Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Fact Check: යුද හමුදාව විසින් ඉදිකළ සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට වැස්සෙන් හානි?

    2021-05-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මේ දිනවල ලංකාවේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමඟ යුධ හමුදාව විසින් ඉදිකිරීම් කරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වැස්සෙන් හානි වී ඇති බවක් හැඟවෙන ඡායාරූප පෙළක් ද සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.  පසුගිය දා යුධ හමුදාව විසින් සාදා න

    මේ දිනවල ලංකාවේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමඟ යුධ හමුදාව විසින් ඉදිකිරීම් කරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වැස්සෙන් හානි වී ඇති බවක් හැඟවෙන ඡායාරූප පෙළක් ද සහිත සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. 

    පසුගිය දා යුධ හමුදාව විසින් සාදා නිමකරන ලද කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ඇත්ත වශයෙන්ම මෙසේ වැස්සෙන් හානියට පත් වී තිබුණා ද යන්න පිලිබඳ ව අප සිදුකළ කරුණු විමර්ෂණය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    “සරත් ෆොන්සේකා මහත්මයාණෙනි, ඇත්තටම මේකා යුද්දෙ කරන දවස් වල හිටියද? එක වැස්සයි වැස්සේ..සවියාගෙයි සවියගේ නෝනගෙයි…ජාත්‍යන්තර කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය හේදෙනවා!.(අපරාදේ මහජන සල්ලි!)” යන විස්තරය ද සහිතව හුවමාරු වී තිබූ සටහනකින් අදහස් කර තිබුනේ හමුදාව විසින් ඉදිකිරීම් නිමකරන ලද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වත්මන් වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ හානියට පත්වී ඇති ආකාරයක්.

    Facebook | Archived

    ඉහත සටහනේ යුධ හමුදාපති, ඔහුගේ බිරිඳ (යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති) සහ යුධ හමුදා නිලධාරීන් පිරිසක් සමඟ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණයක යෙදෙන ඡායාරූපයක් ද වර්ෂාව හේතුවෙන් හානියට පත් වී තිබෙන රෝගීන් ප්‍රතිකාර ලබන මධ්‍යස්ථානයක ඡායාරුප කිහිපයක් ද හුවමාරු කරගනිමින් අදහස් කර තිබුනේ මේ එකම ස්ථානයක් බවයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    අප පළමුවෙන් ම එම ඡායාරූප පෙළෙහි දක්වා තිබෙන පළමු ඡායාරුපය Google Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුනේ එම ඡායාරුපය මැයි මස මුල් දිනයන්හි පුවත් වාර්තාවල පළවී තිබුනේ යුධ හමුදාපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සීදුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අවසන් වැඩකටයුතු පරීක්ෂා කරමින් සිටි අයුරු යනුවෙන්. එම පුවත් වාර්තා පහතින්.

    News.lk | Archived    FT

    එම අවස්ථාව සම්බන්ධයෙන් යුධ හමුදාවේ නිල වෙබ් අඩවියේ ද වාර්තාවක් පළවී තිබු අතර එහි දැක්වුණේ “කොවිඩ් – 19 රෝහලට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් පරිත්‍යාගයක්” යනුවෙන් මෙලෙසින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරූප පෙළ සම්බන්ධයෙන් අප හමුදා මාධ්‍ය ඒකකයෙන් සිදුකළ විමසීමේ දී පවසා සිටියේ එය සම්පුර්ණයෙන් ම අසත්‍ය පුවතක් බවත් සීදුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා මෙතෙක් රෝගීන් ඇතුලත් කරගෙන ද නැති අතර එම මධ්‍යස්ථානය වර්ෂාව හේතුවෙන් හානියකින් සිදුව නැති අතර මනා තත්ත්වයෙන් තිබෙන බවත් ය.

    අප වෙත මෙසේ මෑතක දී සාදා නිමකරන ලද සීදුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඡායාරූප පෙළක් ද යුධ හමුදා මාධ්‍ය ඒකකය විසින් යොමු කළ අතර ඒවා පරීක්ෂා කිරීමෙන් ද එය තහවුරු වුණා. එම ඡායාරුප පහතින්.

    මීට සතියකට පමණ පෙර, මැයි මස 18 වැනිදා මෙසේ යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව ඉතා කෙටි කාලයකදී ඉදිකළ එකවර රෝගීන් 1200 කට ප්‍රතිකාර ලැබිය හැකි සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉදිකර තිබෙන්නේ බ්‍රෑන්ඩික්ස් (Brandix) ආයතනය ලබාදුන් ගොඩනැගිල්ලකය. එහි චාරිකාවක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෙදුණු අවස්ථාවක ලබාගත් ඡායාරූප පෙළක් මෙතනින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් පිළිබඳව අප බ්‍රෑන්ඩික්ස් (Brandix) ආයතනයේ ආයතනික සන්නිවේදන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තුමියගෙන් ද විමසා සිටි අතර එය ඔවුන් විසින් ලබා දුන් සීදුව ගොඩනැගිල්ලේ ඡායාරූප පෙළක් නොවන බව තහවුරු කර සිටියා.

