Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කාවන්තිස්සට වෙඩි තැබුවේ පොහොට්ටු/සජබ සාමාජිකයෙක් ද? සැකකරුවන් විසින් වෙඩි තැබූ බව තවම තහවුරු වී නැත!

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-21
    11 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජීවත් වූ දැවැන්තම ඇතෙකු ලෙස සැලකෙන ‘කාවන්තිස්ස’ ඇතා 2026 ඔක්තෝබර් 16 වනදා මිය ගියේය. ඇතාට සැප්තැම්බර් 23 වනදා පමණ වෙඩි වැදුණු බවත්, ඉන් පසු සති කිහිපයක් ප්‍රතිකාර ලබා දුන් බව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාවේ ජීවත් වූ දැවැන්තම ඇතෙකු ලෙස සැලකෙන ‘කාවන්තිස්ස’ ඇතා 2026 ඔක්තෝබර් 16 වනදා මිය ගියේය. ඇතාට සැප්තැම්බර් 23 වනදා පමණ වෙඩි වැදුණු බවත්, ඉන් පසු සති කිහිපයක් ප්‍රතිකාර ලබා දුන් බවත් වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා තිබිණි (මෙතනින්). ඇතාගේ මරණයෙන් පසු ඇති වූ මහජන කැලඹීම මධ්‍යයේ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ වනජීවී නිලධාරීන් ඔක්තෝබර් 18 වනදා සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර, තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගැනිණි.

    ඔක්තෝබර් 19 වනදා පෙරවරුවේ සිට රාජ්‍ය මාධ්‍ය ආයතන ද ඇතුළුව මාධ්‍ය කිහිපයක් සහ සමාජ මාධ්‍ය ගිණුම් රැසක් “කාවන්තිස්සට වෙඩි තැබුවේ පොහොට්ටුවේ ගල්ගමුව සමූපකාර අධ්‍යක්ෂවරයෙක්” යනුවෙන් ප්‍රචාරය කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කාවන්තිස්සට වෙඩි තැබූ බව තහවුරු වී තිබේද, ඔහුගේ දේශපාලන සම්බන්ධතාව ගැන තහවුරු වී ඇත්තේ කුමක්ද යන්න අප පරීක්ෂා කළෙමු.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    රාජ්‍ය රූපවාහිනී ප්‍රවෘත්ති පිටුවක්, රාජ්‍ය පුවත්පතක පිටුවක් සහ ප්‍රවෘත්ති වෙබ් අඩවියක පිටුවක් පොහොට්ටු ලාංඡනය යොදාගත් ග්‍රැෆික් සමඟ මෙම ප්‍රකාශය පළ කර තිබිණි. ඉන් එකක ඇත්තේ පොහොට්ටු ලාංඡනය සහිත කමිසයක් ඇඳි පුද්ගලයෙකු ඇතෙකුට තුවක්කුවකින් ඉලක්ක කරන නිදර්ශන රූපයකි. මෙම පළකිරීම් දෙකක් 1,000කට වඩා වාර ගණනක් බෙදාගෙන (share) තිබිණි. වෙනත් සටහන් ඔහු “ඇහැටුවැව හුනුගල්ලෑව කලාප සංවිධායක” ලෙස හඳුන්වා ඇති අතර, ඇතැම් ඒවා ඔහු වෙඩි තැබීමට “සෘජුවම සම්බන්ධ බව තහවුරු වී ඇති” බව ද ලියා තිබිණි.

