Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    හාදුවක් නිසා මක්කමදී බංග්ලාදේශ මධුසමය යුවළක් හිස ගසා මැරුවා ද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-22
    11 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2026 ඔක්තෝබර් 14 වැනිදා සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, මක්කම ශුද්ධ නගරයේ මුස්ලිම් පල්ලියක් තුළ “අශෝභන ක්‍රියාවක්” සිදු කිරීමේ වරදට බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු වන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    2026 ඔක්තෝබර් 14 වැනිදා සෞදි අරාබියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ, මක්කම ශුද්ධ නගරයේ මුස්ලිම් පල්ලියක් තුළ “අශෝභන ක්‍රියාවක්” සිදු කිරීමේ වරදට බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු වන නස්රුල් ඉස්ලාම් අබ්දුල් බසීර් සහ සිටි අක්තාර් යන දෙදෙනාට මක්කම ප්‍රදේශයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කළ බවයි. ඒ පිළිබඳ වාර්තාව මෙතනින්. තමන්ට කල්තියා දැනුම් නොදුන් බව බංග්ලාදේශය පවසන අතර, එය දැන් ඩකා සහ රියාද් අතර රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් බවට පත්ව තිබේ.

    එහෙත් දින කිහිපයක් ඇතුළත සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි බසින් ෆේස්බුක්, X සහ ටික්ටොක් හරහා පැතිර ගියේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. අලුත විවාහ වී මධුසමය සඳහා උම්රා වන්දනාවේ ගිය යුවළක්, පල්ලියේදී නළලට දුන් හාදුවක්, එය වීඩියෝ කළ පාකිස්තාන ජාතිකයෙක්, ප්‍රසිද්ධියේ හිස ගසා දැමීමක්, දෙමාපියන්ගේ සොහොන්වලට පස් දමන කුඩා දියණියක් සහ මව්රටට ගෙනා මිනී පෙට්ටි දෙකක් ඒ කතාවට ඇතුළත් ය. එම එක් එක් ප්‍රකාශය ද, ඒවාට අමුණා ඇති එක් එක් වීඩියෝව සහ ඡායාරූපය ද අප පරීක්ෂා කළ අතර, මේ සිද්ධිය ගැන සැබවින්ම දන්නා කරුණු මොනවාදැයි පහත සටහන් කරමු.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ඔක්තෝබර් 20 වැනිදා සිට හුවමාරු වන සිංහල රීල් එකක, වීථියක කළු ඇඳුමින් සිටින කාන්තාවකගේ හිස ගසා දමන දර්ශනයක් මත “ආගමට ඉහළින් ආදරයේ වටිනාකම් තබන්න පුළුවන් වුණා නම්” යන වැකිය සටහන් වේ. “ප්‍රසිද්ධියේ ආදර කිරීම තහනම්” යන හිසින් යුත් එහි විස්තරයේ කියැවෙන්නේ, විවාහ වී මධුසමය ගත කිරීමට සෞදියට ගිය ඔවුන් දෙදෙනාට පූජා භූමියක නළල සිප ගැනීමේ චෝදනාවක් එල්ල වී, කිසිදු වරදක් නොකර මරණ දඬුවම ලැබූ බවත්, ඔවුන් නස්රුල් ඉස්ලාම් අබ්දුල් කබීර් සහ සිටි අක්තාර් බවත් ය. එම විස්තරයම ඔක්තෝබර් 20 වැනිදා දහවල් වීඩියෝවක් ලෙස මුලින්ම පළ වී, මුල් සටහන ඉවත් වීමට පෙර බෙදාගැනීම් 2,300 ඉක්මවා තිබිණි. පහත රීල් එක ඒ පිටපත්වලින් එකකි.

