Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    මස්කෙළිය ප්‍රදේශයේ නිවසකට, දිවියෙකු කඩා වැදුණු අවස්ථාවක CCTV දර්ශන පෙළක් ද?

    2024-02-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. බොහෝ අවස්ථාවන්හිදී ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ජනතාව නොමග යවන සුළු අන්දමින් පුවත් වාර්තා කරන අතර මෙකී පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙද්දී ඇතමුන් ව්‍යාජ අර්ථකතන සහිතව එකී පුවත් ජනගත ක

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    බොහෝ අවස්ථාවන්හිදී ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, ජනතාව නොමග යවන සුළු අන්දමින් පුවත් වාර්තා කරන අතර මෙකී පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙද්දී ඇතමුන් ව්‍යාජ අර්ථකතන සහිතව එකී පුවත් ජනගත කිරීමට පෙළඹෙනවා. එලෙසින් බොහෝ දෙනා අතර හුවමාරු වී තිබු, නොමග යවන සුළු වීඩියෝ සටහනක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    දිවියෙකු නිවසක දොරකඩට පැමිණ, එම නිවසේ සිටින සුනඛයෙකු ඩැහැ ගෙන යෑමට තැත් කරන අවස්ථාවක්, මස්කෙළිය ප්‍රදේශයේ නිවසක CCTV දර්ශනවල සඳහන් වූ අයුරු බවට සඳහන් කරමින්, කෙටි වීඩියෝව ඇතුළත් සටහනක්, පසුගිය ජනවාරි මස අවසන් සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

    Facebook 

    මස්කෙළිය ප්‍රදේශයේ වූ සිදුවීමක් බව සඳහන් කළ මෙම වීඩියෝව  ෆේස්බුක් පරිශීලකයින් අතර බහුල ව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    ප්‍රධාන මාධ්‍ය ධාරා ද, මෙම වීඩියෝ ව පිළිබඳ වාර්තා කර තිබූ අතර එය  මෙරට හෝ විදේශීය රටක වීඩියෝවක් ද, යන්න පිළිබඳ නිසියාකාරව සඳහන් කර නොතිබීම නිසාවෙන්, අදාළ සිද්ධිය ලංකාවේ සිදු වීමක් බවට බොහෝ පිරිසක් උපකල්පනය කර තිබුණා. ප්‍රධාන මාධ්‍ය ධාරා ඉහත වීඩියෝ පළ කර තිබු අවස්ථා කිහිපයක් මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link

    එසේම හැටන් ඩයගම සිදුවීමක් ලෙස ද මෙම දර්ශන පෙළම වෙබ් අඩවි ඔස්සේ ද හුවමාරු වී තිබුණා. Archived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    මේ හේතුවෙන් අප මුලින්ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කිරීමට පියවර ගත් අතර එහිදී තහවුරු වූයේ, මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ ලංකාවේ සිදුවීමක් නොවන බවයි.

    මෙම දර්ශන පෙළට අදාළව ඉන්දියාවෙන් වාර්තාවන පුවත්වලට අනුව, පසුගිය ජනවාරි මස 20 වන දා තමිල් නාඩු ප්‍රාන්තයේ නීලගිරි දිස්ත්‍රික්කයේ Coonoor යන කඳුකර ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු දිවියෙකු, නිවසේ සිටි සුනඛයා ඩැහැගෙන යෑමට තැත් කිරීමේදී එම සුනඛයා බේරා ගැනීමට නිවසියෙකු දිව එන ආකාරය, අදාළ නිවසේ CCTV දර්ශන වල සටහන් ව තිබුණා. ඒ සම්බන්ධයෙන් දමිළ බසින් පළ වූ ප්‍රවෘත්ති වාර්තාවක් මෙතනින්. පුවත් වාර්තාවක් මෙතනින්.

    මීට පෙර ද, මෙම දිවියා එම ග්‍රාමයේ නිවෙස් අසළ සැරිසරා ඇති අතර ඒ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නද ඒ බව තැකීමක් නොකළ බවයි ප්‍රදේශ වාසීන් චෝදනා කර ඇත්තේ. කෙසේ වෙතත් නීලගිරි දිස්ත්‍රික්කයේ ම පසුගිය ජනවාරි මස දී, දිවියෙකුගේ ප්‍රහාරයකින් තුන් හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

    මීට පෙර දෙසැම්බර් 21 වන දින ද එම කලාපයේම කාන්තාවන් තිදෙනෙකු දිවියෙකුගේ ප්‍රහාරයකට ලක් වූ අතර, ඔවුන්ගෙන් එක් අයෙකු වන සාරිතා දෙසැම්බර් 29 වැනි දින කොයිම්බතූර්හිදී මිය ගොස් තිබිණි. එමෙන් ම පසුගිය ජනවාරි 4 වන දා තවත් දරුවෙකු දිවියෙකුගේ  ප්‍රහාරයකට ලක්ව සුළු තුවාල සහිතව බේරී ඇති බවයි ඉන්දීය ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණේ. එම වාර්තා මෙතනින් , මෙතනින් සහ මෙතනින්.

    කෙසේවෙතත්, කඳුකර කොටි පිළිබඳව ලංකාවෙන් නිතර අසන්නට ලැබෙන ප්‍රදේශවලත් මේ ආකාරයේ සිදුවීම් වාර්තා වෙනවා! 

    මෑතකදී කඳුකර දිවියන් ගම් වලට කඩා වැදීමේ සිදුවීමක් වූවා ද යන්න මස්කෙළිය ප්‍රදේශයේ ප්‍රාදේශීය වාර්තාකරුවන් හරහා අප විමසීමක් කළ අතර, ඔවුන් සඳහන් කළේ මෙම වසරේ එවැනි සිදුවීමක් මෙතෙක් වාර්තා නොවූ බවයි.

    නමුත් මස්කෙළිය, හැටන් යනාදී ප්‍රදේශවල දිවියන් ගම්වලට කඩා වදින අතර සුනඛයින්, බළලුන් සහ නිවෙස් වල ඇති කරන අනෙකුත් සතුන් රැගෙන යෑමේ සිදුවීම් මීට පෙර වාර්තා වී ඇති බවත්, ඇතැම් සිදුවීම් මාධ්‍ය මගින් වාර්තා නොවූව ද, එවැනි සිදුවීම් එම ප්‍රදේශයේ සිදු වන බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරු අප වෙත පවසා සිටියා.

    මේ අනුව, පසුගිය වසර කිහිපය පුරාවටම මස්කෙළිය, හැටන් ඇතුළු ප්‍රදේශවල කඳුකර කොටි පිලිබඳව මීට සමාන පුවත් ද වාර්තා වී ඇති බැවින්, මෙම දර්ශන පෙළට, එකී ප්‍රදේශය ඈඳමින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වී ඇති බව අනුමාන කළ හැකියි.

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Conclusion (අවසාන නිගමනය):

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මස්කෙළිය/ හැටන් ප්‍රදේශයේ නිවසකට දිවියෙකු කඩා වැදී සුනඛයෙකු ඩහැගෙන යාමට තැත් කළ අයුරු CCTV කැමරාවේ සටහන් ව ඇති බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවෙන් දැක්වෙන්නේ ලංකාවේ දර්ශන පෙළක් නොවන බවයි. වීඩියෝවේ දැක්වෙන්නේ, මීට මසකට ඉහත දී ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නීලගිරිහි Coonoor නම් ප්‍රදේශයෙන් පසුගිය ජනවාරි මස වාර්තා වූ සිදුවීමකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-02-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.