Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ලෝක බැංකුවේ ආදායම් වර්ගීකරණය නිසා ලංකාවට නොමිලේ එන්නත් අහිමි වෙනවාද?

    කරුණු විමර්ශනය කිරීම
    2026-09-10
    15 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් රටක් ලෙස මෑතක දී නැවත වරක් සිදුකළ වර්ගීකරණයත් සමඟ, මින් ඉදිරියට ලංකාවට ලෝක බැංකුවෙන් නොමිලේ එන්නත් නොලැබෙන බව සඳහන් කරමින්, ප්‍රධාන මාධ්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් රටක් ලෙස මෑතක දී නැවත වරක් සිදුකළ වර්ගීකරණයත් සමඟ, මින් ඉදිරියට ලංකාවට ලෝක බැංකුවෙන් නොමිලේ එන්නත් නොලැබෙන බව සඳහන් කරමින්, ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය ඔස්සේ ද සටහන් පෙළක් සංසරණය වූ අතර  Fact Crescendo අප විසින් ඒ සම්බන්ධයෙන් සිදු කළ කරුණු විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    2026 සැප්තැම්බර් 07 වන දින “ලංකාදීප” පවුත්පතේ පළ වූ ලිපියක් මෙම සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වීමට හේතු වී තිබූ අතර එම වාර්තාව පත්තර කියවන වැඩසටහන් වල සඳහන් කිරීමත් මෙලෙසින් මෙම සටහන් වයිරල් වීමට හේතු වී තිබුණා.

    FB|FB FB|FB

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම) :

    මෙම සටහන් සඳහා මුලිකව පදනම් වී තිබුණේ, ලංකාදීප පුවත්පත් වාර්තාවක් වූ අතර එහි පෙන්වා ඇති කරුණු පිළිබඳව සත්‍ය තොරතුරු පහත දැක්වේ.

    නොමිලේ එන්නත් සපයන්නේ ලෝක බැංකුව නොව “ගැවි” එන්නත් සන්ධානයයි

    ලෝක බැංකුව විසින් රටවලට ණය හා සංවර්ධන මූල්‍ය පහසුකම් සැපයීම් සිදුකළ ද රටවල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වෙත නොමිලේ එන්නත් බෙදා දීමක් ඔවුන් හරහා සිදුවන්නේ නොවේ. අඩු ආදායම් රටවලට සහන හා නොමිලේ එන්නත් ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ගැවි, එන්නත් සන්ධානය හරහා වේ. 

    ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ්, බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට්ස් පදනම මෙන්ම ලෝක බැංකුව ද, ගැවියේ හවුල්කරුවෝ වෙති. තවද ලෝක බැංකුව, ගැවි වෙනුවෙන් මුදල් රැස්කරන ප්‍රතිශක්තිකරණය සඳහා වූ ජාත්‍යන්තර මූල්‍ය පහසුකම (IFFIm) හි භාණ්ඩාගාර කළමනාකරු ලෙසද ක්‍රියා කරයි. එබැවින් “ලෝක බැංකුවෙන් නොමිලේ එන්නත්” ලබා දෙන බවට සිදු කරන ප්‍රකාශය අසත්‍ය හා නොමඟ යවන සුළුයි.

    ශ්‍රී ලංකාව දැනටමත් තම මූලික එන්නත් සඳහා ස්වයං-මුදල් යොදවන ස්වාධීන රටක් වේ

    ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ලබාදෙන මූලික එන්නත් (Core EPI Vaccines) සියල්ලම 1995 වර්ෂයේ සිටම 100%ක්ම රජයේ දේශීය අයවැය ප්‍රතිපාදන මඟින් මිලදී ගනු ලබයි. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ස්ථාවර වෙනම අයවැය ලේඛනයක් (Dedicated budget line) පවතී. මේ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්. 

    2002 සිට 2016 දක්වා කාලය තුළ Gavi සංවිධානය මඟින් ලංකාවට සහාය ලැබුණේ මූලික එන්නත් සඳහා නොව, හෙපටයිටිස් බී (2002), පෙන්ටාවැලන්ට් (2008), IPV (2015) සහ විශේෂ ව්‍යාපෘතියක් ලෙස HPV (2017) වැනි නව එන්නත් හඳුන්වා දීමේ ආරම්භක පිරිවැය සපුරා ගැනීමට පමණි.

