දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම සඳහා ඉන්දීය රජයෙන් සැලකිය යුතු මූල්ය ආධාරයක් ලැබීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 ඔක්තෝබර් 11 වැනිදා ඉබ්බාගමුවේ පැවති ජන හමුවකදී පැවසූ බව වාර්තා වූයේ මෙලෙසිනි. ඉන් දින තුනකට පසු, BBC සිංහල ලාංඡනය සහ අග්රාමාත්ය ආචාර්ය හරිණි අමරසූරියගේ ඡායාරූපය සහිත පුවත් පතක් සමාජ මාධ්යයේ පැතිර යන්නට විය.
අප BBC සිංහල නිල ෆේස්බුක් පිටුව, අගමැතිනියගේ කාර්යාලයේ ප්රතිචාරය සහ අනුරාධපුරය පිළිබඳව ඇය මෙතෙක් කළ ප්රකාශ පරීක්ෂා කළෙමු.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“අනුරාධපුර පූජා නගරය බෞද්ධයින්ට පමණක් නොව සියළුම ශ්රී ලාංකිකයින්ට අයිති ස්ථානයක්” යන ශීර්ෂයත්, පූජා නගරය බෞද්ධයින්ට පමණක් අයිති කර ගැනීමට උත්සාහ කිරීමේදී අනෙකුත් ජාතීන්ට හා ආගම්වලට අසාධාරණයක් සිදුවන බව “අපගේ මතය” ලෙසත් එම සටහන්හි දක්වා තිබුණා.
ඇතැම් සටහන් දහසකටත් වැඩි වාර ගණනක් හුවමාරු කරගෙන තිබු අතර , මෙයින් දැක්වෙන්නේ අගමැතිනියගේ හෝ රජයේ ස්ථාවරය ලෙස සලකා විවේචනාත්මක ශීර්ෂ පාඨ සමඟ පළකර තිබුණි.


Facebook 1 | Facebook 2 | Facebook 3
විමර්ශනයට ලක් කළ ප්රකාශය : අනුරාධපුර පූජා නගරය බෞද්ධයින්ට පමණක් නොව සියලු ශ්රී ලාංකිකයින්ට අයිති ස්ථානයක් බව අග්රාමාත්ය හරිණි අමරසූරිය පැවසූ බවත්, එය BBC සිංහල සේවය වාර්තා කළ බවත්.
Fact Check (කරුණු පරීක්ෂාව) :
BBC සිංහල එවැනි පුවතක් පළ කර නැත
BBC සිංහල නිල ෆේස්බුක් පිටුවේ පසුගිය දින 30 තුළ පළ වූ සටහන්වල, රූපවල ඇති අකුරු ද ඇතුළුව, “අනුරාධපුර”, “පූජා නගරය” හා “හරිනි” යන වචන සෙවූ විට එවැනි සටහනක් හෝ පුවතක් අපට හමු නොවීය. වෙනත් කිසිදු ප්රධාන මාධ්ය ධාරාවක අගමැතිනිය මෙවැනි ප්රකාශයක් කළ බව වාර්තා කර නැත.
තවද “පූජා” වෙනුවට “පුජා”, “උත්සාහ” වෙනුවට “උත්සහා”, “ජාතීන්” වෙනුවට “ජාතින්” ලෙස අක්ෂර වින්යාස දෝෂ කිහිපයක් ද එහි ඇත.
අගමැතිනිය එවැනි ප්රකාශයක් කර නැති බව ඇගේ මාධ්ය ලේකම් තහවුරු කරයි
අග්රාමාත්යවරියගේ සම්බන්ධීකාරක එස්. විජිත බස්නායක පවසා සිටියේ, අනුරාධපුර පූජා නගරය පිළිබඳ ප්රකාශයක් අගමැතිනියට ආරෝපණය කරන මෙම සටහන් සම්පූර්ණයෙන්ම අසත්ය බවත්, අගමැතිනිය එවැනි ප්රකාශයක් කිසි ලෙසකත් සිදු කර නැති බවත්, ප්රජාවන් අතර ගැටුම් ඇති කළ හැකි මෙවැනි සටහන් හුවමාරු කර ගැනීමෙන් වලකින ලෙසයි.
