පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දින දහයක් පමණ පැවති සත්‍යග්‍රහය, ත්රිනිකායික මහානායක හිමිවරුන්ගේ ලිඛිත දැනුම්දීමකින් පසු 2026 ඔක්තෝබර් 25 දින තාවකාලිකව අත්හිටුවූවා.
ඒ අතරතුර, අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් “අපේ ජාතිය කොච්චර අසරණ වෙලාද” යැයි පවසමින් සිංහල බෞද්ධ රජෙකු පතා ප්‍රාර්ථනා කරන වීඩියෝ ඛණ්ඩ සහ පින්තූර සමාජ මාධ්‍යයේ බහුලව සංසරණය වුණා. මෙම අදහස් දැක්වීම මෑතකදී සිදු කරන ලද්දක් ද, යන්න අප පරීක්ෂා කරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“අපේ ජාතිය කොච්චර අසරණ වෙලාද කිව්වොත් පාවලා දෙන්නෝ තමයි උඩ ඉඳලා පහළටම – කිරිබත්ගොඩ හිමි” යනුවෙන් සඳහන් කර තිබූ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හවුමාරු වී තිබුණේ මෙලෙසින්.


විමර්ශනයට ලක් කළ ප්‍රකාශය :
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මෑතකදී (2026 ඔක්තෝබර්) ජාතිය අසරණ වී ඇති බව ත්, ඉහළ සිට පහළටම පාවාදෙන්නන් සිටින බව ත් පවසමින්, මිසදිටු බල මැඩලිය හැකි සිංහල බෞද්ධ රජෙකු පතා ප්‍රාර්ථනා කළ බව.
Fact Check (කරුණු පරීක්ෂාව) :
මෙම වීඩියෝව 2019 දර්ශනයකි
මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමේදී මෙම දේශනයේ සම්පූර්ණ වීඩියෝව ශ්‍රද්ධා රූපවාහිනියේ යූටියුබ් නාලිකාවේ 2019 සැප්තැම්බර් 17 දින, එනම් මීට වසර 7කට පෙර, “සිරි දම්පල් අභිනන්දන | සම්පූර්ණ වැඩසටහන” නමින් පළ කර ඇති බව දැක ගන්නට ලැබුණා. පැය හතරක් ඉක්මවන එම වීඩියෝවේ ඤාණානන්ද හිමියන්ගේ දේශනය ඇත්තේ 4:24:44 සිට 4:42:48 දක්වා පමණයි.
අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ මෙම උළෙල 2019 සැප්තැම්බර් 14 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැත්වූ බව ත්, එයට තරුණ දෙමාපියන් සහ යොවුන් දූදරුවන් 5,000ක් පමණ සහභාගී වූ බව ත් මහමෙව්නාව භාවනා අසපුවේ නිල වෙබ් අඩවිය සඳහන් වී තිබුණේ මෙලෙසිනි. ඔක්තෝබර් 24 දින පළ වූ වීඩියෝවේම ඇති ශාලාවේ දර්ශනයක, වේදිකාව පිටුපස “155” යන සැමරුම් ලාංඡනය පැහැදිලිව දැකගත හැකිය.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ දර්ශනය සහ මුල් වීඩියෝවේ 4:28 අවට රාමුව සමඟ සසඳන විට, එකම මයික්‍රෆෝන පෙළ, ඒවායේ ලාංඡන, සිවුර සහ පසුබිම දිස්වේ. රීල් එක මුල් දර්ශනයේ ඉහළ කොටස පමණක් විශාලනය කර ඇති බැවින්, පහළ ඇති මල් සැරසිල්ල, ශ්‍රද්ධා ලාංඡනය සහ ධර්මපාලතුමාගේ රුව සහිත සැමරුම් ලාංඡනය එහි නොපෙනේ. දිනය හඳුනාගත හැකි ලකුණු ඉවත් වී ඇත්තේ ද මේ නිසවෙනි.

“අසරණ ජාතිය” ප්‍රකාශය සහ “රජෙකු පතා ප්‍රාර්ථනය” එකම දේශනයේ කොටස්ය
මුල් වීඩියෝවේ 4:28:53 අවට හිමියන් ජාතිය කොතරම් අසරණද යන්න ගැන කතා කරයි. ඉන් අනතුරුව බෞද්ධ ව්‍යාපාරිකයන් අතර එකමුතුවක් නැති බවත්, “උඩ ඉඳලා පල්ලහටම” පාවාදෙන්නන් සිටින බවත් පවසයි. ඉහත වීඩියෝවල ඇති පාඨ මෙම කොටස්වලින් සකස් කර ඇත.