    රූපවාහිනී ප්‍රවෘත්ති ෆේස්බුක් පිටුවක තිර රුවක්: කාවන්තිස්සට වෙඩි තැබූ සැකකරු පොහොට්ටුවේ ගල්ගමුව සමූපකාර අධ්‍යක්ෂකවරයෙක් බව සඳහන්
    දිනමින පුවත්පතේ ෆේස්බුක් සටහනක තිර රුවක්: කාවන්තිස්සට වෙඩි තබා ඇත්තේ පොහොට්ටුවේ සාමාජිකයෙක් බව සඳහන්
    IRI News ෆේස්බුක් සටහනක තිර රුවක්: කාවන්තිස්සට වෙඩි තැබූ පුද්ගලයා පොහොට්ටුවේ ගල්ගමුව සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් බව සඳහන්

    Facebook 1 | Facebook 2 | Facebook 3

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය : අප පරීක්ෂා කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවෙකු කාවන්තිස්සට වෙඩි තැබූ බව තහවුරු වී තිබේද, ඔහුගේ පොහොට්ටු සම්බන්ධතාව තහවුරු වී තිබේද යන්නයි.

    Explainer (කරුණු පැහැදිලි කිරීම) :

    අත්අඩංගුවට ගත් පළමු සැකකරු ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත නිපුණතා සංවර්ධන නිලධාරියෙකු බව පොලීසිය පවසයි. ඔක්තෝබර් 18 වනදා අත්අඩංගුවට ගත් ඔහු සන්තකයේ තිබී විදේශ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, කැප් (බෙහෙත් කොටන) තුවක්කුවක්, ජීව පතරොම් 24ක් සහ වියළන ලද දඩමස් සොයාගත් බව මාධ්‍ය වාර්තා කළේය (මෙතනින්). මීට පෙර “ඩයනා” නම් ඇතෙකුට වෙඩි තැබීමට ද ඔහු සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසන නමුත්, එය තවමත් චෝදනාවක් පමණි.

    මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා ශාන්ත ධර්මසිරි රත්නායක සහ රත්නායක මුදියන්සේලාගේ ලක්මාල් පද්මසිරි බව අධිකරණ වාර්තා සඳහන් කරයි. ඔක්තෝබර් 19 වනදා ඇහැටුවැව ප්‍රදේශයෙන් තවත් පස්දෙනෙකු ගිනි අවි සහ උපකරණ සමඟ අත්අඩංගුවට ගත් බව ද වාර්තා විය (මෙතනින්).

    සැකකරුවන් වෙඩි තැබූ බවට ඇති සාක්ෂි කුමක්දැයි අධිකරණය විමසයි

    සැකකරුවන් දෙදෙනා ඔක්තෝබර් 19 වනදා මහව මහේස්ත්‍රාත් අනුරාධා සෙනෙවිරත්න මහත්මිය ඉදිරියේ වනජීවී නිලධාරීන් විසින් ඉදිරිපත් කරන ලදී. බලපත්‍ර සහිතව තබාගෙන සිටි ගිනි අවියක්, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් භාවිත කර, එයින් කාවන්තිස්සට වෙඩි තබන්නට ඇතැයි සැක කරන බව වනජීවී නිලධාරීන් අධිකරණයට කියා සිටියහ. වාර්තා අනුව එම චෝදනාව එල්ල වූයේ ලක්මාල් පද්මසිරිට ය (මෙතනින්).

    පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදය රාජපක්ෂ මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින්, ගිනි අවිය සහ වෙඩි තැබීම අතර සම්බන්ධයක් පෙන්වන විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කර නොමැති බවත්, මහජන කැලඹීමෙන් පසු ගමට පැමිණි නිලධාරීන් බලපත්‍රලාභී ගිනි අවි හිමියන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පැවසීය.

    ශාන්ත ධර්මසිරි රත්නායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, ඔහු වසර 20ක සේවා කාලයක් ඇති රාජ්‍ය නිලධාරියෙකු බවත්, වගා ආරක්ෂාව සඳහා ගිනි අවියක් තිබුණ ද එය භාවිත කර නොමැති බවත් කියා සිටියේය.

    සැකකරුවන් වෙඩි තැබීමට සම්බන්ධ කරන සාක්ෂි කුමක්දැයි මහේස්ත්‍රාත්වරිය විමසූ විට වනජීවී නිලධාරීන් ප්‍රමාණවත් පිළිතුරක් ලබා නොදුන් බව වාර්තා විය. සැකකරුවන් ඔක්තෝබර් 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ මහේස්ත්‍රාත්වරිය, ප්‍රමාණවත් හේතු නොමැතිව රක්ෂිත කාලය දීර්ඝ කළ නොහැකි බව ද පෙන්වා දුන්නාය (මෙතනින් සහ මෙතනින්).

