දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්රී ලංකාවේ විශාලතම සහ උසම දළ ඇතුන් අතර ප්රකට වූ ‘කාවන්තිස්ස’ ඇතා, වෙඩි වැදීමෙන් ඉදිරිපස දකුණු පාදයට සිදු වූ තුවාලයකට ප්රතිකාර ලබමින් සිටියදී 2026 ඔක්තෝබර් 16 වනදා මිය ගියේය. ඔහුගේ මරණයෙන් පසු සමාජ මාධ්යයේ බෙදී ගිය සංවේදී සටහන් අතර, කාවන්තිස්සට පැටවුන් අටදෙනෙකු සිටින බවට “වාර්තා වන” බව පවසමින්, බිම නිදා සිටින අලි රංචුවක පින්තූරයක් සහිත සටහනක් ද විය.
පින්තූරයේ ඇත්තේ කුමන අලි රංචුවක්ද, කාවන්තිස්සට පැටවුන් අටදෙනෙකු සිටින බව කිසිදු මූලාශ්රයක් පවසන්නේද යන්න අප පරීක්ෂා කළෙමු.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

එම පින්තූරය වෙනත් පිරිස් ද හුවමාරු කරගෙන තිබු අතර එවැනි එක් පිටපතක “එයා පියෙක්” යන වදන් ද එක් කර තිබුණි.

විමර්ශනයට ලක් කළ ප්රකාශය : කාවන්තිස්සට පැටවුන් අටදෙනෙකු සිටින බවට වාර්තා වී ඇති බවත්, පින්තූරයේ නිදා සිටින්නේ ඔවුන් බවත්. අප පරීක්ෂා කළේ පින්තූරයේ මූලාරම්භය සහ “පැටවුන් අට” යන සංඛ්යාවට මූලාශ්රයක් තිබේද යන්නයි.
Fact Check (කරුණු පරීක්ෂාව) :
පින්තූරයේ ඇත්තේ 2021 දී චීනයේ ඩ්රෝන යානයකින් රූගත කළ අලි රංචුවකි
පින්තූරය පිළිබඳ මූල පද සෙවීමේදී සහ හමු වූ මුල් දර්ශන සමඟ සැසඳීමේදී, එය 2021 දී ලොව පුරා අවධානයට ලක් වූ චීනයේ “සංචාරක අලි රංචුවේ” දර්ශනයක් බව අපට දැක ගන්නට ලැබුණා. චීනයේ ෂිෂුවාංබන්නා (Xishuangbanna) ආරක්ෂිත කලාපයෙන් පිටත්ව කිලෝමීටර් 500ක් පමණ උතුරට ගමන් කළ වන අලි 15 දෙනෙකුගේ රංචුවක්, 2021 ජූනි 7 වනදා උදෑසන යුනාන් ප්රාන්තයේ අගනුවර වන කුන්මිං නගරය අසල වනාන්තරයක නිදා සිටි ආකාරය යුනාන් වන ගිනි නිවීමේ බලකායේ ඩ්රෝන යානයකින් රූගත කෙරිණි. එම ඡායාරූපය කුන්මිං නගරයේ ජින්නිං දිස්ත්රික්කයේදී ගත් බව AP ප්රවෘත්ති සේවය සඳහන් කර තිබුණේ මෙලෙසින්.
චීනයේ CGTN නාලිකාව 2021 ජූනි 8 වනදා පළ කළ එම ඩ්රෝන වීඩියෝවේ රාමුවක් මෙතනින්. මෙම රූප රාමු සමඟ සැසඳූ විට, ඉහළින් කුඩා දළයක් සහිත අලියා, හොඬය රවුමට අකුළාගත් අලියා, වැඩිහිටි අලින් අතර වැතිර සිටින පැටවා, දකුණු පසින් පේළියට වැතිර සිටින අලින් දෙදෙනා සහ පහළ වම් කෙළවරේ කොළ පඳුර එකම පිළිවෙළින් දිස් වේ. ඉහත සටහන්හි ඡායාරුප සමඟ සැසඳීමේදී, අලින්ගේ පිහිටීම එලෙසමය.

මෙම රංචුව පිළිබඳ Conservation Letters සඟරාවේ පළ වූ පර්යේෂණ ලිපියක මෙම පින්තූරය “ප්රකට පින්තූරයක්” ලෙස හඳුන්වා, එහි හිමිකම යුනාන් වන ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවට ලබා දී ඇත (මෙතනින්). AP වාර්තා කළ පරිදි, එය චීන සමාජ මාධ්යයේ මිලියන 200කට වැඩි වාර ගණනක් නරඹා ඇත (මෙතනින්).
