දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
“ශ්රී ලංකාවේ ප්රථම යුදෙව් පල්ලිය ඉදි කර යාඥා දේව මෙහෙය හිරිකැටියේ පවත්වයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්ය ඔස්සේ සටහනක් සංසරණය විය. මෙහි නිර්වද්යතාවය මෙන් ම එම ප්රදේශයේ මේ දිනවල ඇති වූ ජනතා විරෝධතාවය කුමක්ද යන්න පැහැදිලි කරමින් අප සිදු කරන කරුණු විමර්ශනය පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
හිරිකැටියේ විවෘත කල යුදෙව් දේවස්ථානයේ ඡායාරූප බවට ද, දක්විමින් මෙම සටහන් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා.



Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
චබාද් හවුස් (Chabad House) යනු කුමක්ද?
ශ්රී ලංකාව තුළ යුදෙව් ආගමික මධ්යස්ථාන හෝ යුදෙව් පල්ලි (Synagogues) ක්රියාත්මක වේ. කෙසේ වෙතත්, මේවා සාම්ප්රදායික විශාල දේවස්ථාන ලෙස නොව, ශ්රී ලංකාවට පැමිණෙන ඊශ්රායෙල් සහ යුදෙව් සංචාරකයන් වෙනුවෙන් යාච්ඤා පහසුකම්, ආහාර(Kosher ආහාර) සහ නවාතැන් සපයන “චබාද් හවුස්” (Chabad House) නැතහොත් යුදෙව් ප්රජා මධ්යස්ථාන ලෙස ස්ථාපනය කර ඇත.
ශ්රී ලංකාව තුළ කොළඹ, වැලිගම, හික්කඩුව, ආරුගම්බේ සහ මෑතකදී හිරිකැටිය ඇතුළු ස්ථාන කිහිපයක මෙවැනි මධ්යස්ථාන පිහිටුවා තිබේ.
ලංකාවේ චබාද් ආරම්භ කෙරුණේ ප්රථම වතාවටද?
නැත. බ්රිතාන්ය පාලන සමයේදී (1948 ට පෙර) කොළඹ ප්රදේශයේ නිල යුදෙව් දේවස්ථානයක් (The Great Synagogue) පැවති අතර, පසුව ලංකාවේ සිටි යුදෙව් ප්රජාව පිටව යාමත් සමඟ එය අභාවයට පත් විය. වර්තමානයේ කොළඹ “Cinnamon Red” හෝටලය පිහිටා ඇත්තේ එම පැරණි දේවස්ථානය තිබූ භූමියේය. මේ පිළිබඳ තොරතුරු මෙතනින්. | Archived Link
චබාද් ශ්රී ලංකා (Chabad Sri Lanka) නිල සංවිධානයේ දත්තවලට අනුව, මීට වසර 23කට පෙර එනම් 2003 වසරේදී රබ්බි මෙන්ඩි ක්රොම්බි (Rabbi Mendy Crombie) විසින් ඔවුන්ගේ ආගමික නායකයාගේ (Rebbe) උපදෙස් පරිදි ප්රථම මධ්යස්ථානය කොළඹ ප්රදේශයේ ආරම්භ කරන ලදී. එතැන් සිට ක්රමයෙන් ව්යාප්ත වූ මෙම ජාලය වර්තමානය වන විට වැලිගම, හික්කඩුව, ආරුගම්බේ, ඇල්ල සහ හිරිකැටිය වැනි සංචාරක ආකර්ෂණය දිනාගත් වෙරළබඩ ප්රදේශ දක්වා ව්යාප්ත වී ඇත.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයට අනුව, මෙම මධ්යස්ථානවලින් සමහරක් ආගමික ආයතන ලෙස නොව, සමාගම් පනත යටතේ (Companies Act) ව්යාපාරික හෝ ආපනශාලා මට්ටමින් ලියාපදිංචි වී පවත්වාගෙන යනු ලබයි.
- වැලිගම (නීත්යානුකූලව ලියාපදිංචි කර ඇත)
- ඇල්ල (නීත්යානුකූලව ලියාපදිංචි කර ඇත)
- පොතුවිල් / ආරුගම්බේ
- තිඹිරිගස්යාය / කොළඹ
- හිරිකැටිය (මෑතකදී අලුතින්ම විවෘත කරන ලද ස්ථානය)
මින් සමහරක් නිසි ආගමික අනුමැතියකින් තොරව පවත්වාගෙන යන බැවින් වර්තමානයේදී ඒ පිළිබඳව සොයා බැලීමට රජය විශේෂ කමිටු පත් කර තිබේ.