    සැකකරුවෙකුගේ පවුල චෝදනා ප්‍රතික්ෂේප කරයි

    ශාන්ත ධර්මසිරි රත්නායකගේ බිරිඳ ඔක්තෝබර් 19 වනදා මාධ්‍යයට පැවසුවේ, “වලානෙන් කියලා 15ක් විතර ආවා… කාවන්තිස්සට වෙඩිතිබ්බා කියලා වැරැද්ද පිළිගන්න ඕනේ කිව්වා” යනුවෙනි (මෙතනින්). තමා නොකළ දෙයක් පිළිගත නොහැකි බව සැමියා පැවසූ බවත්, තමන් දෙදෙනාම රජයේ සේවකයින් බවත්, විශාල වියදමක් දරා අලි වැටක් ඉදිකර ඇති බවත්, නිලධාරීන් රැගෙන ගියේ බලපත්‍ර සහිත තුවක්කුව බවත් පැවසූ ඇය, අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලා සිටියාය (මෙතනින්).

    ඇයගේ චෝදනාවට පොලීසිය හෝ වලාන ඒකකය සෘජුව ප්‍රතිචාර දැක්වූ බවක් ඔක්තෝබර් 20 රාත්‍රිය වන විට අපට හමු නොවීය. අත්අඩංගුවට ගත් අයෙකුට රැඳවුම් භාරයේදී පහර දුන් බවට ඥාතියෙකු කළ චෝදනාව ද (මෙතනින්) ස්වාධීනව තහවුරු වී නැත.

    Facebook

    ඇයගේ ප්‍රකාශය “සැමියාට බලපෑම් කරනවා” ලෙස උපුටා දක්වමින්, ආණ්ඩුව ඇතාගේ මරණය දේශපාලනයට යොදා ගන්නා බවට චෝදනා කරන සටහන් ද පළ විය (Facebook 4). ඇය කී දෙයෙහි සාරය එහි දැක්වුවද, එය ඇයගේ චෝදනාවක් මිස තහවුරු වූ කරුණක් නොවේ. “පොහොට්ටු සාමාජිකයා වෙඩි තැබුවා” යන ප්‍රකාශය මෙන්ම, සැකකරු නිර්දෝෂී බව හෝ ඔහු බලහත්කාරයෙන් හසු කරගත් බව ද මෙතෙක් අධිකරණයේ තහවුරු වී නැත.

    සැකකරුවන් දෙදෙනාගෙන් කිසිවෙකු කාවන්තිස්සට සෘජුව වෙඩි තැබූ බවට සාක්ෂි එදින ඉදිරිපත් වී නොමැත – අධිකරණ වාර්තාකරුවන්

    ඔක්තෝබර් 19 වනදා නඩු විභාගය වාර්තා කළ අධිකරණ වාර්තාකරුවන් අපට පැවසුවේ, ශාන්ත ධර්මසිරි රත්නායක ගල්ගමුව සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ පොහොට්ටු පාර්ශ්වයේ සාමාජිකයෙකු බව අධිකරණයේදී හෙළි වූ බවයි. බී වාර්තාවක් මගින් කරුණු ඉදිරිපත් කළ ද, සැකකරුවන් දෙදෙනාගෙන් කිසිවෙකු කාවන්තිස්සට සෘජුව වෙඩි තැබූ බවට සාක්ෂි එදින ඉදිරිපත් නොවූ බවත්, ප්‍රබල සාක්ෂි ඉදිරිපත් නොවුවහොත් ඉදිරියේදී ඇප ලැබිය හැකි බවත් ඔවුහු පැවසූහ.

