Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඔක්තෝබර් 23 දා ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයි ?

    කරුණු පැහැදිලි කිරීම
    2026-10-26
    6 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු කටයුත්තක් සඳහා 2026 ඔක්තෝබර් 23 වැනිදා කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, එදින උන්වහන්සේ අධිකරණ ශාලාවට රැගෙන ආවේ නැත. ඒ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනත් නඩු කටයුත්තක් සඳහා 2026 ඔක්තෝබර් 23 වැනිදා කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද, එදින උන්වහන්සේ අධිකරණ ශාලාවට රැගෙන ආවේ නැත. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ කතිකාවතක් ඇති වූ බැවින්, ඒ ගැන සොයා බලමින් අප කළ කරුණු පැහැදිලි කිරීම පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “ඥානසාර හිමි අද උසාවි ගේන්නේ නෑ” යන ප්‍රවෘත්ති ශීර්ෂය සහිත මෙම සටහනේ, නැවත උසාවි ගෙනාවොත් උන්වහන්සේ එන්නේ “ජම්පරය පිටින්” බැවින් ආණ්ඩුව උසාවි ගෙන ඒම නතර කළ බව කියැවේ. 

    Facebook | Archived Link

    විමර්ශනයට ලක් කළ ප්‍රකාශය : 2026 ඔක්තෝබර් 23 වැනිදා ඥානසාර හිමියන් අධිකරණයට භෞතිකව ඉදිරිපත් නොකළේ ඇයි ද යන්න අප පරීක්ෂා කළෙමු.

    Explainer (කරුණු පැහැදිලි කිරීම) :

    ඉස්ලාම් දහමට අපහාස කළ බවට චෝදනා කරමින් ඥානසාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව 2026 ඔක්තෝබර් 23 වැනිදා කොළඹ මහාධිකරණයේ කැඳවීමට නියමිතව තිබිණි. එදින උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් නොකරන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට දැනුම් දී ඇති බව වාර්තා වූයේ මෙලෙසිනි. එදින උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව අධිකරණය දැනුම් දී ඇති බැවින් ඒ ලෙස කටයුතු කරන බව ද එම වාර්තාවල දැක්වේ.

    ඔක්තෝබර් 23 වැනිදා නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ බවත්, ඥානසාර හිමියන් අධිකරණ ශාලාවට රැගෙන නොතිබූ බවත්, නඩුව ලබන 29 වැනිදා යළි කැඳවීමට නියෝග කළ බවත් වාර්තා වූයේ මෙලෙසිනි.

    බන්ධනාගාර නීති රෙගුලාසි යාවත්කාලීන කිරීම

    පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2026 ඔක්තෝබර් 5 වැනිදා යළි බන්ධනාගාරගත කිරීමෙන් පසු උන්වහන්සේගේ චීවරය ඉවත් කර සුදු පැහැති ඇඳුම් ඇන්දවීම පිළිබඳව මහා සංඝරත්නය සහ බෞද්ධ ජනතාව අතර දැඩි විරෝධයක් මතු විය. ඒ පසුබිම තුළ ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඔක්තෝබර් 8 වැනිදා පැවැති සාකච්ඡාවකින් අනතුරුව, බන්ධනාගාර ආඥා පනත යටතේ පවතින නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කෙරිණි.

    එම කමිටුවේ අතුරු වාර්තාව ඔක්තෝබර් 14 වැනිදා ජනාධිපතිවරයා වෙත භාර දුන් බව මෙතනින් දැක්වේ.

    බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක්

    ඉන්පසු, බන්ධනාගාර ආඥා පනතේ 6(2) සහ (3) වගන්ති යටතේ, අධිකරණ අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා බන්ධනාගාර නිත්‍ය නියෝග සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය. එය 2026.10.20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ වී ඇති අතර, කොමසාරිස් ජනරාල්වරයා එයට අත්සන් තබා ඇත්තේ ඔක්තෝබර් 15 වැනිදාය.

    එමඟින් නිත්‍ය නියෝග දෙකක් සංශෝධනය කර ඇත:

    1. නව නිත්‍ය නියෝග 356අ:

    බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී, උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීමට පෙර එම කරුණ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට යොමු කළ යුතුය. දෙපාර්තමේන්තුව අදාළ නිකායට හෝ පාර්ශ්වයට දැනුම් දිය යුතු අතර, චීවරය සම්බන්ධයෙන් ගන්නා පියවර කොමසාරිස්වරයාට දැනුම් දීමට නිකායට හෝ පාර්ශ්වයට දින දහයක කාලයක් හිමි වේ. එම කාලය තුළ ප්‍රතිචාරයක් නොලැබුණහොත්, කොමසාරිස්වරයාට අදාළ විධිවිධාන අනුව කටයුතු කළ හැකිය. අන්‍යාගමික පූජකවරුන්ට ද මෙම විධිවිධාන අවශ්‍ය වෙනස් කිරීම් සහිතව අදාළ වේ.

