Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනපති අනුර සමග සාකච්ඡාවෙන් පසු මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කළා ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-09
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සිරදඬුවම් නියමවී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිදුවීම වෙත රටේ විවිධ පාර්ශවයන්හි විශාල අවධානයක් යොමු වී ඇති වටපිටාවක, මීට ඩිං කිහිපයකට පෙර, ජනාධිප

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    සිරදඬුවම් නියමවී සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිදුවීම වෙත රටේ විවිධ පාර්ශවයන්හි විශාල අවධානයක් යොමු වී ඇති වටපිටාවක, මීට ඩිං කිහිපයකට පෙර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් නියෝජනය කරන මහා සංඝරත්නය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

    එම හමුවෙන් පසු මහා සංඝරත්නය විසින් නිවේදනයක් නිකුත් කර ඇතැයි, කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් හුවමාරු වෙමින් තිබෙන අතර මේ එම සටහන්වල නිර්වද්‍යතාව සොයා බැලීමට අප සිදු කළ කරුණු පරීක්ෂාවයි.

    සමාජ මාධ්‍ය සටහන (Social Media Post) :

    මේ වන තෙක් මහා සංඝරත්නය අනවබෝධයක සිටි බවත් ජනාධිපතිවරයා සිවිල් නීතිය හා අපරාධ නීතිය පිළිබඳව තමන් වහන්සේට පැහැදිලි කර දුන් බවත්, එම අවස්ථාව ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයාට පිං දෙන බවත් සඳහන් කරමින්, මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කර ඇතැයි පහත සටහනේ සඳහන් ය. සටහන පළ කර ඇත්තේ, සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා මහා සංඝරත්නය සමග කතාබහ කරමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ද සමගිනි.

    මහා සංඝරත්නයේ නිවේදනයක් යැයි NPP Balangoda ෆේස්බුක් පිටුවේ පළ කළ සටහනේ තිර රූපය

    Facebook | Archived

    මෙම සටහනේ සත්‍යතාව විමසා බැලීමට අප පියවර ගත්තා

    පරීක්ෂාවට ලක් කළ ප්‍රකාශය (Claim under test) :

    2026 ඔක්තෝබර් 8 වැනිදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු, තමන් මෙතෙක් අනවබෝධයක සිටි බවත්, ජනාධිපතිවරයා සිවිල් හා අපරාධ නීතිය පැහැදිලි කර දුන් බවත් දක්වමින්, මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කළා ය යන්න.

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    ජනාධිපතිවරයා සහ මහා සංඝරත්නය අතර සාකච්ඡාව 2026 ඔක්තෝබර් 8 වැනිදා ජනාධිපති ලේකම් කාර්‍යාලයේදී පැවැත්විණි

    ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි වස්ත්‍රවලින් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපිය, ඒ හා බැඳුණු සමාජ තත්ත්වය සහ අනාගතයේදී ගත යුතු පියවර සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව පැවැත්විණි. ජනාධිපති මාධ්‍ය අංශය (PMD) එදිනම නිකුත් කළ නිවේදනයට අනුව, නම් සඳහන් කර ඇති ත්‍රෛනිකායික හිමිවරුන් හත් නමක් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර බුද්ධශාසන අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ද එහි සිටියහ. ජනාධිපතිවරයා පළ කළ අදහස් PMD හි ෆේස්බුක් පිටුවෙන් මෙන්ම ප්‍රවෘත්ති විකාශවලින් ද දැක ගත හැකි ය.

    ජනාධිපතිවරයා පැහැදිලි කළේ බන්ධනාගාර නීති රාමුව මිස සිවිල් හා අපරාධ නීතිය නොවේ

    PMD නිවේදනයට අනුව ජනාධිපතිවරයා පැහැදිලි කළේ, 1877 දී පනවන ලද බන්ධනාගාර ආඥාපනතත්, එහි 94 වැනි වගන්තිය යටතේ ඇමතිවරයා නිකුත් කරන රෙගුලාසිත්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කරන ස්ථාවර නියෝගත් ය.

