දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මෙරට සිටි උසම සහ දැවැන්තම දළ ඇතුන්ගෙන් අයෙකු වූ කාවන්තිස්සගේ මරණය අලි ඇතුන් ඇතුළු වන සතුන්ට ආදරය කරන බොහෝ දෙනාගේ හදවත් තුළ තවමත් සංවේදී මතකයක්ව පවතී. කෙසේ වෙතත් කාවන්තිස්සගේ මරණය හා සම්බන්ධව සමාජ මාධ්ය ඔස්සේ විවිධ සටහන් හුවමාරුවන අයුරු තවමත් දැකගත හැකියි. මේ කාවන්තිස්සගේ අවසන් කටයුතු පිළිබඳව සමාජ මාධ්ය ජාලාවල සංසරණය වූ වීඩියෝවක සත්ය අසත්යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
නිහඬවම සමුගත් වනපෙතේ අභිමානය – කාවන්තිස්ස ඇත් රජු! යන තේමාවෙන් ඔක්තෝබර් 18 වනදා Facebook පිටුවක පළ කළ (1,300කට වැඩි වාර ගණනක් බෙදාගෙන ඇති) මෙම කෙටි වීඩියෝ සටහනට කාවන්තිස්ස පිළිබඳ කෙටි විස්තරයක් ද ඇතුළත් අතර සටහන අවසන් කර ඇත්තේ, සුබ ගමන් වනපෙතේ මහා රජුනි! යනුවෙනි.
වීඩියෝවේ මුල් කොටසේ අවස්ථා දෙකකදී කාවන්තිස්ස ලෙස හඳුන්වන ඇතා ඇතුළු ඇත් රංචුවක් පාර මාරුවන ආකාරය නිරීක්ෂණය වන අතර අවසන් කොටසේදී මල්වලින් සරසන ලද, මල්මාලා පළදවන ලද මියගිය ඇතෙකුට ආගමික වතාවත් සිදු කරමින් ගෞරවාන්විත අවසන් ගමනක් සඳහා කටයුතු සූදානම් කරන ආකාරයක් දැකගත හැකියි.
මේ අතර සුබ ගමන් කාවන්තිස්ස ඇත් රජුණේ යන සිරස්තලයෙන් ඔක්තෝබර් 17 වනදා TikTok ඔස්සේ ද මල්වලින් සරසා අවසන් ගමනට සූදානම් කරන ඇතා කාවන්තිස්ස බව හැඟීයන ආකාරයෙන් පහත වීඩියෝව පළ කර තිබුණා.
තවද, ඔක්තෝබර් 19 වනදා සිට “ලංකාවේ කාවන්තිස්ස” සහ “ඉන්දියාවේ බ්රහ්මදාතන්” ලෙස ඡායාරූප දෙකක් එක් කළ කාඩ්පත් ද Facebook සහ YouTube ඔස්සේ පැතිර ගියේ, කාවන්තිස්සට කිසිදු ගෞරවයක් නොලැබුණු බව කියමිනි. එහි ඉන්දීය ඇතා ලෙස ඇත්තේ ද මෙම වීඩියෝවේ දර්ශනයමය.
විමර්ශනයට ලක් කළ ප්රකාශය : තැඹිලි පැහැති වස්ත්රයකින් සරසා විශාල වශයෙන් සිරුර මතට මල් ඉස, පහන් දල්වා උපහාර කරන වීඩියෝවෙන් දැක්වෙන්නේ කාවන්තිස්ස ඇතාගේ අවසන් කටයුතු ද?
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
කාවන්තිස්සගේ අවසන් කටයුතු සිදු වූයේ බෞද්ධ චාරිත්ර අනුව ය
වෙඩි ප්රහාරයකින් පසු තුවාල ලබා සති කිහිපයක් ප්රතිකාර ලබමින් සිටි කාවන්තිස්ස හස්තියා ඔක්තෝබර් 16 වැනිදා ගල්ගමුව සියඹලන්ගමුවේදී මිය ගිය බව වාර්තා විය. කාවන්තිස්ස මියයාමෙන් පසු ඔක්තෝබර් 17 වැනිදා දහවල් කාලයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සහ අවසන් කටයුතුවලට පෙර ආගමික වතාවත් සිදු කෙරුණු අයුරු ප්රධාන ධාරාවේ මාධ්ය පහත පරිදි වාර්තා කර තිබුණා.
