Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සර්ප දෂ්ටනයකදී 108 ක්ෂණික අංකය අමතා නිවසේදීම එන්නත ලබාගත හැකිද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-16
    1 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වෙනත් රටවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන සමාජය නොමග යවන සුළු ආකාරයේ අසත්‍ය තොරතුරු ඇතැම් අවස්ථාවල මෙරට සමාජ මාධ්‍ය වේකාවල ද මෙරටට අදාළ බව කියමින් හුවමාරු වන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    වෙනත් රටවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන සමාජය නොමග යවන සුළු ආකාරයේ අසත්‍ය තොරතුරු ඇතැම් අවස්ථාවල මෙරට සමාජ මාධ්‍ය වේකාවල ද මෙරටට අදාළ බව කියමින් හුවමාරු වන ආකාරයක් නිරීක්ෂණය කළ හැකියි. මේ එලෙස හුවමාරු වන පණිවුඩයක් පිළිබඳව අප සිදුකළ විමසා බැලීමක්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    සර්ප දෂ්ටනය සඳහා ලබාදෙන එන්නතක ඡායාරූපයක් සහිතව ඉංග්‍රීසි සහ සිංහලෙන් සටහන් සහිතව පහත පණිවුඩය Whatsapp ඔස්සේ හුවාමරු වෙමින් තිබේ.

    ඉංග්‍රීසි සටහනේ පරිවර්තනය අනුව ඡායාරූපයේ දැක්වෙන එන්නත 108 ගිලන් රථ සේවාව මගින් ද ලබාගත හැකි බවත් යම් අයෙකුට සර්පයෙකු දෂ්ට කළ හොත් 108 අංකයට ඇමතුමක් ලබා දෙන ලෙසත් එහි සඳහන් ය. එවිට ගිලන් රථය දෂ්ටනයට ලක් වූ පුද්ගලයාගේ නිවසටම පැමිණ අවශ්‍ය එන්නත ලබා දීම හෝ ප්‍රථමාධාර දීම සිදුකරන බව ද එහි සඳහන් වේ.

    හදිසි අවස්ථාවකදී ජීවිතයක් බේරා ගැනීමට ප්‍රයෝජනවත් විය හැකි මෙම තොරතුර සියලු සමූහවලට බෙදාහරින ලෙස ද සඳහන් වේ.

    සර්පයෙක් දෂ්ට කළ හොත් 108 අමතා ගිලන් රථය දැනුවත් කරන ලෙසත් ඔවුන් සතුව එම එන්නත තිබෙන බවත් සිංහල භාෂාවෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

    සර්ප දෂ්ටනයකදී 108 ක්ෂණික අංකය අමතා එන්නත ලබාගැනීම පිළිබඳ සමාජ මාධ්‍ය සටහන සහ වෛද්‍ය හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය

    Archived Link

    මෙම සටහන් WhatsApp ඔස්සේ ද බහුලව හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    සර්ප දෂ්ටනයකදී 108 ක්ෂණික අංකය අමතා එන්නත ලබාගැනීම පිළිබඳ සමාජ මාධ්‍ය සටහන සහ වෛද්‍ය හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය
    සර්ප දෂ්ටනයකදී 108 ක්ෂණික අංකය අමතා එන්නත ලබාගැනීම පිළිබඳ සමාජ මාධ්‍ය සටහන සහ වෛද්‍ය හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය

    මෙහි සත්‍යතාව විමසා පාඨකයින්ගෙන ලද ඉල්ලීම් ද සලකා අප මෙහි නිර්වද්‍යතාව විමසා බැලීමට පියවර ගත්තා.

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    ශ්‍රී ලංකාවේ නිල හදිසි ගිලන් රථ සේවාව 1990 සුවසැරියයි.

    මූලිකවම Whatsapp පණිවුඩයේ සඳහන් 108 අමතා ගිලන් රථයක් ගෙන්වා ගන්න ලෙසට වන උපදෙස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදාළ නොවන්නක් බව සඳහන් කළ යුතු ය. මන් ද108 ක්ෂණික දුරකතන අංකය ශ්‍රී ලංකාවේ ප්‍රධාන හෝ නිල ක්ෂණික ඇමතුම් අංකයක් ලෙස ක්‍රියාත්මක නොවන බැවිනි. තව ද මෙරට නිල හදිසි ගිලන් රථ සේවාව වන්නේ 1990 සුවසැරියයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ හදිසි ගිලන් රථ සේවාව සඳහා දක්වා ඇත්තේ 1990 සුවසැරිය අංකයයි. එහි සේවාව පූර්ව රෝහල් හදිසි සත්කාර සේවාවක් වන අතර තව ද සුවසැරිය ගිලන් රථයේ සර්ප විෂ නාශක එන්නතක් තිබෙන බව හෝ එය රෝගියාට නිවසේදී ලබාදෙන බවට 1990 සුවසැරිය වෙබ් පිටුවේ කිසිදු තැනක සඳහන්ව නොමැත.

