දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ශ්රීලංකන් ගුවන් සේවය “දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය” සහ “දකුණු ආසියාවේ ප්රමුඛ ජාත්යන්තර ගුවන් සේවය” වැනි කලාපීය සම්මාන කිහිපයක්ම දිනා ගැනීම මත දකුණු ආසියාවේ සමස්ත “හොඳම ගුවන් සේවය” ලෙස අර්ථදැක්වීම මත බොහෝ දෙනා නොමග ගොස් තිබුණා. මේ ඒ පිළිබඳ Factcrescendo Sri Lanka අප සිදු කරන කරුණු පැහැදිලි කිරීමක්
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
ශ්රීලංකන් ගුවන් සේවය ‘දකුණු ආසියාවේ හොදම ගුවන් සේවය’ ලෙස තේරී ඇති බවට දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වුණා.
පාඩුයි කියල විකුණන්න හදපු ශ්රී ලංකන් ගුවන් සේවය, දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය බවට පත්ව ඇතැයි ද , ඒ අනුව මෙතෙක් කල් වරද තිබී ඇත්තේ ගුවන් සේවයේ නොව, මීට පෙර රට පාලනය කළ පිරිස මතයි යනුවෙන් ද වැඩිදුරටත් එම වීඩියෝවේ පසුබිම් හඬින් කියවෙනවා.
මෙහි දැක්වෙන ලෙස සැබවින්ම ශ්රී ලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය ලෙස තේරී පත්වුණි ද සහ එහි නිරවද්යතාව සොයා බැලීමට අප පියවර ගනු ලැබුවා.
Explainer (කරුණු පැහැදිලි කිරීම):
අප මුලින්ම මෑතක දී ශ්රී ලංකන් ගුවන් සේවය මෙලෙස දකුණු ආසියාවේ හොඳම ගුවන් සේවය බවට පත්වූ බවට පුවත් වාර්තා වී ඇතිදැයි පරික්ෂා කළා.
APEX හි ඇගයීම්
එහිදී ‘ශ්රීලංකන් ගුවන් සේවය 2026 සඳහා මධ්යම/දකුණු ආසියාවේ ආහාර-පාන අංශයේ හොඳම APEX සම්මානය දිනා ගනී’ යන තේමාවෙන් ශ්රී ලංකන් හි වෙබ් අඩවියේ පළවී ඇති පුවතක් දැක ගන්නට ලැබුණා. ඒ වාර්තාවේ දැක්වෙන්නේ Four Star Major Airline තත්ත්වය ද රඳවා ගැනීමට ශ්රී ලංකන් සමාගම සමත් වී ඇති බවත් මෙම සම්මාන මගින් ගෝලීය වශයෙන් ගුවන් සමාගම් 600 කට අධික සංඛ්යාවක් ඇගයීමට ලක් කරන බවයි.ආසන සුවපහසුව, කැබින් සේවාව, ආහාර සහ පාන වර්ග, විනෝදාස්වාදය සහ Wi-Fi යන ක්ෂේත්රවල එක් එක් කලාපයේ හොඳම ගුවන් සේවා තේරීමක් එහිදී සිදුකර තිබු බවද සඳහන්.
මෙය ජාත්යන්තර ගුවන් සේවා ඇගයීමේ සංගමයක් විසින් ලබාදුන් ශ්රේණිගත කිරීමක් වුව ද මෙහි සමස්ත ලෙස ශ්රී ලංකන් සමාගම, දකුණු ආසියාවේ ප්රමුඛතම හෝ හොඳම ගුවන් සේවය බවට පත්වූ බවක් සඳහන් වන්නේ නැහැ.
එසේම දකුණු ආසියානු කලාපයේ ඇති අනෙකුත් ගුවන් ගමන් සේවා වන Air India, IndiGo වැනි ගුවන් සේවාවන් ද වෙනත් කාණ්ඩ යටතේ මෙහිදී සම්මානයට පාත්ර වී ඇති බවත්, සමස්ත ලෙස හොඳම ගුවන් සේවාව ලෙස මධ්යම ආසියානු රටක් වන කසකස්තානයේ Air Astana ගුවන් සේවය APEX හි 2026 සඳහා ඇගයීමට ලක්ව ඇති බවත් දැක ගන්නට ලැබෙන්නේ මෙලෙසින්.
ඒ අනුව ඊට පෙර වත්මන් රජය යටතේ සහ ඊට පෙර පාලනයන් යටතේ ද ශ්රී ලංකන් ගුවන් සමාගමන ලද ඇගයීම් ගැන අප පරීක්ෂාවක් සිදු කළා.
ITCTA කලාපිය ඇගයීම්
පසුගිය 2025 වසරේ ජූලි මාසයේදී, ඉන්දියාවේ නවදිල්ලියේ පැවති ජාත්යන්තර සංචාරක සමුළුව සහ සංචාරක සම්මාන (ITCTA) හිදී, ශ්රීලංකන් ගුවන් සේවය “දකුණු ආසියාව සඳහා හොඳම ගුවන් සේවය” ලෙස නම් කර තිබේ.
මෙම සම්මානය ශ්රී ලාංකික ආගන්තුක සත්කාරය සහ කලාපය පුරා සංචාරකයින් සමඟ එය වර්ධනය කරන අර්ථවත් සම්බන්ධතා සඳහා ගෞරවයක් ලෙස හිමිවී ඇති අතර කීර්තිමත් විනිශ්චය මණ්ඩලයක් සහ ජූරි සභිකයින් විසින් මෙය ලබා දී ඇති බව මාාධ්ය වාර්තා කර තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.
