දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
2026 අගෝස්තු අග භාගයේ නේපාලයේ හිමාල කඳුකරයේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ඇති වූ මහා ගංවතුර හා නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 90,000කට වැඩි පිරිසකට බලපෑම් එල්ල වී ඇති බව ඇස්තමේන්තු කර තිබෙනවා. එය කලාපයේ මෑත ඉතිහාසයේ දරුණුතම ස්වභාවික ව්යසනයක් බවට පත් වී හමාරයි.
මෙම ව්යසනය හමුවේ ජාත්යන්තර ප්රජාව ආධාර ලබාදීමට ඉදිරිපත් වී ඇති අතර, ලෝකයේ බලවත්ම ආර්ථිකය වන ඇමෙරිකාව ඩොලර් ලක්ෂ 5ක් පමණක් දෙද්දී, ණයෙන් බැට කන කුඩා ආර්ථිකයක් වන ශ්රී ලංකාව එය මෙන් දෙගුණයක මුදලක් ලබා දුන් බවට ද, සමාජ මාධ්ය ඔස්සේ සටහන් පළ විය. අප මේ පිළිබඳ කරුණු පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“නේපාලයේ ව්යසනයට ඇමරිකාව ඩොලර් ලක්ෂ 5ක මුදලක් පිරිනමද්දී ලංකා රජයෙන් ඩොලර් මිලියනයක්” යන තේමාවෙන් සටහන් පෙළක් හුවමාරු වී තිබුණේ මෙලෙසින්:




ඒ ඔස්සේ නිර්මාණය වී තිබූ තවත් සටහන් පෙළකින් කියවුණේ, ඇමෙරිකාවට වඩා ආධාර ලබාදීමට ලංකාව සමත් වන්නේ නම්, ඔවුන් ධනවත් රටක් බැවින්, ලංකාවට පනවා ඇති බදු 40% දක්වා ඉහළ දමන බවක්.
කෙසේ නමුත් මෙම සටහන්වල ව්යාජ පුවතක් බව පැහැදිලිව සඳහන් කරමින් (FAKE NEWS) යනුවෙන් ටැග් එකක් සටහනේ සඳහන් කර තිබෙණු ද දැක ගන්නට ලැබෙනවා. එසේ වුවද, මෙම සටහන් සඳහා ලබා දී තිබූ ප්රතිචාර සහ සටහන්හි ලබාදී තිබූ විස්තර ඔස්සේ ඇත්ත වශයෙන්ම මේ ආකාරයේ බදු වෙනස්වීමක් සිදුවුණි ද යන්න ගැන ඇතැමුන් විමසිලිමත් වී තිබුණා.


Facebook | Archived Link Facebook | Archived Link
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ඇමෙරිකාව මුල් අවස්ථාවේ නේපාලයට ලබා දුන් ආධාර
නේපාල ව්යසනය සිදුවූ දිනයේම, එනම් අගෝස්තු 26 වැනිදා, ඇමෙරිකා රාජ්ය දෙපාර්තමේන්තුව නේපාල ගංවතුර සහන සඳහා ඩොලර් 500,000ක මානුෂීය ආධාරයක් ප්රකාශයට පත් කර තිබුණා. මෙම මුදල හදිසි නවාතැන්, සහන ද්රව්ය සහ ජල හා සනීපාරක්ෂක සේවා සඳහා Catholic Relief Services ආයතනය හරහා යොමු කරන ලදී.
ශ්රී ලංකා රජය, විදේශ කටයුතු අමාත්යාංශය හරහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත ඩොලර් මිලියනයක මුදල් ආධාරයක් ලබාදෙන බව, ඊට පසු දින, එනම් 2026 අගෝස්තු 27 වන දින ප්රකාශයට පත් කර තිබුණා.
එබැවින්, අගෝස්තු 27 වන දිනයෙදී, ‘ඇමෙරිකාව ඩොලර් ලක්ෂ 5යි, ලංකාව ඩොලර් මිලියනයයි, එනම් දෙගුණයයි’ යන මූලික සැසඳීම සත්ය නමුත්, එය නේපාල ව්යසනයෙන් එක් දිනක් පසුවන විට පමණක් තිබූ තත්ත්වය වන අතර, බොහෝ රටවල් සහ ආයතන ඔවුන් ලබාදෙන ආධාර ප්රමාණ එවකට ප්රකාශයට පත්කර හෝ තිබුණේ නැහැ.
