Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    22 ට එරෙහි සජබ විරෝධතාවයේ ඡායාරූප ද ?

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-26
    9 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රජය විසින් ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් පසුගියදා විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    රජය විසින් ඉදිරිපත් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් පසුගියදා විරෝධතාවක් සංවිධානය කර තිබුණි. අදාළ විරෝධතාව 2026 සැප්තැම්බර් 24 වන දින බත්තරමුල්ල, පොල්දූව මංසන්ධියේදී පවත්වන ලදී. එම විරෝධතාවයේ ඡායාරූප ලෙස දක්වමින් ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. ඒවායේ සත්‍යා සත්‍ය භාවය විමසා බලමින් අප විසින් සිදුකරන කරුණු පරීක්ෂාව පහතින්

    Claim 1

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේග විරෝධතාවය ලෙස දක්වමින් විශාල ජනතාවක් පාර්ලිමේන්තු පිවිසුම අසල රැස්ව සිටින ආකාරය දක්වන ඩ්‍රෝන දර්ශනයක් ලෙස ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link Facebook Facebook X

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට විරෝධය පළ කිරීම අරමුණු කරගනිමින් සමගි ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මෙම  විරෝධතාවය පැවැත්වුණේ “ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේය.

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු නිල විශ්වාසනීය මූලාශ්‍ර ඔස්සේ මෙන්ම සමගි ජන බලවේගයේ දේශපාලනඥයින් ඇතුළු පක්ෂයේ නිල සමාජ මාධ්‍ය පිටු ඔස්සේ විරෝධතාවයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන පලකර තිබේ. කෙසේ නමුත් ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි දක්වා ඇති ඡායාරූපය  කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක්, නිල විශ්වාසනීය මූලාශ්‍රයක් හෝ සමගි ජන බලවේගයේ නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පළකර නොමැත. එයට සමාන දර්ශනයක් හෝ එම නිල මූලාශ්‍ර ඔස්සේ වාර්තා කර නොමැත.

    ඩ්‍රෝන දර්ශන පළ කර නැත

    එසේම මාධ්‍ය හෝ නිල මූලාශ්‍ර ඔස්සේ මෙම 24 වනදා පැවති සමගි ජන බලවේගයේ (SJB) විරෝධතාවයට අදාළව ඩ්‍රෝන දර්ශන පළ කර නැත. ඒ වෙනුවට, ප්‍රධාන පෙළේ නිල මාධ්‍ය ආයතන විසින් එදින සිදුවීම වාර්තා කර තිබුණේ භූමියේ සිට ලබාගත් වීඩියෝ සහ ඡායාරූප මඟිනි. 

    ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ විරෝධතාවය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    Youtube

    අදාළ විරෝධතාවයේ තවත් ඡායාරූප සහ දර්ශන මෙතනින්, මෙතනින් සහ මෙතනින්. 

    ඉහත ඡායාරූපයෙහි පාර්ලිමේන්තුවේ පිවිසුම ඉදිරියේ මාර්ග ත්‍රිත්වයක් දැකගත හැකිය. 

    කෙසේ නමුත් සැබෑ ලෙසම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පිවිසෙන ස්ථානය ඉහත ඡායාරූපයෙහි දක්වා ඇති පසුබිමෙන් වෙනස් වේ. එසේම පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය ආසන්නයේ එලෙස මාර්ග ත්‍රිත්වයක් දැකගත නොහැකිය.   මේ පිළිබඳව ඔබට වඩාත් පැහැදිලිව හඳුනාගත හැකි ලෙස  Google map හි  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දර්ශනය පහතින්.

    Google map හි  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දර්ශනය සහ ඉහත සමාජ මාධ්‍යය සටහනේ දැක්වෙන ඡායාරූප අතර සන්සන්දනයක් පහතින්

    ඡායාරූපයේ අස්වාභාවික බවක්

    එසේම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තාකර තිබූ ඡායාරූප සහ  වීඩියෝ දර්ශනවලින් පැහැදිලි වන්නේ එදින බත්තරමුල්ල ප්‍රදේශයට වැසි සහිත කාලගුණයක් පැවති බවයි. විරෝධතාකරුවන් කුඩ ඉහළ නංවාගෙන වැස්සේ රැඳී සිටි දර්ශන මිස, ඉහත  ඡායාරූපයේ පරිදි පැහැදිලි අව්ව සහිත කාලගුණයක ඉහළ අහසේ සිට ගත් ඩ්‍රෝන දර්ශන කිසිවක් මාධ්‍ය මඟින් පළ කර නොමැත. 

