Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    කච්චතිව් ශ්‍රී ලංකාවට අයිති බව ඉන්දීය අධිකරණය පිළිගත්තේ වත්මන් දේශපාලන මැදිහත් වීමක් නිසාද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-10-10
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මෑතකදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස දැනුම් දුන් බවට පළ වූ පුවත් සමඟ, සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ සටහන් සංසරණය වීමට පටන් ගෙන තිබුණා

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    මෑතකදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස දැනුම් දුන් බවට පළ වූ පුවත් සමඟ, සමාජ මාධ්‍ය ජාල තුළ විවිධ සටහන් සංසරණය වීමට පටන් ගෙන තිබුණා. විශේෂයෙන්ම, ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිටින ඡායාරූපයක් යොදාගනිමින් “කච්චතිව් ශ්‍රී ලංකාවට අයිති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගනී” යනුවෙන් සිරස්තල යෙදූ සටහන් හුවාමරු වී තිබුණා. මෙම කරුණෙහි නීතිමය පසුබිම, ඉන්දු-ලංකා ගිවිසුම්වල ඉතිහාසය සහ අධිකරණයේ සත්‍ය වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව සොයා බැලීමට අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට අයිති බවට නව තීන්දුවක් ප්‍රකාශයට පත් කර ඇති බවට හඟවමින් මෙම සටහන් හුවමාරු වී තිබුණේ මෙලෙසින්ත

    කච්චතිව් ශ්‍රී ලංකාවට අයිති බවට ඉන්දීය අධිකරණය පිළිගත් බව පැතිරෙන සමාජ මාධ්‍ය සටහන (1)
    කච්චතිව් ශ්‍රී ලංකාවට අයිති බවට ඉන්දීය අධිකරණය පිළිගත් බව පැතිරෙන සමාජ මාධ්‍ය සටහන (2)

    Facebook | Archived Link

    Facebook | Archived Link

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    ඉහත සටහන් සඳහා මෙරට ජනපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ 2025 අප්‍රේල් මාසයේදී කොළඹදී පැවැති “ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ” සම්මාන ප්‍රදානෝත්සවයට අදාළ ඡායාරූපයක් පළ කරමින් හැඟවමීට උත්සහ දරා තිබුණේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලන සමයේදී සිදුකළ මැදිහත් වීමක් හෝ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම තීරණය ලැබී තිබූ බවයි.

    නමුත්, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි බවට නව ප්‍රකාශයක් හෝ නීතිමය තීන්දුවක් ලබා දී නොමැත. සිදුවූයේ, දැනට පවතින ජාත්‍යන්තර සාගර සීමා ගිවිසුම්වලට ගරු කරමින්, ඉන්දීය ධීවරයින් අනවසරයෙන් ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස අධිකරණය ඉන්දීය රජයට වාචිකව අවධාරණය කිරීමයි.

    මෑතකදී (2026 ඔක්තෝබර් 6) අධිකරණයේ සිදුවූයේ කුමක්ද?

    තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ වන AIADMK සහ DMK ධීවර අංශය විසින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරමින් කියා සිටියේ 1974 දී කච්චතිව් දූපත ලංකාවට පැවරීම ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින්, එම දූපත නැවත ඉන්දියාවට ලබාගත යුතු බවයි.

    නඩුව විභාග කරනු ලැබුවේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංජේ කුමාර් සහ සංජීව් සච්දේවා යන අයවේ.

    ඉන්දීය රජය වෙනුවෙන් පෙනී සිටි නීතිපති ආර්. වෙන්කටරමණී මහතා අධිකරණයට ඍජුවම දැනුම් දුන්නේ, ශ්‍රී ලංකාව සමඟ පවතින යහපත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා හේතුවෙන් කච්චතිව් සම්බන්ධ පැරණි ගිවිසුම් නැවත විවෘත කිරීමට මධ්‍යම රජයේ කිසිදු බලාපොරොත්තුවක් හෝ සූදානමක් නොමැති බවයි.

