දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
පසුගිය අගෝස්තු මස අග භාගයේදී නේපාලයට බලපෑ හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් දහසකට අධික පිරිසක් මියගොස් ඇති අතර තවත් දහස් ගණනක් අතුරුදන්ව තිබේ. ආපදා තත්වයෙන් පසු ආපදාවෙන් මියගිය පුද්ගලයන් සහ ජීවිත ගලවාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් දක්වමින් නොමග යවන සුළු සහ අසත්යය සටහන්, ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන ආකාරය නිරීක්ෂණය කළ හැකි විය. එවැනි සටහන්, ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) : Claim 1 :
“තම නැගණියවත් ඔසවාගෙන නේපාල ගංවතුරෙන් අතුරුදහන් වූ මවුපියන් සොයා යන කුඩා දරුවන්” ලෙස දක්වමින් වීඩියෝවක් ප්රධාන ධාරාවේ පුවත්පතකට අයත් සමාජ මාධ්ය පිටුවක මෙන්ම සමාජ මාධ්ය ඔස්සේද හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
මීට අදාළ සටහන් සමාජ මාධ්ය ඔස්සේ ද තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

Fact Check
අදාල වීඩියෝවේ දැක්වෙන්නේ, කුඩා දරුවෙකු තවත් දරුවෙකු පිට මත තබාගෙන ඇවිද යන දර්ශනයකි. අදාල වීඩියෝව සැබෑ ලෙසම නේපාලයේ ගංවතුරින් විපතට පත් වුණ දරුවන් දෙදෙනෙකු තම දෙමව්පියන් සොයා යන සැබෑ වීඩියෝවක් ද යන්න සොයා බැලීම සඳහා අප විසින් වීඩියෝවෙහි දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී යූ ටියුබ් ඔස්සේ පලකල එම වීඩියෝවෙහි පිටපතක් සොයා ගැනීමට හැකි වුණා. වීඩියෝව “Thien Duyen” යන නම සමග පල කර තිබේ.
මේ ඔස්සේ තවදුරටත් සිදු කළ සෙවුම්වලදී, එම නමින්ම ඇති ඉන්ස්ටග්රෑම් පිටුවක් හමු වූ අතර, එහි මෙම වෛරල් වීඩියෝවේ දිගු වීඩියෝ පිටපතක් “කුඩා දරුවෙක් දැඩි හිරු රශ්මිය මැද තම බාල සහෝදරයා ඔසවා ගෙන යයි” යන සිරස්තලය යටතේ පළ කර තිබුණි. මෙම පිටුවේ වෛරල් වීඩියෝවට අමතරව ළමුන්ගේ වෙනත් වීඩියෝ රැසක්ද දැකගත හැකිය.

සැප්තැම්බර් 2 වන දින, එම පිටුව මඟින් එම දරුවන්ම සිටින තවත් වීඩියෝවක් හුවමාරු කරගෙන තිබුණි. පිටුවේ දක්වා ඇති දුරකථන අංකය +84 යන කේතයෙන් ආරම්භ වේ. මෙය වියට්නාමයේ දුරකථන අංක වල කේතයයි. මෙයින් ඇඟවෙන්නේ මෙම දර්ශන නේපාලයෙන් ලබාගත් ඒවා වීමට කිසිදු සම්භාවිතාවක් නොමැති බවයි.
උතුරු වියට්නාමයේ කඳුකර පළාතක් වන Ha Giang හිදී රූගත කරන ලද වීඩියෝවක්
අපගේ Factcrescendo ඉන්දීය කණ්ඩායම මෙම අංකයට දුරකථන ඇමතුමක් ලබා ගෙන විමසීමක් සිදු කල අතර, එහිදී Thien Duyen නම් වියට්නාම ජාතිකයා පැහැදිලි කර තිබෙන්නේ මෙම දර්ශන 2026 අගෝස්තු 11 වන දින උතුරු වියට්නාමයේ කඳුකර පළාතක් වන Ha Giang හිදී රූගත කරන ලද වීඩියෝවක් බවයි. ග්රාමීය කඳුකර ගම්මානයක සිටින කුඩා දරුවන් දෙදෙනෙකු එයින් පෙන්නුම් කෙරේ. වියට්නාමයෙන් ලබාගත් මෙම දර්ශනවලට නේපාලය සමඟ හෝ එහි මෑතකදී ඇති වූ ගංවතුර තත්ත්වය සමඟ කිසිදු සබඳතාවක් නොමැති බව ඒ හරහා තහවුරු වේ.
ඒ අනුව පැහැදිලි වන්නේ මෙම වීඩියෝව නේපාලයේ ගංවතුරින් ආපදාවට පත් දරුවන් දෙදෙනෙක් දෙමව්පියන් සොයා යන දර්ශන පෙළක් නොවන බවයි. මෙම දර්ශන රූගත කර ඇත්තේ වියට්නාමයේ Ha Giang හි වන අතර, එය පළ කර ඇත්තේ ඩිජිටල් අන්තර්ගත නිර්මාණකරුවෙක් වන Thien Duyen විසිනි.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) : Claim 2 :
නේපාලයේ ගංවතුරින් විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් අතර පැය 60 ක් සිරවී සිටි හය හැවිරිදි දැරියක මුදා ගැනීමට කටයුතු කරන ආකාරය ලෙස දක්වමින් දර්ශනයක් පුවත්පත් ඔස්සේ වාර්තා කර තිබේ.

