Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියගේ ප්‍රකාශයකට වැරදි අර්ථකතනයක්!

    2021-04-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ඇතැම් ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල පිළිකා කාරකයක් වන “ඇෆ්ලටොක්සින්” ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කිරීමත් සමඟම පසුගියදා සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති වුණා. මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ජාතික සංවර්

    ඇතැම් ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල පිළිකා කාරකයක් වන “ඇෆ්ලටොක්සින්” ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාශයේ ආහාර ආරක්ෂණ ඒකකය තහවුරු කිරීමත් සමඟම පසුගියදා සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති වුණා.

    මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් “පිළිකා ඇති කරන පොල්තෙල් සහ රජයේ ප්‍රතිපත්තිය” මැයෙන් ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතා සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය ද සමගින් සයිබර් සමුළුවක් පවත් වනු ලැබුවා. එම අවස්ථාවේ සිද්ධිකා සේනරත්න මහත්මිය පැවසූ බවට සඳහන් කරමින් ඇතැම් අසත්‍ය සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. මේ ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි. 

    සමාජ මාධ්‍ය සටහන්:

    “Buwa ツ”  නම් ෆේස්බුක් පිටුවන සඳහන් වුණේ, “ලංකාවට ඔය කියන පොල් තෙල් පිටරටින් ගේන්නේ 2016 ඉඳලා. ඒ කියන්නේ යහපාලන කාලේ ඉඳලා. ඒ වෙනකොට කිසිම පරීක්ෂාවක් නැතුව වෙළඳපොලට දාලත් තියනවා. ඒ දවස්වල ඉඳන් ලංකාවේ මිනිස්සු කෑවේ ඔය තෙල්ම තමයි.. ඒත් 2020 දී  තමයි තෙල් පරීක්ෂා කරන්න ඇප්ලටොක්සීන් කියන පරීක්ෂාව කරන් ආරම්භ කරන්නේ.. ඒකෙදී තමයි තහවුරු වෙන්නේ මේ පොල්තෙල්වල පිළිකාකාරක අඩංගු වෙනවා කියලා…ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න” යනුවෙනි. එම සටහන පහතින්.

    Facebook | Archived Link

    “වෙල්මා – Velma” නමැති ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ, 

    “ආනයනික පොල්තෙල් සඳහා ඇප්ලටොක්සීන් පරීක්ෂාව ඇරඹුණේ 2020 නොවැම්බර් මාසයේදී, ඒ හේතුවෙන් දැන් පිළිකාකාරක පොල්තෙල් හඳුනා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. පසුගිය සමයේදී එවන් පරීක්ෂාවක් සිදු නොවූ බැවින් පිළිකාකාරක පොල්තෙල් නොදැනුවත්වම ජනතාව පරිභෝජනය කර තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න” යනුවෙනි

    Facebook | Archived Link

    ඉහත සටහන් දෙකේම දක්වා ඇත්තේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පැවසූ බවට හඟවා තිබුණා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් මේ සම්බන්ධයෙන් zoom තාක්ෂණය ඔස්සේ හා ෆේස්බුක් සජීවී වීඩියෝ දසුන් ඔස්සේ ඊයේ දීනයේදී පැවැත්වූ සයිබර් සාකච්ඡාවේ වීඩියෝව නැරඹීමේදී දැකගන්නට ලැබුණේ, මෙහි පළමු සටහනේ සඳහන් පරිදි ප්‍රකාශයක්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරිය පවසා නැති බවයි. 

    ඇය එහිදී සඳහන් කළේ, 2020 සැප්තැම්බර් මස සිට මෙම පිරිපහදු නොකළ පොල්තෙල් විශාල ප්‍රමාණයෙන් මෙරටට ගෙන්වා ඇති බවයි. යහපාලනය යන වචනය හෝ එවකට සිටි රජය යනුවෙන් හෝ එලෙස හැඟවෙන කිසිදු වචනයක් ඇය භාවිතා නොකළ බව ද අපගේ නිරීක්ෂණයේදී පෙනුණා.

