දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.
වියට්නාමයේ නිවසක සුරතලයට ඇති කරන ලද පිඹුරෙකු විසින් එම නිවසේ සිටින කුඩා දැරියක ගිල දමා ඇතැයි, කියන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. මේ එහි නිර්වද්යතාව සොයා බැලීම සඳහා අප සිදු කළ කරුණු පරීක්ෂාවයි.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
වියට්නාමයෙන් වාර්තා වන සිදුවීමක් ලෙස සඳහන් තත්පර 55 ක පමණ කාලයක් දිවෙන මෙම වීඩියෝව Part 01 දර්ශන පෙළකින් සහ Part 02 ඡායාරූපයකින් සමන්විත වේ. Part 01 කොටසට අනුව කුඩා දැරියක් නිවසක කාමරයක සිට තවත් කාමරයකට ඇඳෙමින් සිටින විශාල පිඹුරෙකුගේ සිරුර මත ඇවිඳිමින් සහ සෙලල්ම් කරමින් සිටින අයුරු දැකගත හැකියි. Part 02 හි දැකගත හැක්කේ, එම අවස්ථාවේ පිඹුරා විසින් දැරිය ගිල දමා ඇතැයි හැඟී යන ඡායාරූපයකි.
මෙරට සාමාජ මාධ්යයෙහි ද සංසරණය වෙමින් ඇති මෙම වීඩියෝවේ නිර්වද්යතාව විමසා ලද ඉල්ලීම් සලකා අප මෙහි සත්ය අසත්යතාව පරීක්ෂා කිරීමට පියවර ගත්තා.
Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :
වියට්නාමයේ නොව ලොව වෙනත් හෝ කිසිදු රටක කුඩා දැරියක මෙලෙස නිවසේ සුරතලයට ඇති කළ පිඹුරෙකු විසින් ගිල දැමීමක් සිදුව තිබුණේ නම්, ප්රධාන ධාරාවේ ඇතුළු බොහෝ විදෙස් මාධ්ය එවැනි සංවේදී පුවතක් වාර්තා කර තිබිය යුතු ය. එහෙත් අප සිදු කළ පරීක්ෂාවේදී වියට්නාමයේ හෝ ලොව වෙනත් කිසිදු රටකින් එැවිනි අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වී ඇති බවට කිසිදු විදෙස් මාධ්යක් වාර්තා කර නොමැත.
ඉන්දුනීසියාවේ පුද්ගලයෙකුට අයත් වීඩියෝවක්: දැරිය නිරුපද්රිතයි
ඒ අනුව මෙම වීඩියෝවේ නිර්වද්යතාව තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා අප මෙහි දර්ශන Reverse Image යෙදුමක් ඔස්සේ පරීක්ෂා කිරීමට කටයුතු කළා. එහිදී පිඹුරා විසින් ගිල දමා ඇතැයි සමාජ මාධ්යයේ ප්රකාශ වන වීඩියෝවේ part 01 කොටස සහිත වීඩියෝව 2026 අගෝස්තු 22 වනදා මුල්වරට පළ කරන ලද වීඩියෝවක් බව තහවුරු විය.
තවදුරටත් අප සිදු කර කරුණු විමර්ශනයේදී පැහැදිලි වූයේ, කුඩා දැරියක් පිඹුරෙකුගේ සිරුර මත සෙල්ලම් කරමින් සිටින අදාළ වීඩියෝවේ මුල් හිමිකරු වියට්නාමයේ ෆේස්බුක් අන්තර්ගත නිර්මාණකරුවෙකු නොව බටහිර ඉන්දුනීසියාවේ ජාවා ප්රදේශයේ පදිංචි නිර්මාණකරුවෙකු වන Abdul Azis Albar නමැත්තා බවයි.

