Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රුසියාවේ විද්‍යාගාර සේවිකාවගේ මරණය සහ ප්ලේග් වසංගත කටකතාවල සැබෑ ඇතුළාන්තය!

    කරුණු පැහැදිලි කිරීම
    2026-10-10
    10 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ගෝලීය වසංගත පිළිබඳ මතකයන් මිනිස් සිත්වලින් මැකී යාමටත් මත්තෙන්, මෑතකදී රුසියාවේ සයිබීරියානු කලාපයෙන් ඇසුණු පුවතක් නිසා මුළු මහත් ලෝකයම නැවතත් දැඩි කම්පනයකට පත් විය. ඒ, රුසියාවේ ඉර්කුට්ස්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ගෝලීය වසංගත පිළිබඳ මතකයන් මිනිස් සිත්වලින් මැකී යාමටත් මත්තෙන්, මෑතකදී රුසියාවේ සයිබීරියානු කලාපයෙන් ඇසුණු පුවතක් නිසා මුළු මහත් ලෝකයම නැවතත් දැඩි කම්පනයකට පත් විය. ඒ, රුසියාවේ ඉර්කුට්ස්ක් ප්ලේග් මර්දන පර්යේෂණ ආයතනයේ සේවය කළ 28 හැවිරිදි තරුණ විද්‍යාගාර සේවිකාවකගේ හදිසි මරණයත් සමඟයි. වෛරසයකට වඩා භයානක, ඉතිහාසයේ මිලියන ගණනකගේ ජීවිත බිලිගත් “කළු මරණය” (Black Death) හෙවත් ප්ලේග් (Plague) රෝගය නැවතත් රුසියාවෙන් මතු වී ඇතැයි සමාජ මාධ්‍ය සහ ජාත්‍යන්තර පුවත් සේවා ඔස්සේ ලැව්ගින්නක් සේ කටකතා සහ අසත්‍ය තොරතුරු පැතිර යන්නට විය.

    පරීක්ෂණ නලයක් බිඳී යාම, රුසියානු දේශපාලනඥයන්ගේ පරස්පර ප්‍රකාශ සහ දැඩි නිරෝධායන සීමාවන් නිසා ඇතිවූ මෙම ආන්දෝලනාත්මක තත්ත්වයේ සැබෑ ඇතුළාන්තය කුමක්ද? මෙම ලිපිය හරහා අප බලාපොරොත්තු වන්නේ එම සිදුවීමේ වත්මන් සැබෑ තත්ත්වය, ඒ වටා ගෙතුණු අසත්‍ය ප්‍රචාරයන්ගේ සුලමුල මෙන්ම, ප්ලේග් රෝගයේ ඉතිහාසය සහ වර්තමානයේ ශ්‍රී ලංකාවට මෙයින් ඇති බලපෑම පිළිබඳව විමසා බැලීමටයි.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    "ප්ලේග් රෝගය" පිළිබඳ ෆේස්බුක් සටහනක තිරරුවක්: සයිබීරියාවේ පර්යේෂණාගාරයකින් මාරාන්තික වෛරසයක් ව්‍යාප්ත වූ බවට සඳහන් කර ඇත
    ෆේස්බුක් සටහනක තිරරුවක්: රුසියාවේ ප්ලේග් (Pneumonic Plague) අවදානම සහ නිරෝධායනය පිළිබඳව පැතිරෙන පුවතක්
    ෆේස්බුක් සටහනක තිරරුවක්: සයිබීරියානු සෞඛ්‍ය අර්බුදය සහ රුසියානු රසායනාගාර ගැන ප්‍රකාශ කරන සටහනක්

    FB|FB |FB

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    රුසියාවේ සයිබීරියානු කලාපයේ ඉර්කුට්ස්ක් ප්ලේග් මර්දන පර්යේෂණ ආයතනයේ (Irkutsk Anti Plague Research Institute) සිදුවූ ඩාර්යා ශිපිලෝවා (Darya Shipilova) නමැති 28 හැවිරිදි විද්‍යාගාර සේවිකාවගේ හදිසි මරණය පිළිබඳව මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය සහ වෛද්‍ය අංශ මඟින් කරුණු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා.