    සත්‍ය වශයෙන් ම ශ්‍රී ලංකාව Gavi ආධාර ලබන රටවල් ලැයිස්තුවෙන් 2016 වසරේදී නිල වශයෙන් ඉවත් වූ ආසියාවේ ප්‍රථම රටවල් කිහිපයෙන් එකකි. 

    Gavi සංවිධානයේ මූල්‍ය සහ එන්නත් සහාය ලබා ගැනීම සඳහා මූලික වශයෙන්ම බලපාන්නේ රටක “ඒක පුද්ගල දළ ජාතික ආදායම” (Gross National Income – GNI per capita) වේ.

    එම සංවිධානයෙන් ශ්‍රී ලංකාවට මුලින්ම ආධාර සැපයීම ආරම්භ කළේ 2002 වර්ෂයේදීය.

    Gavi සංවිධානය විසින් රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම අමෙරිකානු ඩොලර් 1,500 ඉක්මවන විට එම රටවල් “ආධාරවලින් ඉවත් වන” රටවල් ලෙස නම් කිරීමට 2009 දී තීරණය කරනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආදායම මෙම සීමාව ඉක්මවා ගිය බැවින් ලංකාව එම වසරේම ආධාරවලින් ඉවත් වීමේ මූලික අදියරට (Graduation phase) ඇතුළත් විය.

    ඉන්පසු ලංකාවට 2010 – 2015 සංක්‍රාන්ති කාලසීමාවක් ලෙස වසර කිහිපයක සහන කාලයක් ලැබුණු අතර, එහිදී Gavi ආධාර ක්‍රමයෙන් අඩු කරමින් දේශීය මුදල් යෙදවීම් ක්‍රමයෙන් වැඩි කිරීමට පියවර ගැනුණි.

    මෙම වසර ගණනාවක ක්‍රියාවලියෙන් පසු, 2016 වසරේ මුල් භාගයේදීම ශ්‍රී ලංකාව Gavi ආධාර ලැයිස්තුවෙන් නිල වශයෙන්ම සහ සම්පූර්ණයෙන්ම ඉවත් විය. 

    Gavi ආයතනයේ වර්තමාන (2026) ආධාර සුදුසුකම් සීමාව ඩොලර් 2,300 ක් වැනි අගයක් වන අතර, ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම දැනටමත් ඩොලර් 4,670 ක් තරම් ඉහළ මට්ටමක පවතී. මේ අනුව බලන කල ලංකාව Gavi ආධාර සීමාව ඉක්මවා ගොස් දැනට වසර 17ක් පමණ ගත වී ඇත. එබැවින් 2026 වසරේ සිදුවූ කිසිදු ලෝක බැංකු ආදායම් මට්ටම් වර්ගීකරණයක් නිසා අලුතින් එන්නත් අහිමි වීමක් හෝ වෙනස් වීමක් ශ්‍රී ලංකාවට සිදුවී නොමැත.

    කොවිඩ් සමයේ Gavi සහ UNICEF ආයතන විශේෂ මානුෂීය ආධාර සහායක්

    ශ්‍රී ලංකාව මීට වසර කිහිපයකට පෙර 2023-2025 කාලයේදී මුහුණ දුන් දැඩි ඩොලර් සහ ආර්ථික අර්බුදය හේතුවෙන්, එන්නත් හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා Gavi සහ UNICEF ආයතන විශේෂ මානුෂීය ආධාර සහායක් ලෙස නැවත තාවකාලිකව එන්නත් සැපයීමට මැදිහත් විය. මේ පිළිබඳ තොරතුරු මෙතනින් සහ මෙතනින්. 

    ශ්‍රී ලංකාව 2016 දී Gavi සාමාන්‍ය ආධාරවලින් ඉවත් වී සිටිය ද, ආර්ථික අර්බුදය නිසා රට තුළ ඖෂධ සහ ඩොලර් හිඟයක් ඇති විය. මෙහිදී Gavi සංවිධානය තම “මධ්‍යම ආදායම් ලබන රටවල් සඳහා වූ විශේෂ ප්‍රවේශය” (Middle-Income Countries Fragility Approach) යටතේ ලංකාවට කාලීන හදිසි ආධාර පැකේජයක් (Time-limited support package) හඳුන්වා දෙනු ලැබීය. 

    මෙම විශේෂ සහාය යටතේ, ආර්ථික අර්බුදය පැවති 2023 වසරේ සිට මෙරට ළදරුවන්ට සහ පාසල් දරුවන්ට ලබාදෙන සියලුම අත්‍යවශ්‍ය එන්නත් වර්ග මිලදී ගැනීම සඳහා Gavi සංවිධානය මූල්‍යමය වශයෙන් සෘජුවම දායක විය. 