කෙසේනමුත්, ඉහත ඇතැම් සමාජ මාධ්ය සටහන් ඊට දින කිහිපයකට පසුව අගෝස්තු 30 වැනි දින සහ ඉන්පසුව ද නිර්මාණය වී තිබූ අතර, ඉන් අනතුරුව ඇමෙරිකාව සහ ලංකාව විසින් ප්රකාශයට පත්කළ ආධාර තිබුණේ ද යන්න සලකා බලා නැති බැවින්, අප ඒ ගැන සොයා බැලුවේ මෙලෙසින්.
ඇමෙරිකාව ආධාර ඉහළ දැමීම
2026 අගෝස්තු 30 වන දින, එනම් සමාජ මාධ්ය සටහන් සංසරණය වූ දින ම, ඇමෙරිකාවෙන් නේපාලයට අමතර ඩොලර් මිලියන 3.6ක අමතර ආධාර ප්රකාශයට පත් කර තිබේ. මෙය පවුල් 10,000කට මාස තුනක් සඳහා ආහාර ඇතුළත් වූ අතර, එය මුලින් ලබාදුන් ඩොලර් 500,000ට අමතරව ලබා දී තිබූ බව පැහැදිලිව සඳහන් කරයි.

එහි ප්රතිඵලයක් ලෙස ඇමෙරිකාවේ සම්පූර්ණ දායකත්වය ඩොලර් මිලියන 4ක් පමණ දක්වා ඉහළ ගොස්, එය ශ්රී ලංකාවේ දායකත්වයට වඩා හතර ගුණයකට වැඩි විය.
වැදගත් කරුණක් නම්, මෙම ලිපිය සකස් කරන අවස්ථාව වන විට, ශ්රී ලංකාව විසින් මුලින් ලබාදී තිබූ ඩොලර් මිලියනයට අමතරව තවත් දායකත්වයක් ප්රකාශයට පත් කර නොතිබීමයි.
එබැවින්, විශේෂයෙන්ම අගෝස්තු 30 සහ ඉන්පසුව පළවූ සටහන් මඟින් ඇමෙරිකාවේ සම්පූර්ණ ආධාරය ඩොලර් ලක්ෂ 5ක් ලෙස සඳහන් කිරීම අසත්යයි.
Help Nepal’s flood victims. Donate to the official Nepal Government relief fund (Prime Minister Disaster Relief Fund):
Donate at pmdrf.nchl.com.np →අගෝස්තු 30 වන දා වන විට විදේශීය රටවල් නේපාලයට ලබා දී ඇති ආධාර
2026 අගෝස්තු 26–27 නේපාලයට ඇති වූ මෙම ව්යසනයේ සමස්ත පාඩුව ඩොලර් බිලියන 4ක් ඉක්මවන බව ඇස්තමේන්තු කර තිබේ.
එක් රටක ‘මුදල් ආධාර’ අගය පමණක් තවත් රටක් සමඟ සැසඳීම කළ නොහැක්කේ, ඇතැම් රටවල් මූල්යමය වශයෙන් ආධාර ලබා දෙද්දී, තවත් රටවල් ආහාර, දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සහ වෛද්ය ද්රව්ය වැනි ද්රව්යමය ආධාර ලබා දෙන බැවිනි. 2026 අගෝස්තු 30 පමණ වන විට ලබා දී ඇති ආධාර පහත පරිදිය.
