Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජනපති අනුර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න සූදානම් වනවා ද?  

    2025-10-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එල්ලුම් ගහ සම්බන්ධයෙන් කතාබහක් යළිවරක් සමාජය තුළ කනින් කොනින් ඇසෙන්නට පටන් ගෙන තිබේ. සමාජ මාධ්‍ය වේදිකාවල ද සංවාදාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති මෙම එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    එල්ලුම් ගහ සම්බන්ධයෙන් කතාබහක් යළිවරක් සමාජය තුළ කනින් කොනින් ඇසෙන්නට පටන් ගෙන තිබේ. සමාජ මාධ්‍ය වේදිකාවල ද සංවාදාත්මක මාතෘකාවක් බවට පත්ව ඇති මෙම එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා සූදානම් වන බවට වන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ විමසා බැලීමක් මේ. 

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ‘ජනාධිපති අනුර එල්ලුම් ගහට අත්සන ගහන ලකුණු’ යන තේමාවෙන් පළ කරන ලද සටහනක දැක්වුණේ පහත පරිදි විස්තරයක්.

    “මරණීය දණ්ඩනයට ලක්ව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට සහ පාතාල අපරාධ කරුවන්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණයකර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

    මරණ දණ්ඩනයට ලක්ව සිටින අපරාධ කරුවන් වෙනුවෙන් එය ක්‍රියාත්මක කරන්නැ‘යි කාලයක සිට එවකට හිටපු ජනාධිපතිවරුන්ගෙන්, වග කිවයුතු විවිධ පිරිස් ඉල්ලීම් කළ ද, ඒ කිසිවෙක් ඊට අදාළ ලියකියවිලිවලට අත්සන් තැබුවේ නැත.

    එනමුදු පතාලය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ද රටින් තුරන්කර දැමීමට, ආණ්ඩුව මේ වනවිට දැවැන්ත මෙහෙයුමක් දියත්කර ඇති බැවින් මරණ දඬුවම නියමව සිටින අපරාධ කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කරවීම සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට ඇති බව ද සඳහන් වේ.” යනුවෙන් සඳහන්ව තිබේ. 

    මෙම සටහනේ අවස්ථා දෙකකදී මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට වත්මන් ජනපති තීරණය කර ඇති බවත්, තවත් අවස්ථාවක මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බවත් සඳහන්ව ඇත. 

    ඒ අනුව මෙම සටහන නරඹන පරිශීලකයෙකුට හැඟී යන්නේ, වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සූදානමක පසුවන බවටයි. කෙසේ වෙතත් මෙම තොරතුරු සඳහා වූ මූලාශ්‍රය පිළිබඳව මෙහි සඳහනක් නොමැත. 

    Facebook | Archived Link

    මේ අතර ඉහත ෆේස්බුක් සටහන පළකර තිබු ෆේස්බුක් පිටුව අයත් ‘රතු ඉර’ වෙබ් අඩවියේ සහ ඔවුන්ගේ Instagram ගිණුමේ ද , ෆේස්බුක් ඔස්සේ පළ කර ඇති සටහන මෙලෙස Archived Link සහ මෙලෙස Archived Link පළ කරතිබුණා. 

    තව ද විශාල පිරිසක් සිය ගිණුම් වෙත ද මෙම සටහන හුවමාරු කර ගෙන තිබූ අවස්ථා කිහිපයක් ද අපට දැක ගැනීමට ලැබුණා.

    මේ  අතර ඉහත සමාජ මාධ්‍ය සටහන සත්‍ය යැයි සිතා ෆේස්බුක් ඔස්සේ ද විශාල පිරිසක් ඊට ධනාත්මක ප්‍රතිචාර පළ කර තිබුණේ මේ ආකාරයෙනි.

    ඒ අනුව සත්‍ය ලෙස ම ජනාධිපතිවරයා එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමේ සූදානමක පසුවන්නේ ද යන්න සම්බන්ධව මෙලෙස කරණු විමසීමක් සිදු කිරීමට පියවර ගත්තා.  

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :‍

    මේ වන වටි රට තුළ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, පාතාල සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම, ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වැනි දේ සිදුවෙමින් පවතින වටපිටාවක් තුළ මත් උවදුර රටින් තුරන් කර දැමීම සඳහා ද විවිධ පාර්ශව ඉදිරිපත් කරන අදහස් අතරින් එකක් බවට පත්ව ඇත්තේ, මරණ දඬුවම එසේත් නොමැති නම් එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමයි.  

    පසුගිය දා නාවලිපිටියේ පැවති මත්ද්‍රව්‍යවල අන්තරායකර බව පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් එල්ලා මැරිය යුතු බවයි. සිරකරුවන්ගෙන් 65% ක් පමණ මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි නිසා රඳවා සිටින්නන් බවත්,  ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල දැනට මරණ දඬුවම නියම වූ පිරිමින් 805 ක් සහ කාන්තාවන් 21 කු සිටින බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සිය දේශනයේදී පවසා තිබුණා. බන්ධනාගාර කොමසාරිස් වරයාගේ ප්‍රකාශය මෙතැනින් 

    මේ අතර රට පුරා පැතිර යන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීම සඳහා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම හෝ එවැනි වෙනත් විකල්ප වැඩපිළිවෙළක් කෙටි කාලයක් වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලෙස මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා රජයට යෝජනා කරන බවට වන පුවතක් පසුගිය ඔක්තෝබර් 20 වැනිදා  ලංකාදීප සහ ඔක්තෝබර් 22 වනදා දිවයින වෙබ්  අඩවිවල වාර්තා කර තිබුණා. lankadeepa.lk|Archived Link divaina.lk|Archived Link

    මේ අතර ජනාධිපති අනුර කුමාර විසින්, මරණ දඬුවම නියම වී සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාල අපරාධකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව කියමින් සමාජ මාධ්‍ය සටහන් පළ වී ඇත්තේ, මෙවැනි වටපිටාවක් තුළදී ය. 

    කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයට ජනාධිපතිවරයා මරණ දඬුවම ලබාදීම සඳහා එල්ලුම් ක්‍රියාත්මක කිරීමේ සූදානමක පසු වන්නේ නම්, එවැනි පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් නිසැකවම වාර්ත කළ යුතු ය. එවැනි පුවතක් මෑතකදී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ජාලා විසින් පළ කර තිබේදැයි අප පරීක්ෂා කර බැලුව ද කිසිදු මාධ්‍යක් එවැනි පුවතක් වාර්තා කර නොමැත.  

    ජනාධිපති මාධ්‍ය අංශය  

    ජනාධිපතිවරයා එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට අත්සන් කිරීමේ සූදානමක  පසුවන්නේ ද සහ සමාජ මාධ්‍ය සටහන්වල ඇති සත්‍ය අසත්‍යතාව සම්බන්ධව අප කළ විමසීමකදී ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ, එවැනි කිසිදු සූදානමක් නොමැති බවත් සමාජ මාධ්‍ය සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ය. 

    මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේ ජනාධිපතිවරයාගේ ඇමෙරිකානු නිල  සංචරය අතරතුර ඔහු එරට වෙසෙන ලාංකිකයින් හමුවු අතර එම අවස්ථාවේදී ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කළේ ය. ඒ, එම හමුවේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙසයි. 

    එහිදී ජනාධිපතිවරයා පැවසුවේ, ජීවිතයක් ලැබුණු කෙනෙකු මරා දැමීම සඳහා අත්සන් කළ යුතු ද? එය සුදුසුද? යන්නයි. තව ද මිනිස් ශිෂ්ටාචාරය එම යුගය පසු කරමින් ගමන් කරමින් ඇති බවත් අපරාධ වැළකැවීම සඳහා ඇති පිළියම එල්ලා මැරීම ද යන්න පිළිබඳව තවදුරටත් කල්පනා කළ යුතු ප්‍රශ්නයක් බවයි. වීඩියෝව මෙතැනින් 

    අධිකරණ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් 

    මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සූදානමක් ඇති බවට වන සටහන් පිළිබඳව අප අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ මාධ්‍ය ලේකම්වරියගෙන් ද විමසීමක් සිදු කළ අතර මාධ්‍ය ලේකම්වරයා කියා සිටියේ,  එවැනි කිසිදු සූදානමක් නොමැති බවයි. තව ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල සත්‍යතාවක් නොමැති බව මාධ්‍ය ලේකම්වරයා ද කියා සිටියා. 

    කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස 

    මේ අතර පසුගිය 22 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මරණ දඬුවම සම්බන්ධව ගොඩ නැගී ඇති සමාජ කතිකාව පිළිබඳව මාධ්‍ය වේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, මරණ දඬුවම සම්බන්ධයෙන් දැනට රජය තීන්දුවකට එළැඹ නොමැති බව ත් රජයේ එවැනි සාකච්ඡාවක් හෝ නොමැති බවත් ය.    

    සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා

    මේ අතර ජනාධිපතිවරයා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ සූදානමක් ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් සම්බන්ධව අප සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා මහතාගෙන් විමසීමක් සිදු කළ අතර සභාපතිවරයා කියා සිටියේ, එවැනි දේකට සිය කමිටුව විරුද්ධ බවයි.  

    තව ද ජනාධිපතිවරයා අමෙරිකානු සංචාරයේදී සිදු කළ ප්‍රකාශය, මරණ දඬුවම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුවකදී නැවත දැනුම්දෙන තුරු මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බවට නීතිපතිවරයා  පොරොන්දුවීම,  රජයේ පුනරුත්ථාපන මධ්‍යස්ථාන පිහිටුවමින් ගෙන යන වැඩපිළිවෙළ වැනි ක්‍රියාමාර්ග ඔස්සේ, වත්මන් රජය මරණ දඬුවම ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිපත්තියේ සිටින බව පැහැදිලි බව සභාපතිවරයා ප්‍රකාශ කළා. සභාපතිවරයා සඳහන් කළේ එය ධනාත්මක ප්‍රවේශයක් බවයි. 

    වැරදිකරන මිනිසුන් නිවැරදි කිරීම සඳහා විසඳුම පුනරුත්ථාපනය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම මිස පිළිතුර මරණ දඬුවම නොවන බව සඳහන් කළ සභාපතිවරයා කියා සිටියේ, මෑතකදී  මරණ දඩුවම ක්‍රියාත්මක කළ යුතු බවට බන්ධනාගාර කොමසාරිස්වරයා සිදු කළ ප්‍රකාශයට සිය කමිටුව විරෝධය පළ කරන බවයි. එකී ප්‍රකාශයට එරෙහිව පරීක්ෂණයක් සිදු  කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දන්වමින් අද (27) අධිකරණ අමාත්‍යවරයාට පැමිණිල්ලක් භාරදුන් බව ද ඔහු සඳහන් කළේ ය. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :අපගේ කරුණු විමර්ශනය අනුව තහවුරු වූයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මරණ දඬුවම නියම වී සිටින වරදකරුවන් සඳහා එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීම සඳහා කිසිදු තීරණයක් ගෙන හෝ සුදානමක් හෝ නොමැති බවත් ‘ජනාධිපති අනුර එල්ලුම් ගහට අත්සන ගහන ලකුණු’ යනුවෙන් සමාජ මාධ්‍ය ජාලාවල පළ වී තිබෙන්නේ කිසිදු සත්‍යතාවක් නොමැති නොමඟ යවන සුළු සටහන් පෙළක් බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-10-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.