    වත්මන් තත්ත්වය (2025/2026)

    Gavi නියෝජිතයන් (2025 අප්‍රේල් මස ද, ලංකාවේ සංචාරය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා පවත්වා තිබූ අතර, එහිදී ඉදිරියේදී මෙරටට හඳුන්වා දීමට නියමිත පෙනුමොකොකල් (PCV), රොටාවෛරස් (Rotavirus) වැනි නව එන්නත් සඳහා තාක්ෂණික සහ සහනදායී පහසුකම් සැපයීමට (Technical Assistance) ඔවුන් එකඟතාවය පළ කර තිබුණා.

    කොවිඩ්වලින් පසුව Gavi සහාය නතර වූයේ නැත. සිදු වූයේ ආර්ථික අර්බුදය වෙනුවෙන් ඔවුන් ලබා දුන් “තාවකාලික හදිසි මූල්‍ය සහාය” කාලසීමාව අවසන් වීමයි. ශ්‍රී ලංකා ආර්ථිකය දැන් නැවත ස්ථාවර වෙමින් පවතින බැවින්, රජය සුපුරුදු පරිදි තම දේශීය අයවැය මඟින් එන්නත් සඳහා ස්වයං-මූල්‍යකරණය (Self-financing) කිරීමට පියවර ගනිමින් සිටී. එබැවින් පුවත්පත් වාර්තාවලින් දැක්වෙන පරිදි ලංකාව “නොමිලේ එන්නත් දීමනා මත යැපෙන” රටක් නොවන අතර, සිදු වෙමින් පවතින්නේ අර්බුදකාරී සමයේ ලැබුණු එම තාවකාලික හදිසි සහන සේවා අවසන් වී, රජය නැවතත් තම සාමාන්‍ය ස්වයං-මූල්‍යකරණ ක්‍රියාවලියට පරිවර්තනය වීමකි.

    ඒ අනුව, ලංකාදීප පුවත්පත් වාර්තාවේ දැක්වෙන “2027/2028 දී ලෝක බැංකුව හෝ ගැවි සහාය අහිමි වේ” යන සමස්ත පදනමම සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ නොමඟ යවන සුළු බව නිල දත්ත මඟින් තව දුරටත් තහවුරු වේ.

    ලෝක බැංකු වර්ගීකරණය සහ එන්නත් අතර කිසිදු සබැඳියාවක් නැත

    ලෝක බැංකුව විසින් 2026 ජූලි 1 දින සිට ශ්‍රී ලංකාව නැවතත් “ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්” (Upper-Middle-Income) ලෙස ප්‍රකාශයට පත් කිරීම, මුලික වශයෙන්ම බලපාන්නේ රට ඉදිරියේදී ණය ලබාගන්නා පොලී අනුපාත සහ මූල්‍ය කොන්දේසිවලටයි. ලංකාවේ වර්ගීකරණය වෙනස්වීමත් සමඟ ඒ ගැන අප පැහැදිලි කරමින් පළවූ ලිපියක් පහතින්.

    ශ්‍රී ලංකාව ඉහළ මැද ආදායම් ලබන රටක් ලෙස නම් කිරීම සහ බිම් මට්ටමේ ආර්ථික පීඩනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්! 

    Gavi සංවිධානයේ එන්නත් ආධාර ලබාගැනීම සඳහා වන ඒක පුද්ගල දළ ජාතික ආදායම් සීමාව (GNI per capita threshold) ඉතා පහළ අගයකි. ලංකාවේ ආදායම් මට්ටම පහළ මධ්‍යම (Lower-Middle) මට්ටමේ පැවති කාලයේදී පවා එම සීමාවට වඩා බෙහෙවින් ඉහළින් තිබුණි. එබැවින් 2026 නව වර්ගීකරණය නිසා එන්නත් හිමිකම් සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු නොවේ.

