Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    රත්නපුර ගංවතුරෙන් නිවසකට මාළු පැමිණි අයුරු දැක්වෙන වීඩියෝවක්ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-28
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    බෙංගාල බොක්කේ ඇති වූ ‘අර්නාබ්’ සුළි කුණාටුවේ වක්‍ර බලපෑමෙන් ඇද හැලුණු අධික වැසි හේතුවෙන් 2026 ඔක්තෝබර් 26 වැනිදා රත්නපුරයේදී කළු ගඟ සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගියේය. රත්නපුර නගරය අවට පහත්බිම් සහ මාර්ග ජලයෙන් යට වූ අතර, තම නිවෙස් සහ ඥාතීන් ගැන කනස්සල්ලෙන් සි

    බෙංගාල බොක්කේ ඇති වූ ‘අර්නාබ්’ සුළි කුණාටුවේ වක්‍ර බලපෑමෙන් ඇද හැලුණු අධික වැසි හේතුවෙන් 2026 ඔක්තෝබර් 26 වැනිදා රත්නපුරයේදී කළු ගඟ සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගියේය. රත්නපුර නගරය අවට පහත්බිම් සහ මාර්ග ජලයෙන් යට වූ අතර, තම නිවෙස් සහ ඥාතීන් ගැන කනස්සල්ලෙන් සිටි බොහෝ දෙනා සමාජ මාධ්‍යයෙන් නවතම දර්ශන සොයමින් සිටියහ.

    එවැනි මොහොතක, ජලයෙන් යට වූ නිවසක සාලය තුළ මාළු පනිමින් පීනන වීඩියෝවක් “මේ වන විට රත්නපුර තත්වය” යන සටහන සමඟ වේගයෙන් පැතිර ගියේය. මේ වීඩියෝව සැබවින්ම රත්නපුරයේ ද, නැතහොත් එය පැමිණියේ කොහි සිට ද යන්න අපි පරීක්ෂා කළෙමු.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    මෙම වීඩියෝව ඔක්තෝබර් 26 වැනිදා සිංහල ෆේස්බුක් පිටු සහ ගිණුම් කිහිපයක පළ විය. ඉන් එකක සටහනේ තිබුණේ “දෙයියනේ, මාළු ගේ ඇතුලෙ නේද, මේ වන විට රත්නපුර තත්වය” යනුවෙනි. තවත් ගිණුමක් එයම “මේ වන විට රත්නපුර මහගෙවල්වල තත්වය” ලෙස බෙදා ගත්තේය.

    ඔක්තෝබර් 27 වැනිදා දෙමළ පුවත් පිටුවක් එම වීඩියෝවම “ගංවතුරේ පාවෙන නිවස සහ පැන පැන සෙල්ලම් කරන මාළු! රත්නපුරය කම්පා කරන හදිසි ගංවතුර!” යන අරුත ඇති පුවත් කාඩ්පතක් ලෙස පළ කළේය.

    Facebook 1 | Archived Link | Facebook 2 | Archived Link | Facebook 3

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය :

    ඔක්තෝබර් 26 සහ 27 කළු ගඟ ගංවතුර අතරතුර රත්නපුරයේ නිවසකට ගලා ආ ජලයේ මාළු පනින අයුරු මෙම වීඩියෝවේ දැක්වේ.

    Fact Check (කරුණු පරීක්ෂාව) :

    වීඩියෝව පරීක්ෂා කිරීමට පෙර, එදින රත්නපුරයේ සැබවින්ම සිදු වූයේ කුමක්දැයි අපි නිල දත්ත ඇසුරින් සොයා බැලුවෙමු.

