දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ලංකා සතොස වසර ගණනාවක් පුරා ලබා ඇති දැවැන්ත මූල්ය අලාභය, සැපයුම්කරුවන්ට ඇති ණය බර සම්බන්ධයෙන් සමාජයීය සහ දේශපාලනික වශයෙන් සංවාදයක් ගොඩනැගී ඇත. මේ අතර, 2024 වසරේදී සතොස පාඩුවට සාපේක්ෂව, 20 ගුණයකටත් වඩා ඉහළ අලාභයක් 2025 වසරේදී සතොස ලබා ඇති බව හඟවමින් සටහන් පෙළක් සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වන පසුබිමක, එහි සත්ය භාවය සොයාලමින් Factcrescendo අප විසින් සිදුකළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
අදාළ සටහනින් දක්වා ඇත්තේ 2024 වර්ෂයේ සතොස පාඩුව රුපියල් බිලියන 1.09 ක් බවත්, 2025 වර්ෂයේ සතොස පාඩුව රුපියල් බිලියන 22ක් වන බවත් ය.


තවත් ෆේස්බුක් ගිණුමක පළ කළ සටහනක් “සතොස පාඩුව රුපියල් බිලියන 22ක්” යනුවෙන් සඳහන් කරයි;

පරීක්ෂාවට ලක් කළ ප්රකාශය:
සතොස 2025 වර්ෂයේදී පමණක් රුපියල් බිලියන 22ක පාඩුවක් ලැබූ අතර, එය 2024 පාඩුව (රුපියල් බිලියන 1.09) මෙන් 20 ගුණයකින් ඉහළ ය.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
ඒ අනුව අප විසින් ඉහත දක්වා ඇති කරුණු සම්බන්ධයෙන් නිල විශ්වසනීය මූලාශ්ර ඔස්සේ සහ ප්රධාන ධාරාවේ මාධ්ය ඔස්සේ වාර්තා කර ඇත්ද ? එසේනම් එය වාර්තා කර ඇත්තේ කෙසේද ? යන්න පරීක්ෂා කළෙමු.
ලංකා සතොස ආයතනය සඳහා 2025 වර්ෂයට අදාළ නිල වාර්ෂික වාර්තාවක් හෝ මූල්ය ප්රකාශනයක් තවමත් නිල වශයෙන් නිකුත් කර නොමැත. ඒ සම්බන්ධයෙන් මේ වන විට ඇති යාවත්කාලීනම ලේඛනය වන්නේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ලංකා සතොස ලිමිටඩ් සමාගමේ විගණිත මූල්ය ප්රකාශන පිළිබඳව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද ලිපිය සමඟ ඇති ලේඛනයයි. මුදල් අමාත්යාංශයේ ප්රධාන රාජ්ය ව්යවසාය පිටුවේ එය “Audited Financial Statements 2024” ලෙස ලැයිස්තුගත කර ඇති අතර, එහි 2025 සඳහා සබැඳියක් නොමැත. එම ලේඛනය මෙහි සහ ලැයිස්තුව මෙහි බලන්න.
අදාළ විගණිත මූල්ය ප්රකාශනවලට අනුව 2024 සඳහා සතොස ශුද්ධ අලාභය රුපියල් 776,083,216 (රුපියල් මිලියන 776.08 කි). 2024 දෙසැම්බර් 31 දිනට සමුච්චිත අලාභය රුපියල් 21,412,773,813 (රුපියල් බිලියන 21.41 කි). 2023 දෙසැම්බර් 31 දිනට එය රුපියල් 20,570,970,526ක් විය. 2024 දී එය රුපියල් මිලියන 842ක් පමණ වැඩි වී ඇත. එයට ශුද්ධ අලාභය මිලියන 776ක් සහ විශ්රාම ප්රතිලාභ සම්බන්ධ ඇක්චුවෙරියල් අලාභය මිලියන 66ක් ඇතුළත් ය (අපගේ ගණනය).
ඉහත සමාජ මාධ්ය සටහනෙහි ඇති 2024 වර්ෂයේ සතොස පාඩුව රුපියල් බිලියන 1.09 ක් යන අගය පැමිණියේ කෙසේද?
මුදල් අමාත්යාංශයේ මූල්ය වාර්තා ලේඛනාගාරයේ පළ කර ඇති 2024 වර්ෂයේ සතොස කෙටුම්පත් මූල්ය ප්රකාශනය මීට පදනම් වී තිබේ. (මෙය කෙටුම්පතකි. විගණනය කරන ලද අවසන් වාර්තාවක් නොවේ). කෙටුම්පත මෙහි බලන්න.
