Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගුරු දිනයේ ආහාර සහ තෑගි තහනම් කිරීමේ නව නියෝගයක් ?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පාසල්වල ගුරු දින උත්සව පැවැත්වෙන විට, ගුරුවරුන්ට තෑගි මිලදී ගැනීම සඳහා පන්ති මට්ටමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම බොහෝ විට ආන්දෝලනයට තුඩු දෙන කරුණක්. එවන් පසුබිමක, මෙවර ගුරු දිනය (ඔක්

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    පාසල්වල ගුරු දින උත්සව පැවැත්වෙන විට, ගුරුවරුන්ට තෑගි මිලදී ගැනීම සඳහා පන්ති මට්ටමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම බොහෝ විට ආන්දෝලනයට තුඩු දෙන කරුණක්. එවන් පසුබිමක, මෙවර ගුරු දිනය (ඔක්තෝබර් 6) නිමිත්තෙන්, ගුරු දින උත්සවවලදී ආහාර සහ තෑගි පිරිනැමීම අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයකින් තහනම් කළා යැයි කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. එය අලුත් නියෝගයක් යැයි විශ්වාස කරමින් බොහෝ දෙනා එය සමාජ මාධ්‍ය තුළ හුවමාරු කරගෙන තිබීම හේතුවෙන් අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කළෙමු.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ගුරු දින උත්සවවලදී ආහාර සහ තෑගි පිරිනැමීම තහනම් යැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවේදනයක් ලෙස පළ වූ ෆේස්බුක් සටහනේ තිර රූපය

    Facebook| Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්‍ශනය කිරීම) :

    නව චක්‍රලේඛයක් ගැන වාර්‍තා නොවේ

    අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු දිනයට පෙර එවැනි තහනමක් නියෝග කර තිබුණේ ද යන්න ප්‍රධාන මාධ්‍ය ධාරා හරහා පරීක්ෂා කිරීමේදී, එවැනි නියෝගයක් ගැන කිසිදු ප්‍රවෘත්ති වාර්‍තාවක් දැක ගන්නට නොලැබුණි.

    2016 චක්‍රලේඛයෙන් ගුරුවරුන්ට තෑගි දීම දැනටමත් තහනම් කර ඇත

    අධ්‍යාපන අමාත්‍යාංශය 2016 නොවැම්බර් 18 වන දින නිකුත් කළ 33/2016 දරන චක්‍රලේඛයෙන් ගුරුවරුන්ට තෑගි පිරිනැමීම සහ ඒ සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම පෙර සිටම තහනම් කර තිබේ. එම චක්‍රලේඛයෙන් පසු වත්මන් ආණ්ඩුව යටතේ ගුරු දිනය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කළ බවට වාර්තාවක් දැකගන්නට නොලැබේ.

    මේ පිළිබඳව අප තව දුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කරනු ලැබීය.

    නව චක්‍රලේඛයක් නිකුත් කර නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය තහවුරු කරයි

    අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරියගෙන් අප කළ විමසීමේදී ඇය සඳහන් කළේ,

    මෙය 2016 සිට පවතින රීතියක් බවත්, දැනට දැඩි ලෙස ක්‍රියාත්මක වන බවත් නව චක්‍රලේඛයක් හෝ නිවේදනයක් වත්මන් ආණ්ඩුව විසින් නිකුත් කර නොමැති බවයි.

    චක්‍රලේඛ අංක 33/2016 මගින් ගුරුවරුන්ට තෑගි සඳහා මුදල් එකතු කිරීම තහනම්

    ශිෂ්‍යයන් සහ දෙමාපියන් විසින් ගුරුවරුන්ට ත්‍යාග පිරිනැමීම පිළිබඳ චක්‍රලේඛ අංක 33/2016 හි සඳහන් වූයේ, වසර අවසානයේදී සහ ගුරු දිනයේදී පන්ති ගුරුවරුන්ට සහ විෂය ගුරුවරුන්ට ත්‍යාග ලබා දීම සඳහා පන්ති මට්ටමින් මුදල් එකතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයට දැනගන්නට ලැබී ඇති බවට එම චක්‍රලේඛයේ සඳහන් කර තිබුණා.

    කලින් නිකුත් කළ උපදෙස් තිබියදීත්, සමහර කණ්ඩායම් දෙමාපියන්ගෙන් මුදල් එකතු කර ත්‍යාග ලබා දීම දිගටම කළ බවත්, ගුරුවරුන් එවැනි ත්‍යාග සහ තෑගි භාර ගැනීම දිගටම කළ බවත් එම චක්‍රලේඛයේ සඳහන් වුණා. එවැනි අවස්ථාවලදී ආර්ථික අපහසුතා ඇති දෙමාපියන් අපහසුතාවට පත් වන බවත්, ඔවුන්ගේ දරුවන් පාසලේදී මානසික පීඩාවකට ලක් වන බවත්, නොමිලේ අධ්‍යාපනය ලැබීමේ අයිතියටද එය බලපාන බවත් එහි පෙන්වා දී තිබුණා.

