Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    උඩු රැවුලක් සහිතව ඉපදුන බව කියන බිළිඳාගේ වීඩියෝව සත්‍ය වීඩියෝවක් ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-26
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලොව පුරා දරුවන්ගේ, අලුත උපන් බිළිඳුන්ගේ සුවිශේෂි තත්ත්වයන් දැක්වෙන ඡායාරූප මෙන්ම වීඩයෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉතා වේගයෙන් පැතිර යන අවස්ථා අපට නිරන්තරව දැකගත හැකියි. මේ එලෙස ලෝකය පු

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ලොව පුරා දරුවන්ගේ, අලුත උපන් බිළිඳුන්ගේ සුවිශේෂි තත්ත්වයන් දැක්වෙන ඡායාරූප මෙන්ම වීඩයෝ දර්ශන සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉතා වේගයෙන් පැතිර යන අවස්ථා අපට නිරන්තරව දැකගත හැකියි. මේ එලෙස ලෝකය පුරා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ අලුත උපන් බිළිඳෙකුගේ බව කියන වීඩියෝවක් සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    සමාජ මාධ්‍යයේ සංසරණය වන මෙම වීඩියෝවට අනුව ඝන උඩු රැවුලක් සහිත  අලුත උපන් බිළිඳෙකු ඇඳක් මත සිටින අයුරු දැකගත හැකියි.

    වීඩියෝ සටහන තුළ ද හඳුන්වා ඇත්තේ, මෙය උපතින්ම කැපී පෙනෙන කළු පැහැති උඩු රැවුලක් සහිත බිළිඳෙකු පිළිබඳ වීඩියෝවක් යනුවෙනි. බිළිඳෙකුගේ ශරීරයේ රෝම පැවතීම අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවත් එහි සඳහන් වන අතර ඒ පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ද පහත පරිදි එහි ඇතුළත් වේ.  

    “බිළිඳෙකුගේ ශරීරයේ රෝම පැවතීම අසාමාන්‍ය තත්ත්වයක් නොවන බවයි. වෛද්‍ය විද්‍යාත්මකව ‘Lanugo’ ලෙස හඳුන්වන මෙම සියුම්, මෘදු රෝම ගර්භාෂය තුළදී කලලයේ සම මත වර්ධනය වන අතර, සම ආරක්ෂා කිරීමට සහ ගර්භාෂය තුළ ඇති ආරක්ෂිත ආලේපනය වන Vernix Caseosa සම මත රඳවා තබා ගැනීමට උපකාරී වේ. සාමාන්‍යයෙන් මෙම රෝම උපතට පෙර ගැලවී ගියද, ඇතැම් බිළිඳුන්ගේ උපතින් පසුවද දින කිහිපයක් හෝ සති කිහිපයක් පුරා පවතින අතර, පසුව ස්වභාවිකව ගැලවී යයි.” 

    Facebook 

    රැවුලක් සමග ඉපඳුන ඉක්වදෝරයේ බිළිඳා යනුවෙන් සඳහන් කරමින් තවත් අයෙක් වීඩියෝවේ ඡායාරූපයක් සහිතව සටහනක් මෙලෙස පළ කර තිබුණා. 

    එම සටහනට ද පහත පරිදි විශේෂඥ මතයක් ඉදිරිපත් කර තිබුණා. 

    “වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ අලුත උපන් බිළිඳුන්ගේ සිරුරේ Lanugo ලෙස හැඳින්වෙන සිහින් කෙස් රොදවල් පැවැතීම සාමාන්‍ය දෙයක් බවයි. කෙසේ වෙතත් දුර්ලභ අවස්ථාවලදී අධික කෙස් වර්ධනය වන Hypertrichosis තත්ත්වයද මෙයට හේතු වෙන්න පුලුවන්…’’

    Facebook | Archived Link

    විමර්ශනයට ලක් කළ දර්ශනය : ඝණ උඩු රැවුලක් සහිතව උපත ලද බිළිඳෙකු පිළිබඳව සංසරණය වන වීඩියෝව සත්‍යක් ද යන්න.  

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඝන කළු උඩු රැවුලක් සහිත බිළිඳෙකු ගැන පිළිගත් මාධ්‍ය වාර්තා නැහැ 

    සමාන්‍යයෙන් අලුත උපන් බිළිඳෙකුගේ සිරුරේ සියුම් රෝම දැකිය හැකි වුවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවේ දැක්වෙන බිළිඳාගේ ඝන කළු උඩු රැවුල බැලූ බැල්මට අසාමාන්‍ය පෙනුමක් ගනී. වීඩියෝවේ දැක්වෙන ආකාරයේ බිළිඳෙකු උපත ලැබූ බවට වන පුවත තහවුරු කර ගැනීම සඳහා අප මුලින්ම විදෙස් මාධ්‍ය වාර්තා පරීක්ෂා කළා. කෙසේ වෙතත් එවැනි පුවතක් පිළිබඳ කිසිදු විශ්වසනීය වාර්තාවක් හමු නොවීය.  