අදාළ දර්ශනය සහිත වීඩියෝව සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
අදාළ වීඩියෝවේ දර්ශන තවදුරටත් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබේ.

ඒ අනුව මෙහි සත්ය අසත්යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
ඉහත වීඩියෝවේ දැක්වෙන ආකාරයට කුඩා දැරියක් මඩෙහි සිරවී සිටින අතර දැරියගේ මුහුණේ තිබෙන මඩ ඉවත් කළ විට ඇය ඇස් විවෘත කළ ආකාරයේ යම් අස්වාභාවික බවක් දැකිය හැකිය. පැය හැටකට අධික කාලයක් මඩෙහි සිරවී සිටි කුඩා දැරියක් එලෙස ක්ෂණිකව සුවදායක මුහුණින් යුතුව ප්රතිචාර දැක්වීම අසාමාන්ය වේ. එසේම අදාල වෛරල් වීඩියෝවේ තවත් අස්වාභාවිකතා කිහිපයක් දැකිය හැකි විය. වීඩියෝවේ සිටින එක් අයෙක් දැරිය රැඳී සිටින ස්ථානයට උඩින් ඇති තහඩුවක් වැනි වස්තුවක් මත සිටගෙන සිටින අතර දැරිය එම වස්තුවට පහළින් සිටින බව නිරීක්ෂණය කළ හැකිය.
කෙසේ නමුත් මෙවැනි සිදුවීමක් සැබෑ ලෙසම නේපාලයේ වාර්තා වී ඇත්ද යන්න පරීක්ෂා කිරීම සඳහා අප විසින් Key words ඔස්සේ පරීක්ෂාවක් සිදු කළ අතර එහිදී, 2026 අගෝස්තු 29 වන දින නේපාලයේ Armed Police Force විසින් සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කරන ලද මෙම සිදුවීමෙහි සැබෑ සහ මුල් වීඩියෝව හමුවුණා.
සිදුවීම සත්යයක් වුවද,සැබෑ වීඩියෝව මෙම වෛරල් වීඩියෝවට වඩා වෙනස්
අදාල මුල් වීඩියෝව වීඩියෝව පල කරමින් ඔවුන් විසින් සඳහන් කර ඇත්තේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සුන්බුන් අතර සිරවී සිටි මනිෂා මාගර් නම් දැරියක් සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුමේදී ආරක්ෂිතව බේරාගෙන නේපාල හමුදාවේ සම්බන්ධීකරණයෙන් හෙලිකොප්ටරයකින් රෝහලට ගෙන ගොස් ඇති බව නේපාල ආරක්ෂක අංශ ප්රධානී තිමුරේ රසවා සහ කණ්ඩායම විසින් ප්රකාශ කර ඇති බවයි.
අදාල සැබෑ වීඩියෝව මෙම වෛරල් වීඩියෝවට වඩා වෙනස් ය. අදාළ සැබෑ වීඩියෝවේ දැරිය වේදනාවෙන් කෙඳිරි ගාන ශබ්දය ඇසෙන අතර ඒ ඔස්සේ පොලිස් නිලධාරීන් දැරිය මුදාගැනීමට කටයුතු කරයි. එම මුදාගැනීමේ ක්රියාවලිය වයිරල් වීඩියෝවේ දැක්වෙන ආකාරයට වඩා සංකීර්ණ සහ අපහසු එකක් බව සැබෑ වීඩියෝව පරීක්ෂා කිරීමේදී පෙනී යයි. එසේම සැබෑ වීඩියෝවට අනුව දැරිය මුදාගැනීමෙන් පසු ඇය දෑස් විවෘත කරන ආකාරය හෝ පැහැදිලි මුහුණක් දර්ශනය නොවේ.

මෙම අස්වාභාවිකතා සැලකිල්ලට ගනිමින් අප විසින් අදාළ වෛරල් වීඩියෝවේ දර්ශන කෘතිම බුද්ධි අන්තර්ගත හඳුනාගත හැකි මෙවලමක් වෙත යොමු කිරීමට කටයුතු කළා. එහිදී නිරීක්ෂණය කළ හැකි වූයේ අදාළ වෛරල් වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ ජනනය කරන ලද්දක් බවයි.