| දායකයා | ප්රමාණය | දිනය | සටහන් |
| චීනය | ~ඩොලර් මිලියන 33 (මුළු ප්රතිපාදනය) | අගෝ. 28–31 | යුවාන් මි. 220ක්; කාර්ය මණ්ඩල 2,100+; ඉන් නේපාල භාණ්ඩාගාරයට ඍජු මුදල් ~ඩො.මි. 2.2ක් (අගෝ.31) |
| එක්සත් රාජධානිය | £5 මිලියන (~ඩො.මි. 6.8) | අගෝ. 27–28 | සෙවීම් හා බේරාගැනීමේ කණ්ඩායමක්ද |
| ඇමෙරිකාව | ~ඩොලර් මිලියන 4 | අගෝ. 26 + අගෝ. 30 | 500,000 + අමතර 3.6M; පවුල් 10,000කට ආහාර |
| කැනඩාව | කැ.ඩො. 5 මිලියන (~ඩො.මි. 3.6) | අගෝ. 28 | මුදල් ආධාර |
| එ.ජා. (CERF) | ඩොලර් මිලියන 2.5 | අගෝ. 29–30 පමණ | හදිසි අරමුදල් |
| යුරෝපා සංගමය | €2 මිලියන (~ඩො.මි. 2.3) | අගෝ. 28 | ආහාර, සෞඛ්ය, ජලය |
| රතු කුරුස (IFRC) | ස්විස් ෆ්රෑ.මි. 1 (~ඩො.මි. 1.24) | අගෝ. 28 පමණ | හදිසි අභියාචනය |
| ශ්රී ලංකාව | ඩොලර් මිලියන 1 | අගෝ. 27 | මුදල් ආධාර |
| ඉන්දියාව | ටොන් 10 ද්රව්ය | අගෝ. 27 | නවාතැන්, බ්ලැන්කට්, ඖෂධ; උමං බේරාගැනීමේ විශේෂඥයෝද |
| ද. කොරියාව / ඕස්ට්රේලියාව / WHO | කණ්ඩායම් / ද්රව්ය | අගෝ. අග | ද්රව්යමය හා තාක්ෂණික ආධාර |
(ඉහත සංඛ්යා: Al Jazeera, The Business Standard, EU, Canada (Jamaica Observer) ඇතුළු මූලාශ්රවලින්.) මෙම සම්පූර්ණ පින්තූරය තුළ, නිරපේක්ෂ ඩොලර් අගය අනුව ශ්රී ලංකාවේ දායකත්වය චීනය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව හා කැනඩාව යනාදියට පිටුපසින් පසුවේ.
චීනයේ ~ඩොලර් මිලියන 33ක සංඛ්යාව යනු බේරාගැනීමේ මෙහෙයුම්, උපකරණ හා ගුවනින් බෙදාහැරීම් ඇතුළු මුළු ප්රතිපාදනය වන අතර, ඉන් නේපාල රජයට ඍජුව ලබා දුන් මුදල් ප්රදානය ~ඩොලර් මිලියන 2.2ක් (අගෝ. 31) පමණි. එබැවින් සමස්ත වෙන් කිරීම හා ඍජු මුදල් ප්රදානය එකිනෙකට වෙනස් ය.
යාවත්කාලීන තත්ත්වය: මෙම ලිපිය යාවත්කාලීන කරන විට (සැප්. 1), මරණ සංඛ්යාව 900 ඉක්මවා (ඇතැම් වාර්තාවලට අනුව 1,000ට වැඩි), අතුරුදන් වූවන් 4,200කට වැඩි, සහ බලපෑමට ලක් වූවන් 90,000කට වැඩි විය. නේපාල රජය ප්රතිසංස්කරණ සඳහා ඩොලර් බිලියන ගණනක තාක්ෂණික හා මූල්ය සහාය ඉල්ලා ඇති අතර, එය දැනට පොරොන්දු වී ඇති සමස්ත ආධාරයට වඩා බෙහෙවින් විශාල ය.
එමෙන් ම ආධාර ප්රකාශ තවමත් විකාශනය වෙමින් පවතින බැවින්, මෙයින් පසුව ශ්රී ලංකාව හෝ වෙනත් රටවල් අමතර දායකත්ව ප්රකාශයට පත් කළ හැක. එසේම පොරොන්දු වූ මුදල් සහ සැබවින්ම බෙදා හරින ලද මුදල් අතර වෙනසක් නිතර දක්නට ලැබේ.
චීනය හා ඉන්දියාව වැනි රටවල ද්රව්යමය ආධාරවල නිශ්චිත මුදල් අගය සෑම විටම ප්රසිද්ධියේ ලබා ගත නොහැකි බැවින්, සම්පූර්ණ සැසඳීමක් සීමා සහිත ය. එබැවින්, මෙම විශ්ලේෂණය 2026 අගෝස්තු 30–31 පමණ වන විට පවතින ප්රසිද්ධ වාර්තා මත පදනම් වන අතර, පසුව නව තොරතුරු මතුවීමත් සමඟ යාවත්කාලීන වනු ඇත.
කෙසේ වෙතත්, 2022 වසරේ සිදු වූ ස්වෛරී ණය පැහැර හැරීම, දැඩි විදේශ විනිමය හිඟය සහ IMF වැඩසටහනක් යටතේ ක්රියාත්මක වන දැඩි ප්රතිසංස්කරණ මධ්යයේ, ශ්රී ලංකාව ඩොලර් බිලියන 85ක ආර්ථිකයෙන් ඩොලර් මිලියනයක් ලබා දීම යනු සමස්ත ආර්ථිකයෙන් 0.00118%ක් වේ. ඇමෙරිකාවේ ඩොලර් ට්රිලියන 29ක ආර්ථිකයෙන් ඩොලර් මිලියන 4ක් ලබා දීම යනු ඔවුන්ගේ ආර්ථිකයෙන් 0.0000138%කි. මේ අනුව බලන විට, ශ්රී ලංකාව සිය ආර්ථිකයේ ප්රමාණයට සාපේක්ෂව ඇමෙරිකාවට වඩා 85 ගුණයකටත් වඩා වැඩි බරක් දරා තිබේ.