    එසේම ඉහත ඡායාරූපයේ රැස්ව සිටින ජනතාව ජාතික කොඩි ඔසවා සිටින ආකාරය නිරීක්ෂණය කළ හැකි අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තාකර තිබූ ඡායාරූප සහ  වීඩියෝ දර්ශනවලින් පැහැදිලි වන්නේ ජනතාව එලෙස ජාතික කොඩි ඔසවා විරෝධතාවයේ යෙදී නොමැති බවයි.

    එසේම මෙම ඡායාරූපයෙන් නිරූපණය වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයයි. කොළඹ නෙළුම් කුළුණ පිහිටා තිබෙන්නේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ (කොළඹ 10) ය. මෙම ස්ථාන දෙක අතර ගොඩබිම් දුර කිලෝමීටර 9කට වඩා වැඩිය. ඡායාරූපයේ වම්පස ඉහළ කෙළවරින් නෙළුම් කුළුණ ඉතා ආසන්නයෙන් සහ පැහැදිලිව පෙනෙන ලෙස ඡායාරූපයේ දක්වා ඇත. එහෙත් සැබෑ ලෙසම බත්තරමුල්ල ප්‍රදේශයේ සිට බලන විට, කොළඹ නගරයේ ඇති වෙනත් උස් ගොඩනැගිලි සහ බාධක හේතුවෙන් නෙළුම් කුළුණ මෙතරම් ළඟින් පැහැදිලිව මෙම දිශාවෙන් දර්ශනය නොවේ.

    එසේම ඉහත ඡායාරූපය සමීපව නිරීක්ෂණය කිරීමේදී, එහි සිටින මිනිස් රූප වල හැඩයන් පැහැදිලි නැති, එකිනෙකට මිශ්‍ර වූ ස්වභාවයක් පෙන්නුම් කරයි. මෙය AI රූපවල බහුලව දක්නට ලැබෙන ලක්ෂණයකි. 

    කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කළ ඡායාරූපයක්

    ඒ හේතුවෙන් අප විසින් අදාල ඡායාරූපය කෘතිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලමක් වෙත යොමු කිරීමට කටයුතු කළා. එහිදී තහවුරු වූයේ අදාළ ඡායාරූපය කෘත්‍රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි.

    Claim 2

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    එසේම අදාළ විරෝධතාවය සඳහා පැමිණියේ ඉතා සුළු පිරිසක් බව අඟවමින්ද විපක්ෂ නායකවරයා පළ කර තිබූ සැබෑ ඡායාරූපයක් හා සන්සන්දනය කරමින් ඩ්‍රෝන දර්ශනයක් ලෙස ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබුණේ මෙලෙසින්.

    Facebook| Archived Link Facebook

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    සැප්තැම්බර් 24 පැවැත්වුණු සජබ විරෝධතාවයේ සැබෑ ජන සහභාගීත්වය සහ එහි සැබෑ තත්ත්වය පෙන්වන නිල මාධ්‍ය වාර්තා සහ ඡායාරූප ඉහතින් දක්වා ඇති අතර, නිල විශ්වාසනීය මූලාශ්‍ර හෝ මාධ්‍ය ඔස්සේ කිසිදු අවස්ථාවක ඉහත සමාජ මාධ්‍ය සටහනෙහි දැක්වෙන ඡායාරූපයද වාර්තා කර නොමැත. 

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිල සමාජ මාධ්‍ය පිටුව ඔස්සේ විරෝධතාවයේ වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසින්. අදාළ වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන්නේ ඉහත ඩ්‍රෝන දර්ශනයක් ලෙස දක්වා ඇති ඡායාරූපයෙහි දැක්වෙන පිරිසට වඩා වැඩි පිරිසක් විරෝධතාවයට එක්ව සිටින බවයි.

    Facebook

    එදින සත්‍ය අවස්ථාවේ ලබා ගත් ඡායාරූප පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, සැලකිය යුතු පිරිසක් එම විරෝධතාවට පැමිණ ඇති බවයි.