    108 කුමන රටක ගිලන් රථ සේවා අංකයක් ද?

    108 දුරකථන අංකය ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක හදිසි ගිලන් රථ සේවාව සඳහා භාවිත කරන අංකයක් බව අප තවදුරටත් සිදු කළ කරුණු පරීක්ෂාවේදී තහවුරු වුණා. ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ හදිසි වෛද්‍ය සේවාව යටතේ සර්ප දෂ්ටන ඇතුළු හදිසි වෛද්‍ය අවස්ථා සඳහා 108 ගිලන් රථ සේවාව ක්‍රියාත්මක අතර ඒ පිළිබඳ තොරතුරු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ මෙලෙස සඳහන්ව ඇත. තවත් විස්තර මෙතැනින්

    මේ අතර මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් අතරේ හුවමාරු වන 108 ගිලන් රථ සේවාව සඳහන් පණිවුඩය ඉන්දියාවේ ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා නිරීක්ෂණය කිරීමේදී ගම්‍ය වේ. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් එම වාර්තා පවසන්නේ, 108 ගිලන් රථ සේවාව ඇමතීමෙන් නිවසට පැමිණ සර්ප විෂ නාශක එන්නත ලබාදෙන බවට පැතිරෙන ප්‍රකාශ අසත්‍ය බවයි. තව ද ඒම වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ, සර්ප දෂ්ටනයකදී රෝගියාට කඩිනම් ප්‍රථමාධාර ලබාදී, අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලකට රැගෙන යාම ගිලන් රථ සේවාවේ කාර්යභාරය බවයි. විස්තර මෙතැනින්

    සුව සැරිය ගිලන් රථ සේවය

    Whatsapp ඔස්සේ හුවමාරු වන සටහනේ සඳහන් පරිදි 108 මෙරට ගිලන් රථ සේවාව නොවුණත් සර්ප දෂ්ටනයකින් පසු 1990 සුවසැරිය යටතේ එවැනි ප්‍රතිකාර කිරීමක් සිදු කරන්නේ දැයි අප සුව සැරිය ගිලන් රථ සේවයෙන් විමසීමක් කළා. එහි ප්‍රකශිකාවක සඳහන් කළේ, සතෙක් දෂ්ට කිරීමෙන් පසු හදිසි ත්තත්වයක් තිබුණ හොත්, එම ස්ථානයට ගිලන් රථයක් යොමු කිරීම සිදු කරන බවයි. ඔ්නෑම රෝගියෙකු සම්බන්ධයෙන් ගිලන් රථ කාර්ය මණ්ඩලය අදාළ ස්ථානයට ගොස් රෝගියා පරීක්ෂා කර බලා වෛද්‍යවරයා සම්බන්ධ කර ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකරන නමුත් සමාජ මාධ්‍යයේ සංසරණය වන ආකරයේ එන්නත් ලබාදීමක් සිදු නොකරන බව ඇය සඳහන් කළා.

    ඡායාරූපයේ දැක්වෙන එන්නත කුමක් ද?

    සර්ප දෂ්ටනයකදී 108 ක්ෂණික අංකය අමතා එන්නත ලබාගැනීම පිළිබඳ සමාජ මාධ්‍ය සටහන සහ වෛද්‍ය හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය

    ඡායාරූපයේ දැක්වෙන පෙට්ටියේ සහ කුප්පියේ “VINS” (VINS Bioproducts Limited) සමාගමේ ලාංඡනය සහ නාමය සඳහන් වන අතර, එය ඉන්දියාවේ නිෂ්පාදිත එන්නතකි. මෙම ඖෂධයේ සාමාන්‍යයෙන් සර්ප විෂට එරෙහිව නිපදවූ විශේෂ ප්‍රතිදේහ කොටස් අඩංගු වේ. ඒවා රුධිරයේ පවතින විෂ සංඝටක සමඟ බැඳී ඒවායේ විෂකාරී ක්‍රියාකාරිත්වය උදාසීන කිරීමට උපකාරී වේ. මෙය සර්ප දෂ්ටනයකින් පසු ඇතිවිය හැකි රුධිර කැටිගැසීමේ ගැටලු, අංශභාගය සහ අනෙකුත් බරපතළ විෂ බලපෑම් පාලනය කිරීම සඳහා භාවිත කෙරේ. මෙරට ප්‍රචලිත විෂ සහිත සර්පයන් වන නාගයා, තිත් පොළඟා, කරවැලා වැනි සර්පයන්ගේ විස ශරීරගත වූ විට ප්‍රතිකාර සඳහා මෙම ප්‍රතිවිෂ එන්නත භාවිත කරනු ලබයි. ශ්‍රී ලංකාවේ සිටින සියලුම විෂ සහිත සර්පයන්ගේ විෂ සඳහා මෙම ඖෂධය ප්‍රයෝජනවත් නොවේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සර්ප දෂ්ටන කළමනාකරණ මාර්ගෝපදේශ අනුව, ඉන්දියානු polyvalent antivenom භාවිතය ඇතැම් සර්ප විෂ සඳහා පමණක් සීමා වන අතර, උදාහරණයක් ලෙස hump-nosed pit viper දෂ්ටනයකදී antivenom ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව එහි සඳහන් වේ. මෙම ඖෂධය අභ්‍යන්තර නහර මාර්ගයෙන් (Intravenous) ලබා දෙන අතර, අසාත්මිකතා ඇති වීමේ අවදානමක් පවතින බැවින් එය රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පමණක් ලබා දිය යුතු ප්‍රබල ඖෂධයකි. තවද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සර්ප දෂ්ටන කළමනාකරණ මාර්ගෝපදේශ අනුව මෙය වෛද්‍ය අධීක්ෂණය යටතේ ලබාදිය යුතු ඖෂධයකි. එය ලබාදීමෙන් පසු ඇතැම් පුද්ගලයන්ට දරුණු අසාත්මිකතා ඇතිවිය හැකි බැවින්, ඒවා හඳුනාගෙන වහා ප්‍රතිකාර කළ හැකි සෞඛ්‍ය පහසුකම් සහිත ස්ථානයකදී ලබාදීම වැදගත්ය. එමෙන්ම, සර්ප දෂ්ටනයක් සිදුවූ පමණින් සෑම රෝගියකුටම antivenom ලබාදීම අවශ්‍ය නොවේ; එය අවශ්‍ය ද යන්න වෛද්‍යවරයා රෝග ලක්ෂණ සහ සායනික පරීක්ෂණ මත තීරණය කරනු ලබයි.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සර්ප දෂ්ටන පිළිබඳ විශේෂඥ කමිටුවේ ලේකම් සබරගමුව වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය නාමල් රත්නායක

    Whatsapp ඔස්සේ හුවාමරු වන සටහන පිළිබඳව අප ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සර්ප දෂ්ටන පිළිබඳ විශේෂඥ කමිටුවේ ලේකම් සබරගමුව වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය නාමල් රත්නායක මහතාගෙන් ද විමසීමක් කළා. වෛද්‍යවරයා සඳහන් කළේ, සර්ප දෂ්ටනයකින් පසු ගිලන් රථයකින් නිවසට පැමිණ විෂ නාශක එන්නත් ලබාදීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නොවන බවයි. ආසාත්මිකතා ඇති වන බැවින් සර්ප දෂ්ටනයකින් පසු වෛද්‍ය අධීකෂණය යටතේ රෝගියාට ප්‍රතිකාර සිදුකළ යුතු බවත් දැනට අනුමැතිය ඇත්තේ, රෝහල්වලදී ප්‍රතිකාර කිරීම සඳහා පමණක් බවත් වෛද්‍යවරයා අවධාරණය කළා. මේ අතර Whatsapp පණිවුඩයේ දැක්වෙන Snake Venom Antiserum I.P. එන්නත පිළිබඳව ද අප වෛද්‍යවරයාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, එම එන්නත සර්ප විශේෂ හතරක විෂ සඳහා පමණක් ලබා දෙන බවත් අනිවාර්යයෙන්ම එය රෝහලක් තුළදී පමණක් ලබා දෙන බවයි. තව ද සර්ප දෂ්ටනයක් සිදුවූ පුද්ගලයෙකු වහාම ප්‍රතිකාර සඳහා ළඟම පිහිටි රෝහලට රැගෙන යාම සිදුකළ යුතු බව ද වෛද්‍යවරයා කියා සිටියා.

    සර්ප දෂ්ටනයකදී මූලිකවම ක්‍රියා කළ යුත්තේ කෙසේ ද?