    පොලිස් මාධ්‍ය කොට්ඨාසය

    අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, ප්‍රධාන සැකකරු ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරියෙකු බවත්, ඔහුගේ දේශපාලන අනන්‍යතාව ගැන ප්‍රකාශ කිරීමෙන් පොලීසිය වැළකී සිටින බවත්ය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

    රිමාන්ඩ් කර සිටින ප්‍රධාන සැකකරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගල්ගමුව සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක් බවට ඇති තොරතුරු පිළිබඳව අප විසින් සිදුකළ විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා විසින් ප්‍රකාශ කළේ, සමූපකාරයකට තරඟ කරන අය කුමන හෝ දේශපාලන පක්ෂයකින් ඒ සඳහා තරඟ කරන බවත්, නමුත් සමූපකාර නියෝජිතයෙක් මේ මේ අදාළ දේශපාලන පක්ෂයේ යැයි නම් කළ නොහැකි බවයි. එය පාර්ලිමේන්තුව, පළාත් සභාව, ප්‍රාදේශීය සභාව වැනි ආයතනයක් නොවන බවත්, සමූපකාර ඡන්දයකින් දිනා සමූපකාරයකට ගියහොත් එම පුද්ගලයා සමූපකාර අධ්‍යක්ෂකවරයෙක් හෝ සමූපකාර අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයෙක් මිස මෙම නිශ්චිත පක්ෂයේ යැයි නම් කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    සමූපකාර සමිතියක අධ්‍යක්ෂ ධුරය පක්ෂ තනතුරක් නොවේ. එහෙත් සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩල ඡන්දවලට පක්ෂ පිටුබලය සහිත කණ්ඩායම් තරග කරන අවස්ථා ඇත. උදාහරණයක් ලෙස, 2026 මැයි මාසයේ හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයට සජබ, ජාජබ සහ පොහොට්ටු පාර්ශ්ව තේරී පත් විය (මෙතනින්).

    කුරුණෑගල වනජීවී කලාප කාර්යාලය සහ ගල්ගමුව අඩවි ආරක්ෂක කාර්යාලය අමතමින් අප විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීමට උත්සාහ කළද ඊයේ දිනයේ (20) සහ අද දිනයේ (21) අදාළ නඩු කටයුතු සඳහා සහභාගී වූ නිලධාරීන් සම්බන්ධ කරගැනීමට නොහැකි වූ අතර, ඔවුන්ගේ ප්‍රතිචාරය ලැබුණු විට මෙම ලිපිය යාවත්කාලීන කරන්නෙමු.

    සජබ සාමාජිකයෙකු වෙඩි තැබූ බවට ද සාක්ෂියක් නැත

    පොහොට්ටු ලේබලය පැතිරෙද්දී, වගකීම සමගි ජන බලවේගයට (සජබ) පවරන සටහන් ද පළ විය. ඔක්තෝබර් 17 වනදා සිටම ඇතැම් සටහන් ඇතාගේ මරණයට වනජීවී දෙපාර්තමේන්තුවේ “එජාප/සජබ දේශපාලන පත්වීම්” වගකිව යුතු බව කියා සිටියේය. “සජබ මාධ්‍ය අංශයේ ඉන්න එකෙක්නෙ කාවන්තිස්ස ඇතාට වෙඩි තියලා තියෙන්නෙ” යනුවෙන් ලියූ සටහනක තිර රුවක් බෙදාගත් පෞද්ගලික ගිණුමක්, සජබ අය “කෙලින් ම වෙඩි නොතිබ්බත්, වැඩේට යටින් උදව්වක් හරි කරන්න ඇති” බව ද ලියා තිබිණි (Facebook 5). එම “මාධ්‍ය අංශයේ” පුද්ගලයා කවුදැයි හෝ ඊට සාක්ෂිය කුමක්දැයි එම සටහන් කිසිවක් සඳහන් කර නැත.