    එසේම සීදුවේ  යුධ හමුදා විසින් නිමකරන ලද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පසුබිම් සමාජ මාධ්‍ය ඔස්සේ  හුවමාරු වන සටහනේ ඇති අවසාන ඡායාරූප 3 හි දැක්වෙන පසුබිම් හා සමාන නොවන බව ද බැලු බැල්මට ම දැක ගන්නට ද පුළුවන්. 

    එම පසුබිම් සහිත ඡායාරුප ලබාගෙන තිබෙන්නේ කුමන ස්ථානයකින් ද යන්න පරීක්ෂා කිරීමේ දී ගිරිඋල්ල නිරෝධායන මධ්‍යස්ථානය දී බවට බොහෝ සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබුණි. එවැනි වීඩියෝවක් මෙතනින්. 

    ඒ සම්බන්ධයෙන් පළවූ පුවත් වාර්තාවක් මෙතනින්. වට්සැප් ඔස්සේ ද එම රූප රාමු පෙළක් බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුනේ පහත අයුරින්.

    තවද මෙසේ ගිරිඋල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයක රූප රාමු සහ යුධ හමුදාව විසින් පසුගිය දා සාදා නිමකළ සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය බවට සමාජ මාධ්‍ය ඔස්සේ දක්වා තිබූ අවසන් ඡායාරුප 3 හි පසුබිම් සමාන බවක් ද අපට දැක ගන්නට ලැබුනේ මෙලෙසින්.

    2020 වසරේ MAS ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව ගිරිඋල්ල ප්‍රදේශයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විවෘත කළ බවට පළවූ සටහනක් මෙතනින්. එහි පසුබිම සහ සමාජ මාධ්‍ය ඔස්සේ වර්ෂාව හේතුවෙන් හානියට පත්වූ ස්ථානය ලෙස හුවමාරු වන වීඩියෝ වේ පසුබිම් බොහෝ දුරට සමාන වූ අතර ඒවා එකම ස්ථානයක් බව කිහිප දෙනක් ප්‍රතිචාර දක්වා තිබුණා. 

    මේ පිළිබඳව අප MAS ආයතනෙයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී ගෙන් විමසා සිටි අතර එහිදී දැන ගන්නට ලැබුනේ එය ගිරිඋල්ල කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය බවයි. ඊයේ (23) රාත්‍රියේ ඇතිවූ අධික වර්ෂාමය තත්ත්වය හේතුවෙන් එම මධස්ථානයේ වහලේ කාන්දුවීම් තිබූ අතර අද දහවල් ඒ සඳහා සියලු අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකළ බවද එතුමා අපට පවසා සිටියා. එමෙන්ම MAS ආයතනෙයේ සේවකයින්ට මෙන්ම සමාජයේදී කෝවිඩ් ආසාදිත බවට හඳුනාගත් වෙනත් රෝගීන්ද මෙම අතරමැදි මධ්‍යස්ථානයේ මේ වන විටත් ප්‍රතිකාර ගන්නා බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ යුධ හමුදාපතිතුමා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් පරීක්ෂාවක යෙදෙමින් සිටි සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්‌ථානය පසුගිය දින කිහිපයේ ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් හානි වී ඇති බව හඟවමින් හුවමාරු වන්නේ නොමඟ යවන සුළු අසත්‍ය සටහන් පෙළක් බවයි.

    වර්ෂාව හේතුවෙන් හානියට පත්ව ඇති ස්ථානය, පසුගිය දා යුද හමුදාව සහ යුද හමුදා සේවා වනිතා ඒකකය එක්ව ඉදිකිරීම් කටයුතු නිමකරන ලද සීදුව කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය නොවන බව යුධ හමුදා මාධ්‍ය ඒකකය මෙන්ම එම ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය දරන බ්‍රෑන්ඩික්ස් (Brandix) ආයතනය ද තහවුරු කර සිටිනවා.

    ඊයේ (මැයි 23) ඇතිවූ අධික වර්ෂාමය තත්ත්වය හේතුවෙන් හානි වී තිබුනේ MAS ආයතනය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව පසුගිය වසරේ සිට ගිරිඋල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ආ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්. කෙසේනමුත් එම මධ්‍යස්ථානයේ වැසි තත්ත්වයෙන් හානියට පත් කොටස් මේ වන විට අලුත්වැඩියා කර තිබෙන බව MAS ආයතනය තහවුරු කර සිටිනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.