දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතාගේ සහෝදරයා ගිනි අවි තොගයක් සහ අත්බෝම්බ සමඟ පොලිස් අත්අඩංගුවට පත්වී ඇති බව දක්වමින් සටහන් සමාජ මාධ්ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණි.. සැබෑ ලෙසම මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මන්ත්රී හර්ෂණ රාජකරුණාගේ සහෝදරයාද යන්න සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් කිරිඳිවැල පොලිස් වසමේ සිදුකළ වැටලීමකදී ගිනි අවි පහක්, ජීව උණ්ඩ 3,843ක් සහ ජීව අත්බෝම්බ බවට සැක කෙරෙන උපකරණ දෙකක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් මෙම සැකකරු [ලිපිනය අප විසින් ඉවත් කරන ලදී] චරිත් කනිශ්ක රාජකරුණා [ජාතික හැඳුනුම්පත් අංකය අප විසින් ඉවත් කරන ලදී] බවයි පොලීසිය සඳහන් කරන්නේ.
මෙම සැකකරු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණාගේ සහෝදරයෙක්ද වනවා. මෙම ගිනි අවි, ජීව උණ්ඩ සහ අත්බෝම්බ බවට සැක කෙරෙන උපකරණ සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.” යනුවෙන් එහි දක්වා තිබේ.

(සැකකරුගේ ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය අප විසින් බොඳ කරන ලදී.)
මේ පිළිබඳව තවත් සටහන් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසිනි.

Facebook | Facebook | Facebook
විමර්ශනයට ලක් කළ ප්රකාශය : 2026.10.17 දින කිරිඳිවැලදී ගිනි අවි තොගයක් සහ අත්බෝම්බ සමඟ පොලිස් අත්අඩංගුවට පත් වුණේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතාගේ සහෝදරයාම ද යන්නයි.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
කිරිඳිවැල වැටලීමේදී ගිනි අවි පහක්, ජීව උණ්ඩ 3,843ක් සහ අත්බෝම්බ දෙකක් සොයාගැනිණි
කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් 2026.10.17 දින සවස කිරිඳිවැල, හංවැල්ල පාරේ පිහිටි සිනමා ශාලාවක් වැටලීමේදී ගිනි අවි පහක්, විවිධ වර්ගයේ ජීව උණ්ඩ 3,843ක් සහ ජීව අත්බෝම්බ දෙකක් සමඟ වයස අවුරුදු 38ක සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව මාධ්ය වාර්තා කර තිබුණි. (මෙතනින්) සැකකරු රඳවා තබා ප්රශ්න කිරීමට රැඳවුම් නියෝග ලබාගත් බවද (මෙතනින්), ඇතැම් ගිනි අවි සඳහා දේපළ ආරක්ෂාව වෙනුවෙන් බලපත්ර තිබූ බවද (මෙතනින්) වාර්තා විය. මෙම වැටලීම පිළිබඳ පොලිස් මාධ්ය නිවේදනයක් පහතින්.

මුල් ප්රවෘත්ති වාර්තා සැකකරු මන්ත්රීවරයාගේ ‘සහෝදරයා’ ලෙස හඳුන්වා නැත
අත්අඩංගුවට ගැනීම පිළිබඳ මුල්ම වාර්තාවලින් එකක් වූ 2026.10.18 දින පෙරවරුවේ පළ වූ ප්රවෘත්ති වාර්තාවල සැකකරුගේ නම සහ වයස සඳහන් කළ නමුත් කිසිදු දේශපාලනඥයෙකු සමඟ සම්බන්ධයක් සඳහන් කර නැත. (මෙතනින්) රාජ්ය මාධ්ය ආයතන වන දිනමිණ සහ ITN ඔහු හඳුන්වා ඇත්තේ මන්ත්රීවරයාගේ ‘ඥාති සහෝදරයා’ ලෙසය. (මෙතනින්) ‘සහෝදරයා’ ලෙස දැක්වූ මුල්ම සටහන් අතර ඉහත A5 News දැකගනන්ට ලැබෙන අතර, ඉන් පසු පැය කිහිපයක් තුළ එම ප්රකාශය ගිණුම් රැසක් හරහා පැතිර ගියේය.