    මක්කම පල්ලියේ හාදුවක් නිසා බංග්ලාදේශ යුවළක් හිස ගසා මැරූ බව කියන සමාජ මාධ්‍ය වීඩියෝවේ තිර රුවක්
    එම කතාව සහිතව මක්කම පල්ලියේ දර්ශනයක් පෙන්වන තවත් සමාජ මාධ්‍ය වීඩියෝවක තිර රුවක්

    ඔක්තෝබර් 20 වැනිදා විශාල සිංහල ෆේස්බුක් සමූහයකට පළ කළ කාඩ්පතක “හනිමූන් ගිය බංග්ලාදේශ යුවළක් මක්කම පල්ලියකදී හාදුවක් දුන් වරදට සෞදි අධිකරණයෙන් මරණ දඬුවම ලබාදේ.. මළසිරුරු බංග්ලාදේශයට” යනුවෙන් සඳහන් වන අතර, ඒ යටින් ඡායාරූප දෙකක් අලවා ඇති රතු මිනී පෙට්ටි දෙකක් සහ එම ඡායාරූප දෙකම විශාල කර පෙන්වා තිබේ.

    මක්කම පල්ලියේදී හාදුවක් දුන් බංග්ලාදේශ යුවළක් හිස ගසා මැරූ බව කියමින් මිනී පෙට්ටි සහ ඡායාරූප සමඟ පළ වූ ෆේස්බුක් සටහන

    මධුසමය කතාවේ අපට හමු වූ මේ සම්බන්ධයෙන් සටහනක ඔක්තෝබර් 19 වැනිදා සවස පළ කර තිබූ අතර, මෙම ඡායාරූපයේ සිටින දෙදෙනා “එහි සිටි පාකිස්තාන ජාතිකයෙකු වීඩියෝ කර සෞදි නිලධාරීන්ට ලබා දුන්” බවත් දෙදෙනාගේ “හිස් ගසා දැමුවේ ඔක්තෝබර් 14 වැනිදා” බවත් එහි දැක් වේ. පැය කිහිපයක් ඇතුළත එම වචනම සහිත සටහන් තවත් පිටු සහ ගිණුම් පහකින් අවම වශයෙන් පළ වූ අතර, ඉන් එකක් බෙදාගැනීම් 400 ඉක්මවා තිබේ. අපගේ දෙමළ භාෂා කණ්ඩායම මෙතනින් සහ මෙතනින් පරීක්ෂා කළ දෙමළ බසින් පළ වූ රීල් සහ සටහන් වල, අඬන දැරිය, මිනී පෙට්ටි, අවමංගල්‍යයක් සහ ඡායාරූප දෙක ද එක් වී තිබේ. ඉංග්‍රීසි බසින් පළ වූ හිස ගසා දැමීමේ වීඩියෝව සහ දැරියගේ වීඩියෝව ඔක්තෝබර් 16 සිට 20 දක්වා එක්ස් හි දස මිලියන ගණනක් නැරඹුම් ලබා ඇති පාකිස්ථාන වාර්තාවක දැක්වේ. ඒ පිළිබඳ මෙතනින්.

    Facebook 1 Link | Facebook 2 Link

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය :

    අලුත විවාහ වී මධුසමය උම්රා වන්දනාවේ ගිය බංග්ලාදේශ යුවළක්, පාකිස්තාන ජාතිකයෙකු වීඩියෝ කළ නළල සිප ගැනීමක් නිසා 2026 ඔක්තෝබර් 14 වැනිදා මක්කමදී හිස ගසා මරා දැමූ බවත්, හුවමාරු වන වීඩියෝ සහ ඡායාරූපවල එම මරණ දඬුවම, යුවළ, අනාථ වූ ඔවුන්ගේ දියණිය සහ බංග්ලාදේශයට ළඟා වූ මිනී පෙට්ටි දැක්වෙන බවත් ය.

    Fact Check (කරුණු පරීක්ෂාව) :

