Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මෙට්‍රො බස් රථ ධම්මික පෙරේරාගේ අරමුදල්වලින් ගෙන්වූ බවටත්, NPP ස්ටිකර් අලවා ඇති බවටත් සටහන් අසත්‍යයි.

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-13
    10 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (Lanka Metro Transit (Pvt) Ltd, LMT) සමාගම සහ මෙට්‍රො බස් රථ සම්බන්ධයෙන් මෑතකදී වඩාත් කතාබහට ලක් වී තිබේ. සමාගමේ නමෙහි “Pvt” යන වචනය පෙන්වමින් එය පෞද්ගලික හිමිකා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (Lanka Metro Transit (Pvt) Ltd, LMT) සමාගම සහ මෙට්‍රො බස් රථ සම්බන්ධයෙන් මෑතකදී වඩාත් කතාබහට ලක් වී තිබේ. සමාගමේ නමෙහි “Pvt” යන වචනය පෙන්වමින් එය පෞද්ගලික හිමිකාරිත්වයක් ඇති සමාගමක් බව දක්වන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර, ඒ පිළිබඳ අප පළ කළ කරුණු විමර්ශනය මෙතනින්

    එම විමර්ශනයෙන් පසුත්, මෙට්‍රො බස් රථ ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් ඔහුගේ මුදල් යොදවා ගෙන්වා ඇති බවටත්, ඒවායේ දේශපාලන (NPP) ප්‍රචාරක ස්ටිකර් (“රට අනුරට”) අලවා ඇති බවටත් දක්වමින් 2026 ඔක්තෝබර් මුල සිට තවත් සටහන් පෙළක් හුවමාරු වෙමින් තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. එම සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    Claim 1 : සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ධම්මික පෙරේරා මහතා ද මෙට්‍රො බස් රථ මිලදී ගැනීමට මුදල් යොදවා ඇති බව දක්වමින් සටහන් පෙළක් හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    ජයප්‍රිය නමැති පුද්ගලයෙකුගේ ෆේස්බුක් සටහන: මෙට්‍රො බස් ව්‍යාපෘතිය සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 7.5ක් වැය කළ බවට කොළ පැහැති පසුබිමක සිංහල පාඨයක්
    ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (පෞද්ගලික) සමාගම ගැන ෆේස්බුක් සටහනක තිර රුවක් සහ එයට ලැබී ඇති අදහස්

    FB | FB

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අප විසින් කටයුතු කළෙමු.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් රජයේ ආයතන යටතේ පවතින සමාගමකි

    ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් (Lanka Metro Transit – LMT) යනු ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම. / SLTB) අනුබද්ධ (subsidiary) සමාගමකි. එය 2025 ඔක්තෝබර් 3 දින සංස්ථාපනය කළ බව කැබිනට් මාධ්‍ය නිවේදනයෙහි සඳහන් වේ. වැඩිදුර තොරතුරු මෙතනින්.

    ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් සමාගමේ ලියාපදිංචි අංකය PV00341933 පෙන්වන සමාගම් රෙජිස්ට්‍රාර් වාර්තාවේ කොටසක්

    එය ලියාපදිංචි අංක PV00341933 යටතේ 2007 අංක 07 දරන සමාගම් පනතින් ලියාපදිංචි කර ඇති අතර, සමාගම් සභාපති පෙන්වා දී තිබෙන්නේ කොටස් අයිතිය බෙදී පවතින්නේ පහත සඳහන් රාජ්‍ය ආයතන දෙක යටතේ බවටයි.

    • 60% ක බහුතර කොටස් අයිතිය: සෘජුවම ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය යටතේ, මුදල් අමාත්‍යංශය
    • 40% ක කොටස් අයිතිය: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලං.ග.ම. / SLTB) යටතේ

    මේ අනුව සමාගමේ කොටස් සියල්ල රජය සතු බව සමාගමේ සභාපතිවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා අපට පැවසූ අතර (පහත සඳහන්), රජය විසින් සමාගමට ප්‍රාග්ධන (equity) ප්‍රතිපාදන ලබා දුන් බව කැබිනට් තීරණවලින් පෙනේ.

