දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
ශ්රී ලංකාව ආසියාවේ දෙවැනි දුප්පත්ම රට බවට පත්ව ඇති බවත්, පළමු ස්ථානයේ සිටින්නේ ඇෆ්ගනිස්ථානය බවත් දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ සටහනක් හුවමාරු විය. ලෝක බැංකුවේ, IMF හි සහ එක්සත් ජාතීන්ගේ නවතම නිල දත්ත අනුව ශ්රී ලංකාවේ සැබෑ ස්ථානය කුමක්ද යන්න සොයා බැලීමට අප සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
“ආසියාවේ 2වෙනි දුප්පත්ම රට බවට පත් කරපු රජතුමා” සහ “01 ඇෆ්ගනිස්ථානයයි, 2 ශ්රී ලංකාව” යනුවෙන් සඳහන් කරමින් සටහන් පෙළක් හුවමාරු වී තිබු අතර ඒ සඳහා කිසිදු දත්ත මූලාශ්රයක් හෝ ශ්රේණිගත කිරීමක සබැඳියක් ලබාදී තිබුනේ නැහැ.

විමර්ශනයට ලක් කළ ප්රකාශය : “ශ්රී ලංකාව ආසියාවේ දෙවැනි දුප්පත්ම රට බවට පත්ව ඇති අතර, ආසියාවේ දුප්පත්ම රට ඇෆ්ගනිස්ථානයයි.” අප පරීක්ෂා කළේ ශ්රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය ආසියානු රටවල් අතර ඇත්තේ කුමන ස්ථානවල ද යන්න, ආදායම, දරිද්රතාව සහ මානව සංවර්ධනය යන දර්ශක කිහිපයක් ඔස්සේය.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම) :
රටක් දුප්පත්ද යන්න තීරණය කිරීමට භාවිත කළ හැකි එකම මිනුමක් නොමැත. එබැවින් අප ආර්ථික නිෂ්පාදනය, ආදායම් වර්ගීකරණය, දරිද්රතාව සහ ජන ජීවන තත්ත්වය යන දර්ශක වෙන වෙනම පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා. අදාළ දත්ත ගබඩා සහ වාර්තා පරීක්ෂා කළ හැකි සබැඳි ද එක් එක් කොටසේ ඇතුළත් කර ඇත.
IMF දත්ත අනුව ආසියාවේ පහළම ස්ථාන දෙක හිමි වන්නේ යේමනයට සහ ඇෆ්ගනිස්ථානයට ය
ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) 2026 ඔක්තෝබර් ලෝක ආර්ථික දැක්ම දත්ත මෙතනින් පරීක්ෂා කළ විට, 2025 වර්ෂයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (නාමික) අඩුම ආසියානු ආර්ථිකය යේමනය (ඇමරිකානු ඩොලර් 418) වන අතර දෙවැනි අඩුම ඇෆ්ගනිස්ථානය (ඩොලර් 450) වේ. තුන්වැනි ස්ථානයේ සිටින නැගෙනහිර ටිමෝරයේ අගය ඩොලර් 1,464කි. ශ්රී ලංකාවේ අගය ඩොලර් 5,004කි. දත්ත ඇති ආසියානු ආර්ථිකයන් 48ක් අතරින් අප ගණනය කළ පරිදි ශ්රී ලංකාව පහළ සිට 18 වැනි ස්ථානයේ (ඉහළ සිට 31 වැනි ස්ථානයේ) සිටී. එනම් ශ්රී ලංකාවට වඩා වැඩි අගයක් ඇති ආසියානු ආර්ථිකයන් 30කි.
මිලදී ගැනීමේ ශක්ති සමානතාව (PPP) අනුව ද ලංකාව මෙවැනි හා සමාන ස්ථානයක සිටියි. පහළම ස්ථාන දෙක යේමනය (ජාත්යන්තර ඩොලර් 1,589) සහ ඇෆ්ගනිස්ථානය (2,269) වන අතර ශ්රී ලංකාව (17,063) පහළ සිට 18 වැනි ස්ථානයේ සිටී. PPP දත්ත මෙතනින්.