එම දර්ශනවලට අනුව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ද එම අවස්ථාවට එක්ව සිටින අතර, මහා සංඝරත්නය එම ස්ථානයට වැඩම කර මියගිය හස්තියාට පාංශුකූලය දීම ඇතුළු ආගමික වතාවත්වල නිරතවන ආකාරය දැකගත හැකියි. මීට අමතරව කාවන්තිස්ස හස්තියාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ කාවන්තිස්ස මහ ඇතු වෙනුවෙන් මහා සංඝරත්නය සමඟ පාංශුකූල ආගමික වතාවත්වල නිරත වී පින් පැමිණවීමට ද කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා ඡායාරූප සහිතව සිය Facebook පිටුවේ මෙලෙස සටහනක් පළ කර තිබිණි.
කෙසේ වෙතත් සමාජ මාධ්යයේ සංසරණය වන ආකාරයෙන් මල්වලින් සරසා, පහන් දල්වා උපහාර කරමින් කාවන්තිස්ස හස්තියාගේ අවසන් කටයුතු සිදුකරන ආකාරයක් කිසිදු මාධ්යක් වාර්තා කර නොමැති අතර බෞද්ධ ආගමානුකූලව චාරිත්ර සිදු කර කාවන්තිස්ස හස්තියාගේ අවසන් කටයුතු සිදු කර ඇති බව පැහැදිලි වේ.
ඒ අනුව කාවන්තිස්සගේ අවසන් කටයුතු සිදු වූ ආකාරය බව කියමින් සමාජ මාධ්යයේ සංසරණය වන සිදුවීම කුමක් ද යන්න පිළිබඳව අප තවදුරටත් කරුණු පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා.
ඉන්දියාවේ කේරළ ප්රාන්තයේ පල්ලට්ටු බ්රහ්මදත්තන් ඇතාගේ අවසන් කටයුතු
සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ රූප රාමු ප්රතිලෝම රූප සෙවුමට (Reverse image search) සහ මූල පද සෙවුමට ලක් කිරීමේදී, ඉන්දියාවේ කේරළ ප්රාන්තයේ පල්ලට්ටු බ්රහ්මදත්තන් නම් ඇතාගේ අවසන් කටයුතු පිළිබඳ වීඩියෝ රැසක් අපට හමු විය. ඒ අතරින්, 2026 ඔක්තෝබර් 5 වනදා කේරළයේ Facebook ගිණුමක් මලයාලම් බසින් ශෝක සටහනක් සමඟ පළ කළ මෙම රීල් එකේ වෛරල් වීඩියෝවේ දර්ශනයම අඩංගු වේ.
එම රීල් එකේ තත්පර 25 පමණ වන රූප රාමුව, Facebook හි පැතිරෙන වීඩියෝවේ මිනිත්තු 1:17 පමණ වන රූප රාමුවට සර්වසම බව පහත සැසඳීමෙන් පෙනේ. තැඹිලි පැහැති රෙද්ද, සුදු මල් මාලාව, මලින් වැසුණු දළය, ලණු බාධකය, තැටියක දල්වා ඇති පහන් දෙක සහ පිටුපස සිටින පිරිස එකම ස්ථානවල දැකගත හැකිය. වෛරල් වීඩියෝව එම දර්ශනය විශාලනය කර (zoom) පළ කර ඇත. තවද, වෛරල් වීඩියෝවේ අවසන් තත්පර 30 පමණ කොටසම මුල් වීඩියෝවේ තත්පර 19ත් 38ත් අතර කොටසට රූප රාමුවෙන් රූප රාමුවට ගැළපෙන බව ද අපගේ සැසඳීමේදී පැහැදිලි විය.
ඔක්තෝබර් 5 වනදාම කේරළයේ Asianet News නාලිකාව YouTube හි පළ කළ පුවත් වීඩියෝවේ ද එම අවසන් කටයුතු වෙනත් කෝණයකින් දැක්වේ.
