දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
පැරණි සිදුවීම් මෑතකදී සිදු වූ ඒවා ලෙස ඉදිරිපත් කරමින් සමාජ මාධ්ය ඔස්සේ බෙදා හැරීම නිතර දැකිය හැකි තත්ත්වයකි. ඉන්දියාවේ ප්රබල පූජකවරයෙකු රාජ්ය ගෞරව සහිතව හදිසියේම ශ්රී ලංකාවට ගෙන්වා, ඔහුට රාජ්ය ආරක්ෂාව සහ ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් ලබා දී ඇතැයි පවසමින් 2026 ඔක්තෝබර් 21 වැනිදා සිට හුවමාරු වන සමාජ මාධ්ය සටහන් පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාව මෙසේ ය.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“ඉන්දියාවේ ප්රබල පූසාරිවරයෙක් රාජ්ය ගෞරව සහිතව හදිසියේ ලංකාවට ගෙන්වයි! රාජ්ය ආරක්ෂාව, ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර්” යන මාතෘකාව සහිත කාඩ්පතක් ඡායාරූප තුනක් සහ දීර්ඝ විස්තරයක් සමඟ පුවත් පිටුවක් පළ කර තිබිණි. එය 1,700කට අධික වාර ගණනක් බෙදාගෙන ඇත. ඡායාරූපවල පූජකවරයා ඇතුළු පිරිසක් රාත්රී භෝජන මේසයක් අසල සිටින අයුරු, අශ්වාරූඪ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ පොලිස් රථයක්, සහ පූජකවරයා හෙලිකොප්ටරයක් තුළ සිටින අයුරු දැක්වේ.
සටහනේ විස්තරයට අනුව, ඉන්දියාවේ අයෝධ්යා නුවර ශිව කෝවිලේ ප්රධාන පූජක කෛලාශානන්ද් ගිරි ජී මහාරාජ් ප්රමුඛ දූත පිරිස රජයේ විශේෂ ආරාධනයකින් පැමිණ ඇති අතර, ඔවුන්ට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් සහ ගමන් බිමන් සඳහා ශ්රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් ලබා දී ඇත. යාපනය, මන්නාරම, ත්රිකුණාමලය, නුවරඑළිය සහ පොළොන්නරුව ප්රදේශවල කෝවිල් වන්දනා කළ මෙම කටයුතුවලට අමාත්ය විජිත හේරත් ද සහභාගි වූ බව එහි සඳහන් වේ. එම කාඩ්පතම වෙනත් ගිණුම් ද බෙදාගෙන ඇති අතර, එක් සටහනක් “වස් කවි කියනවානම් මේ ගාණටවත් බය වෙන්න ඕන” යන ශීර්ෂය එක් කර එය රජයට එල්ල කළ දේශපාලන උපහාසයක් ලෙස යොදාගෙන තිබිණි.



විමර්ශනයට ලක් කළ ප්රකාශය : ඉන්දීය පූජකවරයෙකු මෑතකදී හදිසියේම ශ්රී ලංකාවට ගෙන්වා, ඔහුට රාජ්ය ගෞරව, රාජ්ය ආරක්ෂාව සහ ගුවන් හමුදා හෙලිකොප්ටර් ලබා දී ඇත.
Fact Check (කරුණු පරීක්ෂාව) :
ඉන්දීය පූජකවරයෙකුගේ මෑත හදිසි සංචාරයක් ගැන කිසිදු වාර්තාවක් නැත
සමාජ මාධ්ය සටහන්වල කියන පරිදි මේ දිනවල ඉන්දීය පූජකවරයෙකුට රාජ්ය ගෞරව, රාජ්ය ආරක්ෂාව සහ ගුවන් හමුදා හෙලිකොප්ටර් ලබා දී ඇත්නම්, එය ප්රධාන ධාරාවේ මාධ්ය වාර්තා කළ යුතුව තිබිණි. එහෙත් සිංහල, ඉංග්රීසි සහ දෙමළ මූල පද යොදා අප කළ සෙවීමේදී 2026 ඔක්තෝබර් මාසයේ එවැනි පුවතක් කිසිදු ප්රධාන ධාරාවේ මාධ්යයක වාර්තා වී නොතිබිණි.