    සෞදි අරාබිය සැබවින්ම නිවේදනය කළේ කුමක් ද

    ඔක්තෝබර් 14 වැනිදා සෞදි පුවත් ඒජන්සිය (SPA) හරහා නිකුත් වූ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයේ, බංග්ලාදේශ ජාතිකයන් වන නස්රුල් ඉස්ලාම් අබ්දුල් බසීර් සහ සිටි අක්තාර් අත්අඩංගුවට ගෙන, විමර්ශනයෙන් පසු චෝදනා ගොනු කර, අධිකරණයට යොමු කර, මක්කම පල්ලියක ශුද්ධත්වය කෙලෙසන “අශෝභන ක්‍රියා” සම්බන්ධයෙන් සෞදි නීතියේ අභිමත දඬුවම වන “තාසීර්” (ta’zir) යටතේ මරණ දඬුවම නියම කළ බව සඳහන් ය. තීන්දුව ස්ථිර වී රාජකීය නියෝගයක් මත එදිනම මක්කම ප්‍රදේශයේදී එය ක්‍රියාත්මක කළ බව එහි කියැවේ. වාර්තා මෙතනින් සහ මෙතනින්.

    නිල විස්තරය එපමණකි. පල්ලිය කුමක්දැයි, චෝදිත ක්‍රියාව සිදු වූ දිනය, එම ක්‍රියාව කුමක්දැයි හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කළ ක්‍රමය එහි සඳහන් නොවේ. වයිරල් සටහන්වල ඇති සෑම අනෙක් කරුණක්ම පැමිණෙන්නේ වෙනත් තැනකිනි.

    දෙදෙනා 2023 සිට සිරගතව සිටි සංක්‍රමණික වූ පිරිසිදු කිරීමේ සේවකයන් මිස මධුසමය වන්දනාකරුවන් නොවේ!

    ජෙඩා හි බංග්ලාදේශ කොන්සල් ජනරාල් කාර්යාලයෙන් ඔක්තෝබර් 18 වැනිදා යැවූ රහස්‍ය සංදේශයක් The Daily Star පුවත්පත ලබාගෙන වාර්තා කර ඇත්තේ මෙලෙසිනි. ඒ අනුව, සැප්තැම්බර් 30 වැනිදා කොන්සල් කාර්යාලයට ලැබුණු සෞදි සිරකරු ලැයිස්තුවේ දෙදෙනාගේම නම් දැනටමත් තිබිණි. නස්රුල් 2023 අගෝස්තු 1 වැනිදා සයිබර් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගෙන ජෙඩා බන්ධනාගාරයේ ද, ලැයිස්තුවේ “Suety Akhter” ලෙස සඳහන් කාන්තාව ඊට පසු දින අනාචාර චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන ජෙඩා කාන්තා බන්ධනාගාරයේ ද රඳවා සිටියහ. දෙදෙනාම Al Majal සමාගමේ පිරිසිදු කිරීමේ සේවකයන් ය.

    පවුල් දෙකේ කතාව ද එම කාලරාමුවට ගැළපේ. බ්‍රාහ්මන්බාරියා සදර් හි බිරාම්පුර් ගමේ නස්රුල් 2022 නොවැම්බර් 10 වැනිදා පිරිසිදු කිරීමේ රැකියාවකට සෞදියට ගොස් මාස හයකට පමණ පසු අත්අඩංගුවට පත් වූ බව ඔහුගේ දෙමාපියන් පවසා ඇත්තේ මෙලෙසිනි. ටංගයිල් හි මිර්සාපූර් ප්‍රදේශයේ නගර් චාවලි ගමේ ස්වීටි අක්තාර් වසර හතරකට පමණ පෙර පියාගෙන් ලක්ෂ 1.5ක් ණයට ගෙන සෞදියට යැවූ බවත්, මාස පහක් මුදල් එවා පසුව සිරගත වූ බව දුරකථනයෙන් දැනුම් දුන් බවත් ඇගේ පියා පවසා ඇත්තේ මෙලෙසිනි. වසර තුනකට වැඩි කාලයක් සෞදි බන්ධනාගාරවල සිටි දෙදෙනෙකු මධුසමය සංචාරයක යුවළක් විය නොහැක.