| පහළ සිට ස්ථානය | නාමික, US$ (2025) | PPP, ජාත්යන්තර ඩොලර් (2025) |
|---|---|---|
| 1 | යේමනය: 418 | යේමනය: 1,589 |
| 2 | ඇෆ්ගනිස්ථානය: 450 | ඇෆ්ගනිස්ථානය: 2,269 |
| 3 | නැගෙනහිර ටිමෝරය: 1,464 | මියන්මාරය: 5,039 |
| 4 | මියන්මාරය: 1,501 | නැගෙනහිර ටිමෝරය: 5,058 |
| 5 | නේපාලය: 1,536 | ටජිකිස්ථානය: 6,165 |
| 6 | ටජිකිස්ථානය: 1,693 | නේපාලය: 6,174 |
| 7 | පාකිස්තානය: 1,697 | පාකිස්තානය: 7,016 |
| 8 | ලාඕසය: 2,171 | කාම්බෝජය: 8,426 |
| 18 | ශ්රී ලංකාව: 5,004 | ශ්රී ලංකාව: 17,063 |
මූලාශ්රය: IMF World Economic Outlook, 2026 ඔක්තෝබර් (DataMapper: NGDPDPC සහ PPPPC). ස්ථාන ගණනය (දත්ත නොමැති උතුරු කොරියාව, සිරියාව සහ පලස්තීනය ඇතුළත් නොවේ).
එබැවින් ඇෆ්ගනිස්ථානය “පළමු” ස්ථානයේ යැයි කීම පවා IMF දත්ත අනුව නිවැරදි නොවේ. අඩුම අගය යේමනයට අයත් ය.
ලෝක බැංකුව ශ්රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කර ඇත
ලෝක බැංකුව රටවල් වර්ගීකරණය කරන්නේ ඇට්ලස් ක්රමයට ගණනය කළ ඒක පුද්ගල දළ ජාතික ආදායම (GNI per capita) පදනම් කරගෙනය. 2026 ජූලි 1 සිට 2027 ජූනි 30 දක්වා අදාළ වර්ගීකරණය මෙතනින්. ශ්රී ලංකාව ඉහළ මැදි ආදායම් ආර්ථිකයකි. 2025 දී ශ්රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඩොලර් 4,670ක් වූ අතර එය ඉහළ මැදි කාණ්ඩයේ අවම සීමාව වන ඩොලර් 4,636 ඉක්මවා ඇත්තේ ඩොලර් 34කිනි.
ලෝක බැංකුවේ දත්ත ගබඩාවේ මෙතනින්. 2025 අගයක් ඇති ආසියානු ආර්ථිකයන් 41ක් අතරින් ශ්රී ලංකාව පහළ සිට 15 වැනි ස්ථානයේ සිටී. ඊට පහළින් මියන්මාරය (ඩොලර් 1,320), පාකිස්තානය (1,500), නැගෙනහිර ටිමෝරය (1,510), නේපාලය (1,570), ඉන්දියාව (2,760), බංග්ලාදේශය (2,840) වැනි රටවල් සිටී. ඇෆ්ගනිස්ථානය සහ යේමනය සඳහා 2025 අගයක් ලෝක බැංකු දත්තවල පළ කර නැත.
මෙය ශ්රී ලංකාව නැවත ඉහළ මැදි ආදායම් රටක් බවට පත් වූ අවස්ථාව ගැන අප කළ විමර්ශනය මෙතනින්. ආදායම් වර්ගීකරණය යනු දුප්පත්කම අනුව රටවල් ශ්රේණිගත කිරීමක් නොවේ.
ශ්රී ලංකාවේ දරිද්රතාව ඉහළ ය, එහෙත් එය ඇෆ්ගනිස්ථානයේ මට්ටමට ආසන්න නොවේ
ලෝක බැංකුව 2026 ඔක්තෝබර් මාසයේ ශ්රී ලංකාවේ දරිද්රතා ඇස්තමේන්තු ශ්රම බල සමීක්ෂණ දත්ත මත පදනම්ව සංශෝධනය කරනු ලැබීය. දිනකට ඩොලර් 4.20ක (2021 PPP) රේඛාව යටතේ දරිද්රතාව 2019 දී 11.5%ක් වූ අතර 2024 සඳහා ඇස්තමේන්තුව 18.4%ක් ලෙස සංශෝධනය විය (පෙර ඇස්තමේන්තුව 25.0%). 2025 සඳහා 16.9%ක් යනු නව්ය ඇස්තමේන්තුවකි (nowcast).
ලෝක බැංකුවම පෙන්වා දෙන පරිදි මෙම සංශෝධිත ශ්රේණිය නිල සංඛ්යාලේඛනයක් නොවේ. නිල මිණුම් ලකුණ ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයයි (2019: 14.3%, මෙතනින්). එබැවින් කලින් බහුලව උපුටා දැක්වුණු 24.5% (ඩොලර් 3.65, 2017 PPP) අගය තවදුරටත් නවතම අගය ලෙස සැලකිය නොහැකිය.