දත්ත විගණනයට පෙර ඉදිරිපත් කර ඇති එම කෙටුම්පත් වාර්තාවට අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන සතොස පාඩුව රුපියල් 1,096,634,160 (රුපියල් බිලියන 1.096 ක් පමණ) වේ. 2024 දෙසැම්බර් 31 වන විට එහි සමුච්චිත පාඩුව රුපියල් 21,667,604,686 (රුපියල් බිලියන 21.66 ක්) ලෙස දක්වා ඇත.
කෙසේ නමුත්, ඉහත කෙටුම්පත තුළ එය කෙටුම්පත් මූල්ය ප්රකාශනයක් පමණක් ලෙස දක්වා තිබීම නිසා විගණනය කරන ලද නිවැරදි දත්ත ලෙස පිළිගත හැක්කේ, ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද ලිපිය සමඟ ඇති විගණිත මූල්ය ප්රකාශනයි.
ඒ අනුව විගණනය කරන ලද 2024 සතොස සමස්ත පාඩුව රුපියල් මිලියන 776 කි.
2025 වසරද ඇතුළුව ලංකා සතොස ආයතනයේ පාඩු පිළිබඳ අමාත්ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර ඇත.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහතා විසින් 2026 ඔක්තෝබර් 07 වන දා පාර්ලිමේන්තුවේදී 2025 වසරද ඇතුළුව ලංකා සතොස ආයතනයේ පාඩු පිළිබඳ ප්රකාශයක් සිදු කර තිබේ. ඒ ඔස්සේ ප්රධාන ධාරාවේ මාධ්ය විසින් ඒ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ පහත පරිදිය.
අමාත්ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලද දත්තවලට අනුව, ලංකා සතොස ආයතනය 2024 වසරේදී රුපියල් මිලියන 776ක් සහ 2025 වසරේදී රුපියල් මිලියන 721ක වාර්ෂික පාඩුවක් ලබා තිබෙනවා.
2024 අගය විගණිත ප්රකාශන සමග ගැළපේ. 2025 සඳහා විගණිත ප්රකාශන තවමත් පළ වී නැති බැවින් 721 යන අගය අමාත්යවරයා පැවසූ අගයක් ලෙස පමණක් සලකන්න. සමාජ මාධ්ය සටහනේ දක්වා ඇති පරිදි 2025 වර්ෂයේ සතොස පාඩුව රුපියල් බිලියන 22ක් ලෙස දක්වා නොමැත.
රුපියල් බිලියන 22 යනු වසර ගණනාවක් තිස්සේ සතොස ආයතනය දිගින් දිගටම ලැබූ පාඩු එකතු වීමෙන් 2025 අවසන් වන විට නිර්මාණය වූ සමුච්චිත (එකතු වූ) සමස්ත අලාභය ලෙස එම වාර්තා ඔස්සේ දක්වා ඇත. මේ සම්බන්ධ මාධ්ය වාර්තා හිරු නිවුස් සහ The Morning වාර්තා බලන්න.
ඒ අනුව, සතොස ආයතනය 2025 වසරේදී පමණක් රුපියල් බිලියන 22ක පාඩුවක් ලබා ඇති බවට දක්වා ඇති ආකාරය නොමඟ යවන සුළුය. බිලියන 22 යනු 2025 වන විට සතොස වසර ගණනාවක් පුරා ලැබූ පාඩුවේ එකතුවයි.
සමුච්චිත පාඩුව යනු කුමක්ද ?
මෙය එක වසරක පාඩුවක් නොව, පසුගිය වසර ගණනාව පුරා එකතු වූ සමස්ත පාඩුවේ එකතුවයි. ඉහත පෙන්වා දුන් පරිදි, 2024 වසර අවසානය වන විටම සතොස සමුච්චිත පාඩුව බිලියන 21 ඉක්මවා ඇති බව 2024 විගණිත මූල්ය ප්රකාශනවලින් පැහැදිලි වේ.
සමුච්චිත අලාභය යනු ව්යාපාරයක් ආරම්භ කළ දින සිට මේ දක්වා උපයා ඇති ශුද්ධ ලාභ සහ සිදුවී ඇති ශුද්ධ අලාභයන් එකිනෙක පියවා දැමූ පසු, ඉතිරිව පවතින සමස්ත ශුද්ධ අලාභයන්ගේ එකතුවයි. සරලවම කිවහොත්, එය ව්යාපාරය විසින් වසර ගණනාවක් පුරා එකතු කරගන්නා ලද පාඩුවයි. ශුද්ධ අලාභයට අමතරව විශ්රාම ප්රතිලාභ සම්බන්ධ ඇක්චුවෙරියල් ලාභ හෝ අලාභ වැනි අයිතම ද මෙම ශේෂයට බලපායි.