    එමෙන්ම “ඒ වෙනකොට කිසිම පරීක්ෂාවක් නැතුව එම තෙල් වෙළඳපොලට දාලත් තියනවා. ඒ දවස්වල ඉඳන් ලංකාවේ මිනිස්සු කෑවේ ඔය තෙල්ම තමයි.. ” යන්න සමුළුව පැවති කාල සීමාවේදී ඇය සඳහන් නොකළ අතර ඇය මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා දී තිබුනේ, Sri Lanka Mirror පුවත් වෙබ් අඩවිය වෙනුවෙන් පෙනී සිටි කැළුම් ශිවන්ත යන අය නැඟූ පැනයකට පිළිතුරු දෙමිනි.

    ඔහු සඳහන් කළේ, මීට පෙර සිට ගෙන්වූ පිරිපහදු නොකළ තෙල් වල “ඇෆ්ලටොක්සින්“ අඩංගු බව පරීක්ෂා නොකළ බවට මෙම ප්‍රශ්නය වෙනුවෙන් මැදිහත් වූ  කණ්ඩායම් චෝදනා කරන බවයි. ඔහු අසන්නේ මෙම පරීක්ෂාව පෙර සිටම කළාද, කවදා සිටද මෙම පරීක්ෂාව සිදු කරන්නේ යන්නයි.

    ඒ අනුව, ඊට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, එම චෝදනාව පිළිනොගන්නා බවත් මීට පෙර සිටම “ඇෆ්ලටොක්සින්” පරීක්ෂාව සිදු කළ බවත් 2019 වසරේ “ඇෆ්ලටොක්සින්”  අධිකව තිබූ පිරිපහදු නොකළ තෙල් ප්‍රතිඅපණයන කිරීමට 2019 නිර්දේශ දුන් බවයි. මේ සම්බන්ධයෙන් සඳහන් වීඩියෝව පහතින් දක්වා තිබේ. (මෙම කොටස වීඩියෝවේ 32.00 -35.14 සඳහන් වෙයි) 

    ඉහත සටහන් දෙකෙන්ම සඳහන් වන කරුණු නොමඟ යවන සුළු බවට මෙයින් තහවුරු වෙයි.

    මේ සම්බන්ධයෙන් අප වැඩිදුරටත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මහත්මියගෙන් විමසීමක් කළා. ඇය සඳහන් කළේ, කිසිම අවස්ථාවක ඇය යහපාලන ආණ්ඩුව යන වචනය භාවිතා නොකළ බවත් පොදුවේ නියාමනයන් හරිහැටි සිදු කළ යුතු බවත් එම අවස්ථාවේ පැවසූ බවයි ඇය සඳහන් කළේ. සමාජ මාධ්‍ය ඔස්සේ ඇය සඳහන් නොකළ දෑ ප්‍රචාරණය වීම හේතුවෙන් තමන් කනස්සලෙන් පසුවන බවත් ඇය සඳහන් කළා. 

    ඇෆ්ලටොක්සින් පරීක්ෂාවන් පිලිබඳව මීට පෙර පළවී තිබු මාධ්‍ය සටහන් ද අප අධ්‍යයනය කල අතර එහිදී 2019 සැප්තැම්බර් මස මෙසේ ඇෆ්ලටොක්සින් අඩංගු බව හඳුනාගෙන තිබු රේගුවේ ගබඩා කර තිබු වියළි මිරිස් තොගයක් වෙළඳපලට මුදාහළ ආනයනකරුවන්ට විරුද්ධව නීතිමය කටයුතු ගැනීම පිළිබඳව සටහන් ද පලවී තිබෙනු ද මෙසේ දැක ගන්නට ලැබුණා

    Conclusion (අවසාන නිගමනය):

    ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දී තිබු වීඩියෝ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය සඳහන් නොකළ ප්‍රකාශයක් ජනතාව නොමග යැවීම සඳහා ඇය විසින් කළ ප්‍රකාශයක් ලෙස වැරදි අර්ථකතනයකින් ඉහත සටහන් වල දක්වා ඇති බව මෙම කරුණු විමසුමේ දී තහවුරු වුණි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-04-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.