එම හස්තියා කේරළයේ ආගමික උත්සව සඳහා යොදා ගත් 54 හැවිරිදි පල්ලට්ටු බ්රහ්මදත්තන් බවත් මෙම වසරේ ඔක්තෝබර් 04 වනදා කෝට්ටයම් දිස්ත්රික්කයේ මෙලම්පාරහි හිමිකරුගේ නිවස අසල ගැටගසා සිටියදී අකුණු සැර වැදී මියගිය බව ඉන්දීය මාධ්ය මෙලෙස වාර්තා කර තිබුණා. ඇතාට අවසන් ගෞරව දැක්වීම සඳහා විවිධ ප්රදේශවලින් ජනතාව පැමිණි බවත් හස්තියා ආදාහනයෙන් පසු ඔක්තෝබර් 08 වැනිදා ඇතාගේ අළු භාරතපුළා ගඟේ පා කර හැරි බවත් ඉන්දීය මාධ්ය මෙලෙස සහ මෙලෙස වාර්තා කර තිබුණා.
සමාජ මාධ්ය සටහන්වල කාවන්තිස්සගේ අවසන් කටයුතු බව හැඟී යන අයුරින් පළ කර ඇත්තේ, පල්ලට්ටු බ්රහ්මදත්තන් ඇතාගේ අවසන් කටයුතු සිදුවූ ආකාරය දැක්වෙන වීඩියෝවක් බව පහත රූප රාමු සංසන්දනයෙන් ද පැහැදිලි වේ.

ඉන්දියාවේ ආගමික කටයුතුවලට යොදා ගත් ඇතෙකු සහ ලංකාවේ වන ඇතෙකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරයේ වෙනස
බ්රහ්මදත්තන් කැලයේ ජීවත් වූ වන ඇතෙකු නොව, ආගමික උත්සව සඳහා යොදා ගත් හීලෑ ඇතෙකි. ඔහුගේ දේහය පල්ලට්ටු පවුලේ වත්තේ ආදාහනය කළ බව කේරළ මාධ්ය මෙලෙස වාර්තා කළ අතර, ඔක්තෝබර් 8 වනදා ඔහුගේ අළු භාරතපුළා ගඟේ පා කර හැරි බව ද වාර්තා විය.
මෙරට ආගමික උත්සව සඳහා යොදා ගත් හීලෑ ඇතුන්ට ද ඔවුන්ගේ ජීවිත කාලය තුළ මෙන්ම මරණයෙන් පසුව ද විශේෂ ගෞරවයක් හිමි වී තිබේ. 2022 වසරේ මියගිය නැදුන්ගමුවේ රාජා ජාතික සම්පතක් ලෙස නම් කිරීමට එවකට ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර, ඔහුගේ සිරුර අනාගත පරපුරට දැකගත හැකි වන පරිදි සංරක්ෂණය කිරීමට ද පියවර ගනු ලැබිණි.
කෙසේ වෙතත්, කාවන්තිස්ස වැනි වන ඇතෙකුගේ මරණය අපරාධ විමර්ශනයකට අදාළ වන අවස්ථාවක, සිරුර සහ එහි කොටස් විමර්ශනයට අවශ්ය සාක්ෂි ලෙස සැලකිය හැකිය. එවැනි අවස්ථාවක පශ්චාත් මරණ පරීක්ෂණය, සාක්ෂි ආරක්ෂා කිරීම සහ සිරුර බැහැර කිරීම සම්බන්ධ ඉදිරි පියවර ගත යුත්තේ අදාළ නීතිමය ක්රියාපටිපාටියට සහ අධිකරණ නියෝගවලට අනුකූලවය.
ඒ අනුව මෙම සැසඳීම් පැතිර ගියේ කාවන්තිස්ස ඇතාට ප්රතිකාර කිරීමේ දෝෂ සහ නොසැලකිල්ල පිළිබඳ මෙන්ම හස්තියාගේ සිරුර මිහිදන් කළ ආකාරය පිළිබඳව විවේචන එල්ල වී ඇති පසුබිමකදී ය.