රංචුවේ වැඩිහිටි ගැහැනු අලින් හය දෙනෙකු, වැඩිහිටි පිරිමි අලින් තිදෙනෙකු, යෞවන අලින් තිදෙනෙකු සහ පැටවුන් තිදෙනෙකු සිටි බව චීනයේ Xinhua ප්රවෘත්ති සේවය උපුටා දක්වමින් AP වාර්තා කර තිබුණේ මෙලෙසින්. ඒ අනුව පින්තූරයේ සිටින්නේ එක් ඇතෙකුගේ පැටවුන් නොව, මව් අලින් ද ඇතුළු චීන පවුල් රංචුවකි.
කාවන්තිස්සට පැටවුන් අටදෙනෙකු සිටින බව කිසිදු මූලාශ්රයක් නොකියයි
තවද ඉහත සමාජ මාධ්ය සටහන් “වාර්තා වන” පුවතක් ගැන කීවද, එම වාර්තාව කුමක්ද, කවුරුන් කළේද යන්න සඳහන් නොකරයි. අපි සිංහල, ඉංග්රීසි සහ දෙමළ භාෂාවලින් ප්රවෘත්ති වාර්තා, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ පරිසර අමාත්යාංශයේ ප්රකාශ සෙවූ නමුත්, කාවන්තිස්සට පැටවුන් අටදෙනෙකු සිටින බව කියන කිසිදු වාර්තාවක් හමු නොවීය.
වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා, පරිසර අමාත්යවරයා සහ ප්රතිකාර කළ පශු වෛද්යවරුන් කළ ප්රකාශ කේන්ද්ර වූයේ ප්රතිකාර, මරණය, පශ්චාත් මරණ පරීක්ෂණය සහ විමර්ශන කෙරෙහිය (මෙතනින් සහ මෙතනින්).
කාවන්තිස්ස වයස අවුරුදු 50 ත් 60 ත් අතර යැයි සැලකෙන, උස අඩි 11ක් පමණ වූ, අඩි හයකට වඩා දිගු දළ සහිත ඇතෙකි. ඔහු මුලින්ම දැක ඇත්තේ 2008 දී වන අතර, 2015 දී දුටුගැමුණු රජුගේ පියා වූ කාවන්තිස්ස රජුගේ නමින් නම් කෙරිණි. කාවන්තිස්ස වසර ගණනාවක් කුරුණෑගල දිස්ත්රික්කයේ ගල්ගමුව, උස්ගල සහ සියඹලන්ගමුව ප්රදේශවල සැරිසැරුවේය (මෙතනින්). 2012 දී සියඹලන්ගමුව දළ ඇතාගේ මරණයෙන් පසු ඔහු වැඩි අවධානයට ලක් විය (මෙතනින්). ඔහු පිළිබඳ මෙම වාර්තා කිසිවක පැටවුන් ගැන සඳහනක් නැත.
ඇත්තු පැටවුන් ඇති දැඩි නොකරයි; පියා කවුදැයි කිව හැක්කේ ජාන පරීක්ෂාවෙනි
අලි රංචුවක් සමන්විත වන්නේ ගැහැනු අලින් සහ ඔවුන්ගේ පැටවුන්ගෙනි. ආසියානු පිරිමි අලින් වයස අවුරුදු 14 පමණ වන විට උපන් රංචුවෙන් ඉවත්ව තනිව හෝ වෙනත් පිරිමි අලින් සමඟ ජීවත් වන අතර, ගැහැනු අලින් සමඟ එක් වන්නේ කෙටි කලකට පමණි (මෙතනින්).
ශ්රී ලංකාවේ පිරිමි අලින් වසරකට මාස දෙකක් පමණ වන මද කාලයේදී සාමාන්ය ප්රමාණය මෙන් හතර ගුණයක් පමණ විශාල ප්රදේශයක සැරිසරන බවත්, එය ප්රජනනයට සම්බන්ධ බවත් අලි පිළිබඳ ජීව විද්යාඥ ආචාර්ය පෘථිවිරාජ් ප්රනාන්දු සඳහන් කරයි (මෙතනින්).
ඇතින්නක් මාස 18 සිට 22 දක්වා ගර්භණී කාලයකින් පසු එක් පැටවෙකු බිහි කරන අතර, වසර දෙක හතරක් පැටවාට කිරි දෙන්නේ මවයි. රංචුවේ අනෙක් ගැහැනු අලින් ද පැටවා රැක බලා ගනී (මෙතනින්). එබැවින් ඇතෙකු “තම පැටවුන්” සමඟ පවුලක් ලෙස නිදා ගැනීම අලි හැසිරීමට අනුකූල නොවේ.
