දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් 2026 ඔක්තෝබර් 16 වනදා සිට කොළඹ විහාරමහාදේවි උද්යානයේ සත්යග්රහයක නිරතවුණා. පූජ්ය බලන්ගොඩ කස්සප හිමියන් මෙම විරෝධතාවේ ප්රමුඛයෙකි.
මේ අතර, කස්සප හිමියන් “ජනපතිගේ හිස හත් කඩකට වෙන් කරනවා” යැයි තර්ජනය කළ බව කියමින් කෙටි වීඩියෝවක් සමාජ මාධ්යය ඔස්සේ සංසරණය වුණා. එහි නිර්වද්යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
2026 ඔක්තෝබර් 21 වනදා පළ වූ තත්පර 16ක රීල් වීඩියෝවක “ජනපතිගේ හිස හත් කඩකට වෙන් කරනවා” සහ “බලන්ගොඩ කස්සප ජනපතිට තර්ජන කරයි” යන වාක්ය සටහන් කර ඇත. එක් පිටපතක “මූට නටන්න දුන්නා දැන්නම් හොඳටම ඇති” යන සටහන ද වේ.
තවත් සටහනක “කස්සප හිමිගෙන් ජනපතිට ජීවිත තර්ජන” යන මාතෘකාව යටතේ එම වීඩියෝ කොටසම බෙදා හැර තිබුණේ මෙලෙසින්.

විමර්ශනයට ලක් කළ ප්රකාශය :
පූජ්ය බලන්ගොඩ කස්සප හිමියන් ජනාධිපතිවරයාගේ හිස හත් කඩකට වෙන් කරන බවට තර්ජනය කළා ද යන්න.
Fact Check (කරුණු පරීක්ෂාව) :
වීඩියෝව කස්සප හිමියන්ගේම පිටුවේ පළ වූ විනාඩි 4ක සාකච්ඡාවකින් ගත් කොටසකි
කස්සප හිමියන් විසින් සත්ය වශයෙන් ම මෙලෙසින් ප්රකාශයක් කර තිබුණේ ද, යන්න පරීක්ෂා කිරීමේදී “Ven Balangoda Kassapa” ෆේස්බුක් පිටුවේ 2026 ඔක්තෝබර් 21 වනදා පෙරවරු 10.42ට පළ කළ විනාඩි 4 තත්පර 43ක සම්පූර්ණ වීඩියෝවක් ඇති බව අපට සොයා ගත හැකි විය. එම මුල් වීඩියෝව පහතින්.
සම්පූර්ණ වීඩියෝවට අනුව කස්සප හිමියන් “හිස හත් කඩකට” යන කියමන භාවිත කරන්නේ ශාසනයට වරදක් කරන්නෙකුට දෙවියන්ගෙන් ලැබිය හැකි විපාකයක් ලෙසය. තමන් විසින් එලෙසින් සිදු කරන බවක් එහිදී හිමියන් විසින් ප්රකාශයක් නොකරයි. නමුත් එහි මුල් වීඩියෝවෙන් කොටසක් පමණක් ගෙන එනම්, ශාසනයට වරදක් කරන්නෙකුට දෙවියන්ගෙන් ලැබිය හැකි විපාකයක් ලෙස කියන කොටස ඉවත් කොට කස්සප හිමියන් විසින් ජනපතිට තර්ජනය කරන බවට හඟවමින් ඉහත වීඩියෝව සංස්කරණය කර තිබේ.
මෙම සිදුවීමට අදාළව උන්වහන්සේ සිදු කරන සම්පූර්ණ ප්රකාශය පහතින්.
“ඒ වගේම අපි මේ දේශපාලකයට කියනවා ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න ඕන, එහෙම නැත්නම් තමුන් වහන්සේ ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න ඕන, මොකද අපි මේ ස්ථානයට වැඩම කළේ ඥානසාර හිමියන් නිදහස් කරගන්න මිසක් ජයග්රහණයකින් තොරව ආපසු යන්න නෙවෙයි.