අනුරාධපුරය පිළිබඳව අගමැතිනිය සැබවින්ම පැවසුවේ ලෝක උරුමයක් ලෙස එහි වටිනාකම ගැනයි
අනුරාධපුර පූජා නගරය ගැන අගමැතිනිය කළ වාර්තාගත ප්රධාන ප්රකාශය වූයේ 2025 අප්රේල් 1 වැනිදා පැරිසියේ යුනෙස්කෝ මූලස්ථානයේ පැවති ජාත්යන්තර විශේෂඥ සමුළුවේ කළ දේශනයයි. රජයේ ප්රවෘත්ති වෙබ් අඩවිය එය වාර්තා කළේ “අනුරාධපුරය ශ්රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක්” යන ශීර්ෂය යටතේ මෙලෙසිනි.
එහිදී ඇය අනුරාධපුරය පූජනීය කටයුතු හා එදිනෙදා ජන ජීවිතය මුසු වූ නගරයක් ලෙස හඳුන්වා, සංරක්ෂණය, තිරසාර සංවර්ධනය සහ ප්රදේශවාසීන්ගේ අවශ්යතා අතර සමබරතාවක් පවත්වා ගත යුතු බව පැවසූ බව වාර්තා වී ඇත්තේ මෙලෙසිනි. අතීතයේ උරුමය, ඉතිහාසය හා පුරාවිද්යාව ජනතාව බෙදීම සඳහා යොදා ගෙන ඇති බව ද ඇය එහිදී සඳහන් කර ඇත (මෙතනින්).
ඉහත සටහනේ “බෞද්ධයින්ට පමණක් නොව සියළුම ශ්රී ලාංකිකයින්ට” යන වාක්ය රටාව, එම 2025 ශීර්ෂයේ “ශ්රී ලංකාවේ පමණක් නොව විශ්වීය උරුමයක්” යන රටාවට සමාන ය. එහෙත් යුනෙස්කෝ දේශනය ලෝක උරුමයක් ලෙස නගරයේ වටිනාකම ගැන මිස, පූජා නගරය බෞද්ධයින්ගෙන් ඉවත් කිරීම ගැන නොවේ.
ව්යාජ සටහනේ පැතිර ගියේ පූජා භූමි සංවර්ධන සැලැස්ම පිළිබඳ විවාදය මැද
ඉන්දීය රජයේ සහාය ඇතිව රුපියල් බිලියන 6.5ක් දක්වා වූ ආයෝජනයකින් අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම මෙම වසරේදීම ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා 2026 අගෝස්තු මාසයේදී උපදෙස් දුන් බව ජනාධිපති මාධ්ය අංශය පවසා තිබුණේ මෙලෙසිනි. පූජා භූමි සීමාව වර්ග කිලෝමීටර 28 සිට 38 දක්වා පුළුල් කිරීමට ද සැලසුම් කර ඇති බව වාර්තා විය (මෙතනින්).
රුපියල් බිලියන 7.7ක මූලික ඇස්තමේන්තුවක් සහිත කෙටුම්පත් යෝජනාව සැප්තැම්බර් 30 වැනිදා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට භාර දුන් බව මෙතනින් කියවිය හැකිය. මෙම සැලැස්ම නිසා බෞද්ධ උරුමයට හානි වන බවටත්, කෝවිල් ඉදිකිරීමට සූදානමක් ඇති බවටත් ඇතැම් පාර්ශව චෝදනා කළ අතර, ව්යාජ සටහන පැතිර ගියේ එම සංවාදය මැද ය.
කෙසේවෙතත්, පූජා භූමි සීමාව තුළ කෝවිලක් ඉදිකිරීමට කිසිදු අවසරයක් ලබා දී නැති බවත්, එවැනි කතා පදනම් විරහිත බවත් පුරාවිද්යා දෙපාර්තමේන්තුව ඔක්තෝබර් 18 වැනිදා පවසා ඇත (මෙතනින්).
Claim 2 :
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“අනුරාධපුර පූජාභූමිය බෞද්ධයන්ට පමණක් වෙන්ව නොතිබිය යුතුයි”, අනුරාධපුරය පූජා භූමිය එක් පිරිසකගේ පමණක් නොවෙයි රුවන්වැලි සෑ ස්මාරකය ළඟ මුස්ලිම්, හින්දු, කතෝලික පල්ලි හා කෝවිල් ඉදි වූ විට මොනතරම් විවිධත්වයක් විචිත්රවත් බවක් හා වර්ණවත් බවක් ඇතිවෙයිද” යනුවෙන් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් ප්රකාශ කර ඇති බව දක්වමින් සටහන් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වී තිබුණේ මෙලෙසින්.