    භික්ෂූන් වහන්සේලා ගැන විශේෂයෙන් සඳහන් වන්නේ 216 වැනි රෙගුලාසියේ පමණක් බවත්, රක්ෂිත බන්ධනාගාරගත අයට මෙම ගැටලුව ඇති නොවන බවත්, සරල සිරදඬුවමකදී බන්ධනාගාර අධිකාරීගේ අනුමැතිය සහිතව ඇඳුම තෝරා ගත හැකි නමුත්, බරපතළ වැඩ සහිත සිරදඬුවමකදී බන්ධනාගාරය සපයන ඇඳුම ඇඳිය යුතු බවත්, පැවසීය.

    නීතිය පවතිද්දී තනි පුද්ගලයන් වෙනුවෙන් නියෝග නිකුත් නොකරන බවත්, නීතිය නුසුදුසු නම් නිසි පරිදි සංශෝධනය කළ යුතු බවත් ජනාධිපතිවරයා තවදුරටත් පෙන්වා දී තිබුණි. එම නිවේදනයේ කිසිදූ අවස්ථාවක “සිවිල් නීතිය” හෝ “අපරාධ නීතිය” යන යෙදුම් දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

    සාකච්ඡාවෙන් පසු සටහනේ සඳහන් ආකාරයේ නිවේදනයක් මහා සංඝරත්නය නිකුත් කළ බවට වාර්තාවක් අප හමු කර ගත්තේ නැත

    2026 ඔක්තෝබර් 9 වැනිදා දක්වා අප සිදු කළ සෙවීම්වලදී, PMD නිවේදනයේ හෝ ඒ හා සම්බන්ධව සිදුකළ පුවත් වාර්තාවල හෝ, වයිරල් සටහන්හි දැක්වෙන ලෙස නිවේදනයක්, මහා සංඝරත්නය නිකුත් කිරීමක් ගැන සඳහනක් දක්නට නොලැබුණි.

    නිල නිවේදනයට අනුව මහා සංඝරත්නය ප්‍රකාශ කළේ කෘතඥතාව හා ආශීර්වාදය මිස අනවබෝධයක් නොවේ

    PMD නිවේදනයේ සහ පුවත් වාර්තාවල දැක්වෙන්නේ, සාකච්ඡාවට සහභාගී වූ මහා සංඝරත්නය, මහානායක හිමිවරුන් වෙනුවෙන්, සංවේදී කරුණු සම්බන්ධයෙන් ඉක්මන් විසඳුම් ලබා දීමට පියවර ගැනීම ගැන ජනාධිපතිවරයාට කෘතඥතාව සහ ආශීර්වාද පළ කළ බවයි. එබැවින් ජනාධිපතිවරයාට ස්තූති කළ බව සඳහන් සටහනේ කොටස අර්ධ වශයෙන් සත්‍ය ය. එහෙත් ස්තූති කර ඇත්තේ “මෙම අවස්ථාව ලබාදීම” ගැන නොව, ගැටලුවලට ඉක්මන් විසඳුම් සැපයීමට ගත් පියවර ගැන ය.

    සාකච්ඡාවට පෙර මහානායක හිමිවරුන් ප්‍රකාශ කර තිබුණේ චීවර ඉවත් කිරීම පරිපාලන කරුණක් පමණක් නොවන බවයි

    බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කළ මහානායක හිමිවරු, චීවර ඉවත් කිරීම පරිපාලනමය කරුණක් පමණක් ලෙස සැලකිය නොහැකි බවත්, එය භික්ෂු සංඝයාගේ ආගමික අධිකාරියට අයත් කරුණක් බවත් පෙන්වා දුන් බව පුවත් වාර්තා වල දැක්වෙනවා. එම ස්ථාවරය සාකච්ඡාවෙන් පසු වෙනස් වූ බවට සාක්ෂියක් අප හමු වුයේ ද නැත.

    සාකච්ඡාවට සහභාගී වූ නායක හිමියන් නමක් සටහන අසත්‍ය බව අපට පැවසීය

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයට ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කර තිබේ දැයි සාකච්ඡාවට සහභාගී වූ ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමීන් වහන්සේගෙන් අප විමසා සිටියා. උන්වහන්සේ ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු මහා සංඝරත්නය කිසිදු නිවේදනයක් නිකුත් නොකළ බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍යක් බව ද උන්වහන්සේ ප්‍රකාශ කර සිටියහ.