    පරීක්ෂණ නලයක් කැඩී යාමේ කතාව

    රුසියානු මාධ්‍ය සහ ප්‍රාදේශීය වාර්තා සඳහන් කරන පරිදි, සැප්තැම්බර් 25 වනදා මෙම විද්‍යාගාර සේවිකාව ආයතනය තුළ වැඩ කරමින් සිටියදී ප්ලේග් බැක්ටීරියාව (Yersinia pestis) අඩංගු පරීක්ෂණ නලයක් අත්වැරදීමකින් බිඳී ගොස් තිබෙනවා. ඉන් දින කිහිපයකට පසු, එනම් සැප්තැම්බර් 29 වනදා ඇය දැඩි ලෙස රෝගාතුර වී ෂෙලෙකොව් නගරයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඇය කෘතිම ශ්වසන උපකරණ මත තබා සිටියදී ඔක්තෝබර් 2 වනදා මියගොස් තිබේ.

    රුසියානු නිලධාරීන්ගේ පරස්පර ප්‍රකාශ

    මෙම සිදුවීමේදී රුසියානු බලධාරීන් මුලින් ප්‍රකාශ කළ තොරතුරු පසුව වෙනස් කිරීම නිසා ලෝකය පුරා සැකයක් මතු වී තිබුණා.

    විද්‍යාගාර සේවිකාව මියගිය “ඉර්කුට්ස්ක්” (Irkutsk) කලාපය පිහිටා ඇත්තේ බුරියාතියා (Buryatia) කලාපයට මායිම්ව (අසල්වැසි කලාපය) බැවින්, බුරියාතියා කලාපයේ ප්‍රධානියා වන ඇලෙක්සි ට්සිඩෙනොව් (Alexey Tsydenov) මුලින්ම සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඇය මිය යාමට පෙර බුරියාතියා ප්‍රදේශයේ සංචාරය කර තිබූ බවට සැක කෙරුණු නිසා, ඔහු තම ප්‍රදේශයේ වැසියන් දැනුවත් කිරීමට තම ටෙලිග්‍රෑම් ගිණුමේ එම සටහන තබා තිබුණි.

    නමුත් පැය කිහිපයකින් ඔහු එම සටහන වෙනස් කර ඇය “සමහරවිට“ ප්ලේග් රෝගයෙන් මිය යන්නට ඇතැයි සකස් කර තිබේ.

    කෙසේ වෙතත්, පසුව සිදුකළ පරීක්ෂණවලින් තහවුරු වූයේ ඇයට බුරියාතියා ප්‍රදේශයෙන් කිසිදු ආසාදනයක් සිදුවී නොමැති බව සහ එම කලාපයේ ප්ලේග් ව්‍යාප්තියක් නොමැති බව ත්ය.

    අවසානයේදී රුසියානු සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනය (Rospotrebnadzor) නිල වශයෙන් ප්‍රකාශ කළේ” ඇය මියගියේ “හඳුනානොගත් හේතුවක් මත හටගත් දැඩි නියුමෝනියාවකින්” (Pneumonia of unknown etiology) මිස ප්ලේග් රෝගයෙන් නොවන බවයි. එමෙන්ම විද්‍යාගාරය තුළ කිසිදු අනතුරක් සිදුවී නොමැති බව ද ඔවුන් සඳහන් කර තිබේ. ඒ බවට පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    දැඩි නිරෝධායන සහ ආරක්ෂණ පියවර

    රුසියාව මෙය සාමාන්‍ය නියුමෝනියා මරණයක් ලෙස හැඳින්වුවද, ඔවුන් ගත් ක්ෂණික ආරක්ෂණ පියවරයන් ඉතා දැඩි විය.

    ඇය ප්‍රතිකාර ලැබූ රෝහල සහ ප්ලේග් පර්යේෂණ ආයතනය වහාම වසා දමා තදබල නිරෝධායන (Quarantine) සීමාවන් පැනවීය.