Fact Check (කරුණු විමර්ෂණය කිරීම) :
බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් ඉහත ආකාරයේ “අනුරාධපුර පූජාභූමිය බෞද්ධයන්ට පමණක් වෙන්ව නොතිබිය යුතුයි”, යනුවෙන් ප්රකාශ කර තිබේ නම් මේ සම්බන්ධයෙන් ප්රධාන ධාරාවේ මාධ්යයන් ඔස්සේද වාර්තා වී තිබිය යුතුයි. එසේ නමුත් එවැන්නක් අප විසින් සිදුකළ පරීක්ෂාවේදී හඳුනාගත හැකි වූයේ නැහැ. එසේම අමාත්යවරයා විසින් සිදුකර තිබෙන ප්රකාශයන් පරීක්ෂා කරමින් අප විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කළ අතර එහිදී ද පැහැදිලි වූයේ මෙවැනි ප්රකාශයක් අමාත්යවරයා විසින් සිදු කර නොමැති බවයි.
මාධ්ය ලේකම් – බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය
අප විසින් මේ සම්බන්ධයෙන් බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්යවරයාගේ මාධ්ය ලේකම්වරයාගෙන් සිදුකළ විමසීමේදී ඔහු විසින් ද සඳහන් කළේ අමාත්යවරයා විසින් මෙවැනි ප්රකාශයක් සිදුකර නොමැති බවයි.
අනුරාධපුර පූජා භූමි සැලසුම ගැන පැතිරෙන කතා ව්යාජයි – බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්ය සුනිල් සෙනෙවි
අනුරාධපුර පූජා භූමිය සහ ඊට අදාළව නිකුත් කර ඇති ගැසට් පත්රය සම්බන්ධයෙන් සමාජයේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම සාවද්ය බවත්, එමගින් පූජා භූමියට හෝ පුරාවිද්යාත්මක ස්ථානයන්ට කිසිදු හානියක් සිදු නොවන බවත් අමාත්යවරයා විසින් පැහැදිලි කර තිබේ. 2026.10.20 දින බුද්ධ ශාසන අමාත්යංශයේදී මාධ්ය වෙත ප්රකාශයක් නිකුත් කරමින් අමාත්යවරයා විසින් මේ සම්බන්ධයෙන් පැහැදිලි කර තිබේ. මල් ආසන ගලවා ඉවත් කරන බවට, කෝවිලක් ඉදිකරන බවට, ඉන්දියානු රජයේ මැදිහත්වීමක් පවතින බවට පැතිර යන ප්රකාශ සම්පූර්ණයෙන්ම සාවද්ය මෙන්ම ජනතාව නොමඟ යවන සුළු ප්රකාශ වන බව ඔහු දක්වයි. මෙලෙස හිතමතාම අසත්ය තොරතුරු පතුරුවන පිරිස්වලට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කිරීමට අදාළ අමාත්යාංශ දෙකම අපේක්ෂා කරයි.
රුවන්වැලිසෑ වැලිමළුව වටා ඇති ඇත් පවුර ඓතිහාසික පුරාවිද්යාත්මක උරුමයක් වන අතර එය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට කිසිවෙකුටත් නොහැකි බව අමාත්යවරයා විසින් සඳහන් කර සිටින අතර, වැටක් ඉදිකෙරෙන්නේ රුවන්වැලිසෑය අසල නොව, මාර්ගයට කිට්ටුවෙන් පිහිටි අතිරේක භූමි කොටස් ස්මාරක සීමාවට ඇතුළත් වන සේ බොහොම ඈතින් නගර නිර්මාණ සැලසුමකට අනුව බව දක්වයි. නගර දොරටු ඉදිකිරීම, මාර්ග පද්ධති දියුණු කිරීම ඇතුළු කටයුතු සිදුකෙරෙන අතර, පුරාවිද්යාත්මක වටිනාකම් සුරැකීම සඳහා තාර දැමීම වෙනුවට බොරලු පාරවල් පවත්වාගෙන යාම වැනි නීතිරීති ඒ ඇතුළත් කර ඇති බවද ඔහු විසින් සඳහන් කර තිබේ.