    ෆේස්බුක් සටහනක තිර රුවක්: කාවන්තිස්සට වෙඩි තැබීම පිළිබඳ පරිශීලකයෙකුගේ අදහස් දැක්වීමක්

    ඔක්තෝබර් 18 වනදා සිට තවත් සටහන් කිහිපයක්, ඔක්තෝබර් 17 වනදා කිරිඳිවැලදී ගිනි අවි තොගයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා “සජබ මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ සහෝදරයා” ලෙස හඳුන්වන ග්‍රැෆික් යොදාගෙන, “මේවා කාවන්තිස්ස දඩයමට ගත්තා ද?” යනුවෙන් ප්‍රශ්න කළේය (Facebook 6). කිරිඳිවැල සිද්ධිය කාවන්තිස්ස විමර්ශනයට සම්බන්ධ බවට කිසිදු නිල හෝ මාධ්‍ය වාර්තාවක් අපට හමු නොවීය. එම ග්‍රැෆික්හි “සහෝදරයා” යන සඳහන ද නොමඟ යවන සුළු බව අප වෙනම පෙන්වා දී ඇත.

    ෆේස්බුක් සටහනක තිර රුවක්: කාවන්තිස්සට වෙඩි තැබුවේ සමගි ජන බලවේගයේ (සජබ) සාමාජිකයෙකු බව චෝදනා කරන සටහනක්

    අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් දෙදෙනා හෝ ඔක්තෝබර් 19 වනදා අත්අඩංගුවට ගත් තවත් පස්දෙනා සජබ සාමාජිකයින් බවට හෝ සජබ මාධ්‍ය අංශයට සම්බන්ධ බවට පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, අධිකරණ වාර්තා හෝ මාධ්‍ය වාර්තා කිසිවක් ඔක්තෝබර් 21 වන විට සඳහන් කර නැත.

    සමගි ජන බලවේගය

    අප විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී සමගි ජන බලවේගයේ මාධ්‍යංශය විසින් විසින්ද අප වෙත තහවුරු කළේ හුවමාරුවන සටහන සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    කාවන්තිස්ස ඇතාට වෙඩි තබා ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ලේකම් සරත් කුමාරගේ නැමැත්තාගේ සහෝදරයෙක් බව දක්වමින්ද සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Fact Check ( කරුණු විමර්ෂණය කිරීම)

    කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ලේකම්වරයාගේ සහෝදරයකු කාවන්තිස්ස ඇතාට වෙඩි තබා ඇති බවට තහවුරු කළ හැකි කිසිඳු මූලාශ්‍රයක් මෙතෙක් වාර්තා වී නොමැත. කාවන්තිස්ස ඇතාට වෙඩී තැබූ පුද්ගලයා නිශ්චිතව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, සැකපිට අත්තඩංගුවට ගත් පුද්ගලයන් අතර නාමල් කරුණාරත්න මහතාගේ ලේකම්වරයෙකු හෝ ඔහුගේ සහෝදරයෙකු සිටින බවට විමර්ශනවලදී හෙලිවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබිය යුතුයි. අප විසින් සිදුකළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ, ඒ සම්බන්ධයෙන් තහවුරු කළ හැකි කිසිදු නිල මූලාශ්‍රයක් නොමැති බවයි.

    නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න

    නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් අප මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, ඉහත ඡායාරූපයේ සිටින්න, සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික විධායක සභික සංජීව කරුණාසාගර මහතා බවයි.

    එමෙන් ම පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ වත්මන් සභාපතිවරයා වන්නේ ද, සංජීව කරුණාසාගර මහතා බව ත්, මෙතුමා ජීවත් වන්නේද පඬුවස්නුවර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ, කටුපොත , තිස්සව ග්‍රාමය වන අතර ගල්ගමුවට සම්බන්ධ නොමැති බව ත් සදහන් කළා.

    සටහනේ සදහන් කර ඇති සරත් කුමාර යනු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මන්ත්‍රී ලේකම්වරයා බව ත්, ඔහු හා සංජීව කරුණාසාගර මහතා අතර කිසිදු නෑකමක් නොමැති බව ත්, පැවසූවා.