“මිසදිටු බල මැඩලිය හැකි, බුදු සසුන නගාලිය හැකි සිංහල බෞද්ධ රජෙක් මේ සිරිලකට ලැබේවා” යන ප්‍රාර්ථනය ඇත්තේ 4:31:20 සිට 4:32:23 දක්වා පමණය. එය තෙරුවන්, ජය ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය සහ දෙවිවරුන් සිහිකරමින් සභාව සමඟ එක්ව කළ ප්‍රාර්ථනාවක කොටසකි. ඉන්පසු දෙවිවරුන්ට, ත්‍රිවිධ හමුදාවට, රණවිරුවන්ට සහ අනගාරික ධර්මපාලතුමාට පින් අනුමෝදන් කිරීම සිදු වේ.
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වන වීඩියෝ මෙන් ම සටහන් ඇති ඤාණානන්ද හිමියන්ගේ ප්‍රකාශ ව්‍යාජ ලෙස නිර්මාණය කළ ඒවා නොවේ. ගැටලුව වන්නේ ඒවා පැවසූ දිනය සහ අවස්ථාව ඇතුළත් සන්දර්භය ඉවත් කර මෑථකදී පළ කරන ලද බවට සඳහන් කිරීමයි.
දේශනය කළේ 2019 ජනාධිපතිවරණයට මාස දෙකකට පමණ පෙරය
මෙම දේශනය කළ 2019 සැප්තැම්බර් මාසය වන විට රට පාලනය කළේ 2015 ජනවාරියේ සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ “යහපාලන” ආණ්ඩුවයි. එම වසරේ අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වී මාස පහක් පමණ ගත වී තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස 2019 අගෝස්තු 11 දින නම් කළේ මෙලෙසිනි. මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 16 දින පවත්වන බවත්, නාමයෝජනා ඔක්තෝබර් 7 දින භාරගන්නා බවත් නිවේදනය කළේ සැප්තැම්බර් 18 දිනය, එනම් මෙම දේශනයෙන් දින හතරකට පසුවය ඒ පිළිබඳව මෙතනින්.
එබැවින් “සැබෑ නායකයෙක් අපට ලැබේවා” යන ප්‍රාර්ථනාව කළේ, ජනාධිපතිවරණයක් ළඟා වෙමින් තිබූ, එහෙත් එය නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත් නොකළ කාලයකදීය. අප පරීක්ෂා කළ කොටසේ හිමියන් විසින් කිසිදු පක්ෂයක් හෝ අපේක්ෂකයෙකු පිළිබඳ සඳහන් කර නැත.
ඉන් පසු රටේ නායකත්වය තුන් වරක් වෙනස් විය
ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 නොවැම්බර් 17 දින ජනාධිපති ධුරයට පත් වී 2022 ජූලි 14 දින ඉල්ලා අස් විය. ඉන් පසු රනිල් වික්‍රමසිංහ මහතා 2022 ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 22 දක්වාත්, අනුර කුමාර දිසානායක මහතා 2024 සැප්තැම්බර් 22 සිට මේ දක්වාත් ජනාධිපති ධුරය දරයි.
එනම්, 2019 දේශනයේ ජාතිය අසරණ වීම සහ පාවාදෙන්නන් ගැන කියවෙන දේ කියූ කාලයේ රට පාලනය කළ ආණ්ඩුව සහ වර්තමාන ආණ්ඩුව සම්බන්ධ ප්‍රකාශයක් නොවේ.
කිසිදු සටහනක 2019 වසර හෝ ධර්මපාල සැමරුම සඳහන් නොවේ
අප පරීක්ෂා කළ මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වී තිබූ සටහන්වල “සිරි දම්පල් අභිනන්දන” උළෙල හෝ 2019 වසර සඳහන් නොවේ. එබැවින්, වසර හතකට පෙර අනගාරික ධර්මපාල සැමරුමකදී කළ කතාවක්, 2026 වසරේ පසුගිය දිනවල සිදුවීම් ගැන හිමියන් දැක්වූ ප්‍රතිචාරයක් ලෙස සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග යන ආකාරයට බෙදාහැරී ඇති බව දැක ගන්නට ලැබේ.
මෙම සටහන් පළ වූයේ ඥානසාර හිමියන්ගේ නිදහස ඉල්ලා පැවති උද්ඝෝෂණය සහ 2026 ඔක්තෝබර් 18 දින මිහින්තලේ මිහිඳු මහ සෑයේ කොත් පැළඳවීම පිළිබඳ මතභේදය සමාජ මාධ්‍යයේ උණුසුම්ව තිබූ කාලයේදී වේ. එම උළෙලට පැමිණි තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි රාජ්‍ය තාන්ත්‍රික ගෞරව නොලැබුණු බවට එක්සත් ජාතික පක්ෂය කළ චෝදනාවට විදේශ කටයුතු අමාත්‍යාංශය දුන් පැහැදිලි කිරීම මෙතනින්. මිහිඳු මහ සෑයේ ප්‍රතිසංස්කරණය 2020 ඔක්තෝබර් 24 දින මහමෙව්නාව භාවනා අසපුවේ දායකත්වයෙන් ආරම්භ වූ බැවින්, එම සාකච්ඡාවේදී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ නම ද නිතර සඳහන් විය.