    තව ද මෙම සිදුවීම ඉක්වදෝරයේ සිදුවීවක් බවට ඇතැම් සමාජ මාධ්‍ය සටහන්වල සඳහන්ව ඇති බැවින් අප ඉක්වදෝරය මෙවැනි දරුවෙකු ඉපිද සිටීදැයි, අප එරට මුල් කරගත මාධ්‍ය ඔස්සේ ද කරුණු පරීක්ෂා කළා. එහිදී ද වීඩියෝවේ දැක්වෙන බිළිඳා ඉක්වදෝරයේ උපත ලැබූ බවට හෝ සිදුවීම සත්‍යක් බවට තහුවරු වන වාර්තා කිසිවක් හමුනොවිය.

    කෙසේ වෙතත් එරට  Metro Ecuador පුවත් වෙබ් අඩවිය ඔක්තෝබර් 23 වැනිදා මේ පිළිබඳව වාර්තා කරමින් සඳහන් කළේ, ඝන කළු උඩු රැවුලක් සහිත බිළිඳෙකු දැක්වෙන වීඩියෝවේ සත්‍යතාව හෝ එහි මූලාරම්භය ස්වාධීනව තහවුරු කර නොමැති බවයි. එම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය හෝ ඩිජිටල් සංස්කරණයක් මඟින් නිර්මාණය කරන්නක් ද යන්න පිළිබඳ සැකයක් පවතින බව ද එම පුවත් වාර්තාවේ සඳහන් ය. විස්තරය මෙතැනින් 

    මේ අනුව අදාළ වීඩියෝ දර්ශනවල ඡායාරූපවල දැක්වෙන බිළිඳා ඉක්වදෝරයේ උපන් බිළිඳෙකු බව පමණක් ඇතැම් සමාජ මාධ්‍ය සටහන්වල දැක්වුණ ද උපත සිදුව ඇත්තේ කවදා ද?, කුමන රෝහලකද? දෙමාපියන් කවුරුන්ද? වෛද්‍යවරයා කවුරුන්ද? යානාදි කිසිදු තොරතුරක් මේවන තෙක් වාර්තාවී නොමැත. 

    කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සංස්කරණ කරන ලද වීඩියෝවක් 

    සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව සැබෑ වීඩියෝවක් බවට තහවුරු කෙරෙන සාධක නොමැති බැවින් අප මෙම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සංස්කරණය කරන ලද වීඩියෝවක් ද යන්න නිරීක්ෂණය කළා. ඒ අනුව වීඩියෝව ඉතා සියුම්ව නිරීක්ෂණය කිරීමේදී බිළිඳාගේ තොල් සෙලවීම ආරම්භ වීමට පෙර (තත්ත්පර 2-5) අස්වාභාවික චලනයක් නිරීක්ෂණය කළ හැකියි. 

    ඒ අනුව මෙම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සංස්කරණය කර තිබේ ද යන්න හඳුනා ගැනීම සඳහා එම වීඩියෝවේ දර්ශන කිහිපයක් කෘත්‍රිම බුද්ධි අන්තර්ගතයන් හඳුනාගත හැකි මෙවලම් කිහිපයක් වෙත යොමු කළ අතර, එහිදී තහවුරු වූයේ අදාළ වීඩියෝව කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද්දක් බවයි.

    අලුත උපන් බිළිඳුන්ගේ Lanugo රෝම මෙවැනි උඩු රැවුලක් සේ නොවැඩෙයි 

    වෛද්‍ය විද්‍යාත්මක තොරතුරුවලට අනුව, Lanugo යනු මවගේ ගර්භාෂය තුළ වර්ධනය වන කලලයේ සම ආවරණය කරමින් ඇතිවන සියුම්, මෘදු රෝම වර්ගයකි. කලලයේ වර්ධනයේදී මෙම රෝම මඟින් Vernix caseosa ලෙස හැඳින්වෙන සම ආරක්ෂා කරන සුදු පැහැති ආලේපනය සම මත රඳවා ගැනීමට දායක වේ. සාමාන්‍යයෙන් උපතට පෙර මෙම රෝම බොහොමයක් ගැලවී යන නමුත්, ඇතැම් අලුත උපන් බිළිඳුන්ගේ නළල, කම්මුල්, උරහිස් සහ පිට වැනි ප්‍රදේශවල ඒවා දැකිය හැකියි. විශේෂයෙන් නොමේරූව උපත ලබන බිළිඳුන්ගේ සිරුරේ මෙම රෝම බහුලව පැවතිය හැකි අතර, උපතින් පසු සති කිහිපයක් ඇතුළත සාමාන්‍යයෙන් ස්වභාවිකව ඉවත් වේ. ඇමරිකාවේ ක්ලීව්ලන්ඩ් සායනය පවසන්නේ, Lanugo රෝම බිළිඳාගේ තොල්, අත්ල, නියපොතු සහ පාදවල යටිපතුල් වැනි ප්‍රදේශ ආවරණය නොකර බවයි. 

    ඇතැම් බිළිඳුන්ගේ මෙම රෝම සතියක් ඇතුළත ගැලවී යන අතර, තවත් අයගේ සති කිහිපයක් හෝ මාසයක් පමණ පවතින බවත්, ඒවා ඉවත් කිරීම අනවශ්‍ය බවත් ඉන්දියානු නවජ ළදරු විශේෂඥ වෛද්‍යවරයෙකු පවසා තිබුණි.

