Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    පොදුජන පෙරමුණු රැළියේදී මන්ත්‍රී අර්චුනා විසින් සිදු කළ ප්‍රකාශ ද ?

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-16
    10 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය සැප්තැම්බර් මස 12 වන දා අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජන රැළියට ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    පසුගිය සැප්තැම්බර් මස 12 වන දා අනුරාධපුර නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජන රැළියට ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන රාමනාදන් අර්චුනා සහභාගි වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ගොඩනැගී තිබේ. එසේම එම රැළියේදී අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් විවිධ ආන්දෝලනාත්මක සටහන්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. එලෙස හුවමාරු වන  සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.

    Claim 1

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “අද අපේ නායකයා ප්‍රබාකරන් ජිවතුන් අතර හිටියනම් මම වගේම එතුමත් මේ වෙදිකාවට නගිනවා මේ යුද්දේ ඉවර කරන්න ලොකුම උවමනාව තිබුනේ අනුර කුමාරගේ JVP එකට, එකයි අපි අද මාලිමාවට විරුද්ධව පොහොට්ටු වේදිකාවට නැග්ගේ මං කො.ටි.යෙ.ක්…කොටියට උනත් නගින්න පුලුවන් වේදිකාව තමයි මෙක” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා විසින් ප්‍රකාශ කළ බව දක්වමින් අදාළ සටහන නිර්මාණය කර ඇත.

    Facebook | Archived Link

    අදාළ සටහන සමාජ මාධ්‍ය ඔස්සේ තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්

    Facebook Youtube

    පොදු ජන පෙරමුණු ජන රැළියේදී සැබෑ ලෙසම පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් ප්‍රකාශ කළේ කුමක්ද ? ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් ඔහු විසින් සිදුකර තිබේද ? යන්න පරීක්ෂා කිරීමට අප කටයුතු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් පසුගියදා පැවැත්වුණු පොදුජන පෙරමුණු රැළියේදී සිදුකළ ප්‍රකාශයන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ඔස්සේ වාර්තාකර තිබේ. කෙසේ නමුත් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ප්‍රකාශය එනම් “අද අපේ නායකයා ප්‍රබාකරන් ජිවතුන් අතර හිටියනම් මම වගේම එතුමත් මේ වෙදිකාවට නගිනවා මේ යුද්දේ ඉවර කරන්න ලොකුම උවමනාව තිබුනේ අනුර කුමාරගේ JVP එකට, එකයි අපි අද මාලිමාවට විරුද්ධව පොහොට්ටු වේදිකාවට නැග්ගේ මං කො.ටි.යෙ.ක්…කොටියට උනත් නගින්න පුලුවන් වේදිකාව තමයි මෙක” යන සම්පූර්ණ ප්‍රකාශය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද බව දක්වමින් කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් විසින් හෝ නිල විශ්වාසනීය මූලාශ්‍රයක් විසින් වාර්තාකර නොමැත. 

    නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් තමා කොටියෙක් ලෙස හඳුන්වා ගෙන ප්‍රකාශයක් සිදු කර ඇති අතර, එම ප්‍රකාශය ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් ඔස්සේ ද වාර්තා කර ඇත. අදාළ මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් පොදු ජන පෙරමුණු රැළියේදී සිදු කරන ලද ප්‍රකාශය

    “මම කියන්න කැමතියි සිංහල ජනතාව කියලා කියනකොට මට මතක් වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විතරයි, වෙන කවුරුත් නැහැ. එක කැලේ ඇතුළේ සිංහයා ඉන්න පුළුවන්, කොටියා ඉන්න පුළුවන්, හැබැයි නරියාව පත් කරලා තියෙන්නේ. ඔයාලා නරියාව පත් කරලා තියෙන්නේ. එක දවසක්වත් මේ රටේ අවුරුදු හතළිහෙම වෙලා නැහැ. 