    ජනාධිපතිවරයා සමග පැය ඒක හමාරක් පමණ කාලයක් අදාළ සාකච්ඡාව පැවති බවත් එහිදී අවුරුදු 40 ගාණක් සිවුරක් දරාගෙන සිට උපසම්පදාවේ පිහිටුවන ලද භික්ෂූන් වහන්සේ නමකට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇත්තේ, සමාජ විරෝධි, විනය විරෝධි හෝ භික්ෂුභාවය අහෝසිවන ක්‍රියාවක් සිදුකිරීම නිසා නොව බවට මහා සංඝරත්නය ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළ බව නායක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා.

    තව ද මෙම තත්ත්වය අදාළ හිමියන්ට පමණක් සීමා වූ කරුණක් ලෙස නොසලකා, අනාගතයේදී වෙනත් භික්ෂූන් වහන්සේ නමකට ද එවැනි තත්ත්වයක් ඇති විය හැකි බැවින්, ඒ සඳහා සුදුසු නීතිමය පසුබිමක් සකස් කිරීමේ අවශ්‍යතාව මහා සංඝරත්නය පෙන්වා දුන් බව ද නායක ස්වාමීන් වහන්සේ සඳහන් කළා.

    යම් වරදක් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරගත කළ විට ඒ පිළිබඳව අදාළ නිකාය පාර්ශ්වයට දැනුම් දීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙස මහා සංඝරත්නය යෝජනා කර තිබේ.

    “අපි යෝජනා කළා. යම් භික්ෂුවහන්සේ නමක් සිරගත වුණාට පසුව යම් වරදකට අදාළ නිකාය පාර්ශවයට දන්වන්න. එතකොට උන්වහන්සේ සම්බන්ධයෙන් බැහැරට ගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග කුමක්ද කියන එක. නඩු වාර්තාව බලලා, සංඝ සභාව තීරණය කරාවි හාමුදුරුවො සිවුරෙන් ද එළියට ගෙනියන්නේ, ගිහි ඇඳුමෙන් ද සංඝ සභාව කියනවා නම්, සිවුරෙන් අරන්යන්න කියලා ඒ අවස්ථාවේ සිවුරෙන් අරන් යන්න කියලා”

    සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පැවසූ කමිටුව එදිනම පත් කර ඇත

    සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පැවසුවේ, භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයේ රඳවා ගන්නා ආකාරය සහ බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ නීති සංශෝධනයට කමිටුවක් පත් කරන බවත්, එම කමිටුව සති දෙකක් ඇතුළත සංශෝධන ඉදිරිපත් කළ යුතු බවත්, භික්ෂූන්ට බලපාන කොටස් මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කර සංශෝධනය කරන බවත් ය. PMD හි දෙවන නිවේදනයකට අනුව එම කමිටුව 2026 ඔක්තෝබර් 8 වැනිදාම පත් කර ඇත. එහි සාමාජිකයන් ලෙස නම් සඳහන් කර ඇත්තේ බුද්ධශාසන, අධිකරණ සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශවල නිලධාරීන්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකි.

    ඥානසාර හිමියන් නැවත බන්ධනාගාරගත වූයේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කිරීමෙන් පසුව ය

    ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳ නඩුව 2016 ජනවාරි 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබියදී, අධිකරණයට අවසරයකින් තොරව කතා කිරීම ඇතුළු ක්‍රියා සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ඉදිරිපත් විය. 2018 අගෝස්තු 8 වැනිදා අභියාචනාධිකරණය උන්වහන්සේ ඒ චෝදනාවලට වරදකරු කොට, බරපතළ වැඩ සහිත වසර 19ක සිරදඬුවමක් නියම කළේ ය; එය වසර හයකින් ගෙවී යන ලෙස නියෝග කෙරිණි. එහෙත් 2019 මැයි 23 වැනිදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උන්වහන්සේට ජනාධිපති සමාව ප්‍රදානය කළේ ය.

