දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
හිටපු රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්රයා චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීම හා මුදා හැරීම සම්බන්ධයෙන් සමාජයේ කතාබහට ලක් විය. අත්අඩංගුවට ගැනුණු ශාන්ත බණ්ඩාර මහතාගේ පුතා සම්බන්ධයෙන් ඔහු විසින් මාධ්ය සාකච්ඡාවකදී කඳුලු සලමින් ප්රකාශයක් කළ බවට දක්වමින් සටහනක් සංසරණය විය. මේ ඒ පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“චූටි පුතාගේ වැඩ නිසා චූටි දුව කන්නේ නෑ” යනුවෙන් ඔහු එම සාකච්ඡාවේදී හැඬූ බවට දක්වා තිබුණේ මෙලෙසින්.


Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
ශාන්ත බණ්ඩාර මහතාගේ පුතා අත්අඩංගුවට ගැනීම
හිටපු රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර මහතාගේ 21 හැවිරිදි පුත්, අනුද ජනදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පිරිසක් 2026 ජූලි 21 වනදා පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඒ චීන ජාතිකයෙකුට අයත් මුදල් වාහනයකින් රැගෙන යමින් සිදු කරන ලද රුපියල් කෝටි 2ක මුදල් කොල්ලයක් සම්බන්ධයෙනි. හිටපු අමාත්යවරයාගේ පුත්රයා ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු 2026 ජූලි 21 වන දින අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. මෙම නඩුව 2026 ජූලි 27 වන දින කොටුව මහේස්ත්රාත් අධිකරණය හමුවට කැඳවූ අවස්ථාවේදී, සැකකරුවන් පස්දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී. මේ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්.
හඬා වැලපෙන ඡායාරූපයේ සැබෑ පසුබිම
ශාන්ත බණ්ඩාර මහතා දෑස වසාගෙන හඬන ඡායාරූපය, පුතාගේ අත්අඩංගුවට ගැනීමට දැක්වූ ප්රතිචාරයක් ද, යන්න අප පරීක්ෂා කළ ත්, ශාන්ත බණ්ඩාර විසින් ඒ අයුරින් ප්රකාශයක් හෝ මාධ්ය සාකච්ඡාවක් හෝ පවත්වා ඇති බව දැක ගන්නට නොලැබුණි. ඔහු මාධ්ය වෙත සත්ය වශයෙන් දැක්වූ ප්රකාශය පහතින්.
ඒ අනුව ඉහත වීඩියෝ දර්ශනය අයත් වන්නේ කුමන අවස්ථාවක් ද, යන්න පිළිබඳ පරීක්ෂා කළ අතර, එහිදී 2022 අප්රේල් 15 වැනිදා පැවැත්වූ මාධ්ය සාකච්ඡාවක රූප රාමු බව දැක ගන්නට නොලැබුණි. 2022 ආර්ථික අර්බුදය පැවති සමයේ , විරෝධතාකරුවන් පිරිසක් ශාන්ත බණ්ඩාර මහතාගේ නිවස වටකර විරෝධතා දැක්වූ අතර, එ් පිළිබඳ මාධ්ය හමුවක් පවත්වා ඒ පිළිබඳ හැඟීම්බර වෙමින් ඔහු ප්රකාශ කළේ, නිවස වට කිරීම නිසා ඇති වූ දැඩි බිය හේතුවෙන් තම කුඩා දියණිය (චූටි දුව) එදින ආහාර ගැනීම පවා ප්රතික්ෂේප කළ බවයි. එය ප්රකාශ කරනවිට ඔහු කඳුළු සැලූ අයුරු එම අවස්ථාවේ දැක ගන්නට ලැබෙනවා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
ශාන්ත බණ්ඩාර මහතාගේ පුත්රයා අත්අඩංගුවට පත්වීමේ පුවත සත්යයක් වුවද, ඔහු එම අවස්ථාවේ මාධ්ය සාකච්ඡාවක් පවත්වා කඳුලු සලමින් තම පුතුන් අත්අඩංගුවට ගත් නිසා තම චූටි දුව හඬන බවට ප්රකාශයක් කර නොමැත. ඔහු විසින් මෙම ප්රකාශය කර තිබුණේ, 2022 වසරේ අරගල සමයේ දියණිය වෙනුවෙන් කළ ප්රකාශයක් වන අතර එහිදී ඔහු හැඟීම්බර විය. නමුත් මෙය වර්තමාන සිදුවීමකට ගළපා දේශපාලන වශයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ කර තිබේ.