    මාධ්‍ය දර්ශනවල ඇත්තේ ජලයෙන් යට වූ මාර්ග සහ පහත්බිම්ය

    ඔක්තෝබර් 26 වැනිදා රූපවාහිනී නාලිකා විකාශය කළ දර්ශනවල, රත්නපුර මහ නගර සභා සීමාවේ පහත්බිම් සහ මාර්ග ජලයෙන් යට වූ අයුරු දැක්වේ. රත්නපුර – අලුපොත මාර්ගය ඇත්ඔය ප්‍රදේශයෙන් ජලයෙන් යට වී ගමනාගමනය ඇනහිටි බවත්, කැටලියම්පල්ල, කපුගම්පිටිය, කහංගම සහ ගොඩිගමුව ග්‍රාම නිලධාරී වසම්වල පහත්බිම් ජලයෙන් යට වූ බවත් එක් පුවත් වාර්තාවක මෙතනින් දැක්වේ. ඇලපාත, කරන්ගොඩ සහ දිමියාව ප්‍රදේශ ජලයෙන් යට වූ අයුරු තවත් නාලිකාවක් මෙතනින් පෙන්වීය.

    රත්නපුරයේ ගංවතුරෙන් යට වූ මාර්ගයක පුද්ගලයන් ගමන් කරන අයුරු දැක්වෙන මාධ්‍ය වාර්තාවක රූපය
    ජලයෙන් යට වූ මාර්ගයක ත්‍රීරෝද රථයක් ධාවනය වන මාධ්‍ය වාර්තාවක රූපය

    මෙම දර්ශනවල දැක්වෙන්නේ මාර්ගවල සහ පහත්බිම්වල එක්රැස් වූ ජලය හරහා ජනතාව ගමන් කරන අයුරුයි. අප පරීක්ෂා කළ නිල නිවේදනවල හෝ ප්‍රධාන මාධ්‍ය වාර්තාවල, රත්නපුරයේ නිවසක් තුළට මාළු පැමිණි බවට කිසිදු සඳහනක් හෝ දර්ශනයක් නොතිබිණි.

    එවැනි දසුනක් නොදුටු බව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසති

    අපි රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සමඟ ද කතා කළෙමු. ගංවතුරට ලක් වූ ප්‍රදේශවල වාර්තාකරණයේ යෙදුණු ඔවුහු, වීඩියෝවේ ආකාරයේ දසුනක් තමන් නොදුටු බවත්, නිවෙස් තුළට මාළු පැමිණි බවක් ප්‍රදේශවාසීන් ද නොකී බවත් පැවසූහ.

    මහා ගංවතුර අවස්ථාවලදී ජලයත් සමඟ මාළු නිවෙස්වලට පැමිණි අවස්ථා අතීතයේ සිදු වී ඇති බව ඔවුහු පිළිගත්හ. එහෙත් මෙවර රත්නපුරයේ වාර්තා වූයේ සුළු ගංවතුර තත්ත්වයකි.

    වීඩියෝව ගංවතුරට දින 14කට පෙර Instagram ගිණුමක පළ විය

    රත්නපුරයේ එවැනි දසුනක් වාර්තා නොවූ බැවින්, අපි වීඩියෝවේ දර්ශන කිහිපයක් ඡායාරූප ලෙස ගෙන reverse image search ක්‍රමයට පරීක්ෂා කළෙමු. එහිදී එම වීඩියෝව Panit Wongchiam (panitwongchiam) නමැති Instagram ගිණුමේ 2026 ඔක්තෝබර් 12 වැනිදා පළ කර ඇති බව සොයා ගත්තෙමු. එම මුල් වීඩියෝව මෙතනින්.

    කළු ගඟ ගංවතුර අනතුරු ඇඟවීම නිකුත් වූයේ ඔක්තෝබර් 26 වැනිදාය. ඒ අනුව මෙම වීඩියෝව රත්නපුර ගංවතුරට දින 14කට පෙර සිටම අන්තර්ජාලයේ පැවතිණි.

    වයිරල් වීඩියෝවේ ආරම්භක දර්ශනය සහ Instagram වීඩියෝවේ ආවරණ රූපය සසඳන විට, බිත්තියේ ඡායාරූප, දින දර්ශනය, රතු තිරය සහිත දොර, ලී පුටුව සහ මේසය එකම ස්ථානවල ඇති බව පැහැදිලිය.