ඔහුගේ සාමාජ මාධ්ය පිටුවල මෙම වීඩියෝවේ දැක්වෙන පිඹුරා සහ තවත් පිඹුරෙකු ද සමගින් විවිධ අවස්ථා නිරූපණය වන ආකාරයේ වීඩියෝ දර්ශන විශාල සංඛ්යාවක් දැකගත හැකියි.
තව ද Albar ගේ Facebook පිටුවේ පිඹුරා විසින් ගිල දමා ඇතැයි කියන දැරිය පෙනී සිටින වීඩියෝ රැසක් තවදුරටත් දැකගත හැකි අතර දැරිය පිඹුරෙකුගේ පිට උඩ සිටින අයුරු දැක්වෙන වීඩියෝ මෙන්ම ඇය පිඹුරන් දෙදෙනකු සමග පෙනී සිටින වීඩියෝ ද පසුගිය දින කිහිපයේම පළ කර තිබූ අතර අද (සැප්තැම්බර් 21) දිනයේත් මෙලෙස වීඩියෝවක් පළ කර තිබුණා.
තවද අදාළ දැරිය නිවස තුළ පිඹුරා සමග පෙනී සිටින ඡායාරූප ද Albar ගේ ෆේස්බුක් පිටුවේ තවදුරටත් දැකගත හැකියි.

මේ අනුව පැැහදිලි වන්නේ ද පිඹුරා විසින් දැරිය ගිල දමා ඇති බවට වන සටහන්වල සත්යතාවක් නොමැති බවයි.
මේ අතර ඉන්දුනීසියානු මාධ්ය ද තහවුරු කර ඇත්තේ, අදාළ දැරිය නිරුපද්රිතව තවදුරටත් එම පිඹුරා සමග සෙල්ලම් කරමින් සිටින බවයි. මීට අමතරව විදෙස් මාධ්ය කිහිපයක් පිඹුරා විසින් දැරිය ගිල දමා ඇති බවට සමාජ මාධ්යයේ සංසරණය වන පුවත අසත්යක් බව මෙලෙස වාර්තා කර තිබුණා.
පිඹුරා විසින් දැරිය ගිල දමා ඇති බව කියන ඡායාරූපය සංස්කරණයක්
දැරිය ගිල දමා ඇති බව කියන ඡායාරූපය මුල් වීඩියෝවේ තත්පර කීපයක් සමග සැසදෙන නමුත් මුල් වීඩියෝවේ එම කොටසේ පිඹුරාගේ උදරය දැකගත නොහැක.

ඒ අනුව අප පිඹුරා විසින් දැරිය ගිල දමා ඇතිබවට පළ වන ඡායාරූපය කෘත්රිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කර හෝ සංස්කරණය කර ඇත්ද යන්න පරීක්ෂා කිරීමේදී එහි SynthID හි Watermark එකක් හඳුනා ගැනීමේ හැකියාවක් ඇති බව පෙන්වා දී තිබේ.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube
Conclusion (අවසාන නිගමනය) :
අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ වියට්නාමයේ නිවසක සුරතලයට ඇති කරන ලද පිඹුරෙකු නිවසේ දැරියක ගිල දමා ඇති බවට සංසරණය වන වීඩියෝවෙහි කිසිදු සත්යතාවක් නොමැති බවයි. අදාළ වීඩියෝවේ මුල් හිමිකරු වියට්නාමයේ නොව ඉන්දුනීසියාවේ පදිංචි පුද්ගලයෙකු වන අතර පිඹුරා විසින් ගිල දැමූ බව කියන දැරිය නිරුපද්රිතව මේ දක්වා සිටී. සමාජ මාධ්යයේ සංසරණය වන වීඩියෝව මුල් පළ කිරීම 2026 අගෝස්තු 22 වනදා ය. Abdul Azis Albar නම් අදාළ පුද්ගලයාගේ Facebook ගිණුමේ අද දිනය (සැප්තැම්බර් 21) දක්වාම අදාළ දැරිය පිඹුරා සමග විවිධ ක්රියාකාරකම්වල නිරතවන දර්ශන මෙන්ම ඡායාරූප ද පළ කර තිබෙනු දැකගත හැකියි. දැරිය ගිල දමා ඇති බව කියන ඡායාරූපය මුල් වීඩියෝවේ දර්ශනයක් සංස්කරණය කර පළ කරන ලද්දකි.