හිරිකැටිය ‘චබාද් හවුස්‘
ශ්රී ලංකාවේ දකුණු පළාතේ හිරිකැටිය ප්රදේශයේ මීට මාසයකට පමණ පෙර විවෘත කළ මෙරටට පැමිණෙන ඊශ්රායෙල් ජාතික සංචාරකයින්ගේ ආගමික සහ ප්රජා අවශ්යතා වෙනුවෙන් චබාද් හවුස් නමින් යුදෙව් මධ්යස්ථානයක් ආරම්භ විය.
මෙම මධ්යස්ථානය නිසි නීත්යානුකූල අවසරයකින් තොරව පවත්වාගෙන යන බවට චෝදනා කරමින් ප්රදේශවාසීන් සහ මහා සංඝරත්නය විරෝධතාවල නිරත විය. එම අවස්ථාවේ වීඩියෝ මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
චබාඩ් මධ්යස්ථානය තුළ කොෂර් අවන්හලක් පවත්වාගෙන යන අතර, සබත් ආහාර වේල් ද පවත්වනු ලබයි. එය දකුණු ශ්රී ලංකාවට පැමිණෙන ඊශ්රායල සංචාරකයන්ට ආරක්ෂිත ස්ථානයක් ලෙස ක්රියා කරන බව එම මධ්යස්ථානය පවසයි.
ප්රාදේශීය ජනමාධ්ය වේදින්
අප මේ පිළිබඳව විමසා බැලීමට මේ පිළිබඳව වාර්තා කර තිබූ ප්රාදේශීය ජන මාධ්ය වේදියාගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එම ප්රදේශයේ ගම්වාසීන්, භික්ෂූන් පවසන්නේ එහි අනවශ්ය ආගමික හා ව්යාපාරික ක්රියාකාරකම් සිදුවන බවයි.
එමෙන් ම එම ප්රදේශයේ සංචාරක ව්යාපාරයේ යෙදෙන පිරිස් පවසන්නේ, මෙම චබාද් හවුස් වෙත පැමිණෙන සංචාරකයන්ට නවාතැන් ආහාරපාන ද, ලබා දෙන බැවින් දේශීය සංචාරක ව්යාපාර වලට අවාසි වී ඇති සඳහන් කරන බවයි.
තව ද, විරෝධතාකරුවන් බලධාරීන්ගෙන් ඉල්ලා ඇත්තේ එම ස්ථානයේ ක්රියාකාරකම් නීත්යනුකූලද යන්න පරීක්ෂා කරන ලෙසත්, අවශ්ය අවසර නොමැතිව එය පවත්වාගෙන යන්නේ නම් වසා දමන ලෙසත්ය.
දික්වැල්ල පොලිස් ස්ථානාධිපති
අප මේ පිළිබඳ දික්වැල්ල පොලිස් ස්ථානාධිපතිගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, සිදුවීමට අදාළ වාර්තාව පොලිස් මාධ්ය ප්රකාශකට දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව, පොලිස් මාධ්ය ප්රකාශකතුමා, පොලිස් මාධ්ය කොට්ඨාශය මගින් කළ විමසීමේදී ඔවුන් හිරිකැටිය චබාද් හවුස් විරෝධතාවය පිළිබඳ කළ පැහැදිලි කිරීම.
හිරිකැටිය, මහහේන වත්ත, දොඩම්පහල, දික්වැල්ල ලිපිනයේ, ඔහුට අයත් පර්චස් 40ක ඉඩම සහ එහි පිහිටි විලා 3ක් වසර 5ක් සඳහා කුළි පදනම මත අවන්හලක් පවත්වා ගෙන යාමට ඊශ්රායල් ජාතිකයෙක් සමගින් ගිවිසුම්ගත වූ බවයි.
නමුත් ඊශ්රායල් ජාතකයා විසින් චබාද් හවුස් එකක් පවත්වාගෙන යාමට සූදානම් බවට දැන ගැනීම ත්, මේ හේතුවෙන් වෙනත් විදේශිකයන් එම සංචාරක කලාපයට ඒමට ප්රතික්ෂේප කරන බැවින් ඊට විරුද්ධව සංචාරක ව්යාපාරයේ නියැලෙන පුද්ගලයන් 200ක් පමණ විරෝධතාවක නියැලුනු බව ත්, සඳහන් කළා.
එම ඉඩමේ හිමිකරු අත්සන කළ ගිවිසුමෙන් දින 14ක කාලයක් තුළ, ඊශ්රායල් ජාතිකයාට ඉවත් වන ලෙසට දැනුම් දීලා තියෙනවා. ඉන් පසු විරෝධතාකරුවන් විසිර ගොස් ඇති බවයි පොලීසියි වැඩි දුරටත් තහවුරු කළේ.