    සර්ප දෂ්ටනයකදී රෝගියා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව පුවත්පත් ලිපි , රූපවාහිනී සාකච්ඡා ඔස්සේ නිරතුරුවම ජනතාව දැනුවත් කරේ.

    මේ සම්බන්ධයෙන් මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය කෝලිත සෙල්ලහේවා උපුටා දක්වමින් පළ කරන ලද පුවත් වාර්තාවක දැක්වෙන්නේ, සර්ප දෂ්ටනයකින් පසු තුවාලය සේදීම, විෂ ඉරීම, කැපුම් සිදු කිරීම, තදින් වෙලීම හෝ අත් බෙහෙත් ලබාදිම සිදු නොකළ යුතු බවයි. වෛද්‍ය උපදේශය වන්නේ, රෝගියා වහාම ළඟම පිහිටි රෝහල වෙත යොමු කිරීමයි. ප්‍රතිකාර ලබාදීම සඳහා රෝගියාගේ රෝග ලක්ෂණයන් මත සිදුකරන අතර පුහුණු වෛද්‍ය විශේෂඥයින් නිගමනය කරන බැවින් සර්පයින් ගෙන එම කිසිසේත් අවශ්‍ය නොවන බව එහි වැඩිදුරටත් සඳහන් ය. ඕනෑම විෂ සහිත සර්ප දෂ්ඨනයක් වුවද ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ප්‍රතිවිෂ (Antivenom) රෝහල් සතුව පවතින බැවින්, කිසිදු ආකාරයක බිය නොවිය යුතු බව ද එහි සඳහන් ය.

    මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සර්ප දෂ්ටන පිළිබඳ විශේෂඥ කමිටුව, මෙරට සර්ප දෂ්ටන වැළැක්වීම, ප්‍රතිකාර කළමනාකරණය සහ ඒ සම්බන්ධ මහජන දැනුවත් කිරීම සඳහා උපදෙස් හා මාර්ගෝපදේශ සපයන විශේෂඥ කමිටුවකි. එහි ලේකම් සබරගමුව වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය නාමල් රත්නායක මහතා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් අදාළ කමිටුවේ කාර්යභාරය මෙන්ම සර්ප දෂ්ටනයකින් පසු රෝගියා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සහ සර්ප දෂ්ටනය සම්බන්ධයෙන් සමාජයේ පවතින මිත්‍යා මත පිළිබඳව සුවිශේෂ් පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා. පැහැදිලි කිරීම සහිත වීඩියෝව පහතින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ, සර්ප දෂ්ටනයක් සිදු වූ විට 108 අංකයට ඇමතීමෙන් ගිලන් රථයක් පැමිණ Snake Venom Antiserum I.P. ඖෂධය ලබාදෙන බවට WhatsApp ඔස්සේ සංසරණය වන පණිවිඩයේ ප්‍රකාශය අසත්‍යක් බවයි.

    ශ්‍රී ලංකාවේ දිවයින පුරා ක්‍රියාත්මක හදිසි ගිලන් රථ සේවය වන්නේ 1990 සුවසැරිය වන අතර, 108 යනු ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක හදිසි ගිලන් රථ සේවා සඳහා භාවිත වන අංකයකි. සුවසැරිය සේවය මගින් සර්ප දෂ්ටනයකට ලක්වූ හදිසි රෝගීන්ට ද සේවය සපයන නමුත්, රෝගියාගේ නිවසට පැමිණ Snake Venom Antiserum I.P. ලබාදෙන සේවාවක් ක්‍රියාත්මක නොවේ.

    ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සර්ප දෂ්ටන පිළිබඳ විශේෂඥ කමිටුවේ මාර්ගෝපදේශ සහ වෛද්‍ය උපදේශය වන්නේ, සර්ප දෂ්ටනයකදී රෝගියාට කඩිනමින් රෝහල් ප්‍රතිකාර ලබාදීම වැදගත් බවයි. සර්ප විෂ නාශක ප්‍රතිවිෂ ඇතුළු ප්‍රතිකාර රෝගියාගේ තත්ත්වය ඇගයීමෙන් පසු සුදුසු වෛද්‍ය අධීක්ෂණය සහිත සෞඛ්‍ය සේවා පරිසරයකදී ලබාදිය යුතු වේ.

    කරුණු විමර්ශන ප්‍රතිඵල මුද්‍රාව

    Title: සර්ප දෂ්ටනයකදී 108 ක්ෂණික අංකය අමතා නිවසේදීම එන්නත ලබාගත හැකිද?

    Written By: Sagarika Chathumali

    Result: False

    ලේඛකයාගේ ඡායාරූපය
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2026-10-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.