ඇෆ්ගනිස්ථානය සඳහා ලෝක බැංකුව පළ කර ඇති ජාතික දරිද්රතා රේඛාව යටතේ අවසන් අගය 2019 වසරට අදාළ 47.1%කි (මෙතනින්). එම වසරටම ශ්රී ලංකාවේ අගය 14.3%කි. ජාතික රේඛා රටින් රටට වෙනස් බැවින් මෙම අගයන් නිර්වද්ය ලෙස සැසඳිය නොහැකිය. එහෙත් දත්ත තිබූ අවසන් වසරේ ඇෆ්ගනිස්ථානයේ අගය ශ්රී ලංකාවේ අගය මෙන් තෙගුණයකට වඩා විය. 2019 න් පසු ලෝක බැංකු ශ්රේණියේ අගයක් නොමැති බැවින් ඇෆ්ගනිස්ථානයේ වත්මන් දරිද්රතාව ලෝක බැංකු දත්ත මඟින් මැනිය නොහැකිය.
තවද, බහුමාන දරිද්රතා (Multidimensional Poverty) දර්ශකයේ 2026 යාවත්කාලීන වාර්තාවට අනුව මෙතනින් 2022/23 දී ඇෆ්ගනිස්ථානයේ ජනගහනයෙන් 64.9%ක් බහුමාන දිළිඳුය. ශ්රී ලංකාව සඳහා අගය 2.9%කි. එහෙත් එය 2016 සමීක්ෂණයක් මත පදනම් වූ පැරණි දත්තයක් බැවින් මෙම සංසන්දනය දළ මග පෙන්වීමක් ලෙස පමණක් සැලකිය යුතුය.
මානව සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ අඩුම සංවර්ධිත රටවල් ලැයිස්තුව ශ්රී ලංකාව ඇෆ්ගනිස්ථානයට වඩා බොහෝ ඉදිරියෙන් තබයි
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ 2025 මානව සංවර්ධන වාර්තාවට (2023 දත්ත) අනුව මෙතනින්. ශ්රී ලංකාව රටවල් 193ක් අතරින් 89 වැනි ස්ථානයේ (දර්ශක අගය 0.776, ඉහළ මානව සංවර්ධනය) සිටින අතර ඇෆ්ගනිස්ථානය 181 වැනි (0.496) සහ යේමනය 184 වැනි (0.470) ස්ථානවල සිටී. ගෝලීය කුසගින්න දර්ශකයේ 2026 අගය ශ්රී ලංකාව සඳහා 10.2ක් (මෙතනින්) වන අතර ඇෆ්ගනිස්ථානය සඳහා 28.6කි (මෙතනින්).
එසේම, එක්සත් ජාතීන්ගේ අඩුම සංවර්ධිත රටවල් (LDC) ලැයිස්තුවේ ආසියානු රටවල් 8ක් සිටින අතර ඒ අතර ඇෆ්ගනිස්ථානය සහ යේමනය ඇතත් ශ්රී ලංකාව නැත (මෙතනින්).
| දර්ශකය | ශ්රී ලංකාව | ඇෆ්ගනිස්ථානය | යේමනය | මූලාශ්රය |
|---|---|---|---|---|
| ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, නාමික (2025) | US$ 5,004 | US$ 450 | US$ 418 | IMF WEO, 2026 ඔක්තෝබර් |
| ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය, PPP (2025) | 17,063 | 2,269 | 1,589 | IMF WEO, 2026 ඔක්තෝබර් |
| ඒක පුද්ගල දළ ජාතික ආදායම, ඇට්ලස් (2025) | US$ 4,670 | පළ කර නැත | පළ කර නැත | ලෝක බැංකුව (WDI) |
| මානව සංවර්ධන දර්ශකය (2023) | 0.776 (89) | 0.496 (181) | 0.470 (184) | UNDP, HDR 2025 |
| ගෝලීය කුසගින්න දර්ශකය (2026) | 10.2 | 28.6 | අප පරීක්ෂා කළේ නැත | GHI 2026 |
| ජාතික දරිද්රතා රේඛාව, ජනගහන ප්රතිශතය (2019) | 14.3% | 47.1% | අප පරීක්ෂා කළේ නැත | ලෝක බැංකුව (WDI), DCS |
| බහුමාන දරිද්රතාව, ජනගහන ප්රතිශතය | 2.9% (2016) | 64.9% (2022/23) | අප පරීක්ෂා කළේ නැත | OPHI/UNDP, MPI 2026 |
| අඩුම සංවර්ධිත රටවල් ලැයිස්තුව | නැත | ඇත | ඇත | UN/UNCTAD |
*අප පරීක්ෂා කළේ නැත යනුවෙන් සඳහන් වන්නේ, යේමනයට අදාළ නිල දත්ත සඳහන් නොවීම හේතුවෙනි.
