දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා 2026 සැප්තැම්බර් මස 04 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) මඟින් අත්අඩංගුවට ගනු ලැබීය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප හිමි වූ බව සඳහන් කරමින් සටහන් සමාජ මාධ්යය ඔස්සේ හුවමාරු වන ආකාරය නිරීක්ෂණය කළ හැකි විය. මේ සම්බන්ධයෙන් සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :

මීට අදාළ සටහන් සමාජ මාධ්ය ඔස්සේ ද තවදුරටත් හුවමාරු වී තිබුණේ මෙලෙසින්.



Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සැප්තැම්බර් 04 දින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණීමේ සිට අදාළ සිදුවීමේ සියලු තොරතුරු ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේ වාර්තා කර තිබේ. මාධ්ය ඔස්සේ වාර්තාකර ඇති ආකාරයට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත් වූ අතර අනතුරුව එදිනම අධිකරණයට ඉදිරිපත් කෙරිණි. පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට ඇප නියම වූ බවට කිසිදු ප්රධාන ධාරාවේ මාධ්යයක් විසින් හෝ නිල මූලාශ්රයක් විසින් වාර්තා කර හෝ තහවුරු කර නොමැත.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් නිල තහවුරු කරන ලද මූලාශ්ර විසින් වාර්තාකර ඇති ආකාරයට එයාර්බස් ප්රසම්පාදන වංචාව සම්බන්ධයෙන් ප්රකාශයක් සටහන් කර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කළ දැනුම්දීමකට අනුව නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 04 පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ. අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් පැය 5කට ආසන්න කාලයක් තිස්සේ නාමල් රාජපක්ෂ මහතාගෙන් ප්රශ්න කර දීර්ඝ ප්රකාශයක් සටහන් කර ගෙන ඇත. ලබා දුන් ප්රකාශය අවසානයේ, අනාවරණය වූ සාක්ෂි සැලකිල්ලට ගනිමින් විමර්ශන නිලධාරීන් විසින් පස්වරුවේ නාමල් රාජපක්ෂ මහතාව අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් මන්ත්රීවරයා කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. ඒ සම්බන්ධ මාධ්ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලැබී නොමැත. සැප්තැම්බර් 18 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග බෝදරාගම මහතා, නාමල් රාජපක්ෂ මහතා 2026 සැප්තැම්බර් මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. ඒ අනුව එදිනම එනම් සැප්තැම්බර් 04 දින නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරය වෙත රැගෙන යාම සිදු විය. එම අවස්ථාව ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේද වාර්තා කර තිබේ.
ඒ සම්බන්ධ තවත් මාධ්ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
පොලිස් මාධ්ය කොට්ඨාසය
නමල් රාජපක්ෂ මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප නියම වූ බවට හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප විසින් පොලිස් මාධ්ය කොට්ඨාසයෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කළා. එහිදී පොලිස් මාධ්ය කොට්ඨාසය විසින් තහවුරු කළේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ප්රකාශයක් ලබාදීම සඳහා පැමිණි නාමල් රාජපක්ෂ මහතා එහිදී අත්අඩංගුවට පත් වූ බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුටට ඇප නියම වීමක් සිදු නොවූ බවත්ය. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර බන්ධනාගාරගත කළ බව පොලිස් මාධ්ය කොට්ඨාසය විසින් තහවුරු කළා.
බන්ධනාගාර මාධ්ය ප්රකාශක සේනක පල්ලේතැන්න
මේ සම්බන්ධයෙන් අප විසින් බන්ධනාගාර මාධ්ය ප්රකාශක සේනක පල්ලේතැන්න මහතාගෙන්ද විමසීමක් සිදු කළා. එහිදී ඒ මහතා විසින්ද සඳහන් කළේ හුවමාරු වන සටහන් අසත්ය බවයි. අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වන දා තෙක් බන්ධනාගාර ගත කළ බවත්, ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින බවත් ඒ මහතා විසින් සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට පත් වූයේ ඇයි ?
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ ශ්රී ලංකන් ගුවන් සමාගම සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වූ බව කියන රුපියල් මිලියන 100කට ආසන්න අල්ලස් ගනුදෙනුවකට අදාළවය. 2013-2015 කාලසීමාව තුළ සිදුවූ මෙම ගුවන් යානා මිලදී ගැනීමේ ක්රියාවලියේදී යුරෝපීය එයාර්බස් නිෂ්පාදක සමාගම විසින් ශ්රී ලංකාවේ ඉහළ පෙළේ නිලධාරීන්ට සහ දේශපාලනඥයින්ට අල්ලස් ලබා දුන් බවට විමර්ශන මෙහෙයවනු ලැබීය. අල්ලස් කොමිසමට අනුව, මෙම අල්ලස් මුදල් සිංගප්පූරුවේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ පවත්වාගෙන ගිය ‘BIZ Solutions Inc’ නැමැති ගිණුමකට බැර කර ඇත. පසුව එම මුදල් ශ්රී ලාංකික ව්යාපාරිකයෙකුට අයත් ‘Sabre Vision Holdings Ltd’ නැමැති සමාගමේ සිංගප්පූරු OCBC බැංකු ගිණුමකට මාරු කර ඇති අතර, එම ව්යාපාරිකයාගේ ප්රකාශ, ප්රංශයේ එයාර්බස් නිලධාරීන් ලබා දුන් තොරතුරු සහ සාක්ෂි මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණ පරීක්ෂාවෙන් පෙන්වා දෙන්නේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත ප්රකාශයක් ලබාදීම සඳහා පැමිණ අත්අඩංගුවට පත් වූ නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප නියම වී ඇති බවට හුවමාරු වන සටහන් අසත්ය බවයි. අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඔහුට ඇප නියම වීමක් සිදුවී නොමැති අතර සැප්තැම්බර් 18 වන දා තෙක් නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.