ඒ අනුව 2024 වසරේ විගණනය කරන ලද දත්ත අනුව 2024 වසර අවසන් වන විට වසර ගණනාවක් පුරා සතොස ලැබූ සමුච්චිත අලාභය බිලියන 21 ඉක්මවා තිබුණි. 2025 වන විට බිලියන 22ක් බවට පත්ව ඇත්තේ එම සමුච්චිත අගය මිස, 2025 වසර තුළ පමණක් සතොස ලැබූ අලාභය නොවේ.
ලංකා සතොස ආයතනය සමුච්චිත අලාභයෙන් බිලියන 17.9ක් (80% පමණ) 2019 අවසානය වන විටම ගොඩ නැගී තිබුණි
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2019 වාර්ෂික වාර්තාවට අනුව 2018 අවසානයේ සමුච්චිත අලාභය රුපියල් බිලියන 14.7ක් වූ අතර 2019 අවසානයේ එය බිලියන 17.9ක් විය. (රුපියල් 14,742,629,777 සහ රුපියල් 17,884,556,952). 2019 ශුද්ධ අලාභය රුපියල් බිලියන 3.16කි. එම වාර්තාවට විගණකාධිපතිවරයා ප්රතිකූල මතයක් (adverse opinion) ලබා දී ඇති අතර, භාණ්ඩාගාර අරමුදල් නොමැතිව ආයතනයේ පැවැත්ම සැක සහිත බව සඳහන් කර ඇත.
2024 අවසානයේ විගණිත සමුච්චිත අලාභය රුපියල් බිලියන 21.41ට 2025 වාර්ෂික පාඩුව මිලියන 721ක් එකතු කළ විට බිලියන 22.13ක් පමණ ලැබේ (අපගේ ගණනය). එය අමාත්යවරයා පැවසූ බිලියන 22ට සමීප වේ.
මේ අනුව සමුච්චිත අලාභයෙන් 80% පමණ (17.88 ÷ 22.13; අපගේ ගණනය) 2019 අවසානයට පෙර ගොඩනැගී ඇත. අනෙක් අතට 2019 අවසානයේ බිලියන 17.88ට 2020 සිට 2025 දක්වා වාර්ෂික පාඩු බිලියන 4.46ක් එකතු කළහොත් බිලියන 22.34ක් ලැබෙනවා.
කෙටුම්පත් මූල්ය ප්රකාශවල 2023 අවසානයේ සමුච්චිත අලාභය රුපියල් බිලියන 20.571ක් බව 2023 අවසානයේ (2024 විගණිත ප්රකාශනවල සංසන්දන තීරුවේ ද එම අගයම ඇත). 2024 කෙටුම්පතේ අවසාන ශේෂය බිලියන 21.668ක් වුවද, විගණිත ශේෂය බිලියන 21.413කි.
වසරෙන් වසර වාර්ෂික පාඩුව සහ සමුච්චිත අලාභය
පහත වගුවේ අගයන් ලබා ගත් මූලාශ්රය අනුව ඇත. හිස් කොටු යනු අප විසින් සත්යාපනය කළ අගයක් නොමැති බවයි.
| වසර | ශුද්ධ අලාභය (රුපියල්) | වසර අවසානයේ සමුච්චිත අලාභය (රුපියල්) | මූලාශ්රය |
|---|---|---|---|
| 2018 | 2,888,463,273 | 14,742,629,777 | 2019 වාර්ෂික වාර්තාව |
| 2019 | 3,158,544,037 | 17,884,556,952 | 2019 වාර්ෂික වාර්තාව |
| 2020 | 1,387,666,643 | විගණකාධිපති 2021 වාර්තාව | |
| 2021 | 840,281,278 | විගණකාධිපති 2021 වාර්තාව | |
| 2022 | 35,424,509 | 19,801,830,055 | 2023 මූල්ය ප්රකාශන (සංසන්දන තීරුව) |
| 2023 | 695,233,136 | 20,570,970,526 | 2023 මූල්ය ප්රකාශන සහ 2024 විගණිත ප්රකාශන |
| 2024 | 776,083,216 | 21,412,773,813 | 2024 විගණිත ප්රකාශන |
| 2025 | මිලියන 721 පමණ (අමාත්යවරයා) | බිලියන 22 පමණ (අමාත්යවරයා); අපගේ ගණනය බිලියන 22.13 | (විගණිත නොවේ) |
අමාත්ය වසන්ත සමරසිංහ සතොස ආයතනයේ 2025 යාවත්කාලීන මූල්ය දත්ත පිළිබඳව පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශය
අමාත්ය වසන්ත සමරසිංහ මහතා සතොස ආයතනයේ මෙම මූල්ය දත්ත පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර ඇත්තේ 2026 ඔක්තෝබර් 07 වැනි දා ය. ඒ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා යොමුකළ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි.