    මෙම ඡායාරූපය ගෙන ඇත්තේ, කොවිඩ් වසංගත තත්ත්වය පැවති සමයේ පැවැත්වූ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මාධ්‍ය සාකච්ඡාවක් බව ත්, මුඛ ආවරණ පැළද සිටින්නේ ඒ නිසා බව ත් සඳහන් කළා.

    අධිකරණ වාර්තාකරුවන් /ප්‍රාදේශීය මාධ්‍යවේදීන්

    අප විසින් මේ සම්බන්ධයෙන් අධිකරණ වාර්තාකරුවන් මෙන් ම ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සම්බන්ධ කරගෙනද විමසීමක් කල අතර ඔවුන් විසින් තහවුරු කළේ මෙම වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවත්, සැකපිට අත්තඩංගුවට ගත් පුද්ගලයන් අතර හෝ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගේ ලේකම්වරයෙකු හෝ ඔහුගේ සහෝදරයක් සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බව සඳහන් කරනු ලැබුවා.

    මරණයට හේතුව සහ වගකීම සොයා විමර්ශන කිහිපයක්

    කාවන්තිස්සගේ මරණයට නිශ්චිත හේතුව විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා සිරුරේ සාම්පල පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට යොමු කර ඇත (මෙතනින්). ඇතුන් ඉලක්ක කරගත් සංවිධිත කණ්ඩායමක් ක්‍රියාත්මක වන්නේද යන්න විමර්ශනය කරන ලෙස පරිසර අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත (මෙතනින්).

    ජනාධිපති අනුර කුමාර දිසානායක, හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.එච්. සරත් විජේසිංහගේ සභාපතිත්වයෙන් සාමාජිකයින් හය දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර ඇත. ඇතාගේ මරණයේ සෘජු හා වක්‍ර හේතු සහ ප්‍රතිකාරයේ අඩුපාඩු සොයා බැලීම, වන අලි සුබසාධනය සඳහා සම්මත ක්‍රියා පටිපාටියක් සකස් කිරීම සහ ජාතික අලි සංරක්ෂණ වැඩසටහනක් නිර්දේශ කිරීම එහි කාර්යයයි. දින 30ක් ඇතුළත වාර්තාව ජනාධිපතිවරයාට ලබා දිය යුතුය (මෙතනින්).

    පරිසර අමාත්‍යවරයා වගකීම භාර ගනී; විපක්ෂය ආණ්ඩුවට චෝදනා කරයි

    ඔක්තෝබර් 20 වනදා බත්තරමුල්ල පරිසර අමාත්‍යාංශය ඉදිරිපිට පරිසරවේදීන් පිරිසක් “කාවන්තිස්සට යුක්තිය” ඉල්ලා විරෝධතාවක් පැවැත්වූහ. එදින පාර්ලිමේන්තුවේදී පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැඳි, කාවන්තිස්ස සම්බන්ධ වගකීම භාර ගන්නා බව පැවසීය.

    ඇතා මියගියේ වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල හේතුවෙන් බවත්, ඇතා බේරාගැනීමට තායිලන්තයේ සහ ඉන්දියාවේ පශු වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ලබාගත් බවත්, මරණය පිටුපස සංවිධානාත්මක කුමන්ත්‍රණයක් ඇත්දැයි විමර්ශනය කරන බවත් ද ඔහු පැවසීය.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එදින පාර්ලිමේන්තුවේදී, ඇතාට වෙඩි වැදීම ගැන මාස එකහමාරක් අවධානය යොමු නොවූ බවත්, ඉඩම්වලට පැමිණෙන සතුන්ට වෙඩි තබන ලෙස පවසමින් ආණ්ඩුව ගිනි අවි ලබා දුන් බවත් චෝදනා කළේය. ඔහු සැකකරුගේ පක්ෂ සම්බන්ධතාව ගැන අදහස් දැක්වූ බවක් වාර්තා වී නැත.