ජනාධිපතිවරයා බදුල්ලේදී කතා කළේ ‘ඥාතියෙක්’ ගැනයි
මෙම අත්අඩංගුවට ගැනීම ප්රධාන ධාරාවේ මාධ්ය වාර්තා කර ඇත්තේ කෙසේදැයි අපි පරීක්ෂා කළෙමු. එහිදී හඳුනාගැනීමට ලැබුණේ ජනාධිපතිවරයා විසින් 2026.10.18 දින බදුල්ල ප්රදේශයේ පැවති ජනහමුවේදී ඉහත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ප්රකාශයක් සිදුකර ඇති බවයි. දිනමිණ පුවත්පතේ ෆේස්බුක් පිටුව එම ප්රකාශය ඇතුළත් වීඩියෝවක් පළ කර ඇත්තේ “ගිනි අවි තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සජබ හර්ෂණගේ ඥාති සහෝදරයා ගැන බදුල්ල රැලියේදී ජනපති කියූ කතාව සහ අදාළ වීඩියෝ දර්ශනය” යනුවෙනි. ජනාධිපතිවරයා විසින් එහිදී සඳහන් කරන්නේ ” අපරාධ වලින් ගහන වෙච්ච රටක්. අදත් එක්කෙනෙක් අත්අඩංගුවට ගත්තා. කාගෙද ඥාතියෙක් කියන්නත් දන්නවා “ යනුවෙනි. ඒ අනුව ජනාධිපතිවරයා කතා කළේ ‘ඥාතියෙක්’ ගැන වන අතර, ‘සහෝදරයා’ යන වචනය එම උපුටනයේ නැත. දිනමිණ සහ ITN ද සැකකරු හඳුන්වා ඇත්තේ ‘ඥාති සහෝදරයා’ ලෙසය. Facebook (දිනමිණ)
හර්ෂණ රාජකරුණා මන්ත්රීවරයාට සහෝදරයෙකු නැත
හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් 2026.10.18 දිනැති මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා විසින් සඳහන් කරන්නේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ගිනි අවි සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සහ තමා අතර සබඳතාවක් හැඟවෙන ආකාරයට හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් තමා නිරීක්ෂණය කර ඇති බවත් තමා සහෝදරියන් තිදෙනෙකු සිටින පවුලේ එකම පුතා බැවින් සහෝදරයකු නොමැති බවත්ය. පෙළපත් නාමය සහිත පුද්ගලයකු සිදු කරන වරදක් එම පෙළපත් නාමය හිමි සෑම අයෙකුටම අදාළද යනුවෙන් ඔහු අදාළ මාධ්ය නිවේදනය ඔස්සේ විමසා තිබේ.
වසර 11ක් මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළද මන්ත්රීවරුන්ට ලබාදෙන ගිනි අවිය තමා කිසිදු දිනෙක ලබාගෙන නොමැති බවත්, තම දිවංගත පියා සරත් චන්ද්ර රාජකරුණා මහතා ද ගිනි අවියක් සන්තකයේ තබාගෙන නොමැති බවත්, වාර්තා පළ කළ මාධ්ය ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිඥයින්ට උපදෙස් දුන් බවත් ඔහු එහි සඳහන් කරයි. රජයේ බංකොලොත්භාවය වසා ගැනීමට ‘මාලිමා ආණ්ඩුව’ මෙවැනි ක්රියා සිදු කරන බවට ද ඔහු චෝදනා කරයි.
කෙසේ වෙතත්, එම ලිපියේ සහෝදරයෙකු නොමැති බව පැහැදිලිව සඳහන් වුවද, සැකකරු තම ඥාතියෙකු ද නැද්ද යන්න සඳහන් කර නැත. ලිපිය සිදුවීම හඳුන්වන්නේ ‘මට අදාළත්වයක් නොමැති එම සිදුවීම’ ලෙසය. ඇතැම් වෙබ් අඩවි මෙම ප්රකාශය ‘කිසිම සම්බන්ධතාවක් නැහැ’ ලෙස සිරස්තල ගත කළද (මෙතනින්), එවැනි වාක්යයක් මාධ්ය නිවේදනයේ අපට හමු නොවීය.