හිස සහ දළ වෙනම තැබුවේ අධිකරණ නියෝගය සහ විමර්ශනය නිසා ය
කාවන්තිස්සගේ මරණය වෙඩි තැබීමක් හා සම්බන්ධ විමර්ශනයක ද කොටසකි. ඒ අනුව හස්තියාගේ අවසන් කටයුතු සිදු කෙරුණේ අධිකරණ නියෝගයකට අනුවයි. ඔක්තෝබර් 17 වැනිදා ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබුණේ, මරණ පරීක්ෂණයෙන් පසු දළ යුගල පසුව නැවත ලබාගත හැකි පරිදි සිරුර වනජීවී දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ආරක්ෂිතව වළලන ලෙස සහ එම ස්ථානයට ආරක්ෂාව සපයන ලෙසටයි. විස්තර මෙතැනින්
මේ අතර පරිසර නියෝජ්ය අමාත්ය කාර්යාලය ඔක්තෝබර් 19 වනදා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට යැවූ ලිපියක ද දැක්වෙන්නේ, අධිකරණ නියෝගය අනුව හිස් කබල සහ දළ එකට අධිකරණයට ඉදිරිපත් කළ යුතු නිසා දළ හිස් කබල සමඟම සිරුරෙන් වෙන් කරගෙන ඇති බවයි. හිසේ මස් ස්වභාවිකව වියෝජනය වීමට මාස 2ක් පමණ ගතවන බැවින් එය මීගලෑව වනජීවී කාර්යාල භූමියේ පැය 24 ආරක්ෂාව යටතේ වළලා පසුව ගොඩගෙන පිරිසිදු කර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. නඩු කටයුත්ත අවසන් වූ පසු අධිකරණ අවසරය සහිතව දළ සහ හිස් කබල ජාතික කෞතුකාගාරයට භාරදිය හැකි බවද එහි සඳහන් වේ.

කාවන්තිස්සගේ මරණය පිළිබඳ විමර්ශන තවමත් සිදු වෙමින් පවතී
කාවන්තිස්ස මිය යාමෙන් පසු කාවන්තිස්සට වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඔක්තෝබර් 28 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර හස්තියාගේ මරණයේ සෘජු හා වක්ර හේතු සහ ප්රතිකාරයේ අඩුපාඩු සොයා දින 30ක් ඇතුළත වාර්තා කිරීමට ජනාධිපතිවරයා විශේෂඥ කමිටුවක් පත් කළේ ය. මේ අතර කාවන්තිස්ස හස්තියාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂය ඔක්තෝබර් 23 වනදා කථානායකවරයා වෙත යෝජනාවක් භාරදී තිබුණා. සැකකරුවන් සම්බන්ධ නඩුව ඔක්තෝබර් 28 වනදා නැවත කැඳවීමට නියමිතය. විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්
කාවන්තිස්සගේ මරණයෙන් පසු සමාජ මාධ්යයේ පැතිර ගිය සටහන් කිහිපයක් පිළිබඳ අප මීට පෙර සිදු කළ කරුණු පරීක්ෂාවන් පහතින්
කාවන්තිස්ස හස්තියාගේ මරණයෙන් පසු සමාජ මාධ්යයේ හුවමාරු වන ව්යාජ සටහන්!
කාවන්තිස්සගේ පැටවුන් අටදෙනාගේ ඡායාරූපයක් ද? නැත, චීනයේ අලි රංචුවකි!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කාවන්තිස්ස හස්තියාගේ අවසන් කටයුතු සිදුවූ ආකාරය දැක්වෙන වීඩියෝවක් බවට හැඟී යන අයුරින් සමාජ මාධ්ය ජාලාවල සංසරණය වන වීඩියෝව කාවන්තිස්සගේ අවසන් කටයුතු සිදුකළ ආකාරය දැක්වෙන වීඩියෝවක් නොවන බවයි. එය ඔක්තෝබර් 4 වැනිදා අකුණු සැර වැදීමෙන් මියගිය කේරළ ප්රාන්තයේ ආගමික උත්සවවලට යොදා ගන්නා ඇතෙකු වන පල්ලට්ටු බ්රහ්මදත්තන්ගේ අවසන් කටයුතු සිදුවූ ආකාරය දැක්වෙන වීඩියෝවකි.
ඔක්තෝබර් 17 වැනිදා කාවන්තිස්ස හස්තියාගේ සිරුර මිහිදන් කිරීමට ප්රථම පාංශුකූලය දීම ඇතුළු බෞද්ධ ආගමානුකූලව වතාවත් සිදු කෙරිණ. ගල්ගමුව අධිකරණ නියෝගය සහ තවදුරටත් ක්රියාත්මක විමර්ශන හේතුවෙන් හිස සහ දළ වෙනම තැබීමට නිලධාරීන් ක්රියා කර තිබුණා. කාවන්තිස්සට වෙඩි තැබුවේ කවුද? ප්රතිකාර කිරීමේදී යම් යම් අඩු පාඩු සිදු වුණා ද යන මෙකී කාරණා පිළිබඳ තවදුරටත් විමර්ශන ක්රියාත්මකයි.