අමාත්යවරයාට අනුව මෙම ගැසට් පත්රය මගින් ප්රධාන අභිමතාර්ථ තුනක් ඉටු කර ගැනීමට අපේක්ෂා කෙරේ:
1. පුරාවිද්යාත්මක වටිනාකම් සංරක්ෂණය කිරීම සහ අනන්ය පරිසර පද්ධතීන් සුරැකීම.
2. පැමිණෙන බැතිමතුන් සහ සංචාරකයන් සඳහා අවශ්ය පහසුකම් සැලසීම.
3. ප්රදේශවාසී ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම.
මෙම සංවර්ධන සැලසුම යටතේ පූජා භූමිය කලාප 3කට බෙදා වෙන් කර ඇත:
*අධිසංවේදී කලාපය -රුවන්වැලි චෛත්ය රාජයාණන් වහන්සේ, ජය ශ්රී මහා බෝධීන් වහන්සේ ඇතුළු සමස්ත අටමස්ථානය සහ ප්රධාන සිද්ධස්ථාන සියල්ල මෙම කලාපයට අයත් වේ. මෙම ස්ථානවල පවතින තත්ත්වය ඒ අයුරින්ම සංරක්ෂණය වන අතර, කිසිදු වෙනසක් සිදු නොවේ.
*සංවේදී කලාපය -මෙම කලාප තුළ අලුතින් කිසිදු ඉදිකිරීමක් කිරීමට ඉඩ නොලැබේ.
* පොදු පහසුකම් කලාපය -බැතිමතුන්ගේ සහ සංචාරකයන්ගේ පහසුව උදෙසා වෙන් වූ කලාපයයි.
වෙනත් පාර්ශවයන්ගේ, වෙනත් දිනවල ප්රකාශ
පූජා භූමිය, ජාතිකත්ව හෝ ආගමික භේදයකින් තොරව ශ්රී ලාංකික උරුමයක් ලෙස සංවර්ධනය කරන බවත්, එය ආගමික මතවාදයක් ඉස්මතු කිරීමට නොවන බවත් නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක ඔක්තෝබර් 19 වැනිදා පළ වූ වාර්තාවකදී පවසා ඇත (මෙතනින්). එය ව්යාජ සටහන පැතිර යාමෙන් දින පහකට පසුව කළ ප්රකාශයකි. එය අගමැතිනියගේ ප්රකාශයක් ද නොවේ.
මාධ්ය ලාංඡන යොදා ගත් ව්යාජ පුවත් පත් දිගටම පැතිරේ
ප්රකට මාධ්ය ආයතනවල ලාංඡන යොදා ගෙන දේශපාලනඥයින්ට ප්රකාශ ආරෝපණය කරන ව්යාජ පත් පිළිබඳව අප මීට පෙර ද වාර්තා කර ඇත. මෙවැනි පතක් හමු වූ විට, එම මාධ්ය ආයතනයේ නිල පිටුවේ හෝ වෙබ් අඩවියේ එම පුවත ඇත්දැයි, කතා කරන්නාගේ නම, දිනය හා අවස්ථාව සඳහන් දැයි, අක්ෂර දෝෂ ඇත්දැයි පරීක්ෂා කිරීම වැදගත් ය.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
නිගමනය (Conclusion):
අනුරාධපුර පූජා නගරය බෞද්ධයින්ට පමණක් නොව සියලු ශ්රී ලාංකිකයින්ට අයිති බව අග්රාමාත්ය හරිණි අමරසූරිය පැවසූ බවට BBC සිංහල සන්නාමය අවභාවිතා කරමින් හුවමාරු වන්නේ ව්යාජ සටහන් පෙළකි. BBC සිංහල එවැනි පුවතක් පළ කර නැති අතර, අහමැතිනිගේ මාධ්ය ලේකම් තහවුරු කරන්නේ ද හුවමාරු වන්නේ ව්යාජ නිර්මාණ පෙළක් බවයි.
පූජා භූමිය සංවර්ධනය සම්බන්ධ විවාදය සැබෑ වුවද, ඉහත ආකාරයේ ප්රකාශයක් අගමැතිනියට ආරෝපණය කිරීමට කිසිදු මූලාශ්රයක් නොමැත.