රාජකරුණා පවුල: මන්ත්රීවරයාට සිටින්නේ සහෝදරියන් තිදෙනෙකි, සහෝදරයෙක් නැත
මන්ත්රීවරයාගේ ප්රකාශය ස්වාධීනව පරීක්ෂා කිරීම සඳහා අපි ඔහුගේ පවුල් පසුබිම සොයා බැලුවෙමු. ඔහුගේ පියා, හිටපු ඇමති සහ ගම්පහ දිස්ත්රික් හිටපු මන්ත්රී සරත් චන්ද්ර රාජකරුණා මහතා 2011.01.10 දින අභාවප්රාප්ත විය. (මෙතනින්) 2011.01.11 දින පළ වූ එන මරණය පිළිබඳව වාර්තාවට අනුව, ඔහු 1977 දී දොම්පෙ ආසනයේ එජාප සංවිධායක ලෙස දේශපාලනයට පිවිසියේය. එහි හර්ෂණ රාජකරුණා මහතා දක්වා ඇත්තේ සරත් චන්ද්ර රාජකරුණා මහතාගේ සහ මල්ලිකා රාජකරුණා මහත්මියගේ එකම පුත්රයා ලෙසය. සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් හයවැන්නා වූ සරත් චන්ද්ර රාජකරුණා මහතාට දියණියන් තිදෙනෙකු සහ එකම පුතෙකු සිටි අතර, එම පුතා එවකට බස්නාහිර පළාත් සභා මන්ත්රී හර්ෂණ රාජකරුණාය. එවකට දකුණු පළාත් ආණ්ඩුකාරවරිය වූ කුමාරි බාලසූරිය ඔහුගේ නැගණියයි. (මෙතනින්)

2011.01.11 දින Daily News වෙබ් අඩවියේ පළ වූ වාර්තාව. Daily News
මෙම වාර්තාව මන්ත්රීවරයාට සහෝදරයෙකු නොමැති බවට ඔහු කළ ප්රකාශය ස්වාධීනව සනාථ කරයි. එසේම ඔහුගේ පියාට සහෝදර සහෝදරියන් හය දෙනෙකු සිටි බැවින්, සැකකරු පියාගේ සහෝදරයෙකුගේ මුනුපුරෙකු බවට අපට මන්ත්රීවරයා කළ ප්රකාශය (පහතින්) එම පවුල් ව්යුහයට අනුකූල වේ. රාජකරුණා පවුලේ නිවස කිරිඳිවැල, මිල්ලතේ ප්රදේශයේ වීම, එම ප්රදේශයේ එකම පෙළපත් නාමය දරන ඥාතීන් සිටීම සිදුවිය හැකි කරුණක් වන අතර, ඉහත වාර්තාව වසර 15කට පෙර පළ වූවක් බැවින්, එහි ඇත්තේ එදින පැවති පවුලේ තොරතුරු බව ද සැලකිය යුතුය.
සැකකරු තම ඥාති සහෝදරයෙකුගේ පුතෙකු බව මන්ත්රීවරයා අපට පැවසීය
එසේම අප විසින් මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා සම්බන්ධ කර ගනිමින් විමසීමක් සිදු කළ අතර, එහිදී ඔහු සඳහන් කළේ තමාට සහෝදරයකු නොමැති බවත්, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයා තමාගේ ඥාති සහෝදරයකුගේ පුතෙකු වන බවත් ය. ඔහු පැහැදිලි කළ පරිදි, සැකකරු ඔහුගේ පියාගේ සහෝදරයෙකුගේ පුතෙකුගේ (එනම් මන්ත්රීවරයාගේ ඥාති සහෝදරයෙකුගේ) පුතාය.
මෙම ඥාති සම්බන්ධය පිළිබඳ ස්වාධීන ලේඛනයක් අපට සොයාගත නොහැකි වූ අතර, ඉහත විස්තරය මන්ත්රීවරයා අප වෙත කළ ප්රකාශය මත පදනම් වේ. මන්ත්රීවරයාට අනුව සැකකරු ඔහුගේ ඥාති සහෝදරයෙකුගේ පුතෙකි.