    අප පරීක්ෂා කළ කිසිදු නිල වාර්තාවක හෝ කැබිනට් තීරණයක, ධම්මික පෙරේරා මහතා හෝ වෙනත් පෞද්ගලික පුද්ගලයෙකු සමාගමේ කොටස්කරුවෙකු බව, මෙය පෞද්ගලික ව්‍යාපාරිකයෙකු සතු ව්‍යාපෘතියක් බව, හෝ පෞද්ගලික ව්‍යාපාරිකයෙකුගේ ධන පරිත්‍යාගයෙන් සිදු වූවක් බව සඳහන් නොවේ.

    “Pvt Ltd” යන්නෙන් අදහස් වන්නේ පෞද්ගලික හිමිකම නොවේ

    2007 අංක 7 දරන සමාගම් පනතට අනුව “පෞද්ගලික සමාගමක්” (private company) යනු, එහි ආයතනික ව්‍යවස්ථාවෙන් (articles) සමාගමේ කොටස් හෝ සුරැකුම්පත් ජනතාවට පිරිනැමීම තහනම් කර, කොටස්කරුවන් ගණන පණහකට සීමා කරන සමාගමකි (27 වගන්තිය). එනම් “පෞද්ගලික” යන්න කොටස් පිරිනැමිය හැකි ආකාරය පිළිබඳ නීතිමය වර්ගීකරණයක් මිස, කොටස් හිමි පාර්ශවය පෞද්ගලික පුද්ගලයකු බව නොවේ. පනතේ 4(2) වගන්තියට අනුව සමාගමකට අවම වශයෙන් කොටස්කරුවන් දෙදෙනෙකු සිටිය යුතු වුවද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කොටස් දරන භාණ්ඩාගාර ලේකම් එකම කොටස්කරුවා වන අවස්ථාවක් ඊට ව්‍යතිරේකයකි. පනත මෙතනින්.

    සමාගම් පනතේ කොටස් හිමියන් සම්බන්ධ විධිවිධාන දැක්වෙන ලේඛනයේ කොටසක් පෙන්වන ඡායාරූපය

    මෙම බස් රථ ලංකාවට ආනයනය කර ඇත්තේ රජය විසින් නිල රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සහ ටෙන්ඩර් කැඳවීම් හරහා ය. ටෙන්ඩරය හිමි කරගෙන ඇත්තේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පෞද්ගලික සමාගම (Indra Traders (Pvt) Ltd) යි.

    මෙට්‍රො බස් රථ ගෙන්වීම සඳහා 2026.05.18 දින ප්‍රවාහන අමාත්‍යාංශය සහ චීන ෆෝටෝන් (FOTON) සමාගමේ මෙරට නිල නියෝජිතයා ලෙස ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පෞද්ගලික සමාගම (Indra Traders (Pvt) Ltd) අතර බස් රථ 104ක් ආනයනය කිරීමේ නිල ගිවිසුම, අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්‍ය කපිල සී. කේ. පෙරේරා මහතාගේ සහභාගිත්වයෙන් හුවමාරු කර ගැනිණි. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්. එම බස් රථ චීනයේ FOTON සමාගමෙන් ගෙන්වන බව වාර්තා වේ. ඒ සඳහා ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කළ බව සමාගමේ සභාපතිවරයා පවසයි (පහත සඳහන්). වැඩිදුර තොරතුරු මෙතනින්.

    මෙහිදී සැපයුම්කරු පෞද්ගලික සමාගමක් ((Indra Traders (Pvt) Ltd) වීම සත්‍යයකි. එහෙත් රජය ප්‍රසම්පාදන ගිවිසුමක් යටතේ පෞද්ගලික සමාගමකින් බස් රථ මිලදී ගැනීම, එම සමාගමේ කොටස් හිමිකරුවකු බස් රථවල හිමිකරු බවට සාක්ෂියක් නොවේ. ධම්මික පෙරේරා මහතාගේ අරමුදල් යොදා ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගම හෝ වෙනත් සමාගමක් හරහා මෙම බස් රථ ගෙන්වූ බවට සටහන්වල කිසිදු සාක්ෂියක් නොමැත.

    ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට ඉන්ද්‍රා ට්‍රේඩර්ස් (Indra Traders) සමාගම තුළ කොටස් අයිතියක් හෝ හිමිකාරිත්වයක් ඇති බවට ද වාර්තා වන්නේ නැහැ.

    බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් සමාගම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කළ ජාතික තරඟකාරී ලංසු (NCB) ලේඛනය (ප්‍රසම්පාදන අංක LMT/CEO/PRO/2026/010) අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් සෘජුවම බලාගත හැකිය. එහි මූල්‍ය ප්‍රභවය ලෙස සඳහන් වන්නේ “ශ්‍රී ලංකා රජය” ය. මෙය බස් රථ 104ක ගනුදෙනුවේ ලේඛනය නොව, බස් රථ 50ක් සඳහා වූ ලේඛනයකි.

    2026 ජූනි 18 දින වාර්තා වූ පරිදි, ටෙන්ඩර් පටිපාටිය හරහා මිලදී ගත් FOTON බස් රථ 104ක් භාරදීම නිමිත්තෙන් චීනයේ බීජිං නුවර FOTON නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ පැවති විශේෂ උත්සවයකට Lanka Metro Transit නියෝජිතයෝ සහභාගී වූහ. එහි දර්ශන මෙලෙසින් සහ වාර්තාව මෙතනින්.

    බස් රථ ලබාගැනීම – ටෙන්ඩර් ගනුදෙනුව, Clean Sri Lanka වැඩසටහන සහ ජපන් ප්‍රදානය හරහා

    ලංකා මෙට්‍රො සමාගම සතුව මේ වන විට බස් රථ 122ක් ඇති බව සමාගමේ සභාපතිවරයා අපට පැවසීය. ඉන් මුල්ම බස් රථ 10 මිලදී ගෙන ඇත්තේ “Clean Sri Lanka” වැඩසටහන යටතේ වෙන් කළ ප්‍රතිපාදන මඟිනි. එය කැබිනට් මණ්ඩලය 2026 පෙබරවාරි මාසයේදී අනුමත කළ බව වාර්තා වේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින් සහ මෙතනින්.

    තවත් බස් රථ ජපන් රජයේ ප්‍රදානයක් ලෙස ලැබී ඇති බව සභාපතිවරයා පැවසීය. ජපාන තානාපති කාර්‍යාලයේ ප්‍රකාශයට අනුව 2026 සැප්තැම්බර් 2 දින භාර දුන්නේ සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ පාවිච්චි කළ පහත් පතුල සහිත බස් රථ 8කි (මෙතනින් 1). ඉතිරි බස් රථ 104 ගෙන්වා ඇත්තේ ඉහත සඳහන් ගිවිසුම හරහා ය.

    කැබිනට් තීරණවල රජයේ ප්‍රතිපාදන පැහැදිලිව දක්වා ඇත

    2026.08.03 දින කැබිනට් මණ්ඩලය, 2026.03.06 දින බස් රථ 100ක් මිලදී ගැනීම පිණිස පිරිනමන ලද කොන්ත්‍රාත්තුව යටතේම, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් 50%ක නැවත ඇනවුමක් (repeat order) ලෙස තවත් පහත් පතුල සහිත බස් රථ 50ක් ප්‍රසම්පාදනය කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අනුමත කළ බව කැබිනට් මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ. මෙට්‍රො බස් ව්‍යාපෘතියේ පළමු අදියර නුවර, ගාල්ල සහ යාපනය සඳහා බවද එහි දැක්වේ. එය කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මාධ්‍ය හමුවේ ද පැවසූ අයුරු පහතින්.