පසුගිය වසර කිහිපයේම පිටපිටම SATA විසින් ලද කලාපිය ඇගයීම්
එමෙන් ම 2023, 2024 සහ 2025 යන වසර වලදී දකුණු ආසියානු සංචාරක සම්මාන (SATA) එනම්, දකුණු ආසියාවේ ආගන්තුක සත්කාර හා සංචාරක කර්මාන්තයේ විශිෂ්ටත්වය සැමරෙන වාර්ෂික උත්සවයක් වන අතර, එය කලාපයේ ප්රමුඛතම සංචාරක සම්මාන අතරින් එකකි. මෙම සම්මාන උත්සවය කලාපීය සංචාරක සංවිධාන 18කට වැඩි සංඛ්යාවක් විසින් අනුමත කර ඇත.
ජයග්රාහකයින් තේරීම ගුවන් ගමන් ක්ෂේත්රයේ වෘත්තිකයින් සහ ගුවන් මගීන් දෙපාර්ශවයේම ඡන්ද මත පදනම්ව සිදු කරන අතර, එමඟින් මෙම සම්මානය කර්මාන්තයේ විශිෂ්ටත්වය සහ පාරිභෝගිකයන්ගේ ගුවන් සෙවයට ඇති තෘප්තිය පිළිබිඹු කරයි.
ශ්රීලංකන් ගුවන් සමාගමේ වෙබ් අඩවියේ ගුවන් සමාගමට හිමිව ඇති කලාපීය සම්මාන කිහිපයක් (SATA, ITCTA, PAX, APEX) සම්මාන පිටුවේ ලැයිස්තුගත කර ඇති නමුත් මේවා සංචාරක සහ මගී අත්දැකීම් මත තෝරා ගන්නා සම්මාන වන අතර, සියලුම දකුණු ආසියානු ගුවන් සේවා සඳහා විධිමත් නියාමකයෙකු විසින් සිදු කරන ලද හෝ ආරක්ෂක අධිකාරියේ ශ්රේණිගත කිරීමක් නොවේ.
ගුවන් සේවාවල ආරක්ෂිත බව ශ්රේණිගත කිරීම, මූල්ය ශක්තිය, නියමිත වේලාවට ගුවන් ගමන්, ගුවන් යානා වයස හෝ නියාමන අනුකූලතාව වැනි සම්පූර්ණ මිනුම් මත සියලුම ගුවන් සේවා තක්සේරු කිරීමක් හෝ සංසන්දනය කිරීමක් සිදු කොට මෙම සම්මාන පිදුම් ලබා නොදෙයි.
Skytrax ශ්රේණිගත කිරීම්
අනෙකුත් ගුවන් සේවා සඳහා ගෝලීය මිණුම් සලකුණු සහ ශ්රේණිගත කිරීම් සිදු කෙරෙන Skytrax, Airline Ratings හි ශ්රී ලංකන් ගුවන් සේවයට ලබාදී ඇති ශ්රේණිගත කිරීම් ද අප පරික්ෂා කර බැලුවා.
Skytrax විසින් පිරිනමන ලද ලෝක ගුවන් සේවා සම්මාන ලැයිස්තුව සහ AirlineRatings.com ආරක්ෂණ දත්ත වල 2025 සඳහා ලොව හොඳම ආරක්ෂිතම පූර්ණ සේවා ගුවන් සේවා දක්වා තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.
පරිපූර්ණ සංචාරක අත්දැකීම් සඳහා ගුවන් සමාගම් ඇගයීමේදී, ආරක්ෂාව සහ සේවා ගුණාත්මකභාවය තීරණාත්මක පදනමක් සාදයි. නිරීක්ෂණය කරන ලද ගුවන් සේවා 385 න්, මෙම වසරේ ශ්රේණිගත කිරීම් පදනම් වී ඇත්තේ ආරක්ෂක වාර්තාව, ගුවන් යානා බලඇණියේ වයස, අනතුරු ඉතිහාසය සහ නියමු පුහුණු ප්රමිතීන් පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් මත ය.
කෙසේ වෙතත් මෙහි ශ්රී ලංකන් හෝ දකුණු ආසියානු ගුවන් සේවා දැක ගන්නට නොලැබුණු බැවින් දකුණු ආසියාවේ ප්රමුඛතම ගුවන් සේවා ගැන සඳහන් අනෙකුත් ඇගයීම් වෙත ද අප අවධානය යොමු කළා.
දකුණු ආසියාවේ ප්රමුඛ ජාත්යන්තර ගුවන් සේවා
ආරක්ෂිත ශ්රේණිගත කිරීම් බොහෝ විට ගුවන් සමාගම් සඳහා ගෝලීය මිණුම් ලකුණක් ලෙස භාවිතා කරනු ලැබේ. මෙහිදී ගුවන් සේවාවේ බරපතල සිදුවීම්, විගණන සහ අනුකූලතාව නිරීක්ෂණය කිරීම ගෝලීය මිණුම් සඳහා සලකා බැලේ.
ඒ අනුව ශ්රීලංකන් ගුවන් සේවය AirlineRatings.com හි 7/7 ආරක්ෂිත ශ්රේණිගත කිරීමක් සමඟ ලැයිස්තුගත කර ඇති අතර එය ගුවන් සමාගම් සඳහා පුළුල් ලෙස යොමු කරන ලද ගෝලීය ආරක්ෂිත ශ්රේණිගත කිරීමේ වේදිකාවකි.