ඒ අනුව Daily News වාර්තාව සහ මන්ත්රීවරයාගේ ප්රකාශය මත පදනම්ව හර්ෂණ රාජකරුණා මහතාගේ පවුල් ගස (Family Tree) පහත පරිදි වේ. එම පවුල් ගසින් නිරූපණය වන්නේ අත්අඩංගුවට පත් සැකකරු හර්ෂණ රාජකරුණා මහතාගේ සහෝදරයා නොව, ඔහුගේ ඥාති සහෝදරයකුගේ පුත්රයකු බවයි. ඉරි කඩ සහිත කොටු මන්ත්රීවරයා අප වෙත කළ ප්රකාශය මත පදනම් වේ.

(ඩේලි නිවුස් 2011 මරණ වාර්තාව සහ මන්ත්රීවරයාගේ ප්රකාශය මත පදනම්ව Fact Crescendo විසින් සකස් කළ රූප සටහනකි. පුද්ගලිකත්වය සඳහා පොදු චරිත නොවන පවුලේ සාමාජිකයින්ගේ නම් ඉවත් කර ඇත.)
පොලිසිය ‘සහෝදරයා’ යන සම්බන්ධය තහවුරු කර නැත
අප විසින් මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්ය අංශයෙන්ද විමසීමක් සිදු කළ අතර එහිදී ඔවුන් අප වෙත පැවසුවේ, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණාගේ සහෝදරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවට කිසිදු වාර්තාවක් නොමැති බවයි.
එකම පෙළපත් නාමය සහ එකම ප්රදේශය
සැකකරු සහ මන්ත්රීවරයා එකම පෙළපත් නාමය දරති. සැකකරු පදිංචි බව වාර්තා වූ කිරිඳිවැල, මිල්ලතේ ප්රදේශයේම රාජකරුණා පවුලේ නිවස පිහිටා ඇති අතර, එම ප්රදේශය මන්ත්රීවරයාගේ මාධ්ය නිවේදනයේ නිල මුද්රාවේ ලිපිනයේ ද දැක්වේ. එම මුද්රාවේ ඔහු සමගි ජන බලවේගයේ දොම්පෙ ප්රධාන සංවිධායක ලෙස දැක්වෙන අතර, කිරිඳිවැල අයත් වන්නේ ගම්පහ දිස්ත්රික්කයේ දොම්පෙ ආසනයටය. (මෙතනින්) ගම්පහ දිස්ත්රික් මන්ත්රීවරයෙකු වන ඔහු 2023 දී සජබ නියෝජ්ය භාණ්ඩාගාරික ලෙස ද පත් කෙරිණි. (මෙතනින්)
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයට අනුව, 2026.10.17 දින කිරිඳිවැලදී ගිනි අවි, ජීව උණ්ඩ සහ අත්බෝම්බ සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සත්යයකි. නමුත් ඔහු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතාගේම සහෝදරයා නොවේ; මන්ත්රීවරයාට සහෝදරයෙකු නොමැති බව ඔහුගේ ලිඛිත ප්රකාශයේ දැක්වෙන අතර, 2011 දී ඔහුගේ පියාගේ මරණය පිළිබඳ පළ වූ වාර්තාව ද එය සනාථ කරයි. සැකකරු තම ඥාති සහෝදරයෙකුගේ පුතෙකු බව මන්ත්රීවරයා අප වෙත පැවසීය.
ඒ අනුව ඔහු මන්ත්රීවරයාගේ ‘සහෝදරයා’ ලෙස දක්වන සටහන් නොමඟ යවන සුළුය. මෙම නිගමනය මන්ත්රීවරයාගේ 2026.10.18 මාධ්ය නිවේදනය, ඔහු අප වෙත කළ ප්රකාශය, ඩේලි නිවුස් 2011 මරණ වාර්තාව, පොලිස් මාධ්ය අංශය අප වෙත දුන් ප්රතිචාරය, සහ මාධ්ය වාර්තා මත පදනම් වේ.