    2. නිත්‍ය නියෝග 550 සංශෝධනය:

    බෞද්ධ භික්ෂුවක් සිරකරුවකු ලෙස බන්ධනාගාරයෙන් බැහැරට රැගෙන යන අවස්ථාවක, බන්ධනාගාරගත කරන විට පැළඳ සිටි චීවරය දිගටම පැළඳ සිටීමට උන්වහන්සේට ඉඩ හිමි වේ. එහෙත් අදාළ නිකාය හෝ පාර්ශ්වය එයට අනුමැතිය දී නොමැති නම්, කොමසාරිස්වරයා අදාළ විධිවිධාන අනුව කටයුතු කළ යුතුය. එම අනුමැතිය ලබා ගැනීමට, සිරකරු බන්ධනාගාරගත කළ දින සිට වැඩ කරන දින හතක් ඇතුළත කොමසාරිස්වරයා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට දැනුම් දිය යුතුය.

    YouTube

    ඥානසාර හිමියන් ඔක්තෝබර් 23 අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය ගැන උපදෙස් විමසීම

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඔක්තෝබර් 20 වැනිදා පවසා තිබුණේ, සංශෝධිත නියෝගවලට අනුකූලව ඥානසාර හිමියන් ඔක්තෝබර් 23 වැනිදා චීවරයෙන් යුතුව අධිකරණයට ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය පිළිබඳව උපදෙස් ලබා ගැනීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියන්ට ලිඛිතව දැනුම් දී ඇති බවයි. ඒ මෙතනින්.

    Facebook

    අධිකරණ වාර්තාකරුවන් පවසන දේ

    ඔක්තෝබර් 23 කොළඹ මහාධිකරණයේ වාර්තාකරණයේ නිරත වූ මාධ්‍යවේදීන්ගෙන් අප කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, ඉස්ලාම් දහමට අපහාස කිරීම පිළිබඳ ඥානසාර හිමියන්ගේ නඩුව එදින කැඳවූ බවත්, උන්වහන්සේ මාර්ගගතව (වීඩියෝ තාක්ෂණය ඔස්සේ) නඩුවට ඉදිරිපත් කළ බවත්ය. චීවරය ඉවත් කිරීම පිළිබඳ ගැටලුව නිරාකරණය වන තෙක් උන්වහන්සේ මාර්ගගතව ඉදිරිපත් කිරීමට බන්ධනාගාරය මෝසමක් මගින් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබූ බවත්, අධිකරණය එයට අවසර දුන් බවත් ඔවුන් පැවසීය. නඩුව ලබන 29 වැනිදා යළි කැඳවන බව ද ඔවුන් සඳහන් කළේය.

    උන්වහන්සේ වට්ස්ඇප් වීඩියෝ ඇමතුමක් ඔස්සේ ඉදිරිපත් කළ බවත්, සිවුර ඉවත් කිරීමේ සිදුවීමෙන් පසු ඇති විය හැකි නොසන්සුන් තත්ත්වයක් වළක්වා ගැනීමට එසේ කරන බව බන්ධනාගාරය දින දෙකකට පෙර මෝසමකින් දන්වා තිබූ බවත් විනිසුරුවරයා විවෘත අධිකරණයේදී පැහැදිලි කළ බව මෙතනින් දැක්වේ. 

    එදින, බන්ධනාගාර නීති උල්ලංඝනය නොවන පරිදි උන්වහන්සේට චාරිත්‍රානුකූලව නැවත චීවරය පෙරවීමට කෝට්ටේ පාර්ශ්වයේ මහානායක හිමියන් බන්ධනාගාරයෙන් ලිඛිතව ඉල්ලා තිබුණද පිළිතුරක් නොලැබුණු බව විත්තියේ නීතිඥවරයා පැවසූ අතර, ඒ පිළිබඳව නියෝගයක් දීමට අධිකරණයට බලයක් නැති බව විනිසුරුවරයා පැවසීය.