    ඇය ආශ්‍රය කළ විද්‍යාගාර සේවකයින් 60කට වැඩි පිරිසක් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු 200කට ආසන්න පිරිසක් වහාම වෛද්‍ය නිරීක්ෂණයට ලක් කෙරුණි. ඔවුන් දිනපතා පරීක්ෂාවන්ට ලක් කළ අතර, කිහිප දෙනෙකුට කොවිඩ්-19 සහ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව (Rhinovirus) වැළඳී තිබුණ ද, ප්ලේග් රෝග ලක්ෂණ කිසිවෙකුගෙන් හමු නොවීය. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    දෙවන සේවකයෙකු පිළිබඳ සැකය

    Daily Mail වැනි ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රකාශ වූයේ, එම විද්‍යාගාරයේම සේවය කළ තවත් දෙවන සේවකයෙකුද මෙවැනිම හඳුනානොගත් නියුමෝනියා තත්ත්වයකින් රෝගාතුර වී ඇති බවයි.

    ජාත්‍යන්තර අවධානය සහ සැකය

    රුසියාවට මීට පෙරද, මෙවැනි භයානක විෂබීජ සහ බැක්ටීරියා විද්‍යාගාරවලින් පිටතට කාන්දු වීමේ සහ ඒවා වසාගැනීමේ ඉතිහාසයක්, උදාහරණයක් ලෙස 1979 සිදුවූ ස්වර්ඩ්ලොව්ස්ක් ඇන්ත්‍රැක්ස් කාන්දුවීම පවතින බැවින්, අමෙරිකානු අත්ලාන්තික් කවුන්සිලය (Atlantic Council) වැනි ජාත්‍යන්තර සංවිධාන ප්‍රකාශ කරන්නේ, රුසියාවේ නිල ප්‍රකාශ දෙස ලෝකය අවධානයෙන් සහ යම් සැකයකින් බැලිය යුතු බවයි

    කෙසේ වෙතත්, වත්මන් වෛද්‍ය විද්‍යාවට අනුව නියුමොනික් ප්ලේග් (Pneumonic Plague) රෝගය මුල් අවධියේදීම හඳුනාගතහොත් සාමාන්‍ය ඇන්ටිබයොටික් ඖෂධ (Antibiotics) මඟින් පහසුවෙන් සුව කළ හැකි බැවින්, කොවිඩ්-19 වැනි ගෝලීය වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහතික කර ඇත.

    2026 ඔක්තෝබර් දෙවන සතිය වන විට පවතින වත්මන් තත්ත්වය සහ නවතම වර්ධනයන්

    නිරෝධායන සීමාවන් ලිහිල් කිරීම සහ පරීක්ෂණ ප්‍රතිඵල

    මියගිය විද්‍යාගාර සේවිකාව වන ඩාර්යා ශිපිලෝවා ආශ්‍රය කළ 200කට ආසන්න පිරිසක් දැඩි වෛද්‍ය නිරීක්ෂණයට සහ නිරෝධායනයට ලක් කර තිබූ අතර, ඔවුන්ගෙන් සිදුකළ පරීක්ෂණ 5,000කට වැඩි ප්‍රමාණයකින් කිසිදු භයානක රෝග කාරකයක් (ප්ලේග් බැක්ටීරියාව) හමු වී නොමැත.

    රුසියාවේ සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනය (Rospotrebnadzor) ප්‍රකාශ කර ඇත්තේ, නිරෝධායනයේ සිටි පිරිසෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට සාර්ථකව මුදාහැර ඇති බවයි. එහි කිසිදු වසංගත අවදානමක් නොමැති බැවින් පූර්වාරක්ෂණ පියවරයන් ක්‍රමයෙන් අවසන් කරමින් පවතී.