    මම මේ කොටියා වෙලත් ඔයාලට කියන්නේ, ඔයාලා නරියාව පත් කරලා තියෙන්නේ. ඒ නිසා තමයි සිංහයා ඉස්සරහ ඇවිල්ලා මම කතා කරන්නේ.  උතුරයි දකුණයි විතරයි කතා කරන්න පුළුවන්, නරියාට කතා කරන්න බැහැ. මට පුළුවන් සිංහල එච්චරයි. උතුරේ ඉන්න එක්කෙනෙකුටයි දකුණේ ඉන්න එක්කෙනෙකුටයි කතා කරන්න පුළුවන් මේ රට හදාගමු කියලා. අපි ඩයස්පෝරාවෙන් බරගානක් සල්ලි දුන්නා. ඔබතුමාලා දන්නේ නැහැ. අපි බරගානක් මේ ඡන්දෙට සල්ලි දුන්නා, ඕගොල්ලෝ කවුරුත් දන්නේ නැහැ. හැබැයි ඒ ඩයස්පෝරාවම මට කිව්වා ගිහිල්ලා කියපන් ඕක ගිහින් අතන සිංහල මිනිස්සු ඉස්සරහා කියලා.

    මම මේක කියන්නම්, මේ රටේ මම මැරෙනකන් මම කවදාවත් දෙමළ ඊළාම් ඕන කියලා ඉල්ලන්නේ නැහැ. මට ඕනේ මේ සිංහල ජනතාව. ඔබ තමුන්නාන්සේලා කවදා හරි දෙමළ මිනිහට බහිනකොට මගේ මුහුණ මතක තියාගන්න. නාමල්ට කිව්වා මචං මොනවා වුණොත් 2029 සිංහල දෙමළ කියන ප්‍රශ්නය නැති කරනවා කියලා. මම කියන්නම්, 2029 ඕගොල්ලන්ට කැමැත්තක් නැත්නම් හිරේ දැම්මොත් මොනවා දැම්මොත් නාමල් රාජපක්ෂ ජනාධිපති වෙනවාමයි.”

    පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් සිදුකර තිබෙන සම්පූර්ණ ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ, ඔහු වත්මන් පාලකයන් නරියෙකුට උපමා කර ඇති බවත්, තමා කොටියෙක් ලෙස හඳුන්වා ගෙන ඇති බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිංහයෙකු ලෙස හඳුන්වා ඇති බවත්, එය ඔස්සේ ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය ගොඩනැගී ඇති බවත් ය. 

    කෙසේ වුවද ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය විශ්ලේෂණය කිරීමේදී ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ “අද අපේ නායකයා ප්‍රභාකරන් ජීවතුන් අතර හිටියා නම් මම වගේම එතුමත් මේ වේදිකාවට නගිනවා” යනුවෙන් හෝ  එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ නායකයාව සිටි‍ ප්‍රභාකරන් සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බව පැහැදිලි වේ. එසේම “යුද්ධය ඉවර කිරීමට ලොකුම උවමනාවක් තිබුණේ අනුරු කුමාරගේ JVP එකට” යනුවෙන් ප්‍රකාශයක් හෝ ඒ සම්බන්ධයෙන් ඇඟවෙන ආකාරයේ ප්‍රකාශයක් හෝ ඔහු විසින් සිදුකර නොමැත. 

    Youtube

    කෙසේ වුවද අනුරාධපුර ජනරැලිය අමතමින් “මම කොටියෙක්” යැයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ. 

    ඒකාබද්ධ විපක්ෂය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර  පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානය ප්‍රවර්ධනය කරන බව දක්වමින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් අදාළ පැමිණිල්ල ගොනු කර තිබේ. මේ සම්බන්ධ මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

    ඩයස්පෝරාවෙන් මාලිමාවට මුදල් ලැබුණු බවට සිදු කරන ලද ප්‍රකාශය කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතික්ෂේප කරයි.

    අදාළ මන්ත්‍රීවරයා විසින් ඩයස්පෝරාවෙන් මාලිමාවට මුදල් ලැබුණු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්, අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයක් හමුවේ පිළිතුරු ලබාදී තිබුණා. ඔහු විසින්  ප්‍රකාශ කර තිබුණේ, ඩයස්පෝරාවෙන් මාලිමාවට මුදල් ලැබුණු බවට ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවයි. අදාළ මන්ත්‍රීවරයා සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පොලිසියට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇති බවත්, ඒ පිළිබඳ විමර්ශන කටයුතු සිදු වෙමින් පවතින බවත් ය. වැඩිදුර තොරතුරු මෙතනින්.

    මෙවැනි සටහන් නිර්මාණය වීම සඳහා රාමනාදන් අර්ජුනා මන්ත්‍රීවරයා මීට පෙර සිට පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටත දී සිදු කරන ලද විවිධ ප්‍රකාශ පසුබිම් වී තිබේ. 

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක්  නිකුත් කරමින් ඔහු කියා සිටියේ, තම පියා ශ්‍රී ලංකා රජයේ හිටපු පොලිස් නිලධාරියෙකු වුවද, 1983 ජාතිවාදී කැරලිවලින් පසු ඇති වූ තත්ත්වයන් මත 1987 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පොලිස් බලකායට එකතු වූ බවයි. එමඟින් තමන්ට එල්.ටී.ටී.ඊ හිතවාදී පසුබිමක් තිබූ බව ඔහු පෙන්වා දී තිබුණි. එසේම ප්‍රභාකරන් තමන්ගේ දෙවියන් බව ඔහු ප්‍රකාශ කරන බවත්, ඒ පිළිබඳව පැවසීමට තමා කිසිසේත් බිය නොවන බවත් සඳහන් කර තිබේ. වැඩිදුර තොරතුරු  මෙතනින්,  මෙතනින් සහ මෙතනින්.

    Claim 2

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    පොදු ජන පෙරමුණු රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා විසින් ජනතාව අමතන අවස්ථාවේ දර්ශනයක් යොදා ගනිමින් “නාමල් වෙනුවෙන් මිලින්දට ජිනීවා ගිහින් කතා කරන්න දෙමළ ඩයස්පෝරාවේ UN ලියාපදිංචි NGO එක දුන්නේ මම” යනුවෙන් ප්‍රකාශ කර ඇති බව දක්වමින් සටහනක්ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබේ.

    Facebook | Archived Link

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉහත සමාජ මාධ්‍ය සටහන ඔස්සේ දැක්වෙන ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් ප්‍රකාශ කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිය යුතුය. අප විසින් සිදුකළ පරීක්ෂාවේ දී එවැන්නක් දැක ගැනීමට ලැබුණේ නැහැ.

    එසේම අප විසින් පොදු ජන පෙරමුණු රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර ඇත්ද යන්න පරීක්ෂා කිරීමට ඔහුගේ සම්පූර්ණ ප්‍රකාශය පරීක්ෂා කළ අතර නිරීක්‍ෂණය කළ හැකි වූයේ මන්ත්‍රීවරයා විසින් එවැන්නක් ප්‍රකාශ කර නොමැති බවයි. සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

    Youtube

    එසේම ඔහු විසින් වෙනත් ස්ථානයකදී හෝ මෙවැන්නක් ප්‍රකාශ කර නොමැති බව අප විසින් සිදු කළ පරීක්ෂාවේදී පැහැදිලි වූවා. 