    දෙදෙනා එකිනෙකා සමඟ විවාහ වී නැත; “අනාථ වූ දියණිය” ඔවුන්ගේ නොවේ

    ස්වීටිගේ මව පවසා ඇත්තේ, තම දියණිය දික්කසාද වූ අයෙකු බවත්, ඇයට කුඩා දියණියක් සිටින බවත්, ස්වීටි සෞදියට ගිය පසු එම දැරිය හදා වඩා ගන්නේ පවුලේ අය බවත් ය. ඒ වාර්තාව මෙතනින්. ස්වීටි වසර පහකට පමණ පෙර විවාහ වී වසර දෙකකට පසු දික්කසාද වූ බව ඇගේ පියා BBC ට පවසා ඇත්තේ මෙලෙසිනි. එම දැරිය නස්රුල්ගේ දියණිය නොවන අතර, සොහොනට පස් දමන දැරියගේ වීඩියෝව මරණ දඬුවමට මාස ගණනාවකට පෙර සිට අන්තර්ජාලයේ තිබූ එකකි.

    කොන්සල් ලැයිස්තුවේ ස්වීටි සටහන් වී ඇත්තේ අනාචාර චෝදනාවක් යටතේ වන අතර, දෙදෙනාම “අනාචාරය” යන චෝදනා මත මරණ දඬුවමට ලක් වූ බව ජෙඩා හි බංග්ලාදේශ දූත මණ්ඩලයේ නිලධාරියෙකු The Daily Star ට පවසා ඇත්තේ මෙලෙසිනි.

    වරද හාදුවක් බව හෝ පාකිස්තාන ජාතිකයෙකු වීඩියෝ කළ බව කිසිදු මූලාශ්‍රයක් නොකියයි

    සෞදි නිවේදනය, කොන්සල් සංදේශය, බංග්ලාදේශ විදේශ අමාත්‍යාංශය හෝ පවුල් දෙකෙන් කිසිවක් “අශෝභන ක්‍රියාව” හාදුවක් බව පවසා නැත. නළල සිප ගැනීම සහ “වීඩියෝ කළ පාකිස්තාන ජාතිකයා” පිළිබඳ ප්‍රකාශ දක්නට ලැබෙන්නේ ඔක්තෝබර් 19 වැනිදා සිට තුර්කි සහ හින්දි විස්තර සහිත එක්ස් සටහන්වල සහ එදිනම සවස සිංහල සටහන්වල වන අතර, ඒ පිටුපස කිසිදු ලේඛනයක්, නිලධාරියෙක් හෝ සාක්ෂිකරුවෙක් නැත. ඊට ආසන්නතම සැබෑ කරුණ වන්නේ නස්රුල්ගේ ඥාතීන් Prothom Alo පුවත්පතට පාකිස්තාන ජාතික සේවක සගයෙකු සමඟ ඇති වූ ආරවුලක් ගැන පවසා ඔහු කුමන්ත්‍රණයක් කළ බවට චෝදනා කිරීමයි. ඒ වාර්තාව මෙතනින්. එය පල්ලියක සිදු වූ දෙයක් ගැන විස්තරයක් නොව, රැකියා ස්ථානයේ ආරවුලක් ගැන පවුලේ චෝදනාවක් පමණි. සෞදි නිවේදනයේ “අශෝභන ක්‍රියාව” යන්න කලාපීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ලිංගික ක්‍රියාවක් ලෙස අර්ථකථනය කර ඇතත්, එය අනුමානයක් මිස අමාත්‍යාංශය පැහැදිලි කළ දෙයක් නොවේ.

    “මරණ දඬුවමේ වීඩියෝව” 2015 ජනවාරි මාසයේ දර්ශනයකි

    සිංහල රීල් එක ආරම්භයේ දැක්වෙන, වීථියක කළු අබායාවක් ඇඳි කාන්තාවකගේ හිස ගසා දමන දර්ශනය, 2015 ජනවාරි මාසයේ මක්කමදී ප්‍රසිද්ධියේ මරණ දඬුවමට ලක් වූ, තම අවුරුදු හතේ සුළු දියණිය ඝාතනය කිරීමේ වරදට වැරදිකාරිය වූ බුරුම ජාතික ලයිලා බින්ත් අබ්දුල් මුත්තලිබ් බාසිම්ගේ දර්ශනයකි. එකල CNN විසින් සිදු කළ වාර්තා මෙතනින් සහ Dawn වාර්තාවක් මෙතනින්, අපගේ දෙමළ කණ්ඩායම සිදු කළ වාරතාව. මෙතනින්, Factly මෙතනින් සහ iVerify Pakistan මෙතනින්.

