දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
මෙරට සිටි දැවැන්තම ඇතෙකු ලෙස සැලකුණු කාවන්තිස්ස හස්තියාගේ මරණය පිළිබඳ තවමත් ආන්දෝලනාත්මක මත ඉදිරිපත් වන අතර, අලුත්ම මාතෘකාව බවට පත්ව ඇත්තේ අග්බෝ හස්තියායි. අග්බෝට වෙඩි වැදුණු බවට හුවමාරු වන සමාජ මාධ්ය සටහනක් පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාව මෙසේයි.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
2026 ඔක්තෝබර් 18 වැනිදා වනජීවී තේමාවෙන් සටහන් පළ කරන ෆේස්බුක් පිටුවක පළ වූ මෙම සටහනේ දැක්වෙන්නේ, ඔක්තෝබර් 17 වැනිදා රාත්රියේ සිප්පිකුලම ප්රදේශයේදී ගම්වැසියෙකු අග්බෝ ඇතාට වෙඩි තැබූ බවයි. සටහනට අග්බෝගේ ඡායාරූපයක් ද එක් කර තිබුණා.
“ඊයේ රාත්රියේ සිප්පිකුලම ප්රදේශයේදී අග්බෝ ඇතාට වෙඩි තියලා තියෙනවා. ගම්වැසියෙක් විසින් වෙඩි තියලා කියලා තමයි ආරංචී.
වෙඩි වැදුනට පස්සේ මේ වෙනකන් අග්බෝ ගියපු පැත්තක් හොයාගන්න නෑ.😞😞😞😞
වගා බිමට එන ඕන සතෙක් පලිබෝදකයෙක් කියල හිතන්න කියලා තුවක්කු බෙදපු ඇමතියයි. වනජීවී එකේ ඉන්න පිංපඩි කාලකන්නී ටිකයි තමයි මේවට වගකියන්න ඕන.😡
මේ වනජීවී එකේ ලොකු පුටුවලට සතා සිවුපාවුන්ට ආදරේ මනුස්සයෙක් එනකන් මේ සෙල්ලම නවතින්නේ නෑ.😞
කාවන්තිස්සට වෙච්ච දේ අග්බෝට නොවේවා කියලා හදවතින්ම ප්රාර්ථනා කරනවා🙏🙏🙏”

විමර්ශනයට ලක් කළ ප්රකාශය : 2026 ඔක්තෝබර් 17 වැනිදා රාත්රියේ සිප්පිකුලම ප්රදේශයේදී අග්බෝ ඇතාට වෙඩි තැබීමක් සිදු වී තිබේ ද?
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
කාවන්තිස්සගේ මරණයේ කම්පනය පහව යන්නටත් මත්තෙන් සියලු දෙනාගේ අවධානය යොමු වූයේ අග්බෝ ඇතා වෙතයි. ඒ, අග්බෝට ද වෙඩි වැදී ඇති බවට වන කසුකුසුවක් සමාජ මාධ්ය ඇතුළු විවිධ පාර්ශ්වවලින් පැතිරීම හේතුවෙනි.
විශේෂ මෙහෙයුමකින් අග්බෝ නාච්චාදූවේදී සොයා ගැනේ
ඒ අනුව පරිසර අමාත්යවරයාගේ ඉල්ලීමක් මත, ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගයෙන් වනජීවී නිලධාරීන් සහ යුද හමුදා සාමාජිකයින්ගෙන් යුතු කණ්ඩායමක් 2026 ඔක්තෝබර් 18 වැනිදා තිරප්පනේ වනයේ අග්බෝ සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා. ඔක්තෝබර් 19 වැනිදා තිරප්පනේ වනජීවී සංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින්ට අග්බෝ නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයා ගැනීමට හැකි වුණා. ශ්රී ලංකා යුද හමුදාව මෙම පුවත අග්බෝගේ ඡායාරූප ද සහිතව වාර්තා කළ අතර, එහි අග්බෝට වෙඩි වැදී ඇති බවක් සඳහන් වී නොතිබුණා. වනජීවී නිලධාරියෙකු උපුටා දක්වමින් යුද හමුදාව වාර්තා කළේ, ඇතා යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවන බවයි.
කිසිදු ප්රධාන මාධ්යයක් අග්බෝට වෙඩි වැදුණු බව වාර්තා කර නැහැ
අග්බෝ සොයා කළ මෙහෙයුමට සහ අග්බෝ හමුවීමට ප්රධාන ධාරාවේ මාධ්ය මෙලෙස, මෙලෙස සහ මෙලෙස පුළුල් ප්රචාරයක් ලබා දී තිබුණා. කෙසේ වෙතත් ඉන් කිසිදු මාධ්යයක් අග්බෝට වෙඩි වැදුණු බවක් වාර්තා කර නොතිබුණා.
මෙහෙයුමෙන් පසු තිරප්පනේ අඩවි ආරක්ෂක සහකාර බුද්ධික අතුකෝරල ඇතුළු නිලධාරීන් ඇතා පිටුපසින් සිටිමින්, ඇතාගේ තත්ත්වය සහ සමාජ මාධ්ය ප්රචාර අසත්ය බව පැහැදිලි කරන වීඩියෝවක් ද ප්රධාන ධාරාවේ මාධ්ය මෙලෙස වාර්තා කර තිබුණා.
තිරප්පනේ අඩවි ආරක්ෂක සහකාර: “වෙඩි වැදුණු බවට වන සටහන් සම්පූර්ණයෙන් අසත්යයි”
මේ සම්බන්ධයෙන් විමසීමට අප, අග්බෝ සොයා කළ මෙහෙයුමේදී කණ්ඩායමට නායකත්වය දුන් තිරප්පනේ අඩවි වනජීවී බීට්ටු කාර්යාලයේ අඩවි ආරක්ෂක සහකාර බුද්ධික අතුකෝරල මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගත්තා. ඔහු සඳහන් කළේ, අග්බෝට වෙඩි වැදී ඇති බවට වන සටහන් සම්පූර්ණයෙන් අසත්ය බවයි.
අග්බෝ යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවන බවත්, මේ වනවිට මද සමය ගත කරන අග්බෝ වනජීවී නිලධාරීන් නිරන්තරයෙන් නිරීක්ෂණය කරන බවත් ඔහු පැවසුවා. මෙහෙයුමෙන් පසුවත් තම කණ්ඩායම අග්බෝ නිරීක්ෂණය කළ බවත්, එවිට ද ඇතා රංචුවක් අසල සිටි බවත් ඔහු අප සමඟ කියා සිටියා.
මෙවර ආරක්ෂක අංශ මැදිහත් වී අග්බෝ සෙවීමට හේතු වූයේත්, අග්බෝට වෙඩි වැදුණු බවට පැතිරගිය අසත්ය ප්රචාර බව ද ඔහු පැවසුවා.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද ඔක්තෝබර් 19 වැනිදා සිය නිල Facebook පිටුවේ, අග්බෝ නාච්චාදූව වැව් රක්ෂිතයේදී හමු වූ බව වීඩියෝ දර්ශන සහිතව පළ කළා. ඇතා මද සමය ගත කරමින් නිරෝගීව පසුවන බව නිලධාරීන්ට නිරීක්ෂණය වූ බව ද එහි සඳහන් වුණා.

ප්රාදේශීය මාධ්යවේදීන් ද ප්රචාරය ප්රතික්ෂේප කරනවා
අප ප්රාදේශීය මාධ්යවේදීන්ගෙන් ද මේ පිළිබඳ විමසුවා. සිප්පිකුලම ප්රදේශයේදී අග්බෝට වෙඩි වැදුණු බවට වන සමාජ මාධ්ය සටහන් අසත්ය බව ඔවුන් ද තහවුරු කළා.
අග්බෝ මීට පෙර ද වෙඩි ප්රහාරවලට ලක් වී තිබෙනවා
2023 ජුනි මාසයේදී පමණ තිරප්පනේ ප්රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වීමෙන් අග්බෝගේ ඉදිරි වම් පාදයට බරපතළ තුවාල සිදු වුණා. වනජීවී නිලධාරීන් සහ පශු වෛද්යවරුන් මාස ගණනාවක් ප්රතිකාර කරමින් සිටියදී, එම වසරේම ඔක්තෝබර් මාසයේදී අග්බෝ නැවතත් වෙඩි ප්රහාරයකට ලක් වූ බව මාධ්ය වාර්තා කළා. සුවය ලැබීමෙන් පසු අග්බෝ තිරප්පනේ අවට ගම්මානවලට පැමිණ වගාබිම්, ගෙවතු මෙන්ම නිවාසවලට ද හානි කරමින් ආහාර සොයන බව ප්රදේශවාසීන් පවසා තිබුණා. 2024 ජූලි මාසයේදී පුද්ගලයෙකු කැටපොලයකින් ඇතාගේ ඇසට විද්ද සිදුවීමක් ද වාර්තා වුණා. 2025 නොවැම්බර් මාසයේදී අග්බෝ සිය රංචුව සොයා මහකනදරාව වැව් තාවුල්ලට පැමිණි බව වීඩියෝ දර්ශන සහ ඡායාරූප සහිතව මාධ්ය වාර්තා කළා.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයට අනුව, 2026 ඔක්තෝබර් 17 වැනිදා රාත්රියේ අග්බෝ ඇතාට වෙඩි තැබූ බවට සමාජ මාධ්යයේ පැතිරෙන සටහන් අසත්යයි.
ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන් ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ කළ මෙහෙයුමේදී, ඔක්තෝබර් 19 වැනිදා අග්බෝ නාච්චාදූව වැව් රක්ෂිතයේදී සොයා ගත්තා. ඇතා යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවන බව ශ්රී ලංකා යුද හමුදාව, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මෙහෙයුමට නායකත්වය දුන් අඩවි ආරක්ෂක සහකාරවරයා තහවුරු කළ අතර, අග්බෝට වෙඩි වැදුණු බවට කිසිදු සාක්ෂියක් හමු වුණේ නැහැ.