    එම සමාවට එරෙහිව සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ ජනාධිපති සමාව නීතිය ඉදිරියේ බලරහිත බවට 2026 සැප්තැම්බර් 10 වැනිදා වාර්තා වූ තීන්දුවකින් නියම කළේ ය. අධිකරණය හමුවේ පෙනී නොසිටි ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය 2026 සැප්තැම්බර් අග වරෙන්තු නිකුත් කළ අතර, උන්වහන්සේගේ විදෙස් ගමන් ද තහනම් කළේ ය.

    ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු 2026 ඔක්තෝබර් 3 වැනිදා රාත්‍රියේ කළුතර, තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටි උන්වහන්සේ අත්අඩංගුවට ගත්හ. ඔක්තෝබර් 4 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ උන්වහන්සේ ඔක්තෝබර් 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. ඔක්තෝබර් 5 වැනිදා අභියාචනාධිකරණය, උන්වහන්සේට නියම කර තිබූ වසර හයක සිරදඬුවම නැවත ක්‍රියාත්මක කරන ලෙස නියෝග කළේ ය.

    2026 ඔක්තෝබර් 6 වැනිදා, ඉස්ලාම් දහම පිළිබඳ ප්‍රකාශ කළ බවට නීතිපති ගොනු කළ නඩුවක් සඳහා ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, උන්වහන්සේ සිවුර වෙනුවට බන්ධනාගාර ඇඳුමින් සිටීම සමාජයේ විශාල අවධානයට ලක් විය. එම නඩුව විභාග වෙමින් පවතින අතර එහි චෝදනා ඔප්පු වී නොමැත. මෙම සිදුවීමෙන් පසු මහානායක හිමිවරු සිය කනස්සල්ල පළ කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කළහ. විස්තර විස්තර මෙතැනින්, මෙතැනින් සහ මෙතැනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2026 ඔක්තෝබර් 8 වැනිදා ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් පසු, මෙතෙක් අනවබෝධයක සිටි බවත් ජනාධිපතිවරයා සිවිල් නීතිය හා අපරාධ නීතිය පැහැදිලි කර දුන් බවත් දක්වමින් මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කළ බවට සාක්ෂියක් නොමැති බවයි.

    ජනාධිපති මාධ්‍ය අංශයේ නිල නිවේදනයට අනුව ජනාධිපතිවරයා පැහැදිලි කළේ බන්ධනාගාර නීති රාමුව යන්න වන අතර, මහා සංඝරත්නය ප්‍රකාශ කර ඇත්තේ ගැටලුවලට ඉක්මන් විසඳුම් සැපයීමට පියවර ගැනීම ගැන කෘතඥතාව හා ආශීර්වාදය කරන බවයි. එබැවින් ස්තූති කිරීම පිළිබඳ කොටස අර්ධ වශයෙන් සත්‍ය වුවද, නිවේදනයක් නිකුත් කළ බවත්, අනවබෝධයක සිටි බවත් යන ප්‍රධාන කරුණු සනාථ නොවන අතර, සාකච්ඡාවට සහභාගී වූ හිමියන් නමක් ද එවැනි ආකාරයේ නිවේදනයක් නිකුත් නොකළ බව අපට පැවසීය. ඔක්තෝබර් 08 වැනිදා ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවෙන් පසු මහා සංඝරත්නය ඒ හා සම්බන්ධව නිවේදනයක් නිකුත් කර නොමැත.

    Result Stamp

    Title: ජනපති අනුර සමග සාකච්ඡාවෙන් පසු මහා සංඝරත්නය නිවේදනයක් නිකුත් කළා ද?

    Fact Check By: Sagarika Chathumali

    Result: False

    WhatsApp හරහා ලැබෙන වීඩියෝ සහ රූප සත්‍යාපනය කරගැනීමට සහ අපගේ WhatsApp විකාශනයට සම්බන්ධ වීමට නම සහ භාෂාව එවන ලෙස දැනුම් දෙන සටහන
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2026-10-09

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.