    ලෝක බැංකුව කිසිදා “නොමිලේ එන්නත්” ලබා දී නැත

    2021 අප්‍රේල් මාසයේදී ලෝක බැංකුව ශ්‍රී ලංකාවට කොවිඩ්-19 එන්නත් ලබා ගැනීම සහ බෙදා හැරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 80.5 ක අතිරේක මූල්‍ය ආධාරයක් ලබා දී තිබේ. එය මෙරට රජය විසින් පසුව පියවිය යුතු ණය/මූල්‍ය පහසුකමකි. ලංකාවට කෝවිඩ් සමයේ සැබවින්ම “නොමිලේ” එන්නත් මාත්‍රා (මිලියන 1.5කට අධික ප්‍රමාණයක්) ලැබුණේ Gavi සංවිධානය සම-නායකත්වය දුන් COVAX පහසුකම (COVAX Facility) හරහා මානුෂීය පරිත්‍යාග ලෙසිනි.

    එබැවින්, මාධ්‍ය වාර්තා මඟින් ලෝක බැංකුවේ සාමාන්‍ය ණය කොන්දේසි සහ Gavi ආයතනයේ එන්නත්කරණ ප්‍රතිපත්ති එකට පටලවා ගනිමින් සම්පූර්ණයෙන්ම නොමඟ යවන සුළු පදනමක් නිර්මාණය කර තිබේ.

    ලෝක බැංකුව

    මේ සම්බන්ධයෙන් විද්‍යුත් ලිපියකින් අප කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ලෝක බැංකු සන්නිවේදන කණ්ඩායමේ නියෝජිතයෙකු සඳහන් කර සිටියේ ,

    “සමාජ මාධ්‍ය සටහන් සඳහා මුල් වී තිබු පුවත්පත් ලිපියේ මුල් පිටුවේ ශීර්ෂ පාඨය අසත්‍ය බවයි. ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට නොමිලේ එන්නත් ලබා දීමක් සිදුවන්නේ නැහැ. එන්නත් සහාය ලබා දෙන්නේ ස්වාධීන සංවිධානයක් ගැවී (GAVI) සංවිධානය විසිනි. ශ්‍රී ලංකාව පිළිබඳ ලෝක බැංකුවේ ආදායම් වර්ගීකරණය වෙනම සංඛ්‍යානමය නිර්නායකයක් වන අතර ගැවී සංවිධානයේ සහාය ඒ හරහා තීරණය වන්නේ නැහැ. ලංකාදීප පුවත්පත අද (10) මෙම කාරණය සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් නිකුත් කළ අතර, මේ සම්බන්ධ කරුණු නිවැරදිව වාර්තා කිරීමට අපේක්ෂා කරන මාධ්‍ය වෙතින් ලැබෙන වැඩිදුර ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දීමට කැමැත්තෙන් සිටින බවයි.” යනුවෙනි.

    “The front-page headline of this article is factually incorrect. The World Bank does not provide free vaccines to Sri Lanka. Vaccine support has been provided by Gavi, the Vaccine Alliance, an independent organisation with its own eligibility criteria. The World Bank’s income classification of Sri Lanka is a separate statistical exercise and does not determine Gavi’s support decisions. Lankadeepa issued a correction on this matter today (10), and we welcome further questions from media seeking to report this accurately.”

    එසේම අප ඉහත පෙන්වා දුන් පරිදි 2021 වසරේදී ශ්‍රී ලංකාවේ COVID-19 එන්නත්කරණ වැඩසටහන සඳහා ලෝක බැංකුව විසින් ව්‍යාපෘති මූල්‍යකරණයක් ලබා දී තිබුණ ද, එහිදී එන්නත් සෘජුවම මිලදී ගැනීම හෝ සැපයීම ලෝක බැංකුව විසින් සිදුකර නොමැති බවත්, Gavi හි හවුල්කරුවෙකු ලෙස International Finance Facility for Immunisation (IFFIm) සඳහා භාණ්ඩාගාර කළමනාකරු ලෙස මූල්‍යමය කාර්යභාරයක් ඉටු කරන නමුත්, Gavi විසින් සහාය ලබන රටවල් හෝ එම සහාය ලබාදෙන කොන්දේසි තීරණය කිරීමේ බලයක් ලෝක බැංකුවට නොමැති බවත් ඔවුන් තවදුරටත් අවධාරණ කර සිටිනවා. 

    එමෙන් ම ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ අනාගතය පිළිබඳ පුළුල් චිත්‍රය දෙස බැලීමේදී, ලංකාදීප වාර්තාව තුළ ඉතා වැදගත් පසුබිම් තොරතුරු රැසක් මඟහැරී ඇති බවත්, ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කලාපයේ පවතින ශක්තිමත්ම ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබන අතර, එය අඛණ්ඩව ඉතා ඉහළ එන්නත් ආවරණ ප්‍රතිශතයක් පවත්වාගෙන යන බව ත්, එමෙන්ම වත්මන් ආදායම් වර්ගීකරණය සිදුවීමට බොහෝ කලකට පෙර සිටම, එනම් 2016 වසරේ සිටම මෙම වැඩසටහන බොහෝ දුරට ස්වයං-මූල්‍යකරණයෙන් (දේශීය මුදලින්) ක්‍රියාත්මක වන බව ත්, සඳහන් කරනු ලැබුා.

    ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අවශ්‍ය එන්නත් 2026-2030 කාලසීමාව සඳහා යුනිසෙෆ් ගෝලීය සැපයුම් අංශය (UNICEF Global Supply Division) හරහා මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ සැලසුමට ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දැනටමත් හිමිව ඇති බැවින් එමඟින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පූර්ව සුදුසුකම් ලත් ගුණාත්මක එන්නත්, තරඟකාරී සහ සහනදායී මිල ගණන් යටතේ අඛණ්ඩ සැපයුම් දාම විශ්වාසනීයත්වයකින් යුතුව ලබා ගැනීමට රටට අවස්ථාව සැලසෙන බව ත්, මෙයින් සෞඛ්‍ය අමාත්‍යාංශය සතු පූර්ව සැලසුම්කරණය සහ ආයතනික ධාරිතාව මනාව පිළිඹිබු වන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ඉදිරියටම පවත්වාගෙන යාම සඳහා ඉතා යහපත් පෙරනිමිත්තක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබුණේ.

    ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සම්බන්ධ ඉදිරි සහාය පිළිබඳ නිවැරදි තොරතුරු සඳහා Gavi සහ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සෘජුවම යොමුවන ලෙසද ලෝක බැංකුව දන්වා සිටිනවා. 

    සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස

    වර්තමානයේ ගැවි සංවිධානය සමගින් එන්නත් සඳහා ගිවිසුම්ගත වී ඇත් ද, යන්න විමසීමක් කරනු ලැබුවා. අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 වසරේ අග භාගයේදී ගැවි සංවිධානය සමගින් සාකච්ඡා පැවැත්වූවත්, ඔවුන් එන්නත් ලබා ගැනීම සඳහා ගිවිසුම් ගත වී නොමැති බවයි.

    යුනිසෙෆ් ගෝලීය සැපයුම් අංශය මගින් අවශ්‍ය එන්නත් මිලදී ගන්නා බව ත්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ සංස්ථාව (SPC) ට ඒ සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමනේ පසු SPC එක හරහා එම මුදල් යුනිසෙෆ් ගෝලීය සැපයුම් අංශයට මුදල් බැර කිරීමෙන් පසු එන්නත් මෙරටට ලබා ගැනීම සිදු කරන බවයි. ඒ අනුව ශ්‍රී ලංකාව නොමිලේ එන්නත් මත යැපෙන රටක් නොවන අතර රජයේ අයවැයෙන් සම්පූර්ණයෙන් මුදල් යොදවා ලබාගන්නා බව ත්, සෞඛ්‍ය අමාත්‍යාංශය එන්නත් මිලදී ගැනීම සඳහා වෙනම අයවැය ප්‍රතිපාදනයක් පවත්වාගෙන යන බව ත්, සදහන් කළා.

    මේ සම්බන්ධයෙන් අප Gavi සංවිධානයෙන් ද විමසීමක් සිදුකළ අතර ඒ සමඟ මෙම ලිපිය යාවත්කාලින කිරීමට ද බලාපොරොත්තු වෙමු. 

    Gavi සංවිධානයේ මූල්‍ය සහ එන්නත් සහාය ලබා ගැනීම සඳහා මූලික සුදුසුකම්

    Gavi සංවිධානයේ මූල්‍ය සහ එන්නත් සහාය ලබා ගැනීම සඳහා මූලික වශයෙන්ම බලපාන්නේ රටක “ඒක පුද්ගල දළ ජාතික ආදායම” (Gross National Income – GNI per capita) වේ. 

    ලෝක බැංකුවේ වාර්ෂික දත්ත පාදක කරගනිමින් Gavi සංවිධානය විසින් මෙම සුදුසුකම් නිර්ණායක සකස් කරනු ලබයි. 2026 වසරේ සිට ක්‍රියාත්මක වන නවතම Gavi 6.0 උපායමාර්ගික සැලැස්මට අනුව, මෙම සුදුසුකම් සපුරාලිය යුතු ආකාරය සහ ප්‍රධාන අදියරයන් මෙසේය.

    1. මූලික ආදායම් සීමාව 

    රටක ඒක පුද්ගල දළ ජාතික ආදායම ඇමෙරිකානු ඩොලර් 2,300 හෝ එයට වඩා අඩු විය යුතුය. (පසුගිය වසරේ මෙම සීමාව ඩොලර් 1,810 ක් වූ අතර, රටවල් ආධාරවලින් ඉවත් වීමේදී මුහුණ දෙන අවදානම අවම කිරීම සඳහා 2026 වසරේ සිට Gavi පාලක මණ්ඩලය විසින් මෙම සීමාව ඩොලර් 2,300 දක්වා ඉහළ නංවන ලදී.

    2. සහාය ලබාදෙන ප්‍රධාන මූල්‍ය අදියර 3 

    රටක ආදායම් මට්ටම අනුව Gavi සංවිධානය රටවල් කාණ්ඩ 3කට බෙදා සහාය දක්වයි: 

    ආරම්භක ස්වයං-මූල්‍යකරණ අදියර (Initial Self-Financing): ලෝක බැංකු නිර්ණායක අනුව ඉතා අඩු ආදායම් ලබන (Low-Income) රටවල් මීට අයත් වේ. මෙම රටවලට උපරිම සහාය ලැබෙන අතර, ඔවුන් එන්නත් සඳහා ගෙවිය යුත්තේ එක් මාත්‍රාවකට ඩොලර් 0.20 ක වැනි ඉතා සුළු ස්ථාවර මුදලක් පමණි. තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    පූර්ව සංක්‍රාන්ති අදියර (Preparatory Transition): රටේ ආදායම ලෝක බැංකුවේ අඩු ආදායම් සීමාවට වඩා වැඩි නමුත්, Gavi සීමාව වන ඩොලර් 2,300 ට වඩා අඩු මට්ටමක පවතින අවස්ථාවයි. මෙහිදී රටවල් එන්නත් සඳහා දායක කරන මූල්‍ය ප්‍රතිශතය වසරකට 15% බැගින් ක්‍රමයෙන් වැඩි කරනු ලබයි. 

    වේගවත් සංක්‍රාන්ති අදියර (Accelerated Transition): රටක වසර 3ක සාමාන්‍ය ඒක පුද්ගල ආදායම ඩොලර් 2,300 සීමාව ඉක්මවා ගිය විට මෙම අදියර ආරම්භ වේ. මෙහිදී එන්නත් සඳහා රජය දැරිය යුතු පිරිවැය වසරින් වසර වේගයෙන් ඉහළ නංවන අතර, වසර 8ක් ඇතුළත Gavi මූල්‍ය සහාය සම්පූර්ණයෙන්ම නතර කර රට ස්වාධීන තත්ත්වයට පත් කරනු ලබයි. (ශ්‍රී ලංකාව 2016 දී නිල වශයෙන් පසු කළේ මෙම අදියරයි). තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්. 

    3. වෙනත් විශේෂ සුදුසුකම් සහ ව්‍යතිරේක

    තාක්ෂණික ඇගයීම: මූල්‍ය සුදුසුකම් සපුරා තිබුණ ද, අදාළ රටේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ සාර්ථකත්වය සහ සැලසුම් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් ඇතුළත් ස්වාධීන විශේෂඥ කණ්ඩායමක නිල අනුමැතිය ලැබිය යුතුය. තොරතුරු මෙතනින් සහ මෙතනින්. 

    හදිසි සහ මානුෂීය සහාය (Catalytic Phase / Fragility Support): ආදායම් සීමාව ඉක්මවා ගිය ද, යුද්ධ, දේශපාලන අස්ථාවරත්වයන් හෝ ශ්‍රී ලංකාව මුහුණ දුන් ආකාරයේ දරුණු ආර්ථික අර්බුද පවතින මධ්‍යම ආදායම් ලබන රටවල් වෙනුවෙන් ළදරු එන්නත්කරණය බිඳ වැටීම වැළැක්වීමට Gavi සංවිධානය සුවිශේෂී ව්‍යතිරේක යටතේ තාවකාලික සහ සහනදායී ප්‍රතිපාදන වෙන් කරනු ලබයි. තොරතුරු මෙතනින් සහ මෙතනින්.

    Gavi සංවිධානයේ මෙම ප්‍රතිපත්ති මඟින් ලෝකයේ දුප්පත්ම දරුවන්ට සර්වසාධාරණ ලෙස එන්නත් ලබාදීම සහතික කෙරේ.