    Facebook

    මෙට්‍රො සමාගම සඳහා ගත් කැබිනට් තීරණ ඇතුළත් කැබිනට් මාධ්‍ය නිවේදන මෙතනින්, මෙතනින් සහ මෙතනින් බලාගත හැකිය. 2026.08.10 දින කැබිනට් මණ්ඩලය සමාගමට ප්‍රාග්ධන (equity) ප්‍රතිපාදන රුපියල් මිලියන 1,067.5ක් (රුපියල් බිලියන 1.06ක්) අනුමත කළේය. එයින් රුපියල් මිලියන 800ක් මධ්‍යම වැඩපොළ, බස් ඩිපෝ, අභ්‍යන්තර මාර්ග සහ බස් නැවතුම් ඇතුළු යටිතල පහසුකම් සඳහාත්, රුපියල් මිලියන 267.5ක් 2027 වසරේ මෙහෙයුම් කටයුතු සඳහාත් වෙන් කර ඇත.

    ඒ අනුව මෙට්‍රො බස් රථ සඳහා සහ සමාගමේ යටිතල පහසුකම් සඳහා රජයේ ප්‍රතිපාදන වෙන් කර ඇති බව පැහැදිලි වේ. Clean Sri Lanka වැඩසටහන සහ ජපන් ප්‍රදානය ද රාජ්‍ය හෝ විදේශ රජයක මාර්ග මිස, පෞද්ගලික ව්‍යාපාරිකයෙකුගේ ධනයෙන් ලැබුණු බවට කිසිදු සාක්ෂියක් නැත.

    මෙය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් (PPP) නොව රජයේ ප්‍රසම්පාදනයකි

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ව්‍යාපෘති බොහෝමයක් ක්‍රියාත්මක වී ඇත්තේ පෞද්ගලික පාර්ශවය ව්‍යාපෘතිය ඉදිකර, හිමිකරගෙන, මෙහෙයවන BOO සහ BOT වැනි දිගුකාලීන සහන ගිවිසුම් (concessions) ආකාරයෙනි (මෙතනින් 1). මෙට්‍රො බස් ගනුදෙනුවේ සිදු වී ඇත්තේ රජයේ සමාගමක් රජයේ ප්‍රතිපාදනවලින් බස් රථ මිලදී ගැනීමකි.

    එය ප්‍රවාහන අමාත්‍යාංශය සහ සැපයුම්කරු අතර ප්‍රසම්පාදන ගිවිසුමක් මිස, පෞද්ගලික ආයෝජකයකු බස් රථ හිමි කරගෙන මෙහෙයවන PPP ගිවිසුමක් නොවේ. එබැවින් PPP නීතිවල අවශ්‍යතා මෙම ගනුදෙනුවට අදාළ නොවන අතර, අදාළ වන්නේ රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ කැබිනට් අනුමැතියයි.

    සමාගමේ සභාපතිවරයා පෞද්ගලික සම්බන්ධයක් ප්‍රතික්ෂේප කරයි

    අපි මේ සම්බන්ධයෙන් තහවුරු කර ගැනීමට ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් ප්‍රයිවට් ලිමිටඩ් හි සභාපති S.M.U.P තිලකරත්න මහතාගෙන් විමසීමක් සිදු කළෙමු. එහිදී ඔහු පැවසුවේ මෙට්‍රො බස් රථ ගෙන්වීම සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හෝ ඔහුගේ ආයතනයක් කිසිදු ආකාරයකින් සම්බන්ධ වී නොමැති බවයි. 100%ක් රජය මගින් ප්‍රතිපාදන වෙන් කරමින් බස් රථ ගෙන්වීම සඳහා කටයුතු කළ බවත්, ඒ අනුව මේ වන විට බස් රථ 122ක් ඇති බවත්, ඉන් 104ක් රජය ටෙන්ඩර් කැඳවා එම ටෙන්ඩරය දිනා ගත් ඉන්ද්‍රා ට්‍රේඩර්ස් ආයතනය හරහා ගෙන්වා ඇති බවත්, තවත් බස් 10ක් Clean Sri Lanka අරමුදල හරහා ලැබුණු බවත්, ඉතිරි බස් රථ 8 ජපන් ආධාරයක් ලෙස ලැබුණු බවත් ඔහු සඳහන් කළේය.

    ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ද පෞද්ගලික සම්බන්ධයක් ප්‍රතික්ෂේප කරයි

    අප විසින් මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගෙන් ද විමසීමක් කළ අතර, එහිදී ඔහු ද සඳහන් කළේ මෙට්‍රො බස් රථ ගෙන්වීම සම්පූර්ණයෙන් රජයේ ප්‍රතිපාදන ඔස්සේ සිදු කළ බවත්, කිසිදු පෞද්ගලික සමාගමක් එයට සම්බන්ධ නැති බවත් ය.

    සාක්ෂියේ සීමාවන් – සමාගම් රෙජිස්ට්‍රාර්ගේ ලේඛන, අපට ලැබී නොමැති බැවින්, ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් සමාගමේ කොටස් රජයේ ආයතන අතර බෙදී ඇති නිශ්චිත ප්‍රතිශත පිළිබඳ තොරතුරු අපට නොමැත.

    Claim 2 : සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ලංකා මෙට්‍රො සමාගමට අයත් මෙට්‍රො බස් රථවල ඉදිරිපස, පිටුපස සහ අභ්‍යන්තර අසුන් මත “රට අනුරට” පාඨය සහ පුද්ගල රුවක් සහිත ස්ටිකර් අලවා ඇති බව දක්වමින් සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසිනි.

    රතු පැහැති මෙට්‍රො බස් රථ දෙකක ඡායාරූප සහ බස් රථයේ ඇතුළත දසුනක් අලවා ඇති බවට සමාජ මාධ්‍ය සටහනක තිර රුවක්
    ඉන්ස්ටග්‍රෑම් සටහනක් - රතු පැහැති මෙට්‍රො බස් රථවල ඡායාරූප සහ ඇතුළත දසුන, ස්ටිකර් අලවා ඇති බවට සිංහල පාඨයක් සමඟ

    Facebook | Archived Link | Instagram

    ඒ අනුව මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බැලීමට අප විසින් කටයුතු කළෙමු.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    නිල දර්ශනවල සහ මගීන් පළ කළ දර්ශනවල දේශපාලන ස්ටිකර් නොපෙනේ

    ලංකා මෙට්‍රො සමාගම විසින් ධාවනයට එක් කර ඇති මෙට්‍රො බස් රථ, ධාවනයට පෙර සහ ධාවනයේ යෙදී තිබියදී ලංකා මෙට්‍රො සමාගමේ නිල සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ මෙන්ම අනෙකුත් මාධ්‍ය මඟින් ද වාර්තා කර ඇත. එලෙස ප්‍රසිද්ධ කරන ලද බස් රථවල ඡායාරූප සහ දර්ශන නිරීක්ෂණය කිරීමේදී ඒවායේ කිසිදු දේශපාලන ස්ටිකරයකින් තොරව පැහැදිලිව දක්නට ලැබේ.

    Facebook

    කෙසේ නමුත්, Clean Sri Lanka ප්‍රතිපාදන ඔස්සේ ලබා ගත් බස් රථවල එම “Clean Sri Lanka” ලාංඡනය සහිත ස්ටිකර් අන්තර්ගත වේ. එසේම ජපන් ආධාරයක් ලෙස මෙරටට ලැබුණු බස් රථ තුළ ජපන්-ශ්‍රී ලංකා මිත්‍රත්වය සංකේතවත් කරන ස්ටිකර් කිහිපයක් දක්නට ලැබේ. අප විසින් පරීක්ෂා කළ දර්ශනවල ඊට අමතරව දේශපාලන පක්ෂයක් ප්‍රවර්ධනය කරන ස්ටිකර් හඳුනාගත නොහැකි විය. ඒ බව තහවුරු කෙරෙන තවත් දර්ශන මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    මෙට්‍රො බස් රථවල ගමන් ගත් මගීන් ද ඔවුන්ගේ අත්දැකීම් සටහන් තබමින් මෙට්‍රො බස් රථවල දර්ශන ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබේ. අප විසින් එම ඡායාරූප සහ දර්ශන ඔස්සේ ද පරීක්ෂා කළ අතර, එහි ද බස් රථවල මෙවැනි දේශපාලන ස්ටිකර් ආදිය හඳුනාගත නොහැකි විය. YouTube