ඒ වගේම තමයි අපි විවිධාකාර දෙවි දේවතාවුන්ට සහ අමනුෂ්යයන්ට මේ කාරණය කියලා තියෙනවා. මම දැක්කා ඇතැම් නිරාගමික හා බෞද්ධ විරෝධී අය අපේ ක්රියාකාරකම් විවේචනය කරලා තිබුණා, ඒ අය ඇත්ත දන්නේ නැහැ. ලොව්තුරා බුදුපියාණන් වහන්සේලාගේ ශ්රාවකයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සතර වරම් දෙවිවරුන්ගේ ප්රධාන වෙසමුණි රජතුමා ප්රකාශ කර තියෙනවා – යම් යක්ෂයෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයෙකුට, භික්ෂුවකට, භික්ෂුණියකට හෝ උපාසක උපාසිකාවකට හිංසා කරනවා නම් ඔහුගේ ඔලුව හත්කඩකට පලන බව.
මේ ආටානාටිය සූත්රය පොඩ්ඩක් ජනාධිපතිතුමාත්, ඒ වගේම මන්ත්රී මණ්ඩලයේ 159 දෙනාත් බලන්න ඕනේ. ඒකේ පැහැදිලිව සඳහන් වෙනවා.
ඒ නිසා ජනාධිපතිතුමා තමුන් වහන්සේගේ හිස හත්කඩකට පලාගන්නේ නැතුව ඥානසාර හාමුදුරුවන්ව නිදහස් කරන්න ඕන. මේ තත්ත්වය එන්න එන්න බරපතල වෙනවා නම්, අපේ ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරගන්න අවශ්ය නීතිමය හා ව්යවස්ථාපිත ප්රතිපාදන තිබියදීත් එය කරන්නේ නැත්නම්, තමුන්ව ඉවත් කරලා බුද්ධ ශාසනය ආරක්ෂා කරන ජනාධිපතිවරයෙක් පත් කරගන්න සිද්ධ වෙනවා. හැබැයි අපි නැවතත් මතක් කරනවා, අපි ආවේ ආණ්ඩු පෙරළන්නවත් ජනාධිපතිතුමාව වෙනස් කරන්නවත් නෙවෙයි, අපේ සහෝදර ඥානසාර හාමුදුරුවන්ව නිදහස් කරගන්නයි”
“හිස සත් කඩකට පැලේවා” යන්න බෞද්ධ සාහිත්යයේ එන පැරණි ශාප වචනයකි. සූත්ර නිපාතයේ පාරායන වග්ගයේ වත්ථුගාථාවල සඳහන් වන පරිදි, යාචක බ්රාහ්මණයෙකු බාවරී තවුසා වෙත පැමිණ මුදල් ඉල්ලූ විට, තවුසා තමා සතුව ධනය නොමැති බව පැවසීම නිසා එම බ්රාහ්මණයා බාවරී තවුසාට “අදින් පසුව සත්වන දින තොපගේ මුදුනත කැබලිව සතකට පිපිරී යේවා” යනුවෙන් සාප කර ඇති බවට සඳහන් වේ. කාශ්යප හිමියන් විසින් ගෙන හැර දක්වන්නේ මෙයයි.
මුල් වීඩියෝව හා සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන මුල් වීඩියෝවෙන් කොසක් පමණක් පළ කරමින් නොමග යන ලෙස පළ කර ඇති වීඩියෝවේ සංසන්දනය පහතින්.
ජනාධිපතිවරයාට එරෙහිව කස්සප හිමියන් කළ අනෙක් ප්රකාශ සත්ය වේ
මෙම වීඩියෝව සංස්කරණය කොට නොමග යන අන්දමින් පළ කළ ද, කස්සප හිමියන් ජනාධිපතිවරයාට එරෙහිව දැඩි ප්රකාශ කර නැතැයි එයින් අදහස් නොවේ. ඔක්තෝබර් 18 වනදා උන්වහන්සේ විසින් ඥානසාර හිමියන්ට සමාව නොදුන්නොත් වෙනත් ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමට සිදු විය හැකි බව පවසා ඇති නමුත් රජය පෙරළීමට අදහසක් නැති බවත්, එකම ඉල්ලීම ඥානසාර හිමියන්ට සමාව දීම බවත් පවසා තිබුණා.