    ඩ්‍රෝන දර්ශන නොමැත

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසන්න ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් වන බැවින් එහි ඩ්‍රෝන දර්ශන ලබා ගැනීම සහ ඩ්‍රෝන යානා පියාසර කරවීමට නොහැක. ඒ අනුව අප ඉහත සඳහන් කළ ලෙසම, සජබ නිල සමාජ මාධ්‍යයන් ඔස්සේ මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේද විරෝධතාවයෙහි ඩ්‍රෝන දර්ශන ලබා ගෙන හෝ පළ කර නොමැත.

    එසේම මෙම ඡායාරූපය ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමේදී, එය සැබෑ ඩ්‍රෝන ඡායාරූපයක් නොවන බව තහවුරු වන අස්වාභාවික ලක්ෂණ  කිහිපයක් පැහැදිලිවම දැකගත හැකිය

    ඡායාරූපයේ මැද සිටින පිරිස අස්වාභාවික ලෙස දැකගත හැක. සාමාන්‍ය රැළියකදී සෙනඟ පාර පුරා විසිරී යන නමුත්, මෙහි ඔවුන්ව කිසියම් හැඩයකට කොටු කර ඇති බව පෙනේ.

    වටපිටාවේ ඇති ගස් සහ පාරේ ඉහළ කොටස සාපේක්ෂව පැහැදිලිව පෙනෙන නමුත්, මැද සිටින සෙනඟ සිටින කොටස පමණක් අධික ලෙස බොඳවී පවතී.

    කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූපයක්

    එම අස්වාභාවික ලක්ෂණ සැලකිල්ලට ගනිමින් අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ එම ඡායාරූපයද කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර ඇති ඡායාරූපයක් බවයි.

    සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය

    හුවමාරු වන ඉහත ඡායාරූප සම්බන්ධයෙන් අප විසින් සමගි ජන බලවේග පක්ෂයේ මාධ්‍ය අංශයෙන්ද විමසීමක් සිදු කළ අතර එහිදී ඔවුන් විසින්ද සඳහන් කළේ, අදාළ ඡායාරූප කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ ඡායාරූප බවත්, ඔවුන් විසින් එම ඡායාරූප කිසිවිටෙකත් භාවිතා නොකළ බවත් ය. එසේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසන්න ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් වන බැවින් ඒ අවට ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමක්ද සිදුකළ නොහැකි බවයි ඔවුන් විසින් සඳහන් කළේ.

    එසේම මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්‍යාලයෙහි නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් ද තබා ඇත. එය ඔස්සේ පෙන්වා දෙන්නේ, පසුගිය 24 වන දා පැවති විරෝධතාවයේ ඡායාරූප ලෙස දක්වමින් කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි. එවැනි අසත්‍ය මූලාශ්‍ර බෙදා නොගන්නා ලෙස සමගි ජන බලවේග මාධ්‍ය අංශය විසින් ජනතාවගේ ඉල්ලා තිබේ. එම නිවේදනය මෙතනින්

    මාධ්‍යවේදීන්

    එමෙන් ම එම අවස්ථාව ආවරණය කළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගෙන් ද, මේ පිළිබඳව අප විමසීමක් කළ අතර, ඔවුන් තහවුරු කළේ ද, සමාජ මාධ්‍ය වල දැක්වෙන ඡායාරූප අදාළ විරෝධතාවයේ සැබෑ දර්ශන නොවන බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ෂණයෙන් පෙන්වා දෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය විසින් සැප්තැම්බර් 24 වන දා පොල්දූව මංසන්ධියේදී පැවැත්වූ විරෝධතාවයේ ඩ්‍රෝන දර්ශන ලෙස හුවමාරු වන ඡායාරූප කෘත්‍රිම බුද්ධියෙන් නිර්මාණය කරන ලද ඒවා බවයි. 

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආසන්න ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක් වන බැවින් එහි ඩ්‍රෝන දර්ශන ලබා ගැනීම සහ ඩ්‍රෝන යානා පියාසර කරවීමට නොහැක. ඒ අනුව අප ඉහත සඳහන් කළ ලෙසම, සජබ නිල සමාජ මාධ්‍යයන් ඔස්සේ මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේද විරෝධතාවයෙහි ඩ්‍රෝන දර්ශන ලබා ගෙන හෝ පළ කර නොමැත.

    Result Stamp

    Title: 22 ට එරෙහි සජබ විරෝධතාවයේ ඡායාරූප ද ? 

    Written By: B.P Hansani

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-09-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.