මේ අනුව පැහැදිලි වන්නේ නේපාලයේ හය හැවිරිදි දැරියක මඩෙහි රැඳී සිටියදී බේරා ගැනීමේ සිදුවීම සත්යයක් වුවද, එම සිදුවීම සම්බන්ධයෙන් පවසමින් හුවමාරු වන වෛරල් වීඩියෝව සහ වෛරල් වීඩියෝවේ දර්ශන කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) : Claim 3 :
ආපදා තත්ත්වය හමුවේ සුන්බුන් අතර සිරවූ කුඩා දරුවකු නේපාල හමුදාව මැදිහත්ව බේරාගත් ආකාරය ලෙස දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්යයේ හුවමාරු වී තිබේ.
ඒ අනුව මෙහි සත්ය අසත්යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
ඉහත වීඩියෝවේ දැක්වෙන දර්ශනය නේපාලයේ මෑතකදී ඇති වූ ගංවතුර අපදාව අවස්ථාවේ සිදුවූවක් නම් ඒ සම්බන්ධයෙන් නිල විශ්වාසනීය මූලාශ්රයන් ඔස්සේ වාර්තා කර තිබිය යුතුය. කෙසේ නමුත් අප සිදු කළ පරීක්ෂාවේදී මෑතකදී එවැනි වීඩියෝවක් නේපාලයේ ප්රධාන ධාරාවේ මාධ්ය විසින් වාර්තාකර ඇති ආකාරයක් දැකගැනීමට ලැබුණේ නැහැ.
ඒ අනුව අප විසින් ඉහත වීඩියෝවේ දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී හඳුනා ගැනීමට ලැබුණේ අදාළ වීඩියෝවේ දර්ශනයක් ඇතුලත් මාධ්ය වාර්තාවක් 2024 වසරේදී නේපාල මාධ්ය විසින් වාර්තා කර ඇති බවයි.මෙම දර්ශනය ඇතුළත් පුවත් වාර්තාවෙන් දැක්වෙන්නේ 2024 සැප්තැම්බර් මස අගභාගයේදීනේපාලයට බලපෑ මෝසම් වැසි හේතුවෙන් සිදු වූ ගංවතුර සහ නායයෑම් පිළිබඳවයි. එම පුවත් වාර්තාව මෙතනින්.

2024 වසරේ නේපාලයේ ස්වභාවක ආපදා තත්වයකදී දරුවෙකු බේරාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක්
2024 සැප්තැම්බර් 28 වන දින මෙම වීඩියෝවේ දර්ශන සහිතව පල කර ඇති තවත් පුවත් වාර්තාවක දක්වා ඇත්තේ නේපාලයේ දොලඛා දිස්ත්රික්කයේ සිදුවූ නායයෑමක ඛේදවාචකයක් පිළිබඳවයි. නේපාලයේ භීමේශ්වර් නගර සභාවේ සිම්පානි ප්රදේශයේ සිදුවූ නායයෑමකින් නිවසක් පස් කන්දකට යටවීමෙන් එකම පවුලේ සාමාජිකයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිස් පරීක්ෂක ශත්රැගන් කුමාර් මහතෝ ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් පස් කන්දට යටවූ නිවසින් රාජ්කුමාර්ගේ වයස අවුරුදු 3ක් වන යුවරාජ් භුජෙල් නමැති මෙම දරුවා බේරාගෙන ඇති බව එහි දක්වා ඇත.
2024 සැප්තැම්බර් 30 වන දින ABC පුවත් සේවය විසින් ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවෙහි අදාළ වීඩියෝව පළ කර තිබේ. එහිද දක්වා ඇත්තේ “නේපාලයේ ඩොලාකා හි නිවසක් නායයෑමකින් අවුරුදු 2 ක පිරිමි ළමයෙකු බේරා ගත් බවයි”.
මෙයින් අදහස් වන්නේ 2026 අගෝස්තු අග ඇති වූ ආපදා තත්ත්වයෙන් සැබෑ දිවි ගලවාගත් පිරිසක් නොසිටි බවක් නොවේ. 2026 අගෝස්තු අග ඇති වූ ගංවතුරෙන් දින කිහිපයකට පසු, මඩ සහ සුන්බුන් අතරින් තරුණ දැරියක් ජීවතුන් අතර සිටියදීම බේරාගන්නා වීඩියෝ දර්ශන ලොව පුරා බෙදා හැරුණු අතර, ජාත්යන්තර ප්රවෘත්ති ආයතන විසින්ද එය තහවුරු කර තිබුණි.
උතුරු නේපාලයේ ටියුරේ ප්රදේශයේදී, නේපාල සන්නද්ධ පොලිස් බලකාය විසින් ඇයව බේරාගෙන තිබූ අතර, මෙම ගලවා ගැනීමේ සිදුවීම CNN, ABC News ඇතුළු ජාත්යන්තර මාධ්ය ආයතන විසින් වාර්තා කර තිබුණි.
සැබෑවටම සිදු වූ එම බලාපොරොත්තු සහගත සිදුවීම නිසා, දිවි ගලවාගත් පුද්ගලයෙකු බේරාගැනීමේ වීඩියෝවක් මෙහිදීද පහසුවෙන් ව්යාප්ත වීමට හේතුවක් විය හැකිය. නමුත් ඉහත පෝස්ටුවේ ඇති වීඩියෝව එම සිදුවීම නොවේ. එය 2024 වසරේ ඩොලාඛා නායයෑමකදී සිදු වූ ගලවා ගැනීමේ සිදුවීමක පැරණි දර්ශන වන අතර, 2026 මෑතකාලීන ආපදා තත්ත්වයට අදාළ වීඩියෝවක් ලෙස වැරදි ලෙස හුවමාරු කර ඇත.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) : Claim 4 :
නේපාලයට බලපෑ ආපදා තත්වයෙන් මියගිය පිරිස් දැක්වෙන ඡායාරූපයක් ලෙස හඟවමින් ඡායාරූපයක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