    “රෝම සහිත බිළිඳුන්” පිළිබඳ සැබෑ සිදුවීම් මීට පෙර වාර්තා වී නැද්ද? 

    අලුත උපන් බිළිඳුන්ගේ අධික රෝම වර්ධනය සැබෑවටම සිදු විය හැකි දෙයකි. 2022 නොවැම්බරයේ බ්‍රසීලයේ උපන් João Miguel නම් බිළිඳාගේ මුහුණේ ඇති අධික රෝම නිසා ඔහු රැවුලක් සහිතව උපන්නාක් මෙන් පෙනුණු අතර, ළමා රෝග විශේෂඥ Tatiana Cicerelli Marchini එය Universal Congenital Hypertrichosis තත්ත්වයක් ලෙස හඳුන්වා, එයින් සෞඛ්‍යට බලපෑමක් නොමැති බව පවසා තිබුණි. එම පුවතේ බිළිඳාගේ නම, පවුල සහ වෛද්‍යවරියගේ නම සඳහන් විය.

    මුළු සිරුරේම සෙන්ටිමීටර 3 සිට 5 දක්වා දිගැති Lanugo වර්ගයේ රෝම වැඩෙන Hypertrichosis Lanuginosa Congenita නම් දුර්ලභ උපත් රෝගයක්ද පවතී. එහෙත් එය මුළු සිරුරම පුරා පැතිරෙන තත්ත්වයක් මිස, උඩු තොල මත පමණක් පිහිටි උඩු රැවුලක් නොවේ.

    දෙමාපියන් හිසකෙස් වැවීමට භාවිත කරන Minoxidil ආලේපනය ස්පර්ශ වීමෙන් ළදරුවන්ගේ අධික රෝම වර්ධනය ඇති විය හැකි බව යුරෝපීය ඖෂධ ඒජන්සිය 2024 ජූනි මාසයේදී පිළිගත් අතර, ස්පර්ශය නැවැත්වූ පසු මාස කිහිපයකින් එය යථා තත්ත්වයට පත් වූ බව සඳහන් කළේය. ස්පාඤ්ඤ ඖෂධ අධීක්ෂණ විශේෂඥයන් එවැනි ළදරු සිදුවීම් 11 ක් 2024 නොවැම්බරයේදී ඉදිරිපත් කළහ. කොලොම්බියාවේ ඖෂධ අධීක්ෂණ ආයතනය ද 2025 ජූලි මාසයේ මේ පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. මෙම තත්ත්වය ඇති වන්නේ උපතින් පසු ඖෂධයට නිරාවරණය වීමෙනි. එබැවින් එය “උපතින්ම” ඇති වූ උඩු රැවුලක් පැහැදිලි කරන්නේ නැත.

    බිළිඳුන්ගේ මුහුණට රැවුල් එක් කරන ෆිල්ටර්ද අලුත් දෙයක් නොවේ. Snapchat ෆිල්ටරයක් මඟින් රැවුලක් එක් කළ බිළිඳෙකුගේ වීඩියෝවක් 2016 දී පවා ජනප්‍රිය විය.

    ළමා රෝග සහ නවජන්ම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් 

    මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ ඝන කළු පැහැති උඩු රැවුලක් සහිත බිළිඳු උපතක් සිදුවිය හැකි දැයි අප ළමා රෝග සහ නවජන්ම ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතාගෙන් විමසීමක් කළා. 

    විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ, වීඩියෝවේ දැක්වෙන ආකාරයේ ඝන කළු උඩු රැවුලක් අලුත උපන් බිළිඳෙකුගේ සාමාන්‍ය රෝම වර්ධනයක් ලෙස පැවතීම අපේක්ෂා කළ නොහැකි බවයි. Lanugo ලෙස හැඳින්වෙන සියුම්, මෘදු රෝම බිළිඳාගේ වර්ධනයත් සමඟ සාමාන්‍යයෙන් ගැලවී යන බව ද ඔහු පැහැදිලි කළේ ය. එමෙන්ම, ඇතැම් අවස්ථාවලදී melanocytic patches ලෙස හැඳින්වෙන අඳුරු පැහැති කුඩා ලප හෝ ඒ ආශ්‍රිතව රෝම කිහිපයක් දැකිය හැකි වුවත්, වීඩියෝවේ පෙනෙන ආකාරයේ ඝන රෝම වර්ධනයක් එම තත්ත්වයෙන් පැහැදිලි කළ නොහැකි බව ද වෛද්‍යවරයා සඳහන් කළේය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඉක්වදෝරයේ බිළිඳෙකු ඝන කළු පැහැති උඩු රැවුලක් සහිත උපන් බව කියමින් සමාජ මාධ්‍යයේ පැතිර යන වීඩියෝව සත්‍ය සිදුවීමක් නොවන බවයි. එම වීඩියෝව කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සංස්කරණය කරන ලද හෝ නිර්මාණය කරන ලද වීඩියෝවකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2026-10-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.