    ෆේස්බුක් හි පැතිරුණු වීඩියෝව සහ දින 14කට පෙර ඉන්ස්ටග්‍රෑම් හි පළ වූ මුල් වීඩියෝව සසඳන රූපය

    දිනකට වීඩියෝ කිහිපයක් පළ කරන එම ගිණුමේ මෑත වීඩියෝ බොහොමයක මාළු ඇතුළු සතුන් කේන්ද්‍ර කරගත් දර්ශන දක්නට ලැබේ. මාළු වීඩියෝව පළ කර දින දෙකක් ඇතුළත එම ගිණුමේම පළ කළ තවත් වීඩියෝවක එම නිවසේම අභ්‍යන්තරය දක්නට ලැබුණු අතර, එම වීඩියෝවට AI ලේබලයක් සවි කර තිබිණි. වීඩියෝ දෙකේ සමානකම් පහතින් දැක්වේ.

    නිවස තුළ ජලය සහ වස්තූන් පෙන්වන, “AI content” ලෙස රතු පාටින් ඉස්මතු කළ ඉන්ස්ටග්‍රෑම් සටහනේ තිර රුව

    AI හඳුනාගැනීමේ මෙවලම් ද එය AI නිර්මාණයක් බව පෙන්වයි

    අපි වයිරල් වීඩියෝව AI මගින් නිර්මාණය කළ රූප හා වීඩියෝ හඳුනාගැනීමේ මෙවලම් හරහා ද පරීක්ෂා කළෙමු. එම මෙවලම් ද එය AI තාක්ෂණයෙන් නිර්මාණය කළ වීඩියෝවක් ලෙස හඳුනා ගත්තේය.

    වීඩියෝව 73%ක් AI මගින් නිර්මිත බව පෙන්වන AI හඳුනාගැනීමේ මෙවලමේ ප්‍රතිඵලය
    වීඩියෝවේ AI අත්සන් හමුවූ බව පෙන්වන AI හඳුනාගැනීමේ මෙවලමේ ප්‍රතිඵලය

    එකම නිවස විවිධ රටවල ගංවතුර ලෙස පැතිරේ

    මෙම වීඩියෝව රත්නපුරයට පමණක් සීමා නොවීය. ඉන්දියාවේ චෙන්නායි නගරයේ වැසි ලෙස ඔක්තෝබර් 26 වැනිදා YouTube හි මෙතනින් ද, ‘Nyakuron’ නමැති ප්‍රදේශයක නිවසක් ගංවතුරට යට වූ අවස්ථාවක් ලෙස ෆේස්බුක්හි මෙතනින් ද එය බෙදා හැර තිබිණි. X හි රසික ගිණුමක් එය විහිළු සටහනක් සමඟ මෙතනින් පළ කර තිබිණි.

    තුර්කියේ කරුණු පරීක්ෂක ආයතනයක් ඔක්තෝබර් 17 වැනිදා පළ කළ වාර්තාවකට අනුව, එම නිවසම යැයි පෙනෙන කාමරයක මාළුවෙකු පීනන තවත් වීඩියෝවක් ඔක්තෝබර් 14 වැනිදා ඉස්තාන්බුල් ගංවතුර ලෙස පැතිර ගොස් තිබිණි. බිත්තිවල තායි භාෂාවෙන් ලියූ පෝස්ටර් ඇති බවත්, මුල් පිටපත් AI ලේබලයක් සහිතව අග්නිදිග ආසියාතික ගිණුම්වල පළ වී ඇති බවත් සඳහන් කරමින්, එය AI මගින් නිර්මාණය කළ වීඩියෝවක් බව එම ආයතනය මෙතනින් නිගමනය කළේය.

    ‘අර්නාබ්’ ඉන්දියාවට; කළු ගඟ පහළ බසී, එහෙත් අවදානම තවමත් පවතී

    ඔක්තෝබර් 28 වැනිදා ප.ව. 4ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනාවැකියට අනුව, ‘අර්නාබ්’ ඉතා දරුණු සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ හරහා ගොඩබිමට පිවිස ඇති අතර, ශ්‍රී ලංකාවේ කාලගුණයට එහි බලපෑම ක්‍රමයෙන් අඩු වී ඇත. එහෙත් සබරගමුව සහ බස්නාහිර පළාත්වලට කිහිප වරක් වැසි ඇති විය හැකි අතර, ඔක්තෝබර් 29 වැනිදා රත්නපුරයට ද කිහිප වරක් වැසි අපේක්ෂා කෙරේ. එම අනාවැකිය මෙතනින්.

