Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සුපිරි වටයේ ඉන්දියාව සමඟ තරඟයේ, තරඟ පාවාදීමක්?

    2022-09-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ සුළු මොහොතකි. එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් හෙළි කළ තරඟ පාවාදීමක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය

    ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ තෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව ඇත්තේ සුළු මොහොතකි. එසේ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් හෙළි කළ තරඟ පාවාදීමක් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් පිළිබඳ අප කළ කරුණු විමසා බැලීමක්.

    සමාජ මාධ්‍ය සටහන් :

    ලෝක කුසලානයෙන් පසුව සිදුවූ ලොකුම තරඟ පාවාදීම හෙට දිනයේ (සප්තැම්බර් 06) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟයේ දී සිදු වන බව පවසමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

    මේ පිළිබඳව ඔවුන්ට දැනුම් දෙනු ලැබුවවේ, නිර්ණාමික ඊමේල් ලිපිනයක් හරහා සම්බන්ධ වූ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් බවට එහි සඳහන් කරන අතර, ඉන්දියාවට දිනුම ලබා දීමට ක්‍රියාකරන ලෙස අපගේ ක්‍රීඩකයන්ට බලපෑම් ඉහළ පුටු වලින් එල්ල වන බවත්, මීට ප්‍රධාන හේතුව වන්නේ, සුපිරි 4 දෙනාගේ වටයේ ඊයේ දිනයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති තරඟයේ දී, ඉන්දියාව පරාජයට පත්වීම නිසා හෙට දිනයේ පවතින තරඟය හමුවේ පරාජය වුවහොත්, තරඟාවලියෙන් ඉවත් වීමට ඉන්දියාවට සිදුවන නිසා බවත් ඉන්දියානු රජයෙන් ශ්‍රී ලංකාවට කළ ඉල්ලීමක් නිසා බවත් එහි සඳහන් කරනු ලබනවා.

    එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් මෙයට දැඩි විරෝධයක් එල්ල වන බවත්, කිසිසේත්ම මෙවැනි තරඟ පාවා දීමට ඉඩ නොදෙන බවත්, කණ්ඩායමට හැකි උපරිමෙන් ක්‍රීඩා කරන බවත් ඉහළ පුටු වල ඉල්ලීම් පිළි නොගන්නා බවට එම ක්‍රීඩකයා සඳහන් කළ බවද , එම වීඩියෝවේ තව දුරටත් පවසනු ලබනවා. එම වීඩියෝව පහතින්.

    Facebook

    එම වීඩියෝව YouTube ඔස්සේ ද, පළ වී තිබුණේ මේ අයුරින්.

    මෙම හඬපටයේ දැක්වෙන කරුණු දෙස අවධානය යොමු කිරීමේදී එහි දක්වා ඇති කරුණු පිළිගත හැකි කරුණු බව ට කිසිඳු සාක්ෂියක් ඉදිරිපත් වී නැති බව පෙනී යනවා.

    එම වීඩියෝවේ පැවසෙන්නේ, නිර්ණාමික ඊමේල් ලිපිනයකින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් ඔවුන් වෙත යොමු කරනු ලැබූ ඊමෙල් ලිපියක් හරහා මෙම කරුණු අනාවරණය සිදුකරන බවයි. ඉහත තොරතුර ලබා දුන්නේ, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු නම් එම ක්‍රීඩකයාගේ නම සඳහන් කරමින් මෙම විද්‍යුත් ලිපිය යොමු කළ යුතු වන අතර එසේ නම ඉදිරිපත් කර තිබියදී නිර්ණාමික විද්‍යුත් ලිපිනයකින් එම තොරතුර ඉදිරිපත් කළ බවට පැවසීම සැක සහිත වේ. එසේම නිර්ණාමිකව ඉදිරිපත් කරන්නේ නම් ඔහුගේ අනන්‍යතාවය සඟවා තබා ගැනීමට උත්සහ දරා ඇති හෙයින් නිර්ණාමික විද්‍යුත් ලිපියක් යොමු කළද, එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් යොමු කළ බවට තහවුරු කර ගනු ලැබුවේ කුමන පදනමින්ද යන්න හාස්‍යට ලක් වන කරුණකි.