    ඉන්දීය මුහුදු සීමාවේ පවතින අධික දූෂණය සහ ‘බොටම් ට්‍රෝලර්’ (Bottom Trawling) භාවිතය නිසා ඉන්දීය කලාපයේ මසුන් හිඟ වී ඇති බව ත්, ලංකාව සිය සාගර කලාපය පිරිසිදුව තබා ගන්නා නිසා මසුන් ලංකා සීමාවට බහුලව ඇදී යන බව ත්, මෙහිදී සාකච්ඡා විය.

    රජයේ ස්ථාවරය සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය, ලංකා මුහුදු සීමාවට ඇතුළු වීම නිසා ඉන්දීය ධීවරයින් දිගින් දිගටම අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා, ජාත්‍යන්තර මුහුදු සීමාව (IMBL) ඉක්මවා නොයන ලෙස තමිල්නාඩු ධීවරයින්ව වහාම දැනුවත් කර පියවර ගන්නා ලෙස මධ්‍යම රජයට සහ ප්‍රාන්ත රජයට නියෝග කරනු ලැබීය. නඩුවේ ඉදිරි විභාගය 2027 පෙබරවාරි දක්වා කල් තබා තිබේ. මේ පිළිබඳව පළ වූ ඉන්දීය ප්‍රධාන මාධ්‍ය වාර්තාවන් මෙතනින් සහ මෙතනින්. මෙරට මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ශ්‍රී ලංකාවේ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම සාධනීය නිරීක්ෂණය සහ නියෝගය ඉතා ඉහළින් අගය කර තිබේ. එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම තීන්දුව දෙරට අතර පවතින ධීවර ගැටලුව නීත්‍යානුකූලව විසඳා ගැනීමට, ජාත්‍යන්තර මුහුදු සීමාවන් සුරැකීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සාගර පද්ධතිය සහ මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීමට ලැබුණු විශාල රුකුලක් බවයි.

    කච්චතිව් ශ්‍රී ලංකාවට අයිති වුණ හැටි

    කච්චතිව් යනු ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ් දූපතට බටහිරින් සහ ඉන්දියාවේ රාමේෂ්වරම් දූපතට ඊසානදෙසින්, පෝක් සමුද්‍ර සන්ධියේ (Palk Strait) පිහිටි අක්කර 285ක පමණ විශාලත්වයකින් යුත් ජනශූන්‍ය දූපතකි.

    ඓතිහාසික පසුබිම සහ අයිතිය පිළිබඳ මුල්කාලීන තත්ත්වය

    යටත්විජිත යුගයට පෙර සිටම කච්චතිව් දූපතේ අයිතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට ඓතිහාසික සාධක තිබුණි.

    ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගයේ පැරණි සිතියම් සහ ලේඛනවලට අනුව, කච්චතිව් දූපත සාම්ප්‍රදායිකව පාලනය වූයේ යාපනය රාජධානිය විසිනි. ඉන්දියාවේ තමිල්නාඩු පාර්ශවය තර්ක කරන්නේ, කච්චතිව් දූපත මදුරාසි ප්‍රාන්තයේ (තමිල්නාඩු) රාමනාදන්හි සාමිවරයාට (Raja of Ramnad) අයත්ව තිබූ ජමීන්දාරී ක්‍රමයට යටත් භූමියක් බවයි. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඔහු මෙහි බදු එකතු කිරීමේ අයිතිය ලබාගෙන තිබුණි. 1921 දී දෙරටම බ්‍රිතාන්‍ය යටත් විජිතව පැවති සමයේ ඉන්දියාව සහ ලංකාව මුහුදු සීමාවන් නිර්ණය කිරීම සඳහා කොළඹදී සමුළුවක් පවත්වා තිබේ. එහිදී ලංකා රජය පෙන්වා දී ඇත්තේ, කච්චතිව් දූපත ශ්‍රී ලංකාවේ සීමාවට අයත් වන බවයි. එහිදී ඉන්දීය නියෝජිතයන්ද ඊට එකඟ වූ නමුත් රාමනාදන් සාමිවරයාගේ පාර්ශවයෙන් ඊට විරෝධතා මතු වී තිබේ.

    1974 සහ 1976 ඓතිහාසික ඉන්දු – ලංකා සාගර ගිවිසුම්

    දෙරටම නිදහස ලැබීමෙන් පසු කච්චතිව් දූපතේ අයිතිය සහ ධීවර සීමාවන් පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඓතිහාසික ගිවිසුම් දෙකක් අත්සන් තැබිණි.