    සටහනේ ඡායාරූපයේ ස්ටිකර් වෙනම එක් කර ඇති බව දෘශ්‍ය සන්සන්දනයෙන් පෙනේ

    මෙට්‍රො බස් රථයක සැබෑ දසුනක් සහ ඉහත සමාජ මාධ්‍ය සටහන අතර සන්සන්දනයක් පහතින්.

    වයිරල් ඡායාරූපය සහ සැබෑ මෙට්‍රො බස් රථයේ ඡායාරූපය සංසන්දනය කරන රූපයක් - වම් පස ස්ටිකර් සහිත රතු බස් රථ, දකුණු පස සැබෑ මෙට්‍රො බස් රථය

    සමාජ මාධ්‍ය සටහනෙහි දැක්වෙන ඡායාරූපය ස්ටිකර් වෙනම ඇතුළත් කරමින් සංස්කරණය කරන ලද්දක් බව සන්සන්දනයේදී පෙනේ.

    Conclusion (අවසාන නිගමනය) :

    කැබිනට් මාධ්‍ය නිවේදන, ප්‍රවාහන අමාත්‍යාංශයේ නිල ලේඛන සහ ගිවිසුම් වාර්තා, ජපාන තානාපති කාර්‍යාලයේ ප්‍රකාශය, සමාගමේ සභාපතිවරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සමඟ අප කළ විමසීම් අනුව, මෙට්‍රො බස් රථ ධම්මික පෙරේරා මහතා විසින් ඔහුගේ අරමුදල් යොදා ගෙන්වා ඇති බවට වන සටහන් අසත්‍ය වේ.

    2026.05.18 දින ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ ගිවිසුමක් අත්සන් කර බස් රථ 104ක් සපයා ඇත්තේ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පෞද්ගලික සමාගම ය. එය රජයේ ප්‍රසම්පාදන ගනුදෙනුවක් මිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් (PPP) නොවන අතර, සමාගමේ නමෙහි ඇති “Pvt Ltd” යන්නෙන් පෞද්ගලික හිමිකම අදහස් නොවන අතර සම්පුර්ණ කොටස් හිමිකාරිත්වය රජය සතු බව ලංකා මෙට්‍රො ට්‍රාන්සිට් සමගම සහ ප්‍රවාහන අමාත්‍යංශ තහවුරු කර සිටියි.

    මේ වන විට මෙට්‍රො සමාගම සතුව බස් රථ 122ක් ඇති බව ද සභාපතිවරයා පවසයි. ඉන් 10ක් Clean Sri Lanka ප්‍රතිපාදන යටතේ ද, ජපන් ප්‍රදානයක් ලෙස තවත් බස් රථ 8ක් ද ලැබී ඇති අතර රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා ඉතිරි බස් රථ 104 ලබාගෙන තිබේ.

    එසේම මෙට්‍රො බස් රථවල “රට අනුරට” යන ස්ටිකර් අලවා ඇති බවට වන සටහන් ද අසත්‍ය වේ. නිල සහ මගීන් පළ කළ දර්ශනවල එවැනි දේශපාලන ස්ටිකර් කිසිවක් හඳුනාගත නොහැකි වූ අතර, සටහනේ ඡායාරූපයේ ස්ටිකර් වෙනම එක් කළ සංස්කරණ පෙළකි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Result Stamp

    Title: මෙට්‍රො බස් රථ ධම්මික පෙරේරාගේ අරමුදල්වලින් ගෙන්වූ බවටත් NPP ස්ටිකර් අලවා ඇති බවටත් සටහන් අසත්‍යයි

    Fact Check By: B.P Hansani

    Result: False

    Fact Crescendo ශ්‍රී ලංකා WhatsApp චැනලයට එක්වන්න
    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.