දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Lanka Metro Transit (Pvt) Ltd ආයතනය මඟින් මගී ඉල්ලුම සාපේක්ෂව අඩු සති අන්ත දිනවලදී මහජනතාවට තමන්ගේ පෞද්ගලික චාරිකා සඳහා මෙට්රෝ බස් රථ වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දෙන බව දක්වන පුවත් සටහන් පෙළක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මෙහි සත්ය අසත්යභාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
මෙම පුවතෙහි සඳහන් වන්නේ ලංකා මෙට්රෝ ට්රාන්සිට් (Lanka Metro Transit) ආයතනය විසින් මෙට්රෝ බස් රථ සේවාව සම්පූර්ණයෙන්ම ආරම්භ කිරීමෙන් පසුව, සෙනසුරාදා සහ ඉරිදා දිනවල (සති අන්තයේ) පෞද්ගලික ගමන් බිමන් සඳහා මහජනතාවට එම බස් රථ කුලියට දීමේ නව වැඩසටහනක් සැලසුම් කරමින් සිටින බවයි.
මෙට්රෝ බස් රථ පෞද්ගලික ගමන් සඳහා වෙන්කරවා ගැනීමට කැමති අයදුම්කරුවන්ට ඒ සඳහාම වෙන් කර ඇති Metro Bus ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් අවශ්ය කටයුතු සූදානම් කරගත හැකි බවත්, සති අන්තයේ මගී ඉල්ලුම අඩු වන බැවින් එම බස් රථ මෙලෙස පෞද්ගලික චාරිකා සඳහා ලබා දීමට සැලසුම් කර ඇති බව ව්යාපෘතියට අනුබද්ධ නිලධාරියෙකු විසින් සිදු කළ බව කියන ප්රකාශයක් ද ඇතුළත් කරමින් පුවත් වාර්තා පළවූ අතර ඒ ඔස්සේ සමාජ මාධ්ය සටහන් පෙළක් ද නිර්මාණය වී තිබු අයුරු පහතින්.



Facebook | Archived Link Newswire | Archived Link | Facebook
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
Lanka Metro Transit (Pvt) Ltd ආයතනය මඟින් මහජනතාවට තමන්ගේ පෞද්ගලික චාරිකා සඳහා මෙම බස් රථ වෙන්කරවා ගැනීමට අවස්ථාව සලසා දී ඇත්ද ? ඉදිරියේදී එවැන්නක් ලබා දෙන බවට එවැනි නිල නිවේදනයක් මෙට්රෝ ආයතනය විසින් පළ කර තිබේද ? යන්න පරීක්ෂා කිරීමට අප විසින් මූලික වශයෙන් කටයුතු කළා. එහිදී පැහැදිලි වූයේ එවැනි නිල තහවුරු කිරීමක් නොමැති බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ගෙන් ඍජුව විමසීමට අප විසින් කටයුතු කළා.
සභාපති ලංකා මෙට්රෝ ට්රාන්සිට් ප්රයිවට් ලිමිටඩ්
අපි විසින් මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට ලංකා මෙට්රෝ ට්රාන්සිට් ප්රයිවට් ලිමිටඩ් හි සභාපති S.M.U.P තිලකරත්න මහතාගෙන් විමසීමක් සිදු කළ අතර එහිදී ඔහු සඳහන් කළේ, පෞද්ගලික ගමන් බිමන් සඳහා මෙට්රෝ බස් රථ ලබාගත හැකි බව හෝ ඉදිරියේදී ලබා ගැනීමට හැකිවන බවට හුවමාරු වන සටහන් සම්පූර්ණයෙන්ම අසත්ය බවයි.
මෙට්රෝ බස් රථ වල වේග සීමාව පැයට කිලෝ මීටර 65ක් බවත්, ඒ අනුව අදාළ බස් රථ අධිවේගී මාර්ගයක හෝ ධාවනය කළ නොහැකි බවත්, ඒ අනුව චාරිකා වැනි පෞද්ගලික ගමන් සඳහා එම බස් රථ යොදා ගැනීමේ හැකියාවක් නොමැති බවත්, එවැනි කිසිඳු තීරණයක් / සකච්ඡාවක් හෝ සිදුව නොමැති බවයි සභාපතිවරයා විසින් වැඩිදුරටත් තහවුරු කළේ.
මෙට්රෝ බස් රථ පෞද්ගලික ගමන් බිමන් සඳහා ලබා ගත හැකි බව දක්වමින් හුවමාරු වන සටහන් සම්පූර්ණයෙන්ම අසත්ය බවට ලංකා මෙට්රෝ සමාගම විසින් සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින්ද සඳහන් කර තිබේ. එම නිවේදනය මෙතනින්.

ප්රවාහන සහ මහාමාර්ග අමාත්යංශය
අප විසින් මේ සම්බන්ධයෙන් ප්රවාහන සහ මහා මාර්ග අමාත්යවරයාගේ මාධ්ය ලේකම්වරයාගෙන්ද විමසීමක් කළ අතර, එහිදී ඔහු විසින් ද සඳහන් කළේ මෙට්රෝ බස් රථ පෞද්ගලික ගමන් බිමන් සඳහා ලබා දෙන බවට හුවමාරු වන සටහන් සම්පූර්ණයෙන්ම අසත්ය බවයි. එවැනි කිසිඳු සූදානමක් හෝ නොමැති බවයි ඔහු විසින්ද සඳහන් කළේ.
ඒ ගැන සඳහන් කරමින් ප්රවාහන අමාත්යංශය විසින් පළකර සටහන පහතින්. එම සටහනම ප්රවාහන නියෝජ්ය අමාත්යවරයා ද සිය නිල ගිණුමේ පළකර තිබුනේ මෙලෙසින්.
Newswire ආයතනයේ පැහැදිලි කිරීම
එසේම මේ ගැන පැහැදිලි කරමින්, Newswire පුවත් ආයතනය විසින් පසුව වාර්තා කර තිබුනේ, ව්යාපෘති නිලධාරියකු විසින් කරන ලද ප්රකාශයක් අදාළ පුවත සඳහා පසුබිම් වූ බවත්, එය මෙට්රෝ ආයතනයේ නිල ස්ථාවරය නොවන බවත්, මෙට්රෝ බස් රථ, පොදු ප්රවාහන සේවා සඳහා පමණක්ම වෙන් කර ඇති බවට මෙට්රෝ ආයතනය සඳහන් කරන බවයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, පෞද්ගලික ගමන් බිමන් සඳහා, මෙට්රෝ බස් රථ කුලී පදනම මත ලබාගත හැකි බව දක්වමින් හුවමාරු වන සටහන් සම්පූර්ණයෙන්ම අසත්ය බවයි. එවැනි සුදානමක් හෝ නොමැති බව ලංකා මෙට්රෝ සමාගම සහ ප්රවාහන සහ මහාමාර්ග අමාත්යංශය විසින් තහවුරු කර ඇත.