    “ඊයේ බංග්ලාදේශ දෙදෙනෙකුගේ හිස ගසා දැමූ” බව කියමින් එක්ස් හි ද එම දර්ශනයම හුවමාරු විය. දෙදෙනාගේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ ක්‍රමය සෞදි නිවේදනයේ සඳහන් නොවේ.

    මුහුණු AI මගින් නිර්මාණය කළ ඒවා ය; සැබෑ නස්රුල් වෙනස් කෙනෙකි

    සිංහල කාඩ්පතේ සහ දෙමළ සටහන්වල යොදා ඇති රැවුල සහිත පිරිමියාගේ සහ කළු හිජාබයක් පැළඳි කාන්තාවගේ ඡායාරූප දෙකට මූලාශ්‍රයක් නැත. iVerify Pakistan මෙතනින් SynthID හරහා පරීක්ෂා කළ විට එම යුගල ඡායාරූපය OpenAI මෙවලම්වලින් නිර්මාණය කළ එකක් ලෙසත්, “අත්අඩංගුවට ගත් යුවළ” ඡායාරූපය Google AI මගින් සංස්කරණය කළ හෝ නිර්මාණය කළ එකක් ලෙසත් හඳුනා ගැනිණි. අපගේ දෙමළ කණ්ඩායමට ද SynthID හරහා එම ප්‍රතිඵලයම ලැබී ඇත්තේ මෙලෙසිනි.

    පිරිමි පුද්ගලයාගේ මුහුණේ ඡායාරූපයේ SynthID හඳුනාගත් බව පෙන්වන AI පරීක්ෂණ ප්‍රතිඵලය
    කාන්තාවගේ මුහුණේ ඡායාරූපයේ SynthID හඳුනාගත් බව පෙන්වන AI පරීක්ෂණ ප්‍රතිඵලය

    The Daily Star පළ කළ නස්රුල්ගේ ඡායාරූපය මෙතනින්.

    මක්කම මහා පල්ලියේ පිරිසිදු කිරීමේ සේවක නිල ඇඳුමින් සිටින බංග්ලාදේශ තරුණයා

    Newslink

    ස්වීටීගේ දෙමව්පියන් විසින් ඇයගේ ඡායාරූපයක් අතැතිවසිටින අයුරු

    ඡායාරූප අතැතිව ශෝක වන බංග්ලාදේශයේ වෙනත් පවුලක සාමාජිකයන්

    News link | News link 2

    “මරණ දඬුවම ලැබූ අලුත විවාහක යුවළ” ලෙස හුවමාරු වූ, මස්ජිද් අල්-හරාම් ඉදිරිපිට සිටින යුවළකගේ තවත් ඡායාරූපයක් ඊජිප්තු යුවළකගේ බව India News Network වාර්තා කර ඇත්තේ මෙලෙසිනි.

    අඬන දැරිය, මිනී පෙට්ටි සහ අවමංගල්‍යය වෙනත් පවුල්වල ශෝකයයි

    සොහොනකට පස් දමමින් හඬන කුඩා දැරියගේ වීඩියෝව, මරණ දඬුවමට මාස ගණනාවකට පෙර, 2026 මැයි 26 වැනිදා බංග්ලාදේශ ෆේස්බුක් පිටුවක “දියණියගේ කඳුළු දැක සියලු දෙනා හැඬුවා” යන විස්තරය සමඟ පළ වී ඇති බව අපගේ දෙමළ කණ්ඩායම මෙතනින් සහ iVerify මෙතනින් සොයාගෙන ඇත.

    “යුවළගේ දේහ මව්රටට ළඟා වීම” ලෙස හුවමාරු වූ ගුවන්තොටුපළ මිනී පෙට්ටි වීඩියෝ, ගුවන්තොටුපළේ පැමිණීම් වීඩියෝ කරන බංග්ලාදේශ පරිශීලකයෙකු ඔක්තෝබර් 17 සහ 18 වැනිදා පළ කළ ඒවා වන අතර, තම විස්තර වැරදි බව පවසා ඔහු පසුව සමාව අයැද ඇත්තේ මෙලෙසිනි.