ශ්රී ලංකාවේ ප්රකෘතිය වීම අස්ථාවර වේ.
ශ්රී ලංකාවේ දරිද්රතාව 2019 ට වඩා තවමත් ඉහළ මට්ටමක පවතින අතර (ලෝක බැංකුවේ සංශෝධිත ඇස්තමේන්තුවට අනුව 11.5% සිට 2024 දී 18.4% දක්වා) ඉහළ මැදි ආදායම් සීමාව ඉක්මවා ඇත්තේ ඩොලර් 34ක ඉතා පටු පරතරයකිනි. අතීතයේ ද ශ්රී ලංකාව 2019 දී ඉහළ මැදි ආදායම් රටක් වී 2020 දී නැවත පහළ මැදි කාණ්ඩයට පැමිණ තිබුණි.
මෙම දුෂ්කරතා සැබෑ වුවද ඒවා ශ්රී ලංකාව ආසියාවේ දෙවැනි දුප්පත්ම රට බවට සාක්ෂියක් නොවේ. ශ්රී ලංකාවේ දරිද්රතාව ගැන ඉන්පසු අප කළ විමර්ශන මෙතනින් සහ මෙතනින් කියවිය හැකිය. “ලොව දෙවැනි දිළිඳුම රට” යන ව්යාජ ප්රකාශයක් ගැන අපගේ පෙර විමර්ශනය මෙතනින් ද, වේගවත්ම සංවර්ධනය වන රට ගැන පෙර විමර්ශනය මෙතනින්.
මෙම ශ්රේණිගත කිරීම්වල සීමාවන්
IMF හි 2025 අගයන් ඇස්තමේන්තු වන අතර සංශෝධනයට ලක් විය හැකිය. උතුරු කොරියාව, සිරියාව සහ පලස්තීනය සඳහා දත්ත නොමැති අතර ඇෆ්ගනිස්ථානයේ දත්තවල ගුණාත්මකභාවය සීමිතය. ඇෆ්ගනිස්ථානය සඳහා 2026 අනාවැකි IMF දත්ත ගබඩාවේ නොමැත. ශ්රේණිගත කිරීම් දර්ශකය අනුව වෙනස් වන අතර, ඉහත ස්ථාන ගණන් අපගේම ගණනයකි. එහෙත් අප පරීක්ෂා කළ කිසිදු දර්ශකයකින් ශ්රී ලංකාව ආසියාවේ දෙවැනි දුප්පත්ම රට වන බවට සාක්ෂි නොමැත.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයට අනුව, ශ්රී ලංකාව ආසියාවේ දෙවැනි දුප්පත්ම රට බවට පත්ව ඇති බව දැක්වෙන ප්රකාශ අසත්ය වේ.
IMF හි 2026 ඔක්තෝබර් ලෝක ආර්ථික දැක්ම අනුව 2025 දී ආසියාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අඩුම රටවල් වන්නේ යේමනය සහ ඇෆ්ගනිස්ථානයයි. ශ්රී ලංකාව දත්ත ඇති ආර්ථිකයන් 48ක් අතරින් පහළ සිට 18 වැනි ස්ථානයේ සිටී. ලෝක බැංකුව ශ්රී ලංකාව ඉහළ මැදි ආදායම් රටක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාව, ගෝලීය කුසගින්න දර්ශකය සහ අඩුම සංවර්ධිත රටවල් ලැයිස්තුව ද ශ්රී ලංකාව ඇෆ්ගනිස්ථානයට වඩා බොහෝ ඉදිරියෙන් තබයි. එහෙත් ශ්රී ලංකාවේ දරිද්රතාව 2019 ට වඩා ඉහළ මට්ටමක පවතින බව ලෝක බැංකුවේ නවතම ඇස්තමේන්තුවලින් පෙනේ.
සටහන: ඇෆ්ගනිස්ථානය සඳහා ලෝක බැංකුවේ ඇට්ලස් ආදායම් සහ ජාත්යන්තර රේඛා දරිද්රතා දත්ත පළ කර නැති බැවින් එම සංසන්දනය IMF, UNDP සහ ගෝලීය දර්ශක මත පදනම් වේ.