    2026 Gavi ආධාර ලැබීමේ සුදුසුකම් සපුරා ඇති රටවල් මොනවාද?

    2026 වසරේ ක්‍රියාත්මක වන Gavi 6.0 උපායමාර්ගික සැලැස්මට අනුව ලෝකයේ රටවල් 54 ක් Gavi ආධාර ලැබීමේ සුදුසුකම් සපුරා ඇත.

    Gavi, සංවිධානයේ නිල වාර්තා අනුව මෙම රටවල් ඔවුන් මුදල් ගෙවිය යුතු ආකාරය සහ ආදායම් මට්ටම් අනුව ප්‍රධාන අදියර 3 කට බෙදා දක්වා ඇත. එම රටවල් ලැයිස්තුව පහත පරිදි වේ.

    1. මූලික ස්වයං-මූල්‍යකරණ අදියර 

    ලෝකයේ පවතින ඉතාමත් අඩු ආදායම් ලබන සහ ආර්ථිකමය වශයෙන් අතිශය අවදානම් සහගත තත්ත්වයක පවතින රටවල් 26 ක් මීට ඇතුළත් වේ. මෙම රටවලට උපරිම මූල්‍ය ආධාර හිමිවේ. 

    • ආසියානු කලාපය: ඇෆ්ගනිස්ථානය, උතුරු කොරියාව, සිරියාව, යේමනය.
    • අප්‍රිකානු සහ අනෙකුත් කලාප: බුර්කිනා ෆාසෝ, බුරුන්ඩි, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චැඩ්, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DR Congo), එරිත්‍රියාව, ඉතියෝපියාව, ගැම්බියාව, ගිනි-බිසව්, ලයිබීරියාව, මැඩගස්කරය, මලාවි, මාලි, මොසැම්බික්, නයිජර්, රුවන්ඩාව, සියෙරා ලියොන්, සෝමාලියාව, දකුණු සුඩානය, සුඩානය, ටෝගෝ, උගන්ඩාව.

    2. පූර්ව සංක්‍රාන්ති අදියර 

    මේවා ඒක පුද්ගල ආදායම ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින නමුත් තවමත් Gavi සීමාවට ($2,300) වඩා පහළින් පවතින රටවල් 21 කි. මොවුන් වසරකට 15% බැගින් එන්නත් සඳහා දායකත්වය වැඩි කළ යුතුය. 

    • ආසියානු සහ පැසිෆික් කලාපය: කාම්බෝජය, කිර්ගිස්ථානය, ලාඕසය, මියන්මාරය (බුරුමය), නේපාලය, පාකිස්ථානය, සොලමන් දූපත්, ටජිකිස්ථානය, ඇන්ගෝලාව සහ ටිමෝර්-ලෙස්තේ (මෙම රටවල් දෙක මීට පෙර ආධාරවලින් ඉවත් වුවද, ආර්ථික පසුබෑම නිසා 2026 දී නැවත සුදුසුකම් ලැබීය). 
    • අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු කලාප: බෙනින්, කැමරූන්, කොමරෝස්, ගිනියාව, හයිටි, කෙන්යාව, ලෙසතෝ, මුරුටේනියාව, නයිජීරියාව, සෙනගාලය, ටැන්සානියාව, සැම්බියාව, සිම්බාබ්වේ.

    3. වේගවත් සංක්‍රාන්ති අදියර (Accelerated Transition Phase)

    මෙම රටවල ඒක පුද්ගල ආදායම ඩොලර් 2,300 සීමාව ඉක්මවා ගොස් ඇති බැවින්, ඉදිරි වසර කිහිපය ඇතුළත Gavi ආධාරවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට නියමිත රටවල් 7 කි. 

    • බංග්ලාදේශය, කොංගෝ ජනරජය (Congo), අයිවරි කෝස්ට් (Côte d’Ivoire), ජිබුටි, ඝානාව, පැපුවා නිව්ගිනියාව, සාඕ ටොමේ සහ ප්‍රින්සිපේ. 

    ශ්‍රී ලංකාවේ තත්ත්වය:

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, භූතානය, මොන්ගෝලියාව, මාලදිවයින වැනි රටවල් දැනටමත් මෙම ලැයිස්තුවෙන් නිල වශයෙන් ඉවත් වී (Fully Self-Financing), තමන්ගේම දේශීය ධන පරිශ්‍රමයෙන් එන්නත් මිලදී ගන්නා ස්වාධීන රටවල් වේ.