    1974 ජූනි මස අත්සන් තැබූ සාගර සීමා ගිවිසුම

    එවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යන විදේශ කටයුතු භාර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මැතිණිය අතර 1974 ජූනි 26 සහ 28 යන දිනවලදී මෙම ගිවිසුම අත්සන් කරන ලදී. මෙම ගිවිසුමට අදාළ සම්පූර්ණ වාර්තාව එක්සත් ජාතීන්ගේ සාගර කටයුතු සහ මුහුදු නීතිය පිළිබඳ අංශය (United Nations Division for Ocean Affairs and the Law of the Sea) විසින් ලේඛනගත කර තබා ඇත.

    • දූපතේ අයිතිය පැවරීම: මෙම ගිවිසුම මගින් පෝක් සමුද්‍ර සන්ධියේ දේශසීමා රේඛාව ඇඳුණු අතර, කච්චතිව් දූපත ජාත්‍යන්තර දේශසීමාවේ ශ්‍රී ලංකා පාර්ශවයට (Sri Lankan side of the IMBL) අයත් වන සේ සිතියම් ගත කෙරුණි. ඒ අනුව කච්චතිව් දූපතේ ස්වෛරීී අයිතිය නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවට හිමි විය.

    • ධීවරයින්ට ලැබුණු අයිතිවාසිකම් (Vested Rights): 1974 ගිවිසුමේ 5 වන වගන්තියට අනුව, ඉන්දීය ධීවරයින්ට සහ වන්දනාකරුවන්ට වීසා බලපත්‍ර නොමැතිව කච්චතිව් දූපතට පැමිණීමට, එහි ඇති ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට සහභාගී වීමට සහ ඔවුන්ගේ ධීවර දැල් වේලීමට (Drying nets) අයිතිය ලබා දී තිබුණි.

    1976 මාර්තු මස අත්සන් තැබූ අතිරේක ගිවිසුම

    1974 ගිවිසුමේ තිබූ ඇතැම් අපැහැදිලි තැන් නිරාකරණය කරමින් 1976 මාර්තු 23 වනදා දෙරටේ විදේශ ලේකම්වරුන් විසින් “සුවිශේෂී ආර්ථික කලාප” (Exclusive Economic Zones – EEZ) නිර්ණය කරමින් තවත් ගිවිසුමක් අත්සන් කරන ලදී.

    • මසුන් ඇල්ලීමේ අයිතිය තහනම් කිරීම: මෙම ගිවිසුමේ ලිපි හුවමාරුවලට අනුව, එක් රටක ධීවරයින්ට අනෙක් රටේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ මසුන් ඇල්ලීමේ අයිතියක් නොමැති බව පැහැදිලිවම තීරණය විය. ඒ අනුව, ඉන්දීය ධීවරයින්ට කච්චතිව් අවට ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ මසුන් ඇල්ලීමේ නීත්‍යානුකූල අයිතිය සම්පූර්ණයෙන්ම අහිමි විය.

    ශ්‍රී ලංකාවට අයිතිය හිමිවීමට බලපෑ ප්‍රධාන නීතිමය හා රාජ්‍යතාන්ත්‍රික සාධක

    ඉන්දිරා ගාන්ධි රජය කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පැවරීමට තීරණය කළේ කරුණු කිහිපයක් පදනම් කරගෙන වේ.

    1. භූගෝලීය සමීපතාව: කච්චතිව් දූපත පිහිටා ඇත්තේ ඉන්දියාවේ පම්බන් (Pamban) වෙරළේ සිට නාවික සැතපුම් 14ක් දුරින් වන අතර, ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ් දූපතේ සිට පවතින්නේ නාවික සැතපුම් 8ක වැනි කෙටි දුරකි.

    2. රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වය: සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ ඉන්දිරා ගාන්ධි මැතිණිය අතර පැවති සමීප මිත්‍රත්වය සහ නොබැඳි පිළිවෙත (Non-Aligned Movement) හේතුවෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ පැවති ද්විපාර්ශ්වික සබඳතාවලට මුල් තැන දෙනු ලැබීය.