අදාල ඡායාරූපය තවදුරටත් සමාජ මාධ්යයේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


ඒ අනුව මෙහි සත්ය අසත්යභාවය සොයා බැලීමට අප කටයුතු කළා
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
ඉහත සමාජ මාධ්ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපයෙහි මල සිරුරු විශාල ප්රමාණයක් සුදු රෙදි වලින් ආවරණය කර තිබෙන ආකාරය දැකිය හැකිය. අදාළ දර්ශනය කුමක්ද යන්න සොයා බැලීම සඳහා අප විසින් එය Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී හඳුනා ගැනීමට ලැබුණේ මෙම ඡායාරූපය මුල් වරට හින්දි භාෂාවෙන් සමාජ මාධ්ය ඔස්සේ පල කර ඇති බවයි.
නේපාලයේ ගංවතුර තත්වය හේතුවෙන් මියගිය පුද්ගල මලසිරුරු 157 ක් සොයා ගෙන ඇති බව දක්වමින් අදාළ ඡායාරූපය එම මුල් සමාජ මාධ්ය සටහන් හි දක්වා ඇත.

මල සිරුරු ප්රදර්ශනය කිරීමක් හෝ සමූහ වශයෙන් තබා ඇති ආකාරයක් නිල මූලාශ්රයක් ඔස්සේ වාර්තා කර නොමැත
අදාළ දර්ශනය නේපාලයේ ස්වභාවික ව්යසනයෙන් පසු සැබෑ දර්ශනයක් නම් එය නේපාලයේ ප්රධාන ධාරාවේ මාධ්ය, නිල විශ්වසනීය මූලාශ්ර සහ ජාත්යන්තර මාධ්ය ඔස්සේද වාර්තා කර තිබිය යුතුය. ඒ අනුව අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූයේ ඉහත දර්ශනය කිසිඳු පිළිගත හැකි නිල මූලාශ්රයක් ඔස්සේ වාර්තා කර නොමැති බවයි.
නේපාල ගංවතුරින් පුද්ගලයන් 900 ඉක්මවා මියගොස් ඇති අතර, කෙසේ වුවද,මියගිය පුද්ගලයන්ගේ මල සිරුරු ප්රදර්ශනය කිරීමක් හෝ සමූහ වශයෙන් තබා ඇති ආකාරයක් කිසිඳු නිල මූලාශ්රයක් ඔස්සේ වාර්තා කර නොමැත. නමුත්, නේපාලයේ රෝහල් වල ගංවතුරින් මියගිය සහ අතුරුදන් වූ අයගේ ඡායාරූප ප්රදර්ශනය කර ඇති ආකාරයත් පවුල් වල අය සහ ඥාතීන් එම ඡායාරූප සමඟ සංවේදී වන අයුරු දක්වන වාර්තා ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේ වාර්තා කර තිබේ.
කෘතිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද්දක්
සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වැනි ඉහත ඡායාරූපය කිසිදු නිල මූලාශ්රයක් ඔස්සේ වාර්තා කර නොමැති බැවින් සහ අදාළ ඡායාරූපයේ නිරීක්ෂණය කළ හැකි අස්වාභාවික බව හේතුවෙන් අප විසින් අදාළ ඡායාරූපය ඡායාරූපය කෘතිම බුද්ධි අන්තර්ගත හඳුනා ගැනීමේ මෙවලම් කිහිපයක් වෙත යොමු කිරීමට අප කටයුතු කළා. එහිදී තහවුරු වූයේ අදාළ ඡායාරූපය කෘතිම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කරන ලද්දක් බවයි.



අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok


