Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ප්‍රංශයේ විරෝධතාවල දර්ශන බව කියමින් හුවමාරු වන ඇතැම් වීඩියෝවල ඇත්ත නැත්ත!

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-20
    9 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ප්‍රංශයේ ක්‍රියාත්මක විරෝධතාවලට අදාළ යැයි කියන වීඩියෝ දර්ශන බොහොමයක් මේ දිනවල මෙරට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද සංසරණය වෙමින් තිබේ. ඒ අතර විරෝධතාවල සැබෑ තත්ත්වය පෙන්වන වීඩියෝ මෙන්ම, පැරණි දර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ප්‍රංශයේ ක්‍රියාත්මක විරෝධතාවලට අදාළ යැයි කියන වීඩියෝ දර්ශන බොහොමයක් මේ දිනවල මෙරට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ද සංසරණය වෙමින් තිබේ. ඒ අතර විරෝධතාවල සැබෑ තත්ත්වය පෙන්වන වීඩියෝ මෙන්ම, පැරණි දර්ශන සහ සිදුවීමට නොගැළපෙන විස්තර සහිත, සමාජය නොමඟ යවන සුළු දර්ශන ද ඇතුළත් වේ. මෙසේ හුවමාරු වන වීඩියෝ දෙකක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාව පහත දැක්වේ.

    Claim 01:

    පලස්තීනයේ ජාතික ධජය ද සහිතව පහත වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ, “ප්‍රංශයේ මාර්සෙයි නගරයේ නගර ශාලාව පලස්තීන හිතවාදීන් ඇතුළු වී අල්ලා ගනී” යන තේමාවෙනි.

    “ප්‍රංශයේ මාර්සෙයි නගරයේ පැරණි වරාය ප්‍රදේශයේ පිහිටි නගර ශාලාවේ පිවිසුම් දොරටුව 2026/10/17 ඊයේ දින බලහත්කාරයෙන් විවෘත කර ඇතුළු වූ පිරිසක් පලස්තීන ධජ සහ කෙෆියේ පැළඳගෙන විරෝධතාවක නිරත වී ඇති බවට වාර්තා වේ. එහිදී “විප්ලවය, අපි බැස්ටිලය අත්පත් කරගන්නවා” යනුවෙන් කෑගසමින් ගොඩනැගිල්ලේ අභ්‍යන්තරයට හානි කර ඇති අතර, ඇන්ටිෆා සම්බන්ධ ග්‍රැෆිටි සලකුණු ද ඇඳ ඇති බව සඳහන් වේ” යනුවෙන් විස්තරයක් ද එහි සඳහන් කර තිබේ.

    සමාජ මාධ්‍යයේ පළ කර ඇති වීඩියෝවට අනුව විරෝධතාකරුවන් පිරිසක් වසා දමා ඇති ගොඩනැගිල්ලක දොරටුව බලහත්කාරයෙන් කඩා ඊට ඇතුළු වන ආකාරය දැකගත හැකිය.

    Facebook

    පරීක්ෂාවට ලක් කළ ප්‍රකාශ (Claim under test) : 2026 ඔක්තෝබර් 17 වැනිදා ප්‍රංශයේ මාර්සෙයි නගර ශාලාව පලස්තීන හිතවාදීන් ඇතුළු වී අල්ලා ගත් බව වීඩියෝවකින් පෙන්වයි.

    Fact-Check 01:

    ප්‍රංශයේ ක්‍රියාත්මක විරෝධතා 2026 ඔක්තෝබර් 17 සෙනසුරාදා දැවැන්ත පෙළපාලි, ප්‍රචණ්ඩ ගැටුම් මෙන්ම දේපළ හානි කිරීම් දක්වා වර්ධනය වූ බව විදෙස් මාධ්‍ය මෙතනින් සහ මෙතනින් වාර්තා කර තිබේ. එවැනි වටපිටාවක් තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශනය සැබෑ දර්ශනයක් ද යන්න අප මුලින්ම පරීක්ෂා කළෙමු.

    ඔක්තෝබර් 17 වැනිදා විරෝධතාකරුවන් පිරිසක් ප්‍රංශයේ මාර්සෙයි (Marseille) පැරණි වරාය (Vieux-Port) ආසන්නයේ පිහිටි නගර ශාලාවට බලහත්කාරයෙන් ඇතුළු වූ බව සත්‍යයක් බව එහිදී හෙළි විය. ආරක්ෂක බාධක ද යොදා ගනිමින් දොරටුව විවෘත කළ විරෝධතාකරුවන් කිහිප දස දෙනෙකු නගර ශාලාවේ පිවිසුම් ශාලාවට (lobby) කෙටි වේලාවකට ඇතුළු වී, ගෘහ භාණ්ඩවලට හානි කළ බවත්, ප්‍රංශ ජනරජයේ සංකේතය වන මැරියාන් (Marianne) අර්ධ පිළිරුවක් බිම හෙළූ බවත්, අරාජිකවාදය (anarchism) නිරූපණය කරන රවුමක් තුළ ඇති “A” අකුර බිත්තියක ඇඳ තිබූ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වීඩියෝ දර්ශන ද සහිතව මෙතනින්, මෙතනින් සහ මෙතනින් වාර්තා කර තිබිණි. පොලීසිය ඇතුළු වූ පිරිස ඉක්මනින් ඉවත් කර ගොඩනැගිල්ල ආරක්ෂා කළ බව ද එම වාර්තාවල සඳහන් වේ.

    කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා හා සැසඳීමේදී, සිදුවීම සත්‍ය වුව ද වීඩියෝවට සිංහලෙන් යොදා ඇති තේමාවේ සහ විස්තරයේ ඇතැම් කරුණු තහවුරු නොවූ සහ සමාජය නොමඟ යවන සුළු ඒවා බව නිරීක්ෂණය විය.

    විස්තරයේ ඇතැම් කොටස් සත්‍යයි: “අපි බැස්ටිලය අල්ලනවා” යනුවෙන් කෑගැසූ බව වාර්තා වේ

    සමාජ මාධ්‍ය සටහනේ සඳහන් සියල්ල අසත්‍ය නොවේ. නගර ශාලාවට ඇතුළු වූ විරෝධතාකරුවන් “C’est la Révolution, on prend la Bastille” (මෙය විප්ලවයයි, අපි බැස්ටිලය අල්ලා ගන්නවා) යනුවෙන් කෑගැසූ බව ප්‍රංශ භාෂා මාධ්‍ය මෙතනින් සහ මෙතනින් වාර්තා කර තිබේ. ගොඩනැගිල්ලේ ඇතුළත ගෘහ භාණ්ඩ සහ වීදුරුවලට හානි කළ බව ද වාර්තා වේ. 1789 ජූලි 14 වැනිදා පැරිසියේ බැස්ටිල් බන්ධනාගාරය අල්ලා ගැනීම ප්‍රංශ විප්ලවයේ සංකේතයක් වන අතර, මෙම පාඨය පලස්තීන ප්‍රශ්නයට සම්බන්ධ එකක් නොවේ.

    නගර ශාලාව “පලස්තීන හිතවාදීන් ඇතුළු වී අල්ලා ගත්” බව නොමඟ යවන සුළුයි

    මාර්සෙයි නගර ශාලාවට කඩා වැදුණේ පලස්තීන හිතවාදීන් බවට සමාජ මාධ්‍ය සටහනේ සඳහන්ව තිබුණ ද, කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක් ඔවුන් පලස්තීන හිතවාදී සංවිධානයක් හෝ කණ්ඩායමක් ලෙස හඳුනාගෙන නැත. කිසිදු කණ්ඩායමක් සිදුවීමේ වගකීම භාරගත් බවක් ද අපට හමු නොවීය.

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ, මෙම සිදුවීම 2026 සැප්තැම්බර් මැද භාගයේ ප්‍රංශයේ උසස් පාසල්වලින් ආරම්භ වී ජීවන වියදමට එරෙහි රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් බවට පත්ව ඇති ප්‍රංශ විරෝධතාවලම කොටසක් ලෙසයි. විස්තර මෙතනින් සහ මෙතනින්.

    එසේම, නගර ශාලාවට ඇතුළු වූවන් බොහෝ දුරට තරුණයන් බවත්, ඔවුන් අතර කහ ජැකට් (gilets jaunes) පැළඳි ඇතැමුන් මෙන්ම පලස්තීන ධජ රැගෙන සිටි ඇතැමුන් ද සිටි බවත් ප්‍රංශ මාධ්‍ය මෙතනින් වාර්තා කර තිබේ. මාර්සෙයි නගරාධිපති බෙනොයිට් පයාන් (Benoît Payan) ඔවුන් හැඳින්වූයේ “casseurs” (කඩාකප්පල්කරුවන්) ලෙසයි. ඇතැම් පිරිස් “ඉල්ලීම් ආවරණයක් කරගෙන ඇතුළු වී, කඩා බිඳ දමා, හානි කරන” බව ද ඔහු පැවසූ බව මෙතනින් වාර්තා වේ. ඒ අනුව, දර්ශන නිරීක්ෂණයෙන් හෝ මාධ්‍ය වාර්තාවලින් හෝ ඇතුළු වූ සියලු දෙනා පලස්තීන හිතවාදීන් බවට නිගමනය කළ හැකි සාධක නොමැත.

    පලස්තීන ධජ රැගෙන සිටියේ විරෝධතාකරුවන් කිහිප දෙනෙකු පමණි

    Marseille නගර ශාලාවට ඇතුළු වූ විරෝධතාකරුවන් සියලු දෙනා පලස්තීන ධජ සහිතව නොසිටි අතර, පහත දර්ශනයේ දැකගත හැක්කේ එක් විරෝධතාකරුවෙකු පලස්තීන ධජය උරහිසේ පැළඳ සිටින ආකාරයයි. මාධ්‍ය වාර්තා කර ඇත්තේ ද “ඇතැමුන්” පලස්තීන ධජ රැගෙන සිටි බව මිස, සියලු දෙනා එසේ සිටි බවක් නොවේ.

    ප්‍රංශයේ විරෝධතා දර්ශන බව කියමින් හුවමාරු වන වීඩියෝවක තිරරූපය (1)

    euronews

    විරෝධතාකරුවන් කිහිප දස දෙනෙකු අතරින් ඇතැමුන් පලස්තීන ධජ රැගෙන සිටීම පමණක් පදනම් කරගෙන, නගර ශාලාව පලස්තීන හිතවාදීන් “අල්ලා ගත්” බව ප්‍රකාශ කළ නොහැකිය. එසේම මෙය කෙටි වේලාවකට පිවිසුම් ශාලාවට ඇතුළු වීමක් මිස, ගොඩනැගිල්ල අල්ලා ගැනීමක් නොවේ.

    මේ අතර විරෝධතාකරුවන් කෙෆියේ (Keffiyeh), එනම් පලස්තීන ජනතාව අතර ප්‍රචලිත සම්ප්‍රදායික හිස් ආවරණය පැළඳ සිටි බවට සමාජ මාධ්‍ය සටහනේ සඳහන් වුව ද, Marseille නගර ශාලාවට කඩා වැදුණු විරෝධතාකරුවන් එවැනි හිස් පළඳනාවලින් සැරසී සිටින බවක් එම අවස්ථාවේ දර්ශන තුළ පැහැදිලිව දැකගත නොහැකිය. ඇතැමුන් මුහුණු වසාගෙන සිටි බව දර්ශනවලින් පෙනේ. තව ද සිදුවීම වාර්තා කළ කිසිදු ජාත්‍යන්තර හෝ ප්‍රංශ මාධ්‍යයක කෙෆියේ ගැන සඳහනක් අපට හමු නොවීය.

    ඇන්ටිෆා ග්‍රැෆිටි බවට සාක්ෂි නැත: ඇඳ තිබුණේ අරාජිකවාදී “A” සලකුණයි

    Marseille නගර ශාලාවට කඩා වැදුණු විරෝධතාකරුවන් එහි ඇන්ටිෆා (Antifa: ෆැසිස්ට්වාදයට සහ අන්ත දක්ෂිණාංශික දේශපාලන ව්‍යාපාරවලට විරුද්ධ විවිධ කණ්ඩායම් හා ක්‍රියාකාරීන් හැඳින්වීමට භාවිත කරන යෙදුමක්) සම්බන්ධ ග්‍රැෆිටි සලකුණු තැබූ බවට සමාජ මාධ්‍යයේ සඳහන් කරුණ, මෙම සිදුවීම වාර්තා කළ කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක් වාර්තා කර නොමැත.

    කෙසේ වෙතත් විරෝධතාකරුවන් නගර ශාලාවේ පිවිසුම් ශාලාව තුළ බිත්තියක රවුමක් තුළ “A” අකුරක් ඇඳ තිබූ බවත්, ගොඩනැගිල්ලේ ඉදිරිපස පොලිසියට එරෙහි පාඨ ලියා තිබූ බවත් මාධ්‍ය මෙතනින් වාර්තා කර තිබිණි. රවුමක් තුළ ඇති “A” අකුර අරාජිකවාදය නිරූපණය කරන සංකේතයක් වන අතර, එය ඇන්ටිෆා සංකේතය නොවේ. එම සලකුණ මත පමණක් පිහිටා විරෝධතාකරුවන් කිසියම් ව්‍යාපාරයකට සම්බන්ධ බවට නිගමනය කළ ද නොහැකිය.

    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, ඔක්තෝබර් 17 වැනිදා විරෝධතාකරුවන් Marseille නගර ශාලාවට කඩා වැදී එහි දේපළවලට හානි කිරීම, ප්‍රංශය පුරා ජීවන වියදම ඉහළ යාම, රාජ්‍ය සේවා පිරිහීම ඇතුළු කරුණු මුල් කරගනිමින් ක්‍රියාත්මක විරෝධතාවල දිගුවක් බවත්, පොලීසිය ඇතුළු වූ පිරිස ඉක්මනින් ඉවත් කළ බවත්ය. විස්තර මෙතනින් සහ මෙතනින්. ඒ අනුව, මෙම සිදුවීම “ප්‍රංශයේ මාර්සෙයි නගර ශාලාව පලස්තීන හිතවාදීන් ඇතුළු වී අල්ලා ගැනීමක්” ලෙස හැඳින්වීම නොමඟ යවන සුළුය.

    Claim 02:

    “ආලෝකයේ නගරය ගිනි ගනී! පැරිස් නුවර අලුත්ම තත්ත්වය” යන තේමාවෙන් පළ කරන ලද පහතින් දැක්වෙන වීඩියෝවෙන් විරෝධතාකරුවන් වාහන ගිනි තබමින්, බස් නැවතුම්පොළ විනාශ කරමින් ප්‍රචණ්ඩකාරීව හැසිරෙන ආකාරයක් පෙන්වයි.

    Facebook

    පරීක්ෂාවට ලක් කළ ප්‍රකාශ (Claim under test) : “ආලෝකයේ නගරය ගිනි ගනී!” යනුවෙන් හුවමාරු වන වීඩියෝවෙන් පෙන්වන්නේ මේ දිනවල පැරිසියේ අලුත්ම තත්ත්වයයි.

    Fact-Check 02:

    සැප්තැම්බර් මැද භාගයේ ඇරඹුණු ප්‍රංශයේ විරෝධතා මේ වනවිට දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති අතර, ඔක්තෝබර් 17 වැනිදා පැරිසිය ඇතුළු නගරවල විරෝධතාකරුවන් වාහන ගිනි තබමින් කලහකාරීව හැසිරුණු බව ජාත්‍යන්තර මාධ්‍ය මෙතනින් සහ මෙතනින් වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන මෙම දර්ශන පෙළ, පසුගිය දින කිහිපයේ විරෝධතා වාර්තා කළ කිසිදු ජාත්‍යන්තර මාධ්‍යයක අපට හමු නොවීය. ඒ අනුව, වීඩියෝවේ සැබෑ මූලාශ්‍රය තහවුරු කර ගැනීම සඳහා අප වීඩියෝවේ දර්ශන කිහිපයක් ප්‍රතිලෝම රූප සෙවුමක් (Reverse Image Search) ඔස්සේ පරීක්ෂා කළෙමු.

    එහිදී, පෙරළී ගිනිගන්නා වාහනය දැක්වෙන දර්ශනය මේ දිනවල ප්‍රංශයේ පවතින විරෝධතාවලට අදාළ නොවන බවත්, එය 2022 දෙසැම්බර් 24 වැනිදා ප්‍රංශ මාධ්‍යවේදී රෙමී බුයිසින් (Rémy Buisine) සිය X ගිණුමේ පළ කළ පැරණි වීඩියෝවක් බවත් තහවුරු විය.