    YouTube

    සිදු වූයේ කුමක්ද? ඉදිරියේදී සිදුවිය යුත්තේ කුමක්ද?

    මෙතෙක් පවතින තොරතුරු අනුව ස්ථාවර තුනක් ඉදිරියට පැමිණ ඇත. වනජීවී නිලධාරීන් සැක කරන්නේ, බලපත්‍ර සහිත ගිනි අවියක් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් ඇතාට වෙඩි තැබීමට යොදා ගත් බවයි. සැකකරුවන්ගේ නීතිඥවරුන් සහ පවුලේ අය පවසන්නේ, මහජන කැලඹීමෙන් පසු බලපත්‍රලාභී ගිනි අවි හිමියන් අත්අඩංගුවට ගත් නමුත් ගිනි අවිය සහ වෙඩි තැබීම අතර විද්‍යාත්මක සම්බන්ධයක් පෙන්වා නැති බවයි. පරිසර අමාත්‍යාංශය සංවිධිත කණ්ඩායමක් ක්‍රියාත්මක වූයේද යන්න ද සොයයි. මේ කිසිවක් මෙතෙක් අධිකරණයේ සනාථ වී නැත.

    නඩුව ඔක්තෝබර් 28 වනදා නැවත කැඳවීමට නියමිතය. සැකකරුවන් එක් එක් අය සම්බන්ධ වූ ආකාරය, දිනය සහ වේලාව, විද්‍යාත්මක සාක්ෂි සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් ගැන සවිස්තර වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත. ඇතාගේ සිරුරෙන් ලබාගත් සාක්ෂි සහ සැකකරුවන්ගේ ගිනි අවි පිළිබඳ විද්‍යාත්මක පරීක්ෂණ මෙම නඩුවේ තීරණාත්මක වනු ඇත. ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් නොවුවහොත් සැකකරුවන්ට ඇප ලැබීමේ හැකියාව ඇති අතර, සාක්ෂි ඉදිරිපත් වුවහොත් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ චෝදනා ගොනු විය හැකිය. පේරාදෙණිය පරීක්ෂණ ප්‍රතිඵල සහ ජනාධිපති කමිටු වාර්තාව ද ඉදිරියේදී අපේක්ෂිතය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව, කාවන්තිස්සට වෙඩි තැබුවේ පොහොට්ටු සාමාජිකයෙකු යැයි ප්‍රචාරය වන සටහන් නොමඟ යවන සුළුය. අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ගල්ගමුව සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලයේ පොහොට්ටු පාර්ශ්වයේ සාමාජිකයෙකු බව අධිකරණ වාර්තාකරුවන් පවසන නමුත්, පොලීසිය හෝ පොහොට්ටුව එය නිල වශයෙන් තහවුරු කර නැත. ඊටත් වඩා වැදගත් ලෙස, සැකකරුවන් දෙදෙනාගෙන් කිසිවෙකු කාවන්තිස්සට වෙඩි තැබූ බවට සාක්ෂි ඔක්තෝබර් 19 වනදා අධිකරණයට ඉදිරිපත් නොවූ අතර, එම සාක්ෂි කුමක්දැයි මහේස්ත්‍රාත්වරිය විසින්ම විමසා තිබේ. සැකකරුවෙකු “වෙඩි තැබූ පුද්ගලයා” ලෙස හැඳින්වීම, නඩු විභාගයකට පෙර වරද පවරා දීමකි. එමෙන්ම, කාවන්තිස්සට වෙඩි තැබුවේ සජබ මාධ්‍ය අංශයේ අයෙකු හෝ සජබ සාමාජිකයෙකු යැයි කියන සටහන්වලට කිසිදු පදනමක් නැත.

    මෙය වර්ධනය වන පුවතකි. ඔක්තෝබර් 28 නඩු දිනයේදී සහ විද්‍යාත්මක පරීක්ෂණ ප්‍රතිඵල ලැබුණු පසු මෙම ලිපිය යාවත්කාලීන කරන්නෙමු.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-21

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.