    රුසියාවේ ස්ථාවරය සහ ක්‍රෙම්ලිනයේ ප්‍රකාශ

    රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින්ගේ නිල මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) නිල ප්‍රකාශයක් කරමින් කියා සිටියේ, සමාජ මාධ්‍ය සහ ජාත්‍යන්තර මාධ්‍ය මඟින් මෙහි දෙවන ආසාදිතයෙකු සිටින බවට පවසන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. කිසිදු වසංගත තත්ත්වයක් නොමැති බැවින් මාධ්‍ය වාර්තා දෙස අවධානයෙන් සහ ප්‍රවේශමෙන් බලන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි. මේ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අවදානම් තක්සේරුව

    ලෝක සෞඛ්‍ය සංවිධානය ((WHO) විසින් මෙම සිදුවීම පිළිබඳව සිදුකළ අවදානම් තක්සේරුවට අනුව,

    ඉර්කුට්ස්ක් කලාපයට: මධ්‍යම හෝ අවම (Moderate to Low) අවදානමක් පවතී.

    මුළු රුසියාවටම: ඉතා අවම (Low) අවදානමක් පවතී.

    ලෝකයට සහ යුරෝපා කලාපයට: කිසිදු බලපෑමක් නැති තරම් ඉතාම අවම මට්ටමක පවතී.

    ජාත්‍යන්තර දේශපාලන බලපෑම

    මෙම සිදුවීම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි කතාබහට ලක්ව ඇත.

    අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) ප්‍රකාශ කළේ ඇමරිකාව මේ පිළිබඳව ඉතා සෝදිසියෙන් සිටින බවත්, අනවශ්‍ය ලෙස බිය විය යුතු නැතත් රුසියාවේ විද්‍යාගාර ආරක්ෂණ ක්‍රමවේද ගැන දිගින් දිගටම විමසිලිමත් විය යුතු බවත්ය.

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) මාධ්‍ය වෙත පවසා ඇත්තේ රුසියාවට මෙවැනි ගැටලුවකදී උදව් කිරීමට ඇමරිකාව සූදානම් බව ත්, මේ පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් සමඟ ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්ය. කෙසේ වෙතත් ක්‍රෙම්ලිනය පවසන්නේ තවමත් එවැනි නිල දුරකථන ඇමතුමක සාකච්ඡාවක් සැලසුම් කර නොමැති බවයි. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    ප්ලේග් (Plague) යනු ?

    ප්ලේග් යනු Yersinia pestis නමැති බැක්ටීරියාවක් මඟින් බෝවන ඉතා බරපතල රෝගී තත්ත්වයකි. ඉතිහාසයේ ලෝකය පුරා මිලියන ගණනින් මිනිසුන් මියගිය “කළු මරණය” (Black Death) ලෙස හැඳින්වුණු මහා වසංගතයට හේතු වූයේ ද මෙම රෝගයයි.

    රෝගය බෝවන ආකාරය

    • මැක්කන් සහ සතුන් මඟින්: ප්‍රධාන වශයෙන්ම රෝගී මීයන්, ලේනුන් වැනි සතුන්ගේ ශරීරවල සිටින මැක්කන් (Fleas) මිනිසාට වැළඳීමෙන් සහ එම සතුන් සපා කෑමෙන් මෙය බෝවේ.

    • ශ්වසන බිඳිති මඟින්: ප්ලේග් වැළඳුණු රෝගියෙකු කැසීමේදී හෝ කිවිසුම් යැවීමේදී පිටවන කෙළ බිඳිති (Respiratory droplets) මඟින් තවත් මිනිසෙකුට සෘජුවම බෝවිය හැක.

    ප්ලේග් රෝගයේ ප්‍රධාන ආකාර 3ක් පවතී

    • බුබොනික් ප්ලේග් (Bubonic Plague): වඩාත්ම බහුල වර්ගයයි. මෙහිදී ශරීරයේ වසා ගැටිති (Lymph nodes) ඉදිමී, තදබල වේදනාවක් හටගනී (විශේෂයෙන් කිහිලි සහ ඉකිලි ප්‍රදේශවල).

    • සෙප්ටිසීමික් ප්ලේග් (Septicemic Plague): බැක්ටීරියාව සෘජුවම රුධිරයට ඇතුළු වීමෙන් හටගනී. මෙහිදී ශරීරයේ පටක මියගොස්, ඇඟිලි සහ තොල් කළු පැහැ ගැන්වීමට පටන් ගනී. කළු මරණය ලෙස හැඳින්වීමට හේතුව මෙයයි.

    • නියුමොනික් ප්ලේග් (Pneumonic Plague): භයානකම සහ වේගයෙන්ම පැතිරෙන ආකාරයයි. බැක්ටීරියාව පෙනහළුවලට ඇතුළු වීමෙන් දැඩි නියුමෝනියා තත්ත්වයක් ඇති කරයි. රුසියාවේ විද්‍යාගාර සේවිකාවට වැළඳී ඇතැයි සැක කෙරුණේ මෙම වර්ගයයි.

    රෝග ලක්ෂණ

    රෝග කාරකය ඇතුළු වී දින 1-7ත් අතර කාලයකදී මෙම ලක්ෂණ මතු වේ.

    • එකවරම අධික උණ ගැනීම සහ වෙව්ලීම.

    • දැඩි හිසරදය සහ ඇඟපත වේදනාව.

    • කැස්ස, පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුව (නියුමොනික් ප්ලේග් තත්ත්වයේදී).

    • වසා ගැටිති ඉදිමීම.

    ප්‍රතිකාර සහ සුවකිරීමේ හැකියාව

    ඉතිහාසයේ මෙන් නොව, වත්මන් වෛද්‍ය විද්‍යාවට අනුව ප්ලේග් රෝගය මුල් අවධියේදීම (පළමු පැය 24 ඇතුළත) හඳුනාගතහොත් සාමාන්‍ය ඇන්ටිබයොටික් (Antibiotics) ඖෂධ මඟින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය. එම නිසා වර්තමානයේ මෙයින් ගෝලීය වසංගතයක් ඇතිවීමේ අවදානම ඉතා අවම වේ.

    (මූලාශ්‍ර : ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) මඟින් නිකුත් කරන වසංගත තත්ත්වයන් පිළිබඳ වාර්තා. BBC Sinhala plague Russia report, ප්ලේග් රෝගයට ලබාදෙන ප්‍රතිකාර සහ ඇන්ටිබයොටික් පිළිබඳ විස්තර – CDC Plague Treatment, රුසියානු නිල සෞඛ්‍ය නිරීක්ෂණ ආයතනය: Rospotrebnadzor මඟින් නිකුත් කළ පරීක්ෂණ වාර්තා.)

    ප්ලේග් රෝගය ලංකාවේ ව්‍යාප්ත වී තිබේද?

    නැත, වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ ප්ලේග් රෝග ව්‍යාප්තියක් හෝ රෝගීන් වාර්තා වීමක් සිදු නොවේ.

    ශ්‍රී ලංකාවේ අවසන් වරට විශාල ප්ලේග් රෝගී තත්ත්වයක් වාර්තා වූයේ බ්‍රිතාන්‍ය පාලන සමයේ, එනම් 1914 වසරේදී කොළඹ වරාය ආශ්‍රිතවය.

    1994 වසරේදී ඉන්දියාවේ ප්ලේග් රෝගය පැතිර ගිය අවස්ථාවක, මුම්බායි සිට කොළඹ වරායට පැමිණි රුසියානු නැවක සිටි නැවියෙකුට ප්ලේග් රෝග ලක්ෂණ ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) විසින් හඳුනාගන්නා ලදී. එහිදී ලංකාවේ සෞඛ්‍ය අංශ වහාම ක්‍රියාත්මක වී, වරායේ මීයන් සහ මැක්කන් පරීක්ෂා කර දැඩි පියවර ගත් නිසා එය ලංකාව තුළ වසංගතයක් ලෙස පැතිර යාම සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකි විය.

    ප්ලේග් රෝගය සඳහා එන්නත් තිබේද?