    රෙමී එය ප්‍රංශ භාෂා ශීර්ෂ පාඨයක් සහිතව පළ කර තිබූ අතර, එහි සඳහන් වන්නේ “පැරිසියේ මධ්‍යයේ අවුල් සහගත තත්ත්වයක්; පෙරළී ගිය සහ ගිනිගත් වාහන. ගැටුම් සිදුවෙමින් පවතී” (Chaos dans le centre de Paris, des véhicules retournés et incendiés. Affrontements en cours) යන්නයි.

    ප්‍රංශයේ විරෝධතා දර්ශන බව කියමින් හුවමාරු වන වීඩියෝවක තිරරූපය (2)

    X

    මෙම සිදුවීම කුමක් ද යන්න තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පරීක්ෂා කළෙමු. 2022 දෙසැම්බර් 23 වැනිදා පැරිසියේ අහ්මෙත් කායා (Ahmet-Kaya) කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ ඒ ආසන්නයේ සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූ බවත්, 69 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. අනතුරුව, දෙසැම්බර් 24 වැනිදා මියගිය පිරිසට යුක්තිය ඉල්ලා කුර්දි ප්‍රජාවේ සාමාජිකයන් පැරිසියේ Place de la République ආසන්නයේ විරෝධතා දැක්වූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ, විරෝධතාවේ නිරත පිරිස මෝටර් රථ පෙරළා ගිනි තබමින් පොලීසිය සමඟ ද ගැටුම් ඇති කර ගත් බවයි. විස්තර මෙතනින් සහ මෙතනින්.

    ඔක්තෝබර් මුල සිටම මෙයට සමාන දර්ශන ප්‍රංශ සිසු විරෝධතා ලෙස හුවමාරු වූ අතර, අප Fact Crescendo කණ්ඩායම ද ඉංග්‍රීසි බසින් මෙතනින් සහ දමිළ බසින් මෙතනින් ඒ ගැන විමර්ශන සිදුකර තිබුණා.

    පාසල් විරෝධතාවක් ලෙස ඇරඹී රට පුරා ජීවන වියදම් විරෝධතාවක් බවට පත් වූ ප්‍රංශ අර්බුදය (ඔක්තෝබර් 19 වනවිට)

    2026 සැප්තැම්බර් මැද භාගයේදී, පැරිසිය ආසන්න ක්‍රෙටේයි (Créteil) නගරයේ උසස් පාසලක ගුරු හිඟය, අධික සිසුන් සංඛ්‍යාවක් සහිත පන්ති කාමර සහ දිරාපත් ගොඩනැගිලි ඇතුළු ගැටලු මුල් කරගෙන සිසු විරෝධතාවක් ලෙස ආරම්භ වූ ප්‍රංශයේ විරෝධතා, පසුව රට පුරා පාසල් වෙත ව්‍යාප්ත වූ අතර, ගුරුවරුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ වෘත්තීය සමිති ද ඊට එක් විය (මෙතනින්). පසුව ජීවන වියදම ඉහළ යාම, ඉන්ධන මිල, රාජ්‍ය සේවා පිරිහීම සහ රාජ්‍ය සේවා වැටුප් ශීත කිරීමේ අයවැය යෝජනා ඇතුළු ප්‍රශ්න ද ඊට එක් වූ අතර, 2018 දී ඉන්ධන බදු වැඩි කිරීමට එරෙහිව ඇරඹි “කහ ජැකට්” (Yellow Vests) ව්‍යාපාරය ද ඔක්තෝබර් 17 විරෝධතාවලට එක් විය (මෙතනින්). ඔක්තෝබර් 17 වැනිදා රට පුරා පෙළපාලිවලට 550,000ක් පමණ පිරිසක් සහභාගි වූ බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසූ අතර, CGT වෘත්තීය සමිතිය එම සංඛ්‍යාව 800,000ක් ලෙස දැක්වීය (මෙතනින්).