    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයාගේ පැහැදිලි කිරීම

    අප මේ පිළිබඳව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන් කළ විමසීමේදී, ඔහු සඳහන් කළේ ඥානසාර හිමියන් අධිකරණයට භෞතිකව ඉදිරිපත් නොකර මාර්ගගතව ඉදිරිපත් කිරීමට තීරණය කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෝ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා තනිව නොවන බවයි. චීවරය ඉවත් කර ඇති, බන්ධනාගාරගත භික්ෂුවක් යළි අධිකරණයට ඉදිරිපත් කිරීමේදී, චීවරයෙන්ද සුදු වතින්ද යන්න අදාළ මහානායක හිමිවරුන්ගේ උපදෙස් මත තීරණය කළ යුතු බවට ජනාධිපතිවරයා පත් කළ පස්දෙනෙකුගෙන් යුත් කමිටුව නිර්දේශ කර ඇති බව ඔහු සඳහන් කළේය.

    ඥානසාර හිමියන් අයත් වන්නේ සියම් නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට බැවින්, බන්ධනාගාර කොමසාරිස්වරයාගේ දැනුම්දීම මත බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කෝට්ටේ පාර්ශ්වයේ මහානායක හිමියන්ගෙන් ලිඛිතව විමසා ඇත. කෝට්ටේ පාර්ශ්වය දැනුම් දී ඇත්තේ, චීවරය නැවත පෙරවන්නේ නම් එය මහානායක හිමිවරුන් විසින් සිදු කළ යුතු බවත්, ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් උන්වහන්සේ චීවරය නොමැතිව භෞතිකව ඉදිරිපත් නොකර මාර්ගගතව ඉදිරිපත් කරන ලෙසත් බව මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.

    නඩුව 29 වැනිදා නැවත කැඳවන විට තත්ත්වය කුමක් වේද යන්න අප විමසූ විට, ඒ සඳහා තවත් දින කිහිපයක් ඇති බවත්, මහානායක හිමිවරුන් සාකච්ඡා කර ලබාදෙන නිර්දේශ අනුව කටයුතු කිරීමට තීරණය කර ඇති බවත් මාධ්‍ය ලේකම්වරයා පැවසීය.

    පසුගියදා රැස්වූ බුද්ධශාසන සභාවේදී, මෙවැනි අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දිවයිනේ නිකාය පාර්ශ්ව 32ම නියෝජනය වන පරිදි සාකච්ඡා කර පොදු මාර්ගෝපදේශ මාලාවක් ලබා දීමට මහා සංඝරත්නය එකඟ වූ බව ද ඔහු පැවසීය. පාරාජිකා හෝ වෙනත් බරපතළ වැරදි සහ නැවත චීවරය දැරීම පිළිබඳව සියලු නිකාය පාර්ශ්ව පොදු එකඟතාවකට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවත්, මෙම පටිපාටිය එක් පුද්ගලයකු ඉලක්ක කරගත් එකක් නොව, බන්ධනාගාරගතව සිටින සියලු භික්ෂූන්ට මෙන්ම කතෝලික පූජකවරුන් ඇතුළු අන්‍යාගමික පූජකවරුන්ට ද සාධාරණ වන පොදු මාර්ගෝපදේශ ලෙස ක්‍රියාත්මක වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    අප මේ පිළිබඳව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ද විමසුවද, මෙම ලිපිය පළ කරන තෙක් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    සාරාංශය (Summary)

    2026 ඔක්තෝබර් 23 වැනිදා ඥානසාර හිමියන් අධිකරණ ශාලාවට රැගෙන නොආ නමුත්, බන්ධනාගාරයේ මෝසමකට අධිකරණය දුන් අවසරය මත උන්වහන්සේ මාර්ගගතව නඩුවට ඉදිරිපත් කෙරිණි. මාධ්‍ය ලේකම්වරයාට අනුව, චීවරය නැවත පෙරවීම මහානායක හිමිවරුන් කළ යුතු බවත් ඒ සඳහා කාලය ප්‍රමාණවත් නොවූ බැවින් මාර්ගගතව ඉදිරිපත් කරන ලෙසත් කෝට්ටේ පාර්ශ්වය උපදෙස් දී තිබුණි; කෝට්ටේ පාර්ශ්වයේ ප්‍රතිචාරයක් අපට නොලැබිණි.

    ඔක්තෝබර් 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් සංශෝධිත නිත්‍ය නියෝග අනුව, බන්ධනාගාරගත භික්ෂුවක්ගේ චීවරය පිළිබඳ තීරණයේදී අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ අදහස විමසිය යුතුය. ඥානසාර හිමියන්ට නැවත චීවරය ලබා දීම මහානායක හිමිවරුන්ගේ නිර්දේශ අනුව සිදු කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා පවසයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    BH

    BP Hansani

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2026-10-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.