ඔක්තෝබර් 22 වනදා උන්වහන්සේ, ඉල්ලා අස් වන්න හෝ ඥානසාර හිමියන්ට සමාව දෙන්න යැයි ජනාධිපතිවරයාට අවසන් නිවේදනයක් දුන් බව ත්,ජනාධිපතිවරයා ඉවත් කිරීමට සිංහලයන් ජීවිත පූජා කිරීමට සූදානම් විය යුතු බව උන්වහන්සේ පවසා තිබුණා.
ඔක්තෝබර් 17 රාත්රියේ උද්යානයේ ඇති වූ ආතතිකාරී තත්ත්වයකින් පසු කස්සප හිමියන් රෝහල් ගත කළ අතර, පොලිසිය පහර දුන් බවට විරෝධතාකරුවන් චෝදනා කළ බව පුවත් පත් වාර්තා පෙන්වා දී තිබේ. නමුත් එම කරුණු පොලිස් මාධ්ය ප්රකාශක විසින් ප්රතික්ෂේප කර තිබුණා. මේ පිළිබඳව තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
රජය සිය ස්ථාවරය පවසා ඇත
ජනාධිපතිතුමා ඔක්තෝබර් 18 වනදා බදුල්ලේදී, අධිකරණය දෙන තීන්දුවලට රජය ගරු කරන බවත්, ඉන් ඔබ්බට තීරණ බලාපොරොත්තු නොවිය යුතු බවත් පවසා ඇති බව මෙතනින් වාර්තා විය. සමාව අයිතියක් ලෙස නොසලකන බවත්, නිල සමාව ඉල්ලීමක් ලැබී නැති බවත් ජනාධිපති නීති අධ්යක්ෂ ඩබ්. එම්. විජේබණ්ඩාර පැවසූ බව මෙතනින් වාර්තා විය.
ඥානසාර හිමියන්ගේ පාගමනට සම්බන්ධ AI ඡායාරූපයක් ගැන අපගේ වාර්තාවක් පහතින්.
ඥානසාර හිමිගේ නිදහස ඉල්ලා යන පා ගමනේ විශාල ජනකායක් පෙන්වන ඡායාරූපය, AI නිර්මාණයකි!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion):
ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂුන් පිරිසක් විහාර මහ දේවි උද්යානය ඉදිරිපිට සිදු කරන විරෝධතාවයේදී එහි සිටි කස්සප හිමි නම විසින් ඔවුන් “ජනපතිගේ හිස හත් කඩකට වෙන් කරනවා” යනුවෙන් ප්රකාශ කළ බවට හඟවමින් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන වීඩියෝව නොමග යන ලෙසින් උන්වහස්සේගේ සම්පූර්ණ ප්රකාශය දැක්වෙන සම්පූර්ණ වීඩියෝවෙන් කොටසක් ගෙන පළ කර ඇති වීඩියෝවක් වේ.
උන්වහන්සේ පවසන්නේ, යම් යක්ෂයෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයෙකුට, භික්ෂුවකට, භික්ෂුණියකට හෝ උපාසක උපාසිකාවකට හිංසා කරනවා නම් ඔහුගේ ඔලුව හත්කඩකට පැලෙන බව බෞද්ධ සාහිත්යයේ එන සතරවරම් දෙවිවරුන්ගෙන් එක් අයෙකි වෙසමුණි රජු ප්රකාශ කර ඇති බවත්, ඒහේතුවෙන්, මේ ආකාරයෙන් කටයුතු කොට, ජනාධිපතිතුමාගේ හිස හත්කඩකට පලා නොගෙන ඥානසාර හාමුදුරුවන්ව නිදහස් කළ යුතු බවයි.
නමුත් සමාජ මාධ්ය ඔස්සේ පළවන වීඩියෝ කොටසේ, හිස පැලීමට හේතුව ලෙස හිමිනම ප්රකාශ කරන කොට ඉවත් කොට, උන්වහන්සේ විසින් ජනපති තුමාගේ හිස පලන බවට ප්රකාශයක් කළ බවට දක්විමන් මෙම සටහන් හුවමාරු වේ.