    3. භූ-දේශපාලනික උපායමාර්ග: ඉන්දියාවට අවශ්‍ය වූයේ ඉන්දු චීන යුගයෙන් පසු දකුණු ආසියානු කලාපයේ කුඩා අසල්වැසි රටවල් සමඟ පවතින දේශසීමා ගැටලු සාමකාමීව විසඳාගෙන කලාපීය ස්ථාවරත්වය රැක ගැනීමටයි.

    1974 සිටම තමිල්නාඩු ප්‍රාන්ත රජය සහ එරට දේශපාලන පක්ෂ (DMK සහ AIADMK) මෙම ගිවිසුමට දැඩි ලෙස විරුද්ධ විය. ඔවුන් පවසන්නේ ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 368 වගන්තිය ප්‍රකාරව, රටක භූමියක් වෙනත් රටකට පැවරීමේදී ඉන්දීය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් ව්‍යවස්ථා සංශෝධනයක් (Constitutional Amendment) සිදු කළ යුතු වුවද, කච්චතිව් පැවරීමේදී එවැන්නක් සිදු නොකළ බැවින් එම ගිවිසුම අවලංගු බවයි.මේ සම්බන්ධයෙන් තමිල්නාඩු පාර්ශවයෙන් ගොනු කළ නඩුවලදී, ඉන්දීය මධ්‍යම රජය (විදේශ කටයුතු අමාත්‍යාංශය) සහ මෑතකදී 2026 ඔක්තෝබර් මාසයේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවා නිල වශයෙන් අවධාරණය කළේ, කච්චතිව් යනු ජාත්‍යන්තර ගිවිසුම් මගින් විසඳා අවසන් කර ඇති ස්වෛරී රාජ්‍යයන් දෙකක් අතර පවතින දේශසීමාවක් බැවින්, එම පැරණි ගිවිසුම් නැවත විවෘත කිරීමට හෝ වෙනස් කිරීමට කිසිදු සූදානමක් නොමැති බවයි.

    Also Read :

    කච්චතිව් මුහුදේ යාත්‍රා කළ LTTE ධජය සහිත බෝට්ටුවක් ද ?

    කච්චතිව් දූපත ඉන්දියාවට පවරලා ද?

    කච්චතිව් දූපත ගැන ඇමති විජිතගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශක්?

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    නිගමනය (Conclusion) :

    අපගේ පැහැදිලි කිරීමෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පෝස්ටුවල සඳහන් වන පරිදි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලන සමයේදී සිදුකළ මැදිහත් වීමක් හෝ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස නොවේ. මෙම අධිකරණ ක්‍රියාවලිය වත්මන් දේශපාලන නායකත්වයන් බලයට පත්වීමට බොහෝ කලකට පෙර, තමිල්නාඩු දේශපාලන පක්ෂ විසින් වසර ගණනාවකට ඉහතදී ගොනු කරන ලද පැරණි පෙත්සම් විභාගයක වත්මන් ප්‍රතිඵලයකි.

    කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාව සතු වන්නේ 1974 සහ 1976 වසරවලදී අත්සන් කරන ලද ඓතිහාසික ද්විපාර්ශ්වික සාගර ගිවිසුම් මත වන අතර, ඉන්දීය මධ්‍යම රජයේ ස්ථාවරය සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය සිදුකළේ එම පවතින ජාත්‍යන්තර සීමාවන්ට (IMBL) ගරු කරන ලෙස සිය රටේ ධීවරයින්ට නියෝග කිරීම පමණි. එබැවින්, මෙම නීතිමය තීන්දුව වත්මන් නායකයින්ගේ ක්ෂණික දේශපාලන තීරණයක් ලෙස අර්ථකථනය කරමින් පළ කර ඇති සටහන් නොමඟ යවන සුළු සහ අසත්‍ය ප්‍රකාශ වේ.

    කරුණු විමර්ශන ප්‍රතිඵල මුද්‍රාව

    Title: කච්චතිව් ශ්‍රී ලංකාවට අයිති බව ඉන්දීය අධිකරණය පිළිගත්තේ වත්මන් දේශපාලන මැදිහත් වීමක් නිසාද?

    Fact Check By: Pavithra Sandamali

    Result: Misleading

    ලේඛකයාගේ ඡායාරූපය
    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-10-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.