ඩොනල්ඩ් ට්රම්ප් ලංකාවට පනවා ඇති තීරු බදු ප්රතිශතය වැඩි කළේද?
මෙහි සඳහන් වන පරිදි ඩොනල්ඩ් ට්රම්ප් “ලංකාව අපිට වඩා පොහොසත් රටක් කියලා හිතලා බදු 40%කින් වැඩි කරනවා” වැනි කිසිදු ප්රකාශයක් කර නැත. එමෙන්ම, නේපාලයට ඩොලර් ලක්ෂ 5ක් දීම හෝ ලංකාවෙන් ඩොලර් මිලියනයක් දීම සම්බන්ධයෙන් මෙහි දක්වා ඇති සංසන්දනය ද උපහාසාත්මක ආකාරයෙන් නිර්මාණය කළ සටහනක් බව පෙනී යන අතර, එහි සඳහන් සංසන්දනය සම්පූර්ණ යාවත්කාලීන කළ තොරතුරු ඇතුළත් නොකළ බැවින් නොමඟ යවනසුලු වේ.
සැබෑවටම ට්රම්ප් පරිපාලනය පනවා ඇති බදු මොනවාද?
ට්රම්ප් පරිපාලනය මුලින්ම ශ්රී ලංකාවෙන් ඇමෙරිකාවට යවන භාණ්ඩ සඳහා 44%ක අන්යෝන්ය තීරු බද්දක් පැනවීමට තීරණය කර තිබුණි.
ශ්රී ලංකා රජය සහ අපනයනකරුවන් කළ සාකච්ඡාවලින් පසු, එම තීරු බද්ද පළමුව 30% දක්වාත්, පසුව 44%සිට 20% දක්වාත් ධවල මන්දිරය විසින් අඩු කරන ලදී.
මෑතකදී ඇමෙරිකානු අධිකරණ තීන්දු සහ නව නියෝග හේතුවෙන් බදු ප්රතිපත්ති යම් යම් වෙනස්වීම්වලට ලක් වුවද, කිසිදු අවස්ථාවක මෙම සටහන්වල දැක්වෙන ආකාරයේ “පොහොසත් රටක් නිසා 40%ක බද්දක් ගහනවා” වැනි ප්රකාශයක් ට්රම්ප් සිදු කර නැත.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ‘ඇමෙරිකාව ඩොලර් ලක්ෂ 5ක්, ශ්රී ලංකාව ඩොලර් මිලියනයක්’ යන ප්රකාශය නොමඟ යවනසුලු බවයි.
‘ඇමෙරිකාව ඩොලර් ලක්ෂ 5ක්, ශ්රී ලංකාව ඩොලර් මිලියනයක්’ යන මූලික සංඛ්යා 2026 අගෝස්තු 27–28 මුල් අවස්ථාවේ දී සත්ය ය. කෙසේනමුත්, මෙම සටහන් නිර්මාණය කර තිබෙන අගෝස්තු 30 වනදා වන විට, ඇමෙරිකාව නේපාලයට අමතර ඩොලර් මිලියන 3.6ක ආධාර ප්රකාශ කිරීමත් සමඟ එරට සම්පූර්ණ ආධාර ඩොලර් මිලියන 4 ඉක්මවයි. මෙය අගෝස්තු 26 වනදා ප්රකාශ කළ ඩොලර් 500,000ක මුල් ආධාරයෙන් පසුව සිදු වූ වැඩි කිරීමකි.
එබැවින්, ඇමෙරිකාව ඩොලර් ලක්ෂ 5ක් පමණක් ලබාදුන් බවත්, ශ්රී ලංකාව ඩොලර් මිලියනයක් ලබාදී ඇමෙරිකාවට වඩා දෙගුණයක් ආධාර ලබාදුන් බවත් දිනයක් නොමැතිව ඉදිරිපත් කිරීම නොමඟ යවනසුලුය.
මෙරටින් නේපාලයට ලබා දුන් ඩොලර් මිලියනයක මුදල, ආර්ථික ප්රමාණයට සාපේක්ෂව කැපී පෙනුණත්, එය ඇමෙරිකාවේ සමස්ත ආධාරය අභිබවා ගොස් නැත.