සංචාරය සිදු වූයේ 2026 පෙබරවාරි 23 සිට 27 දක්වා ය
කෙසේ වෙතත්, තවදුරටත් කළ පරීක්ෂාවේදී, සටහන්වල සඳහන් ස්වාමි කෛලාශානන්ද් ගිරි ජී මහාරාජ් ප්රමුඛ දූත පිරිසක් ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්රී ලංකාවේ සංචාරය කළ බව ප්රධාන ධාරාවේ පුවත් වෙබ් අඩවි මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබිණි. 2026 පෙබරවාරි 23 වැනිදා බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපළේදී සංචාරක නියෝජ්ය අමාත්ය රුවන් රණසිංහ ඔවුන් පිළිගත් බවත්, ඉන්දීය ශිව බැතිමතුන් මෙරට පූජනීය උරුමයන් අත්විඳීමට දිරිමත් කිරීම සංචාරයේ අරමුණ වූ බවත් එම වාර්තාවල සඳහන් විය. සටහන්වල ඔහු “අයෝධ්යා ශිව කෝවිලේ ප්රධාන පූජක” ලෙස හඳුන්වා ඇත්තේ ද එම පුවතකම යෙදූ විස්තරයට අනුව ය. සංචාරක ප්රවර්ධන කාර්යාංශය ඔහු හඳුන්වා ඇත්තේ “ආචාර්ය මහාමණ්ඩලේශ්වර්” ලෙස ය.
මේ අතර ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය 2026 පෙබරවාරි 24 වැනිදා සිය නිල ෆේස්බුක් පිටුවේ ඡායාරූප සහිතව පළ කළ සටහනක, ස්වාමි කෛලාශානන්ද් ගිරි ජී මහාරාජ් පෙබරවාරි 23 සිට 27 දක්වා දිවයිනේ සංචාරය කරන බව සඳහන් කර තිබිණි. මෙම සංචාරය ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර අධ්යාත්මික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කරන බවත්, රාමායණ මංපෙත (Ramayana Trail) සහ ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත ශිව මංපෙත (Shiva Trail) වන්දනා අත්දැකීම් ලෙස ඉස්මතු කරන බවත් එහි වැඩිදුරටත් සඳහන් විය.

ස්වාමි කෛලාශානන්ද් ගිරි පෙබරවාරි 24 වැනිදා හෙලිකොප්ටරයකින් පලාලි යාපනය ජාත්යන්තර ගුවන්තොටුපළට පැමිණි බවත්, උතුරු පළාත් ආණ්ඩුකාර එන්. වේදනායගන් ඇතුළු පිරිසක් ඔහු පිළිගත් බවත් උතුරු පළාත් සභාවේ නිල වෙබ් අඩවිය මෙලෙසින් වාර්තා කර තිබිණි. ඔහුගේ සංචාරය ශ්රී ලංකාවේ රාමායණ සහ ශිව වන්දනා මාර්ග ජාත්යන්තරව ප්රවර්ධනය කිරීමට සහ ඉන්දියාවෙන් වැඩි බැතිමතුන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට දායක වනු ඇතැයි අපේක්ෂා කරන බව ද එහි සඳහන් විය. ආණ්ඩුකාරවරයා ඔහුට “ශිව වන්දනා මංපෙත” (Siva Pilgrimage Trail) ප්රකාශනය පිරිනැමූ අතර, ඔහු එම මංපෙතට අයත් කීරිමලේ නකුලේශ්වරම් කෝවිලේ වන්දනාවේ යෙදුණි.
කෙසේ වෙතත්, කෛලාශානන්ද් ගිරි ස්වාමීන් මෑතකදී යළි ශ්රී ලංකාවට පැමිණි බවට කිසිදු පුවතක් හෝ නිල වාර්තාවක් අපට හමු නොවිණි. නිල වාර්තා තහවුරු කරන්නේ ඔහු ඉකුත් පෙබරවාරි මාසයේ කළ සංචාරය පමණි.
සමාජ මාධ්ය සටහන්වල ඇත්තේ පෙබරවාරි සංචාරයේ ඡායාරූප ය
සටහන්වල ඇති, පූජකවරයා ඇතුළු පිරිසක් රාත්රී භෝජන මේසයක් අසල සිටින ඡායාරූපය, සංචාරක ප්රවර්ධන කාර්යාංශය පෙබරවාරි 24 වැනිදා පළ කළ සටහනේ ද එලෙසම දැකිය හැකිය.

