කිරීම බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා.
සිරදඬුවම් විඳින භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමේදී, අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත උන්වහන්සේලාට සිවුර පිටින්ම රැගෙන යාමට හැකි වන පරිදි නව රෙගුලාසි සකස් කිරීමට මෙහිදී තීරණය විය.
Also Read :ජනපති අනුර සමග සාකච්ඡාවෙන් පසු මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කළා ද?
පත්කළ විශේෂ කමිටුව – සති දෙකක් (දින 14ක්) ඇතුළත ජනාධිපතිවරයා වෙත නිර්දේශ
බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින රෙගුලාසි සහ ස්ථාවර නියෝග යාවත්කාලීන කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් වහාම ක්රියාත්මක වන පරිදි විශේෂ කමිටුවක් පත් කරන ලදී.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ ලේකම් ප්රින්ස් සේනාධීර මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට, වත්මන් නීතිමය ප්රතිපාදන සමාලෝචනය කර සිය සංශෝධන සහ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව සති දෙකක් (දින 14ක්) ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියම කර ඇත.
මෙම කමිටුවේ පළමු නිල රැස්වීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි ඔක්තෝබර් 09 වැනිදා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. සංශෝධිත නව රෙගුලාසි ඉදිරි සති දෙක තුළ අනුමත කිරීමට නියමිතය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර සිට කොළඹ දක්වා පා ගමනක් 2026 ඔක්තෝබර් 10 වැනිදා මහනුවරින් ආරම්භ වූ අතර, එහි පළමු දින අවසන සනිටුහන් කරන කඩුගන්නාවට ආසන්නයේ පිළිමතලාවේදී , පා ගමනට විශාල භික්ෂූන් වහන්සේලා සහ ගිහියන් පිරිසක් සහභාගි වූ බව පෙන්වමින් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන ඡායාරූපය, සත්ය ඡායාරූපයක් නොවන බවයි.
පළමු දින පා ගමන අවසන් කරන මොහොතට ළගා වන විට ලබා ගත් වීඩියෝවක, සැබෑ රූප රාමුවල දැකිය හැක්කේ සුළු පිරිසක් පමණි. එම සත්ය අවස්ථාවේ ඡායාරූපයක් යොදාගනිමින්, විශාල ජනකායක් ඇති බවට පෙන්වීමට, AI (කෘත්රිම බුද්ධිය) මගින් ජනනය කළ ඡායාරූපයක් මේ ආකාරයෙන් වයිරල් වී තිබේ.