    ඒ අනුව විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ කාර්‍ය මණ්ඩලය ත්‍යාග ලබා දීමට, මුදල් එකතු කිරීමට හෝ මුදල් භාර ගැනීමට ඉඩ නොදිය යුතු බවත්, ශිෂ්‍යයන්ගේ දෙමාපියන්ගෙන් පුද්ගලික පදනමින් ත්‍යාග භාර ගන්නා ගුරුවරයකු හෝ කාර්ය මණ්ඩල සාමාජිකයකු විනය පරීක්ෂණයකට ලක් කළ හැකි විෂමාචාරයක යෙදෙන බවත් චක්‍රලේඛයෙන් නියම කළා. එවැනි අරමුණු සඳහා කිසිවකු මුදල් හෝ තෑගි එකතු කිරීම, ලබා දීම හෝ භාර ගැනීම සිදු නොවන බවට වගබලා ගැනීම විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමක් බව ද එහි සඳහන් වුණා. එය සෘජුව හෝ වක්‍රව සිදු කිරීම ස්ථාපන සංග්‍රහය සහ අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද, එහි දක්වා තිබුණා. එම චක්‍රලේඛය මෙතනින්.

    සැ.යු : 2016 වසරේ බලපැවැති අල්ලස් පනත (1954 අංක 11) 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත මගින් අහෝසි කර ඇත.

    මීට පෙරද ඇමතිවරු මෙම තහනම අවධාරණය කර තිබේ

    එවකට අධ්‍යාපන ඇමති වූ අකිල විරාජ් කාරියවසම් මහතා 2016 නොවැම්බර් මාසයේ පැවති අවස්ථාවකදී මෙම කරුණ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයද අපට නිරීක්ෂණය විය.

    2024 පෙබරවාරි 10 වන දින එවකට අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද ගුරුවරුන්ට තෑගි මිලදී ගැනීම සඳහා මුදල් එකතු කරන අයට එරෙහිව දැඩි පියවර ගන්නා බව අනතුරු අඟවා තිබේ.

    කෙසේ වෙතත්, චක්‍රලේඛ නිකුත් කර තිබියදීත් ගුරුවරුන්ට තෑගි දීම සඳහා මුදල් එකතු කිරීම් දිගටම සිදු වන බව 2016 චක්‍රලේඛයේ ද, 2024 වසරේ අමාත්‍යවරයාගේ අනතුරු ඇඟවීමේ වාර්තාවේ ද සඳහන් වේ.

    පාසල්වල මුදල් එකතු කිරීම් ගැන වත්මන් ආණ්ඩුව දක්වා ඇති අදහස්

    වත්මන් අගමැති සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය 2025 මාර්තු 7 වන දින අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේ පළමු රැස්වීමේදී පැවසුවේ, ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ දේශපාලන මැදිහත්වීම් අධ්‍යාපන පද්ධතියේ අර්බුදවලට ප්‍රධාන හේතු බවයි. ඒ අනුව, පාසල්වල විවිධ කාරණා සඳහා මුදල් එකතු කිරීම් පිළිබඳව කඩිනමින් පරීක්ෂණ පවත්වන බව ඇය ප්‍රකාශ කළා. ඒ පිළිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.

    අගමැති සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් “ගුරු දින තෑගි” ගැන වෙන් වශයෙන් ප්‍රකාශයක් නොකළ ද, පාසල් උත්සව නිසා දෙමාපියන්ට මූල්‍යමය බරක් පැටවිය නොයුතු බව 2026 මාර්තු15 වන දින හම්බන්තොට, තංගල්ල සහ වලස්මුල්ල අධ්‍යාපන කලාපවල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා පැවැත්වූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකදී ප්‍රකාශ කළා. ඒ පිළිබඳ අගමැති කාර්යාලයේ නිවේදනය.

    අපගේ කරුණු විමර්‍ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු ව්මර්ශනයෙන් අනාවරණය වූයේ, ගුරු දින උත්සවවලදී ආහාර සහ තෑගි පිරිනැමීම අධ්‍යාපන අමාත්‍යාංශය අලුතින් තහනම් කළා යැයි දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන නොමඟ යවන සුළු බවයි. වත්මන් ආණ්ඩුව යටතේ මේ පිළිබඳ නව චක්‍රලේඛයක් හෝ නිවේදනයක් නිකුත් කර නොමැති බවත්, 2016 වසරේ නිකුත් කළ චක්‍රලේඛය තවමත් බලපැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය තහවුරු කළා.

    2016 වසරේ නිකුත් කළ චක්‍රලේඛ අංක 33/2016 මගින් ගුරුවරුන්ට ත්‍යාග දීම සඳහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කර ඇති අතර, එවැනි ත්‍යාග භාර ගන්නා ගුරුවරුන් විෂමාචාරයක යෙදෙන බව ද එහි සඳහන් වේ.

    ඒ අනුව, මෙවර ගුරු දිනයේ ආහාර සම්බන්ධයෙන් වෙනම නව නියෝගයක් නිකුත් කර නොමැති අතර, ගුරුවරුන්ට තෑගි සඳහා මුදල් එකතු කිරීම සහ ඔවුන් තෑගි භාර ගැනීම 2016 සිට තහනම්ව පවතී.

    Result Stamp

    Title: ගුරු දිනයේ ආහාර සහ තෑගි තහනම් කිරීමේ නව නියෝගයක් ?

    Fact Check By: Pavithra Sandamali

    Result: Misleading

    WhatsApp හරහා ලැබෙන වීඩියෝ සහ රූප සත්‍යාපනය කරගැනීමට සහ අපගේ WhatsApp විකාශනයට සම්බන්ධ වීමට නම සහ භාෂාව එවන ලෙස දැනුම් දෙන සටහන
    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-10-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.