    තවත් මිනී පෙට්ටි වීඩියෝවක් මරණ දඬුවමට දින හයකට පෙර, ඔක්තෝබර් 8 වැනිදා ටික්ටොක් හි තිබිණි. ඔවුන්ගේ භූමදානය ලෙස පෙන්වන අවමංගල්‍ය වීඩියෝව, දම්මාම් හි රිය අනතුරකින් මිය ගිය ලක්ෂ්මිපූර් හි සහෝදරයන් දෙදෙනෙකු වන ෆයිස් අහමඩ් සජීබ් සහ ෆර්හාඩ් හොසේන් සුජාන්ගේ 2026 ජූලි මාසයේ අවමංගල්‍යයයි. ඒ වාර්තාව මෙතනින්. වයිරල් ඡායාරූප එකතුවේ මිනී පෙට්ටියක් ළඟ හඬන පිරිමියාගේ ඡායාරූපය, සංක්‍රමණික සේවකයන්ගේ දේහ ආපසු ගෙන ඒම ගැන 2019 ජූනි මාසයේ Jagonews24 පළ කළ පුවතක ඡායාරූපයක් බව iVerify සොයාගෙන ඇත. මේ සියල්ල අපගේ දෙමළ ලිපියේ මෙතනින් සවිස්තරව දැක්වේ.

    ඔක්තෝබර් 20 වැනිදා වන විට දේහ බංග්ලාදේශයට ළඟා වී නැත. කිසිදු දේහයක් නොපැමිණි බව ගුවන්තොටුපළ සුබසාධන නිලධාරීන් Dhaka Tribune ට තහවුරු කර ඇත්තේ මෙලෙසිනි. පවුල තවමත් දේහය ගෙන්වා ගැනීමට අයදුම් කර නැති බව බ්‍රාහ්මන්බාරියා දිස්ත්‍රික් කොමසාරිස්වරයා පවසා ඇත්තේ මෙලෙසිනි. පවුල් දෙකම දේහ මව්රටට ගෙන එන ලෙස රජයෙන් ඉල්ලා සිටිති.

    මෙය අනෝජන්ගේ නඩුව නොවේ

    ඔක්තෝබර් 17 වැනිදා සිංහල සහ දෙමළ පිටු “අනෝජන්ට අදාළ නවතම තීන්දුව” ලෙස “නබිනායකතුමා ගැන සමාජ මාධ්‍යවල අපහාස කළ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කළ” බව පළ කළ අතර, එක් දෙමළ සටහනක් නැරඹුම් 390,000 ඉක්මවා තිබේ. එය වෙනම සිද්ධි දෙකක් පටලවා ගැනීමකි. සමාජ මාධ්‍ය සටහනක් නිසා ශ්‍රී ලාංකික සේවක අනෝජන් සිවරාසාට නියම වූ මරණ දඬුවම සෞදි ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කර නඩුව නැවත විභාගයට යොමු කළ බව අප පැහැදිලි කළේ මෙලෙසිනි.

    බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනාට මරණ දඬුවම ලැබුණේ පල්ලියක “අශෝභන ක්‍රියාවක්” නිසා ය. ආගමික අපහාසයක් හෝ නබිනායකතුමා ගැන සමාජ මාධ්‍ය සටහනක් ගැන සෞදි නිවේදනයේ හෝ කොන්සල් වාර්තාවල කිසිවක් සඳහන් නොවේ.