වන ඇතෙකුගේ පැටවුන් කවුරුන්දැයි තහවුරු කළ හැක්කේ ජාන විශ්ලේෂණයකිනි. අප්රිකානු වන අලි ගහනයක වසර 22ක් තුළ උපන් පැටවුන් 119 දෙනෙකුගේ පියා සම්බන්ධයෙන්, ජාන විශ්ලේෂණයෙන් සොයා බැලූ අධ්යයනයකින් හෙළි වුයේ, වයසින් වැඩි, විශේෂයෙන් මද කාලයේ සිටි ඇතුන්, වැඩි පැටවුන් සංඛ්යාවකගේ පියා වූ බවයි (මෙතනින්). ඒ අනුව දශක ගණනාවක් වනයේ ජීවත් වූ කාවන්තිස්ස වැනි වයස්ගත ඇතෙකුට පැටවුන් සිටීමට ඉඩ ඇත. එහෙත් ඔහු සම්බන්ධයෙන් එවැනි ජාන අධ්යයනයක් සිදු කළ බවට වාර්තාවක් අපට හමු නොවූ අතර, “අට” යන සංඛ්යාවට කිසිදු පදනමක් නැත.
දළ ඇතුන් ඉතා දුර්ලභ නිසා කාවන්තිස්සගේ මරණය ඛේදවාචකයකි
ශ්රී ලංකාවේ පිරිමි අලින්ගෙන් දළ ඇත්තේ සියයට 7කටත් අඩු ප්රමාණයකට වන අතර, උතුරු ඉන්දියාවේ එය සියයට 45ක් පමණ ද, දකුණු ඉන්දියාවේ සියයට 95ක් පමණ ද වේ (මෙතනින්). අතීතයේ දළ ඇතුන් අල්ලා ගැනීම නිසා ඔවුන් ජාන සංචිතයෙන් ඉවත් වී දළ නැති ඇතුන් වැඩි වූ බව ආචාර්ය ප්රිතිවිරාජ් ප්රනාන්දු පවසයි.
2024 සමීක්ෂණයට අනුව මෙරට වන අලි ගහනය 7,451ක් වූ අතර, දළ ඇතුන් ගණන සියයට 9.2කින් ඉහළ ගිය බව පරිසර අමාත්යවරයා පැවසුවද, මුළු දළ ඇතුන් සංඛ්යාව සඳහන් කර නැහැ. (මෙතනින්). දළ ගතිය පැටවුන්ට උරුම වන ආකාරය ගැන සමාජ මාධ්යයේ විවිධ මත පළ වුවද, එය තහවුරු කරන ජාන අධ්යයනයක් අප සොයාගත් විද්යාත්මක ලිපිවල දැක ගන්නට ලැබුනේ නැහැ.
ඉතිරිව සිටින දළ ඇතුන් සඳහා විශේෂ ආරක්ෂණ වැඩසටහනක් ක්රියාත්මක කරන බව පරිසර අමාත්යවරයා පැවසූ අතර (මෙතනින්), අලි ඝාතනයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බව කුරුණෑගල වනජීවී නිලධාරියෙක් පවසා තිබුනේ මෙලෙසින්.
කාවන්තිස්සගේ මරණයෙන් පසු බෙදී ගිය වෙනත් ව්යාජ සටහන් පිළිබඳ අපගේ වාර්තාව මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion):
කාවන්තිස්ස හස්තියාට පැටවුන් අටදෙනෙකු සිටින බව පවසමින් වයිරල් වූ ඡායාරුපයේ දැක්වෙන්නේ, 2021 ජූනි 7 වනදා චීනයේ යුනාන් ප්රාන්තයේ කුන්මිං නගරය අසල ඩ්රෝන යානයකින් රූගත කළ, මව් අලින් ද ඇතුළු වන අලි රංචුවකි.
කාවන්තිස්සට පැටවුන් අටදෙනෙකු සිටින බව කිසිදු නිල වාර්තාවක්, ප්රවෘත්ති වාර්තාවක් හෝ විද්යාත්මක අධ්යයනයක් සඳහන් නොකරයි. වයස්ගත ඇතෙකු ලෙස ඔහුට පැටවුන් සිටීමට ඉඩ ඇතත්, වන ඇතෙකුගේ පැටවුන් ගණන ජාන පරීක්ෂාවකින් තොරව කිව නොහැක.


