Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: නාමල් රාජපක්ෂගේ බලපෑමෙන්, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන් සේවයෙන් ඉවත් කළාද?

    2021-04-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කෝවිඩ් වසංගතය චීනයේ, වුහාන් නගරය හරහා ව්‍යාප්ත වීම ආරම්භක අවධියේ ම එරට සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉදිරිපත් වූ යානය මෙහෙයවූ ප්‍රධාන ගුවන් යානා නියමුවා ඇතුළු පිරිසක් ගුවන් සේවයෙන් ඉවත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා

    කෝවිඩ් වසංගතය චීනයේ, වුහාන් නගරය හරහා ව්‍යාප්ත වීම ආරම්භක අවධියේ ම එරට සිරවී සිටින ශ්‍රී ලාංකික සිසුන් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඉදිරිපත් වූ යානය මෙහෙයවූ ප්‍රධාන ගුවන් යානා නියමුවා ඇතුළු පිරිසක් ගුවන් සේවයෙන් ඉවත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා.

    එසේ ඉවත් කිරීමට හේතුව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ නීති විරෝධි අණක් ඉටු කිරීමට අපොහොසත් වීම බවට එම සටහන් වල වැඩිදුරටත් දක්වා තිබුණා. ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    විදේශ රටක තනි නොවන්න යන ෆේස්බුක් පිටුවක සඳහන් කර තිබුනේ,

    “වූහාන්හි සිරවූ ශ්‍රී ලාංකිකයන් බේරාගැනීමට ස්වේච්ඡාවෙන් ගිය ප්‍රධාන ගුවන් නියමුවා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉවත් කරයි.

    හේතුව නාමල් රාජපක්ෂගේ නීති විරෝධි අණක් ඉටු නොකිරීම.

    එනම් ගුවන් කාර්‍ය මණ්ඩළය සදහා සුදුසුමක් නොමැති තරුණියක් සිය කාර්‍ය මණ්ඩලයට එකතු කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම. ” යනුවෙනි.

    Facebook | Archived Link

    මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ තවත් සටහන් කිහිපයක් පහතින්

    “එමෙන්ම චීනයේ වූහාන් වෙත මෙහෙයුම් පියාසැරිය කළ ගුවන් නියමුවා අස්කරලා! ”  යනුවෙන් සඳහන් කළ Sri Lanka Mirror වෙබ් අඩවියේ වාර්තාවද සමාජ මාධ්‍ය ඔස්සේ සරණය වී තිබුණා. එම සටහන මෙතනින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී ප්‍රවීන් වෙත්තමුණි යන අයව සේවයෙන් ඉවත් කළාද යන්න විමසීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතාගෙන් විමසීමක් කළා.

    එහිදී ඔහු සඳහන් කළේ, ඔවුන් සේවයෙන් ඉවත් නොකළ බවත් ඔවුන්ගේ තනතුරුවලින් පමණක් ඔවුන් ඉවත් වී ඇති බවත්ය. එසේම මේ වන විටත් ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකන් ආයතනයේ සේවයේ යෙදෙන බවත් අවධාරණය කළා.

    එම ඉවත් වීමට හේතුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් නිසාද යන්න විමසීමේදී ඔහු සඳහන් කළේ, නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය හා මේ අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවත් මෙම සිදුවීම සමාගමේ අභ්‍යන්තර ගැටළුවක් බවයි.

    අප මේ සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් කළා. එහිදී සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ගුවන් සමාගමේ  සිදුවී ඇතැයි කියන තනතුරු වල වෙනස්කම් පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නොදැන සිටි බවයි. එම ආයතනය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධයක් හෝ බලතලයක් අමාත්‍යවරයාට නොමැති බවත්, ඔහු නියෝජනය කරන්නේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ හා එයට අනුබද්ධ ආයතන වන අතර ශ්‍රී ලංකා ගුවන් සමාගම් පිළිබඳ බලයක් හෝ ඔවුන්ගේ තීරණ පාලනය කිරීමට නෛතික බලතලයක් නැති බවත් අවධාරණය කළා.

    සමාජ මාධ්‍ය ඔස්සේ අමාත්‍යවරයාගේ නම අපකීර්තියට පත් කිරීම සඳහා ඔහුට එරෙහිව නගා ඇති තවත් පදනම් විරහිත චෝදනාවක් බවත් ඔවුන් සඳහන් කළා.

    මේ පිළිබඳව අප සංචාරක අමාත්‍යංශයේ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදුකළ අතර එහිදී අපට පවසා සිටියේ ද ඉහත සිදුවීම ආයතනයේ අභ්‍යන්තර සිදුවීමක් වන අතර ඒ සඳහා සංචාරක අමාත්‍යංශයේ කිසිඳු බලපෑමක් ද නොවූ බවයි. 

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමු  චමින්ද ඩී සොයිසා හා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී ප්‍රවීන් වෙත්තමුණි යන අයව සම්බන්ධ කරගැනීමට උත්සහ කරත් එය ව්‍යර්ථ වුණා. 

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිලධාරීන් දෙදෙනා අදාළ තනතුරුවලින් ඉවත් කළද ඔවුන් තවදුරටත් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නියමුවන් ලෙස කටයුතු කරන බවත් පුවත් වෙබ් අඩවි කිහිපයක් ම මෙසේ වාර්තා කර තිබුණා

    Conclusion (අවසාන නිගමනය) :

    මේ අනුව තහවුරු වන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන ගුවන් නියමු  චමින්ද ඩී සොයිසා හා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා මෙහෙයුම් ප්‍රධානී ප්‍රවීන් වෙත්තමුණි යන අය සේවයෙන් ඉවත් කර නොමැති බවයි. ඔවුන් ඉසිලූ තනතුරුවල වෙනසක්, අභ්‍යන්තර ගැටලුකාරී තත්වයක් මත සිදුවී තිබේ. 

    අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධයක් මෙම සිදුවීමට ඇති බවට ඇති වාර්තා සම්පුර්ණයෙන්ම අසත්‍ය සහ පදනම් විරහිත බව ඔහුගේ මාධ්‍ය ඒකකය විසින් දන්වා සිටියි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කළමනාකාරිත්වය ද පවසා සිටින්නේ ඉහත සිදුවීම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ අභ්‍යන්තර ගැටළුවක් බවත්,  අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ කිසිඳු සම්බන්ධයක් මේ සඳහා නොමැති බවත්ය. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-04-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.