    මිලින්ද රාජපක්ෂ මහතා සැප්තැම්බර් මාසයේදී ජිනීවා නුවර පැවැත්වෙන 63 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගී වීම

    පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ක්‍රියාකාරීකයකු වන, බහුජන බලය සංවිධානයේ සභාපති/කැඳවුම්කරු ලෙස කටයුතු කරන මිලින්ද රාජපක්ෂ මහතා සැප්තැම්බර් මාසයේදී ජිනීවා නුවර පැවැත්වෙන 63 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල (UNHRC) සැසිවාරයට සහභාගී වීය. එහිදී ප්‍රකාශයක් සිදු කරමින් ඔහු  දේශපාලන පළිගැනීම් සහ අත්අඩංගුවට ගැනීම්, යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෙන්ම අල්ලස් පනතේ ඇප ලබාදීමට අදාළ ප්‍රතිපාදන හරහා නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබාගැනීමට ඇති ඉඩකඩ සහ ඉන් දේශපාලන ක්‍රියාකාරීන්ට සිදුවන බලපෑම් පිළිබඳව ද කරුණු දැක්වීය.එසේම නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව යුරෝපයේ නීතිඥයන් මාර්ගයෙන් සකස් කරන ලද නිල පැමිණිලි පත්‍රයක් ඔහු ජිනීවාහි පිහිටි අන්තර්-පාර්ලිමේන්තු සංගමය (IPU) වෙත ද භාර දෙන ලදී. වැඩිදුර තොරතුරු  මෙතනින්.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිල සැසිවාරයක් ඇමතීමට හෝ එහිදී ප්‍රකාශයක් සිදු කිරීමට නම්, එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජයීය කවුන්සිලයේ උපදේශක තත්ත්වය හිමි ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක (NGO) නිල අනුග්‍රහය හෝ ප්‍රතීතනය අවශ්‍ය වේ. මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවා කවුන්සිලයේදී නියෝජනය කළ නිශ්චිත ජාත්‍යන්තර NGO ආයතනය කුමක්ද යන්න සොයා බැලීමට යනු අප කටයුතු කළා. 

    මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවා කවුන්සිලයේදී නියෝජනය කළ නිශ්චිත ජාත්‍යන්තර NGO ආයතනය කුමක්ද

    මානව හිමිකම් සැසිභාරයේදී මිලින්ද රාජපක්ෂ මහතාගේ කතාව ආරම්භයේදී ඔහු නියෝජනය කරන රාජ්‍ය නොවන සංවිධානය කුමක්ද යන්න පැහැදිලිව ප්‍රකාශ කරන ආකාරය හඳුනාගත හැකිය. ඒ අනුව මිලින්ද රාජපක්ෂ මහතා විසින් “Global Sri Lanka Forum United Kingdom (ගෝලීය ශ්‍රී ලාංකික සංසදය – එක්සත් රාජධානිය)” නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සිලය අමතන බව පැහැදිලි වේ. මිලින්ද රාජපක්ෂ මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්.

    Facebook

    Global Sri Lanka Forum United Kingdom (ගෝලීය ශ්‍රී ලාංකික සංසදය – එක්සත් රාජධානිය)

    Global Sri Lankan Forum යනු විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයන් එකතු වී පිහිටුවාගෙන ඇති ජාත්‍යන්තර සංවිධාන ජාලයකි.

    එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, ඉතාලිය සහ ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් රැසක මෙහි ශාඛා ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය ස්වභාවය, ස්වෛරීභාවය සහ භූමියේ අඛණ්ඩතාව විදේශීය බලපෑම්වලින් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටීම මෙම සංවිධානය විසින් සිදු කිරීමට අරමුණු කරගෙන ඇති අතර, එල්.ටී.ටී.ඊ. (LTTE) හිතවාදී ඩයස්පෝරා කණ්ඩායම් විසින් ජාත්‍යන්තරව පතුරුවන මතවාදයන්ට සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වැනි ආයතන හරහා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවලට එල්ල වන යුද අපරාධ චෝදනාවලට එරෙහිව ජාත්‍යන්තර තලයේ කරුණු දැක්වීමද ඔවුන් විසින් සිදු කර තිබේ. 