අශ්වාරෝහක පොලිස් නිලධාරීන් දෙදෙනා සහ පොලිස් රථය සහිත ඡායාරූපය, සංචාරයට එක් වූ දූත පිරිසේ සාමාජිකයෙකුගේ ෆේස්බුක් ගිණුමේ 2026 මාර්තු 2 වැනිදා මෙලෙස පළ කර තිබිණි.

පූජකවරයා හෙලිකොප්ටරය තුළ සිටින ඡායාරූපයේ මුල් පිටපත අපට හමු නොවුණ ද, පෙබරවාරි 25 වැනිදා ඉන්දීය ජාතිකයෙකු Instagram හි පළ කළ වීඩියෝවක, ඔහු හෙලිකොප්ටරයකට නගින අයුරු සහ එහි ගමන් කරන අයුරු දැකිය හැකිය. එම හෙලිකොප්ටරය ශ්රී ලංකා ගුවන් හමුදාවට අයත් ද, ගමන් වියදම දැරුවේ කවුරුන් ද යන්න නිල මූලාශ්රයකින් තහවුරු කර ගැනීමට අපට නොහැකි විය.

සංචාරය සංවිධානය කළේ සංචාරක ප්රවර්ධන කාර්යාංශයයි; අමාත්යවරයා රාත්රී භෝජන සංග්රහයක් පැවැත්වීය
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ ආරාධනයකට අනුව ශ්රී ලංකාවට පැමිණි පූජකතුමා, මෙරට පූජනීය රාමායණයට සම්බන්ධ ස්ථානවල සංචාරය කරමින් ආගමික වතාවත්වල ද නිරත වූ බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙබරවාරි 28 වැනිදා මෙලෙස සඳහන් කර තිබුණා.
මේ අතර, සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ නිවේදනයක් උපුටා දක්වමින් ඉන්දීය පුවත්පතක් මෙලෙස වාර්තා කළේ, මෙම සංචාරය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත්ගේ ආරාධනයෙන් සිදු වූ බවත්, අමාත්යවරයා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී නිල රාත්රී භෝජන සංග්රහයක් පැවැත්වූ බවත් ය. එම වාර්තාවට අනුව ඔහු මන්නාරම තිරුකේතීශ්වරම්, යාපනය නකුලේශ්වරම්, ත්රිකුණාමලය තිරුකෝණේශ්වරම්, පොළොන්නරුවේ ශිව දේවාලය සහ නුවරඑළිය සීතා අම්මන් කෝවිල ඇතුළු ස්ථාන නැරඹීය.
ගුවන්තොටුපළේ “Gold Route” සහ “Silk Route” සේවා ප්රදේශවලදී කාර්යාංශයේ නිලධාරීන් ඔහු පිළිගත් බව සංචාරක තොරතුරු මධ්යස්ථානයේ ෆේස්බුක් පිටුව මෙලෙස පළ කළ සටහනක සඳහන් විය. එබැවින් එම පිළිගැනීම පමණක් රාජ්ය ගෞරවයක් ලෙස සැලකිය නොහැක.
ගුවන් ගුවන් හමුදා මාධ්ය ප්රකාශක
සමාජ මාධ්යයේ සංසරණය වන සටහන් පිළිබඳව අප ගුවන් ගුවන් හමුදා මාධ්ය ප්රකාශක ගෘෘප් කැප්ටන් නලින් වැවකුඹුර මහතාගෙන් ද විමසීමක් කළා. අප කළ විමසීමේදී මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ, ඉකුත් දින කිහිපයේ හෝ මේ දිනවල සිදුවීමක් නොවන බවයි. තව ද අදාළ හෙලිකොප්ටර් යානය ලබාදීම 2025 පෙබරවාරි මාසයේ සිදු වූවක් බවයි. එමෙන්ම, එය නොමිලේ ලබා දුන් පහසුකමක් (Free of Charge) නොවන බව අවධාරණය කළ මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ, එය මුදල් ගෙවා ලබාගත් (Charter) සේවාවක් බවයි.