    දෙවන කාරණය නම් ඉහළ පුටු වලින් කළ ඉල්ලීමක් ක්‍රීඩකයෙකු විසින් මාධ්‍ය වෙත යොමු කිරීමේදී ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම අරමුණු කර ගනී නම් ප්‍රධාන මාධ්‍යක් / සමාජ මාධ්‍ය ආදිය ඔස්සේ එය පළ කළ හැකිව තිබු අතර, නිර්ණාමිකව හෝ එවන ලද එම විද්‍යුත් පණිවිඩයේ ඉහළ පුටුවලින් කළ ඉල්ලීමේ සාක්ෂි ද ඇතුළත් කළ යුතු වෙනවා.

    කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාධ්‍ය කළමණාකරු ප්‍රසන්න රොද්‍රිගෝ මහතාගෙන් විමසීමක් කළ අතර මෙය කිසිදු පදනමකින් තොරව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අධෛර්‍යමත් කිරීමේ අරමුණින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ප්‍රචාරය කළ අසත්‍ය තොරතුරක් බව අවධාරණය කර සිටියා.

    මෙලෙස තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් කළ බවත් ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බලපෑම් එල්ල කළ බවට ඉහත වීඩියෝවේ සඳහන් කර තිබීම හේතුවෙන් අප මේ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ශානුක කරුණාරත්නගෙන් ද විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, එය සම්පූර්ණ අසත්‍ය තොරතුරක් බවත්, රාජ්‍ය ත්‍රාන්තික මට්ටමින් ඉන්දියාව ශ්‍රී ලංකාවට උපකාර කළත්, ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවක කිසිදු බලපෑම් කිරීමට ඉල්ලීම් සිදු කර නොමැති බවයි. ක්‍රීඩාව සහ දේශපාලනය යනු අංශ දෙකක් වන අතර කිසිදු අවස්ථාවක කිසිදු බලපෑමක් ක්‍රිකට් ආයතනයට මෙන්ම ක්‍රීඩකයන්ට ද, එල්ල නොකළ බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

    ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි වටයේ මුහුණ දුන් පළමු තරඟය ඇෆ්ගනිස්ථානය පරාජයට පත් කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඉන්දීය කණ්ඩායම සුපිරි වටයේ පළමු තරගයේදී පාකිස්ථානය හමුවේ පරාජයට පත් වීමත් සමග සුපිරි වටයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක මේ වන විට ලකුණු දෙක බැගින් ලබාගත් ශ්‍රී ලංකාවට හා පකිස්ථානයට හිමිව තිබෙනවා. ඒ අනුව හෙට (06) ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තරඟය, දෙපිලටම වැදගත් තරඟයක් බවට පත්ව තිබෙනවා.

    එසේම තරඟයට පෙර මාධ්‍ය හුමවකට සහභාගී වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසා සිටින්නේ පෙර තරඟ මෙන් මෙම තරඟය සඳහා ද ධනාත්මක මානසිකතවයකින් සහභාගී වෙන බවත්, ශ්‍රී ලංකාවේ ද හොඳ කණ්ඩායමක් සිටින බවත්, මෙම තරඟය සඳහා හොඳින් සුදානම් වෙමින් සිටින බවයි. පිතිකරුන් පෙර තරඟ මෙන් ලකුණු අතරට පැමිණීම ඔස්සේ සහ දඟ පන්දු යවන්නන් හොඳින් තරඟයට අවතීරණ වුවහොත් ලංකාව වාසිදායක තත්වයක් තිබෙන බවත් ඔහු පවසා සිටියේ මෙලෙසින්. ලංකාවේ ක්‍රීඩකයින්, ඉන්දීය තරඟයට පෙර පෙර කාය වර්ධන ඇතුළු පුහුණු කටයුතු වල නිරත වෙමින් සිටින වීඩියෝවක් මෙතනින්

    කෙසේ වෙතත් තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් ඉල්ලීමක් යම්කිසි මට්ටමකින් හෝ කුමන හෝ පාර්ශවයක් විසින් සිදු කළේ ද, නැද්ද යන්න පිළිබඳ අපට ස්වාධීනව සත්‍යාපනය කළහැකි කරුණක් නොවේ.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-09-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.