    Youtube

    2026 වසරේදී අත්අඩංගුවේ පසුවන හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලෙයි මහතාගේ සෞඛ්‍ය හා නීතිමය අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව ඉල්ලීම්ද සිදු කර ඇත.

    මිලින්ද රාජපක්ෂ මහතා

    අප විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා මිලින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ කරගත් අතර, එහිදී ඔහු විසින් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දක්වා තිබු කරුණු ප්‍රතික්‍ෂේප කළා. තමා විසින් ‘Global Sri Lanka Forum’ (ගෝලීය ශ්‍රී ලංකා සංසදය) නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇමතූ බවත්, තම කතාව ආරම්භයේදී තමා නියෝජනය කරන සංසදය පැහැදිලිව සඳහන් කළ බවත් සඳහන් කළා. ගෝලීය ශ්‍රී ලංකා සංසදය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලියාපදිංචි පැරණිතම සංවිධානයක් බවත්, ඔවුන් එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාවේ ව්‍යාජ තොරතුරු වලට එරෙහිව සටන් කර ඇති අතර යුරෝපයේ ජීවත් වන සිංහලයන් විසින් එය නිර්මාණය කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළා. 

    එසේම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 63 වන සැසිවාරය (HRC63) සඳහා ඔහු වෙත නිකුත් කර තිබූ  නිල ප්‍රවේශ පත්‍රයද ඔහු විසින් අප වෙත ඉදිරිපත් කර තිබේ. එම ප්‍රවේශ පත්‍රයෙහිද ඔහු බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක වන Global Srilankan Forum United Kingdom (ගෝලීය ශ්‍රී ලාංකික සංසදය – එක්සත් රාජධානිය) නමැති රාජ්‍ය නොවන සංවිධානය නියෝජනය කරමින් මීට සහභාගී වන බව දක්වා ඇත.

    අප විසින් ඉහත සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා ගෙන් විමසීමක් සිදුකර ඇති අතර, ඔහුගෙන් ප්‍රතිචාරයක් ලැබුණහොත් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් පසුගියදා පැවති ශ්‍රී  ලංකා පොදු ජන පෙරමුණු ජන රැළියට සහභාගී වෙමින් සිදුකළ ප්‍රකාශයන් ලෙස හුවමාරු වන ඉහත සටහන් නොමග යවන සුළු බවයි. මන්ත්‍රීවරයා විසින් ” ප්‍රභාකරන් ජීවතුන් අතර සිටියා නම්, ඔහුත් මෙම වේදිකාවට නගිනවා” යනුවෙන් හෝ “යුද්ධය ඉවර කිරීමට ලොකුම උවමනාවක් තිබුණේ JVP එකට” යනුවෙන් ප්‍රකාශයක් සිදුකර නොමැත. කෙසේ නමුත් තම ප්‍රකාශය තුළ ඔහු විසින් තමා කොටියකු ලෙස හඳුන්වා ගැනීම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇත. ඒ සම්බන්ධ විමර්ශන  කෙරෙමින් පවතී.

    එසේම ඔහු විසින් මිලින්ද රාජපක්ෂ මහතා හට ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත යෑම සඳහා දෙමළ ඩයස්පෝරාවේ NGO එකක් තමා විසින් ලබා දුන් බවට ප්‍රකාශ කර නොමැති අතර, අපි විසින් සිදුකළ සොයාබැලීමේදී පැහැදිලි වූයේ මිලින්ද රාජපක්ෂ මහතාා විසින් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන සිංහල රාජ්‍ය නොවන සංවිධානයක් වන “Global Sri Lanka Forum” නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සිලය අමතා ඇති බවයි. ඒ අනුව ඉහත සටහනද අසත්‍ය බව පැහැදිලි වේ.

    Result Stamp

    Title: පොදුජන පෙරමුණු රැළියේදී මන්ත්‍රී අර්චුනා විසින් සිදු කළ ප්‍රකාශ ද ?

    Fact Check By: B.P Hansani

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-09-16

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.