අමාත්යවරයාගේ මාධ්ය ලේකම්: පුවත පෙබරවාරි සංචාරයට අදාළ පැරණි පුවතකි
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යවරයාගේ මාධ්ය ලේකම්වරයා ද අප කළ විමසීමකදී පැවසුවේ, සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන මෙම පුවත 2026 පෙබරවාරි 23 වැනිදා ආරම්භ වූ සංචාරයකට අදාළ පැරණි පුවතක් බවයි.
සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ ආරාධනයෙන් පැමිණි පූජකවරයා ඇතුළු දූත පිරිස ශ්රී ලංකාවේ වැදගත් ශිව දේවාල කිහිපයක් ඇතුළු ආගමික හා ඓතිහාසික ස්ථාන නැරඹූ බවත්, රාමායණ මංපෙත ඇතුළු ආගමික හා සංස්කෘතික සංචාරක ආකර්ෂණ ඉන්දීය බැතිමතුන් සහ සංචාරකයන් අතර ප්රවර්ධනය කිරීම සංචාරයේ ප්රධාන අරමුණක් වූ බවත් මාධ්ය ලේකම්වරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, සටහන්වල කියන පරිදි අමාත්ය විජිත හේරත් පූජකවරයා සමඟ වන්දනා ගමනට සහභාගි වූ බවට සාක්ෂි අපට හමු නොවිණි; හමු වූ මූලාශ්රවල ඇත්තේ ඔහු කොළඹදී රාත්රී භෝජන සංග්රහයක් පැවැත්වූ බව පමණි. පූජකවරයාට ඉහළ පෙළ රාජ්ය නායකයෙකුට ලබා දෙන ආකාරයේ රාජ්ය ගෞරව ලබා දුන් බවට රජයේ නිවේදනයක් ද හමු නොවිණි.
රාජ්ය ආයතනයක් මහජන මුදලින් විදේශීය ආගමික නායකයෙකුට සත්කාර කිරීම ප්රශ්න කිරීම සාධාරණ ය; සටහන් ජනප්රිය වූයේ ද එවැනි දේශපාලන විවේචන ඔස්සේ ය. එහෙත් එම ප්රශ්නය මතු කළ සටහන්, මාස අටකට පෙර සිදු වූ නිල සංචාරයක් මේ දිනවල සිදු වූවක් ලෙස ඉදිරිපත් කර, සාක්ෂි නොමැති කරුණු එයට එක් කර ඇත.
ඉන්දීය ආගමික නායකයන්ගේ සංචාර ආගමික සංචාරක ප්රවර්ධනයේ නිතර දකින අංගයකි
ඉන්දියාව ශ්රී ලංකාවේ විශාලතම සංචාරක වෙළඳපොළයි. 2026 ජනවාරි 1 සිට සැප්තැම්බර් 23 දක්වා පැමිණි සංචාරකයන් 1,657,316 දෙනාගෙන් 423,014 දෙනෙකු (26%) ඉන්දියානුවන් බව මෙතනින් වාර්තා විය. කෛලාශානන්ද් ගිරි සංචාරය ද ඉන්දීය බැතිමතුන් ඉලක්ක කරගත් එවැනි ප්රවර්ධන කටයුත්තක් බව සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ සහ උතුරු පළාත් සභාවේ වාර්තාවලින් පෙනේ.
මෙය ඉන්දීය ආගමික නායකයෙකු ශ්රී ලංකාවේ සංචාරය කළ පළමු අවස්ථාව නොවේ. 2024 අප්රේල් මාසයේදී අයෝධ්යාවේ ශ්රී රාම ජන්මභූමි තීර්ථ ක්ෂේත්ර භාරයේ භාණ්ඩාගාරික ස්වාමි ගෝවින්ද් දේව් ගිරි මහාරාජ් කොළඹදී පැවති “රාමායණ මංපෙත” ව්යාපෘතිය දියත් කිරීමට එක් විය. එමගින් ඉන්දියානුවන් අතර රාමායණ මංපෙත පිළිබඳ දැනුවත්භාවය වැඩි වී ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයන් හා වන්දනාකරුවන් සංඛ්යාව ඉහළ යනු ඇතැයි ඉන්දීය මහ කොමසාරිස්වරයා එහිදී ප්රකාශ කළේය. විස්තර මෙතනින්.