ශ්රී ලංකාව තුළ පිහිටි යුදෙව් ආගමික මධ්යස්ථාන (චබාද් හවුස්) සහ ඊශ්රායෙල් ජාතිකයන්ගේ ක්රියාකාරකම් සම්බන්ධයෙන් මෑත කාලයේදී මෙන්ම පසුගිය වසරේදීද ආරක්ෂක සහ සමාජීය ගැටලු කිහිපයක් පැනනැඟී තිබුණි.
අප මේ පිළිබඳව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයෙන් විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුරු සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
2024 ඔක්තෝබර් මස ආරුගම්බේ කලාපයේ ඇති වූ ත්රස්තවාදී ප්රහාරක තර්ජන
ආරක්ෂක අනතුරු ඇඟවීම්:
2024 ඔක්තෝබර් මාසයේදී අමෙරිකානු තානාපති කාර්යාලය සහ ඊශ්රායෙල් ජාතික ආරක්ෂක කවුන්සිලය (NSC) විසින් ආරුගම්බේ සහ දකුණු වෙරළබඩ කලාපයේ සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් විශ්වාසනීය ත්රස්තවාදී ප්රහාරක තර්ජනයක් පවතින බවට හදිසි නිවේදන නිකුත් කරන ලදී.
ඊශ්රායෙල් ජාතිකයන් ඉවත් කිරීම:
එම අවස්ථාවේදී එහි සිටි යුදෙව් සහ ඊශ්රායෙල් ජාතිකයන්ට වහාම එම ප්රදේශවලින් ඉවත් වන ලෙස හෝ කොළඹට පැමිණෙන ලෙස දැනුම් දුන් අතර, ශ්රී ලංකා පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) යොදවා විශේෂ ආරක්ෂක රැකවල් සහ මාර්ග බාධක යෙදවීමට රජයට සිදු විය.
මැදපෙරදිග ගැටුම්වල බලපෑම:
වත්මන් ගාසා තීරයේ සහ මැදපෙරදිග පවතින ඊශ්රායෙල්-පලස්තීන යුද ගැටුම් හේතුවෙන්, ශ්රී ලංකාවේ සිටින මුස්ලිම් සහ අනෙකුත් ප්රජාවන් අතර මෙම යුදෙව් මධ්යස්ථාන පිළිබඳව යම් සංවේදීතාවක් සහ නොසන්සුන්තාවයක් පවතී.
චබාද් හවුස් ලෝකයේ වෙනත් රටවල්වල තිබෙනවාද?
චබාද් නිල ජාලයේ දත්තවලට අනුව, වර්තමානය වන විට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්යාවක මධ්යස්ථාන 5,000කට වඩා ක්රියාත්මක වේ.
ලෝක ව්යාප්ත ව්යාප්තිය (Worldwide Presence)
ප්රධාන රටවල්: ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, බ්රිතාන්යය, ප්රංශය සහ ඕස්ට්රේලියාව වැනි යුදෙව් ප්රජාව විශාල වශයෙන් වෙසෙන රටවල සෑම ප්රධාන නගරයකම පාහේ චබාද් මධ්යස්ථාන පිහිටුවා ඇත.
ආසියානු කලාපය: ශ්රී ලංකාවට අමතරව ඊශ්රායෙල් සංචාරකයන් බහුලව ගැවසෙන ඉන්දියාව (මුම්බායි, මනාලි, ධර්මසාලා, ගෝවා), තායිලන්තය (බැංකොක්, පුකෙට්, චියැං මායි), නේපාලය (කත්මණ්ඩු) සහ සීෂෙල්ස් වැනි රටවලද මේවා ඉතා සක්රීයව පවතී.
විදේශයන්හිදී ඔවුන් ඉටුකරන කාර්යභාරය
හමුදා සේවය නිමා කර ලෝකය පුරා සංචාරය කරන තරුණ ඊශ්රායෙල් ජාතිකයන්ට ආරක්ෂිත නවාතැන්, උපදේශන සහ තොරතුරු සැපයීම.
යුදෙව් ආගමික නීතිවලට අනුව සකස් කරන ලද නිල “කොෂර්” (Kosher Food) ආහාර සහ ආපනශාලා පහසුකම් විදේශ රටවලදී ලබාදීම.
සබත් දින (Shabbat) රාත්රී භෝජන සංග්රහයන් සහ ප්රධාන යුදෙව් ආගමික උත්සව (උදා: පැස්කුවා උත්සවය / Passover) සංවිධානය කිරීම.