    ඇතැම් විරෝධතා සාමකාමීව පැවතිය ද, නගර කිහිපයක පොලීසිය සමඟ ගැටුම්, වෙළඳසැල් කොල්ලකෑම්, වාහන ගිනි තැබීම්, රජයේ ගොඩනැගිලිවලට හානි කිරීම් ඇතුළු දැඩි ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති විය. ලිමෝජ් (Limoges) නගරයේ වසර 143ක් පැරණි නගර ශාලාව ගින්නෙන් බොහෝ දුරට විනාශ වූ බව ද වාර්තා විය (මෙතනින්). ඔක්තෝබර් 17 වැනිදා 2,400කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් බවත්, පොලිස් සහ ජෙන්ඩාම් නිලධාරීන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලැබූ බවත් ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    අගමැති සෙබස්තියන් ලෙකොර්නු (Sébastien Lecornu) මීට පෙර අත්අඩංගුවට ගැනීම් 1,200ක් ලෙස සඳහන් කළ අතර, මෙම සංඛ්‍යා තවමත් යාවත්කාලීන වෙමින් පවතී. ඔක්තෝබර් 18 වැනිදා රූපවාහිනී ඔස්සේ ජාතිය ඇමතූ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් (Emmanuel Macron), “පාලනයකින් තොර” ප්‍රචණ්ඩත්වය කිසිවකින් සාධාරණීකරණය කළ නොහැකි බවත්, “අද රාත්‍රියේ අප සැමට කෝපයක් සහ ලැජ්ජාවක් දැනේ” බවත් පැවසීය. නීත්‍යනුකූල ඉල්ලීම් ඇති විරෝධතාකරුවන් සහ “විනාශ කළ, කඩා බිඳ දැමූ, කොල්ලකෑ” අය අතර වෙනසක් ඇති බව පැවසූ ඔහු, විනාශ කළ අය ඒ සඳහා වගකිව යුතු (must pay) බව ද අවධාරණය කළේය. විස්තර මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ප්‍රංශයේ උත්සන්න වෙමින් පවතින විරෝධතා අතරතුර 2026 ඔක්තෝබර් 17 වැනිදා විරෝධතාකරුවන් මාර්සෙයි නගර ශාලාවට කඩා වැදුණු වීඩියෝව සත්‍ය වන අතර, “අපි බැස්ටිලය අල්ලනවා” යනුවෙන් ඔවුන් කෑගැසූ බව ද වාර්තා වී ඇති බවත්ය. එහෙත්, එය කිහිප දෙනෙකු කෙටි වේලාවකට පිවිසුම් ශාලාවට ඇතුළු වීමක් මිස, නගර ශාලාව අල්ලා ගැනීමක් නොවේ. ඇතැමුන් පලස්තීන ධජ රැගෙන සිටියද, ඔවුන් පලස්තීන හිතවාදී කණ්ඩායමක් බවට කිසිදු මාධ්‍යයක් වාර්තා කර නැත. ඇන්ටිෆා ග්‍රැෆිටි ගැන ද සාක්ෂි නැති අතර, ඇඳ තිබුණේ අරාජිකවාදී “A” සලකුණයි. ඒ අනුව, “මාර්සෙයි නගර ශාලාව පලස්තීන හිතවාදීන් ඇතුළු වී අල්ලා ගනී” යන තේමාවෙන් සහ විස්තරයෙන් සිදුවීමට පලස්තීන හිතවාදී ස්වරූපයක් ආරෝපණය කිරීම නොමඟ යවන සුළුය.

    මේ අතර, “ආලෝකයේ නගරය ගිනි ගනී! පැරිස් නුවර අලුත්ම තත්ත්වය” යන තේමාවෙන් පළ කරන ලද වීඩියෝව පවතින විරෝධතාවලට අදාළ නොවේ. එය 2022 දෙසැම්බර් 23 වැනිදා පැරිසියේ කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයක සිදු වූ වෙඩි තැබීමෙන් පසු, දෙසැම්බර් 24 වැනිදා කුර්දි ප්‍රජාව පැවැත්වූ විරෝධතාවකදී විරෝධතාකරුවන් වාහන සහ දේපළවලට හානි කරන ආකාරය දැක්වෙන පැරණි වීඩියෝවකි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2026-10-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.