2024 මැයි මාසයේදී ඉන්දීය අධ්යාත්මික නායක ශ්රී ශ්රී රවි ශංකර් 150කට අධික පිරිසක් සමඟ ශ්රී ලංකාවට පැමිණ, මැයි 19 වැනිදා නුවරඑළියේ සීතා අම්මන් කෝවිලේ පැවති කුම්භාභිෂේක පූජාවට සහභාගි විය. විස්තර මෙතනින් සහ මෙතනින්.
ආගමික සබඳතා දෙපැත්තටම ගලා යයි. කෛලාශානන්ද් ගිරි පැමිණීමට පෙර, එම මාසයේම 4 සිට 11 දක්වා ඉන්දියාවේ ගුජරාට් ප්රාන්තයෙන් ගෙනා දේව්නිමෝරි බුද්ධ ධාතූන් වහන්සේලා, ගුජරාට් ආණ්ඩුකාරවරයා ප්රමුඛ නියෝජිත පිරිසක් සමඟ කොළඹ ගංගාරාමයේ මහජන වන්දනාව සඳහා තැන්පත් කෙරිණි. විස්තර මෙතනින්.
ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශය අනෙකුත් රටවල ආගමික කණ්ඩායම් සඳහා ද මීට පෙර සහාය දී ඇත. 2019 ජුනි 27 සිට ජූලි 1 දක්වා තායිලන්ත භික්ෂූන් වහන්සේලා 45 නමක් දින පහක වන්දනා සංචාරයක් සඳහා පැමිණි අවස්ථාවේ, තායි සංචාරක නියෝජිතයන් සඳහා සංවිධානය කළ දැනුවත් කිරීමේ (FAM) සංචාරයකට කාර්යාංශය සත්කාරකත්වය දුන්නේය. 2025 දෙසැම්බර් මාසයේදී දකුණු කොරියානු භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන්ගේ වන්දනා සංචාරයකට ශ්රී ලංකා සංචාරක ආයතනය සහ දකුණු කොරියාවේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සහාය දුන්හ. විස්තර මෙතනින් සහ මෙතනින්. ඒ අනුව, විදේශීය ආගමික නායකයන්ගේ සංචාර ආගමික හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීමට මෙන්ම ආගමික සංචාරක ව්යාපාරය ප්රවර්ධනය කිරීමට ද මීට පෙර යොදාගෙන ඇත.
මේ අතර, කෛලාශානන්ද් ගිරි ස්වාමීන්ගේ සංචාරය සම්බන්ධයෙන් අප ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයෙන් විමසා ඇති අතර, ලැබෙන තොරතුරු සමඟ මෙම ලිපිය යාවත්කාලීන කරන්නෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
නිගමනය (Conclusion) :
සමාජ මාධ්ය සටහන් මාස අටකට පෙර, 2026 පෙබරවාරි 23 සිට 27 දක්වා සිදු වූ නිල සංචාරයක ඡායාරූප මෑත “හදිසි” පැමිණීමක් ලෙස ඉදිරිපත් කරන බැවින් ඒවා නොමඟ යවන සුළු ය. ස්වාමි කෛලාශානන්ද් ගිරි පැමිණියේ ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ ආරාධනයෙන්, රාමායණ සහ ශිව වන්දනා මාර්ග ප්රවර්ධනය සඳහා ය.
ඔහු නිල සංචාරයක් කළ බව, නියෝජ්ය අමාත්යවරයා ඔහු පිළිගත් බව, අමාත්යවරයා රාත්රී භෝජන සංග්රහයක් පැවැත්වූ බව, පොලිස් නිලධාරීන් සිටි බව සහ ඔහු හෙලිකොප්ටරයකින් ගමන් කළ බව සත්ය ය. එහෙත් අමාත්යවරයා වන්දනා ගමනට එක් වූ බවට හෝ ඔහුට ඉහළ පෙළ රාජ්ය ගෞරව ලබා දුන් බවට සාක්ෂි හමු නොවූ අතර; හෙලිකොප්ටරය සහ එහි යොදාගැනීම ඇතුළු කරුණු පිළිබඳව අප ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයෙන් විමසා ඇති අතර, ලැබෙන තොරතුරු සමඟ මෙම ලිපිය යාවත්කාලීන කරන්නෙමු.