හිමියන් වත්මන් සිදුවීම් ගැන මෑතදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ බවට වාර්තාවක් නැත
ඥානසාර හිමියන්ගේ නිදහස ඉල්ලා පැවති පාගමන සහ සත්‍යග්‍රහය පිළිබඳ ඔක්තෝබර් මාසයේ පළ වූ ප්රවෘත්ති වාර්තා සහ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ආශ්රිත සමාජ මාධ්‍ය සටහන් අපි පරීක්ෂා කළද, එම කාලයේ මහමෙව්නාව භාවනා අසපුවේ නිල ෆේස්බුක් පිටුවේ පළ වී තිබුණේ භාවනා උපදෙස්, ධර්ම දේශනා සහ ළමා කතා වැනි ධර්ම කරුණු පමණි මෙතනින්.
ඥානසාර හිමියන්ගේ ගැටලුව, මිහින්තලේ උත්සවය හෝ වත්මන් ආණ්ඩුව ගැන හිමියන් ප්‍රසිද්ධියේ අදහස් දැක්වූ බවට හෝ මෙම වීඩියෝ ගැන ප්‍රතිචාර දැක්වූ බවට වාර්තාවක් 2026 නොවැම්බර් 2 දක්වා අපට හමු නොවීය.
මහමෙව්නාව භාවනා අසපුව
මෙම වීඩියෝ ගැන හිමියන්ගේ අදහස දැන ගැනීමට අප මහමෙව්නාව භාවනා අසපුවෙන් විමසීමක් කළ අතර, එහි හිමිනමක් සඳහන් කළේ, මෙය නොමග යවන සුළු බව ත්, මෙම වීඩියෝව වත්මනදී හුවමාරු වීම පිළිබඳ ෆේස්බුක් ආයතනයටද, වාර්තා කළ බවයි. මෙය 2019 වසරේ අනගාරික ධර්මපාල ගුණානුස්මරණ පින්කමකදී කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් සිදු කළ ප්‍රකාශයක් වත්මන් ආණ්ඩුව පිළිබඳව කළ ප්‍රකාශයක් බවට හැඟවෙන අයුරින් මෙම වීඩියෝව බෙදා හැරෙන බවයි. එමෙන් ම වත්මන් ආණ්ඩුව පිළිබඳව මේ ආකාරයෙන් විවේචනයක් මහමෙව්නා භාවනා අසපුව විසින් නොදරන බව ත්, අප කළ විමසීමේදී උන්වහන්සේ පැවසූහ.
පැරණි දේශනයක් බෙදාගැනීම වරදක් නොවේ, එහෙත් දිනය ඉවත් කිරීම නොමඟ යවයි
මෙම වචන හිමියන්ගේම වන අතර, ඒවා බෙදාගන්නා බොහෝ දෙනා හිමියන්ගේ අදහස්වලට ගරු කරමින් එම වීඩියෝ/ සටහන් හුවමාරු කර ගැනීම සිදු කළ හැක. එහෙත් 2019 දී, වෙනත් රජයක් යටතේ සහ වෙනත් පසුබිමක කළ කතාවක් දිනය නොමැතිව පළ කිරීමෙන්, හිමියන් අද පවතින තත්ත්වය ගැන එසේ ප්‍රකාශ කළ බවට පාඨකයා වරදවා තේරුම් ගත හැකිය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion):
කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් “ජාතිය අසරණ” බව පවසා සිංහල බෞද්ධ රජෙකු පතා ප්‍රාර්ථනා කරන දර්ශන 2026 දී කළ ප්‍රකාශ නොවේ. ඒවා අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන්, 2019 සැප්තැම්බර් 14 දින සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති “සිරි දම්පල් අභිනන්දන” උළෙලේ දේශනයක කොටස් බව ශ්‍රද්ධා රූපවාහිනියේ සම්පූර්ණ වීඩියෝව සහ මහමෙව්නාව භාවනා අසපුව තහවුරු කරයි. එනම් හුවමාරු වන වීඩියෝව, 2019 ජනාධිපතිවරණයට මාස දෙකකට පමණ පෙර, සිදුවූ දේශනයක කොටසකි.
වචන සැබෑ වුවත්, දිනය සහ අවස්ථාව ඉවත් කර වත්මන් සිදුවීම් අතරේ බෙදාහැරෙන බැවින්, මෙය නොමග යවන සුළු සටහනකි.