අමාත්යවරයා විසින් එහිදී ප්රකාශ කර ඇත්තේ, 2020 අලාභය මිලියන 1,387ක්, 2021 අලාභය මිලියන 840ක්, 2022 අලාභය මිලියන 35ක්, 2023 අලාභය මිලියන 695ක්, 2024 අලාභය මිලියන 776ක්, 2025 අලාභය මිලියන 721ක් බවයි. 2020 සිට 2024 දක්වා අගයන් විගණිත ප්රකාශන සමග ගැළපේ; 2025 අගය විගණිත නොවේ.
ඒ අනුව 2025 වන විට සතොස සමස්ත සමුච්චිත අලාභය බිලියන 22ක් බව අමාත්යවරයා ප්රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු සජීවී විකාශය 2026.10.07 (විනාඩි 50ක් පමණ සිට)
අමාත්යවරයාගේ ප්රකාශය අනුව, 2024 වසරේ සතොස ලැබූ අලාභයට (මිලියන 776) වඩා 2025 වසරේ ලබා ඇති අලාභය (මිලියන 721) සාපේක්ෂව අඩු බවද නිරීක්ෂණය කළ හැකිය.
අමාත්යවරයාට අනුව 2025 දෙසැම්බරයේ සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 14ක් ද, තොග වටිනාකම බිලියන 5.8ක් ද වූ අතර අලෙවිසැල් 452න් 250ක් පාඩුවේ පැවතිණ.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්යංශයේ මාධ්ය ලේකම්
අප විසින් මේ සම්බන්ධයෙන් අමාත්ය වසන්ත සමරසිංහ මහතාගේ මාධ්ය ලේකම්වරයාගෙන්ද විමසීමක් කළ අතර, එහිදී ඔහු විසින් සඳහන් කළේ, 2024 වසරේ විගණනය කරන ලද දත්ත අනුව සතොස සමස්ත අලාභය මිලියන 776 ක් බවයි. එසේම බිලියන 22 යන ගණන 2025 වසරේදී පමණක් සතොස ලැබූ අලාභය නොව, එය වසර ගණනාවක් පුරා සතොස ලැබූ අලාභයන්ගේ එකතුව බවද තහවුරු කළේය. විගණනය කරන ලද දත්ත අනුව 2025 වසරේ සතොස අලාභය මිලියන 721 ක් බවද එය 2024 වසරේ අලාභයට වඩා ප්රමාණයෙන් යම් තරමකට අඩු වී ඇති බවද තහවුරු කළේය.
සාක්ෂියේ සීමා– 2025 සඳහා විගණිත මූල්ය ප්රකාශන තවමත් පළ වී නැත; මිලියන 721 අලාභය යන අගයන් අමාත්යවරයා පැවසූ අගයන් වන අතර, විගණනය කළ සතොස මුල්ය වාර්තා ඉදිරිපත් වීමෙන් පසු මෙය යාවත්කාලින කිරීමට ද බලාපොරොත්තු වෙමු.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙනී යන්නේ, සමාජ මාධ්ය සටහනේ 2025 වර්ෂයේ සතොස පාඩුව රුපියල් බිලියන 22ක් ලෙසත්, 2024 වර්ෂයේ පාඩුව රුපියල් බිලියන 1.09ක් ලෙසත් දක්වා ඇති ආකාරය නොමඟ යවන සුළු බවයි.
රුපියල් බිලියන 22 යනු 2025 අවසන් වන විට ගොඩනැගී ඇති සමුච්චිත අලාභයයි. 2025 වසරේ වාර්ෂික පාඩුව අමාත්යවරයාට අනුව රුපියල් මිලියන 721කි. 2024 සඳහා රුපියල් බිලියන 1.09 යනු කෙටුම්පත් මූල්ය ප්රකාශනයේ අගයකි. ජාතික විගණන කාර්යාලයේ ලිපිය සමඟ ඇති විගණිත ප්රකාශනවල 2024 ශුද්ධ අලාභය රුපියල් මිලියන 776කි. එබැවින් 2025 අලාභය 2024ට වඩා 20 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි කීම සත්ය නොවන අතර, 2025 අලාභය (මිලියන 721) 2024 අලාභයට (මිලියන 776) වඩා සුළු වශයෙන් අඩු ය.
කෙසේනමුත්, සමුච්චිත අලාභය, ඍණ හිමිකම් සහ සැපයුම්කරුවන්ට ඇති ණය පෙන්නුම් කරන පරිදි ආයතනයේ මූල්ය තත්ත්වය දුර්වල ය. 2025 සඳහා විගණිත ප්රකාශන නිකුත් වූ විට මෙම වාර්තාව යාවත්කාලීන කරන්නෙමු.