    ඇත්ත කුමක් ද, බංග්ලාදේශය තවමත් අසන්නේ කුමක් ද

    මරණ දඬුවම ක්‍රියාත්මක වූ බව සත්‍ය වන අතර, බංග්ලාදේශයට කල්තියා දැනුම් දී නැත. තමන්ට කල්තියා දැනුම් නොදුන් බව ජෙඩා කොන්සල් කාර්යාලය පවසා ඔක්තෝබර් 15 වැනිදා රාජ්‍යතාන්ත්‍රික සටහනක් යැවූ බව වාර්තා වන්නේ මෙලෙසිනි. සැප්තැම්බර් 30 වැනිදා සෞදි අරාබිය විසින් යොමුකර තිබූ සිරකරු ලැයිස්තුවේ දෙදෙනාගෙන් කිසිවෙකුට මරණ දඬුවමක් නියම වී ඇති බව සටහන් වී නැත. ඒ පිළිබඳ මෙතනින්. විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හුමායුන් කබීර් එය “දැඩි කනගාටුදායක” බවත්, තොරතුරු හුවමාරුවේ අඩුපාඩුවක් ඇති බවත් පැවසූ අතර, ඔක්තෝබර් 18 වැනිදා ඩකා හි සෞදි තානාපතිවරයා සමඟ ද, පසු දින ජෙඩා හිදී සෞදි විදේශ අමාත්‍යාංශ නිලධාරියෙකු සමඟ ද මේ ගැන සාකච්ඡා කෙරිණි. එහිදී විනිසුරුවන් 13 දෙනෙකුගෙන් යුත් අභියාචනා මණ්ඩලයක් දඬුවම තහවුරු කළ බව සෞදි නිලධාරීන් පවසා ඇති බව වාර්තා වන්නේ මෙලෙසිනි. තීන්දු පිටපත් සහ නීතිඥ සහාය හා පරිවර්තන පහසුකම් ගැන විස්තර බංග්ලාදේශය ඉල්ලා ඇති අතර, ඔක්තෝබර් 22 වැනිදා Human Rights Support Society සංවිධානය කොන්සල් අසාර්ථකත්වය ගැන ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා ඇත්තේ මෙලෙසිනි.

    රජය විස්තර නොකළ වරදකට, වසර තුනක සිරදඬුවමකින් පසු, තානාපති කාර්යාලයට හෝ පවුල්වලට නොදන්වා, අභිමත දඬුවමක් යටතේ සංක්‍රමණික සේවකයන් දෙදෙනෙකු මරා දමා ඇත. ඔප්පු වූ වරද කුමක් ද, දඬුවම නියම වූයේ කවදා ද, ඔවුන්ට නීතිඥයන් සිටියේ ද, යන්න කිසිදු තොරතුරක් නැත.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    නිගමනය (Conclusion):

    හාදුවක් නිසා බංග්ලාදේශ මධුසමය යුවළක් මක්කමදී හිස ගසා මරා දැමූ බවට හුවමාරු වන ප්‍රකාශය අසත්‍ය ය. 2026 ඔක්තෝබර් 14 වැනිදා පල්ලියක විස්තර නොකළ “අශෝභන ක්‍රියාවක්” නිසා නස්රුල් ඉස්ලාම් අබ්දුල් බසීර් සහ සිටි අක්තාර්ට සෞදි අරාබිය මරණ දඬුවම ක්‍රියාත්මක කළ බව සත්‍ය වුවත්, දෙදෙනා 2023 අගෝස්තු සිට සෞදි රැඳවුමේ සිටි පිරිසිදු කිරීමේ සේවකයන් වන අතර, එකිනෙකා සමඟ විවාහ වී නැත. හාදුවක්, මධුසමයක් හෝ පාකිස්තාන ඔත්තුකරුවෙකු ගැන කිසිදු නිල හෝ පවුල් මූලාශ්‍රයක් විස්තර නොකරයි.

    මරණ දඬුවමේ වීඩියෝව 2015 දර්ශනයකි; ඡායාරූප AI මගින් නිර්මාණය කළ ඒවා ය; අඬන දැරිය සහ අවමංගල්‍යය වෙනත් පවුල්වලට අයත් ය; සටහන් පැවසූ දිනවල මිනී පෙට්ටි බංග්ලාදේශයට ළඟා වී නැත. නඩු විභාගය ගැන පිළිතුරු නැති ප්‍රශ්න සහ කොන්සල් දැනුම්දීමක් නොවීම සැබෑ කරුණු ය. ඒවා ගැන සැලකිලිමත් පාඨකයන් බෙදා ගත යුත්තේ ගොතන ලද කතාව නොව, ලේඛනගත වූ කරුණු ය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.