    ඔව්, ප්ලේග් රෝගය සඳහා එන්නත් ඉතිහාසයේ සිටම නිපදවා ඇතත්, ඒවා දැනට සාමාන්‍ය ජනතාව සඳහා බහුලව භාවිත කරනු නොලැබේ.

    1897 තරම් ඈත අතීතයේදී ඉන්දියාවේදී පළමු ප්ලේග් එන්නත නිපදවන ලදී. පසුව අත්හිටුවන ලද සමහර එන්නත් මඟින් ‘බුබොනික් ප්ලේග්’ වර්ගය වැළැක්විය හැකි වුවත්, වඩාත්ම භයානක ‘නියුමොනික් ප්ලේග්’ (පෙනහළු ආශ්‍රිත) වර්ගයට එරෙහිව ඒවායේ සාර්ථකත්වය අඩු විය.

    රුසියාව සහ චීනය වැනි රටවල් සතුන්ගෙන් බෝවන ප්ලේග් අවදානම වැඩි කලාපවල ජීවත්වන ජනතාව සහ විද්‍යාගාර සේවකයන් සඳහා විශේෂිත දුර්වල කළ බැක්ටීරියා සහිත එන්නත් භාවිත කරයි.

    අමෙරිකානු CDC ආයතනය සඳහන් කරන පරිදි වර්තමානයේ සාමාන්‍ය ජනතාවට ලබාදීමට එන්නතක් විවෘත වෙළඳපොළේ නොමැත. නමුත් DNA සහ mRNA තාක්ෂණය ඔස්සේ වඩාත් ආරක්ෂිත, නියුමොනික් ප්ලේග් රෝගයටද ඔරොත්තු දෙන නව එන්නත් රැසක් මේ වන විට සායනික පරීක්ෂණ (Clinical Trials) මට්ටමේ පවතී.

    ප්ලේග් රෝගයෙන් බේරීමට දැනට සාමාන්‍ය ජනතාවට එන්නත් අවශ්‍ය නොවන්නේ, රෝගය වැළඳුණු වහාම ලබාදෙන ඇන්ටිබයොටික් ඖෂධ මඟින් එය 100%ක්ම පාහේ සුව කළ හැකි බැවිනි.

    මෑත වසරවලදීද ලෝකයේ විවිධ රටවලින් ප්ලේග් රෝගීන් සහ මරණ

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නවතම දත්ත වාර්තාවලට අනුව, ප්ලේග් රෝගය ලෝකයෙන් සම්පූර්ණයෙන්ම තුරන් වී නොමැති අතර මෑත වසරවලදීද ලෝකයේ විවිධ රටවලින් ප්ලේග් රෝගීන් සහ මරණ වාර්තා වී තිබේ.

    මෑතකාලීන රෝගීන් සහ මරණ සංඛ්‍යාව (2019 – 2025)

    ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නිකුත් කරන ලද නවතම ගෝලීය වාර්තාවලට අනුව, 2019 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ ලොව පුරා රටවල් 10කින් ප්ලේග් රෝගය වැළඳුණු බවට සැක කෙරෙන රෝගීන් 3,847 දෙනෙකු වාර්තා වී තිබේ.

    එම කාල සීමාව තුළ රෝගීන් 423 දෙනෙකු ප්ලේග් රෝගය හේතුවෙන් මියගොස් තිබේ.

    වර්තමානයේ ප්ලේග් රෝගය වැළඳෙන අයගෙන් මියයන්නේ 11%ක් වැනි ප්‍රතිශතයකි. අතීතයේදී ප්‍රතිකාර නොමැතිව මෙය 30% සිට 100% දක්වා ඉහළ මට්ටමක පැවතුණි.

    මෑතකදීම රෝගීන් වාර්තා වූ ප්‍රධාන රටවල්

    මෑත කාලයේදී ලෝකයේ වැඩිම ප්ලේග් රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ අප්‍රිකානු කලාපයේ ගම්මාන සහ කෘෂිකාර්මික ප්‍රදේශවලිනි.

    කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) සහ මැඩගස්කරය (Madagascar): මෑත වසරවල ලෝකයෙන් වාර්තා වූ ප්ලේග් රෝගීන්ගෙන් බහුතරයක්ම වාර්තා වී ඇත්තේ මෙම රටවල් දෙකෙනි.

    අමෙරිකා එක්සත් ජනපදය: අමෙරිකාවේ ග්‍රාමීය බටහිර ප්‍රදේශවලින් (New Mexico, Arizona වැනි) වසරකට සාමාන්‍යයෙන් ප්ලේග් රෝගීන් 5 ත් 7 ත් අතර සංඛ්‍යාවක් අඛණ්ඩව වාර්තා වේ.

    ආසියානු කලාපය: චීනය, මොන්ගෝලියාව වැනි රටවල වන සතුන් (මීයන්, බිම් ලේනුන්) ආශ්‍රිතව බැක්ටීරියාව පවතින බැවින්, සතුන් දඩයම් කරන හෝ අනුභව කරන මිනිසුන්ට ඉඳහිට රෝගය වැළඳුණු අවස්ථා මෑතකදී වාර්තා වී ඇත.

    වර්තමානයේ මරණ අඩු වීමට හේතුව

    අතීතයේ මිලියන ගණනින් මිනිසුන් මියගියද, වර්තමානයේ මරණ සංඛ්‍යාව වසරකට සියයකටත් වඩා අඩු මට්ටමක පවතින්නේ රෝගය වැළඳී පළමු පැය 24 ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කරන සාමාන්‍ය ඇන්ටිබයොටික් (Antibiotics) ඖෂධ ලබාදීම මඟින් රෝගියා සම්පූර්ණයෙන්ම සුවපත් කළ හැකි බැවිනි. දැනට සිදුවන මරණ බහුතරයකටම හේතුව වන්නේ දුරස්ථ ගම්මානවල වෙසෙන රෝගීන්ට නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වීමයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින්, මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අතීතයේදී මිනිස් ඉතිහාසයම උඩුයටිකුරු කළ ප්ලේග් වැනි රෝගයක් පිළිබඳව පුවතක් ඇසුණු සැනින් සමාජය තුළ අනවශ්‍ය බියක් හටගැනීම සාමාන්‍ය ස්වභාවයකි. සයිබීරියාවේ සිදුවූ මෙම අවාසනාවන්ත මරණය වටා රුසියානු නිලධාරීන්ගේ ප්‍රකාශයන්හි තිබූ පරස්පරතාවන් නිසා ජාත්‍යන්තරය තුළ සැකයක් මතු වුවද, වත්මන් වෛද්‍ය වාර්තා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇත. අතීතයේ මෙන් නොව, නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමඟ ප්ලේග් යනු සරල ඇන්ටිබයොටික් ඖෂධ මඟින් සුව කළ හැකි රෝගයකි.

    එබැවින්, සයිබීරියානු සිදුවීමෙන් ගෝලීය හෝ ලංකාවට වසංගත අවදානමක් නොමැති බව පැහැදිලිය. මෙවැනි සිදුවීම්වලින් අප තේරුම් ගත යුත්තේ, භයානක රෝගී තත්ත්වයන්ට වඩා වේගයෙන් සමාජ මාධ්‍ය හරහා පැතිර යන “අසත්‍ය තොරතුරු නමැති වසංගතය” පාලනය කරමින්, සැමවිටම නිල වෛද්‍ය මූලාශ්‍ර කෙරෙහි පමණක් විශ්වාසය තැබීමේ වැදගත්කමයි.

    Result Stamp

    Title: රුසියාවේ විද්‍යාගාර සේවිකාවගේ මරණය සහ ප්ලේග් වසංගත කටකතාවල සැබෑ ඇතුළාන්තය!

    Written By: Pavithra Sandamali

    Result: Insight

    සැක සහිත වීඩියෝ සහ රූප WhatsApp හරහා අපට එවා සත්‍යාපනය කරගන්න යැයි දැනුම් දෙන සටහන, Fact Crescendo ශ්‍රී ලංකා WhatsApp අංකය සහිතව
    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-10-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.