විදේශීය රටවල ඇති වූ ආරක්ෂක සහ දේශපාලන ගැටලු
ලංකාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලද මෙම මධ්යස්ථාන විවිධ අර්බුදවලට මුහුණ දී ඇත.
- ත්රස්ත ප්රහාර:
වඩාත්ම දරුණුතම සිදුවීම වාර්තා වූයේ 2008 වසරේදීය. එහිදී ඉන්දියාවේ මුම්බායි නුවරට එල්ල වූ පාකිස්ථාන ලෙෂ්කර්-ඊ-තායිබා (Lashkar-e-Taiba) ත්රස්ත ප්රහාරයේදී මුම්බායි චබාද් නිවස (Nariman House) ඉලක්ක කර ප්රහාර එල්ල වූ අතර එහි සිටි යුදෙව් පූජකවරයා ඇතුළු පිරිසක් ජීවිතක්ෂයට පත් විය.
- ප්රාදේශීය විරෝධතා:
මැදපෙරදිග (ගාසා තීරයේ) පවතින දේශපාලන සහ යුදමය තත්ත්වයන් හේතුවෙන් යුරෝපීය සහ ආසියානු රටවල් කිහිපයකම පිහිටි චබාද් මධ්යස්ථාන ඉදිරිපිට විවිධ කාලවලදී ආරක්ෂක තර්ජන සහ විරෝධතා මතු වී ඇත.
ශ්රී ලංකාවේ ආරම්භ කළ චබාද් හවුස් ලෙස පෙන්වා ඇති ඡායාරූප විදේශීය රටවල ඡායාරූප වේ.
ශ්රී ලංකාවේ ප්රථම යුදෙව් පල්ලිය ඉදි කර යාඥා දේව මෙහෙය හිරිකැටියේ පවත්වයි යනුවෙන් සඳහන් කරමින් පළ කර ඇති ඉහත සටහනේ ඡායාරූප මගින් පෙන්වා තිබුණේ, මෙරට ඉදිකළ යුදෙව් පල්ලියේ ඡායාරූප බවයි. නමුත් අප ඉහත ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමේදී දැක ගන්නට ලැබුණේ ඒවා, ශ්රී ලංකාවේ චබාද් හවුස් (Chabad House) මධ්යස්ථානයක හෝ ලංකාව තුළ ගත් සැබෑ ඡායාරූප නොව, ඇමරිකාවේ ප්රංශයේ පැවැත්වුණු සාම්ප්රදායික යුදෙව් උපත් මංගල්යය, (චර්මච්ඡේදනය කිරීමේ ආගමික වත්පිළිවෙතක්) අතරතුර ගත් ඡායාරූප, ඊශ්රායලයේ ඒලට් නගරයේ පිහිටි සැබෑ යුදෙව් දේවස්ථානයක (Synagogue) ඇතුළත දර්ශන, රුසියානු සමූහාණ්ඩුව තුළ පිහිටි යුදෙව් දේවස්ථානයක් ඇතුළත දර්ශන වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්ය ඔස්සේ පෙන්වා දෙන පරිදි ශ්රී ලංකාවේ ප්රථම යුදෙව් පල්ලිය ඉදි කර යාඥා දේව මෙහෙය හිරිකැටියේ පවත්වන බවට පළ වන සටහන් නොමග යන සුළුයි. ශ්රී ලංකාව තුළ යුදෙව් ආගමික මධ්යස්ථාන මීට පෙර 1948 ට පෙර බ්රිතාන්ය පාලන සමයේදී කොළඹ ප්රදේශයේ නිල යුදෙව් දේවස්ථානයක් ක්රියාත්මක වී තිබේ.. කෙසේ වෙතත්, මේවා සාම්ප්රදායික විශාල දේවස්ථාන ලෙස නොව, ශ්රී ලංකාවට පැමිණෙන ඊශ්රායෙල් සහ යුදෙව් සංචාරකයන් වෙනුවෙන් යාච්ඤා පහසුකම්, ආහාර(Kosher ආහාර) සහ නවාතැන් සපයන “චබාද් හවුස්” නැතහොත් යුදෙව් ප්රජා මධ්යස්ථාන ලෙස ස්ථාපනය කර ඇත. වැලිගම, හික්කඩුව, ආරුගම්බේ, ඇල්ල යන ප්රදේශවල මේ වන විටත් ක්රියාත්මක වේ. සමාජ මාධ්ය ඔස්සේ පළ වන ඡායාරූප වෙනත් රටවල පිහිටි යුදෙව් ආගමික මධ්යස්ථාන වේ.