    ඔක්තෝබර් 28 ප.ව. 3ට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල මට්ටම් වාර්තාවට අනුව, රත්නපුර ජල මාපකයේ ජල මට්ටම මීටර් 6.09 දක්වා පහත වැටෙමින් තිබිණි. එය සුළු ගංවතුර මට්ටමට (මීටර් 7.50) වඩා අඩු වුවද, අනතුරු ඇඟවීමේ මට්ටමට (මීටර් 5.20) වඩා ඉහළිනි. පහළ කළු ගං ද්‍රෝණියේ මිල්ලකන්ද (කලවැල්ලාව) ජල මාපකය එම අවස්ථාවේත් සුළු ගංවතුර මට්ටමේ විය. එම වාර්තාව මෙතනින්.

    කළු ගඟ සඳහා වූ ගංවතුර අනතුරු ඇඟවීම ඔක්තෝබර් 29 වැනිදා ප.ව. 1.30 දක්වා තවත් පැය 24කින් දීර්ඝ කර ඇති බව මෙතනින් දැක්වේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් පවත්වා ගෙන යන නමුත්, ඒ සියල්ල එක් මට්ටමකින් පහත දමා ඇත. එම නිවේදනය මෙතනින්.

    ඔක්තෝබර් 28 උදෑසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්තවලට අනුව, දිස්ත්‍රික්ක 17ක පවුල් 5,696ක පුද්ගලයින් 21,218ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව ඇත. එක් අයෙකු මිය ගොස්, පස් දෙනෙකු තුවාල ලබා, තිදෙනෙකු අතුරුදන්ව ඇති අතර, නිවාස දෙකක් සම්පූර්ණයෙන් ද 462ක් අර්ධ වශයෙන් ද හානි වී ඇත. පවුල් 173ක් ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගෙන සිටිති. එම දත්ත මෙතනින්. මෙම සංඛ්‍යා රට පුරා හානිය පිළිබිඹු කරන අතර, රත්නපුර දිස්ත්‍රික්කයට පමණක් අදාළ නවතම සංඛ්‍යා අපට තහවුරු කර ගත නොහැකි විය.

    එබැවින් පහත්බිම් සහ නායයෑම් අවදානම් ප්‍රදේශවල ජනතාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල උපදෙස් අනුගමනය කළ යුතුය. මෙවැනි අවස්ථාවල AI වීඩියෝ සැබෑ දර්ශන ලෙස බෙදා ගැනීම, සැබෑ තත්ත්වය පිළිබඳ ජනතාව නොමඟ යැවීමටත්, අනවශ්‍ය භීතියක් ඇති කිරීමටත් හේතු විය හැක.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය (Conclusion):

    රත්නපුර ගංවතුර අතරතුර නිවසකට ගලා ආ ජලයේ මාළු පනින බව කියමින් පැතිරෙන වීඩියෝව AI තාක්ෂණයෙන් නිර්මාණය කළ එකකි. එය ගංවතුරට දින 14කට පෙර, 2026 ඔක්තෝබර් 12 වැනිදා Instagram ගිණුමක පළ වූ අතර, චෙන්නායි ඇතුළු වෙනත් ප්‍රදේශවල ගංවතුර ලෙස ද බෙදා හැර ඇත.

    ඔක්තෝබර් 26 සහ 27 කළු ගඟ සුළු ගංවතුර මට්ටම ඉක්මවා රත්නපුර පහත්බිම් ජලයෙන් යට වූ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි. එහෙත් නිවෙස් තුළට මාළු පැමිණි බවට කිසිදු නිල වාර්තාවක, මාධ්‍ය දර්ශනයක හෝ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ තොරතුරුවල සඳහනක් නැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.