    Gavi සංවිධානය විසින් මෙම රටවල් සඳහා එන්නත් මිලදී දීමේදී නිෂ්පාදකයන් සමඟ පවත්වන මිල ගිවිසුම් ක්‍රියාත්මක වන ආකාරය

    වෙළෙඳපොළ හැඩගැස්වීම (Market Shaping) යනු කුමක්ද?

    Gavi සංවිධානය ලෝකයේ විශාලතම එන්නත් මිලදී ගන්නා ආයතනයක් වන බැවින්, ඔවුන් ලෝකයේ දුප්පත් සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් රැසක එන්නත් ඉල්ලුම එකට එකතු කර (Pooled Demand) නිෂ්පාදකයන් වෙත ඉදිරිපත් කරයි. 

    අඩු මිලට එන්නත් ලබා ගැනීම: නිෂ්පාදකයන්ට දිගුකාලීනව විශාල එන්නත් ප්‍රමාණයක් අලෙවි වන බවට සහතිකයක් ලැබෙන නිසා, ඔවුන් එන්නත් නිෂ්පාදන පිරිවැය සහ සිල්ලර මිල ඉතාමත් අඩු මට්ටමකට අඩු කිරීමට එකඟ වේ.

    තරඟකාරීත්වය සහ නවෝත්පාදනය: Gavi මැදිහත් වීම නිසා එන්නත් සපයන ලෝක මට්ටමේ නිෂ්පාදකයන් සංඛ්‍යාව 2001 දී 5ක්ව පැවති අතර එය 2022 වන විට 19ක් දක්වා ඉහළ ගොස් ඇත.

    2. සහායෙන් ඉවත් වූ (Fully Transitioned) ශ්‍රී ලංකාව වැනි රටවලට ඇති ප්‍රතිලාභ

    Gavi ආධාර ලැයිස්තුවෙන් නිල වශයෙන් ඉවත් වූ පසුව ද, රටවල් එකවරම මූල්‍යමය වශයෙන් අර්බුදයකට ලක්වීම වැළැක්වීම සඳහා Gavi සංවිධානය විශේෂ ප්‍රතිපත්ති(1.2.4, 1.2.8) සකස් කර ඇත.

    ශ්‍රී ලංකාව වැනි ආධාරවලින් ඉවත් වූ රටවලට ද, Gavi සංවිධානය ජාත්‍යන්තර නිෂ්පාදකයන් සමඟ සාකච්ඡා කර ලබාගෙන ඇති එම අඩුම සහ සහනදායී මිලටම (Gavi-negotiated prices)යුනිසෙෆ් ප්‍රසම්පාදන සේවා හරහා දිගටම එන්නත් මිලදී ගැනීමේ විශේෂ අයිතිය(1.2.3, 1.2.4) (Multi-year supplier commitments) හිමිවේ.

    ආධාරවලින් ඉවත් වූ මධ්‍යම ආදායම් ලබන රටවල එන්නත් ආවරණය (Vaccine Coverage) පිරිහීම වැළැක්වීම සහ පෙනුමොකොකල් වැනි නව මිල අධික එන්නත් හඳුන්වා දීම සඳහා Gavi සංවිධානය තවදුරටත් තාක්ෂණික සහාය, නම්‍යශීලී අරමුදල් සහ UNICEF Pooled Procurement සේවාවන් සඳහා පහසුකම් සලසයි. 

    මෙම ක්‍රමවේදයන් නිසා ශ්‍රී ලංකාව Gavi ආධාරවලින් 2016 දී ඉවත් වුව ද, අදටත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින අධික මිල ගණන්වලට වඩා බෙහෙවින් අඩු සහ සහනදායී මිලකට ගුණාත්මක එන්නත් මෙරටට ගෙන්වා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාව ලැබී තිබේ.

    ලංකාදීප පුවත්පත් වාර්තා

    ලංකාදීප පුවත්පත විසින් ඊයේ (සැප්තැම්බර් 09) පලකළ “ලෝක බැංකුවෙන් ලංකාවට නොමිලේ එන්නත් නෑ” යන ශීර්ෂ ඵාඨයෙන් පළවූ ලිපිය ඉවත්කර ඇති අතර ඒ වෙනුවට  “මැදි ආදායම් බවට වර්ග කිරීම නිසා නොමිලේ එන්නත් නොලැබෙන හැඩ” යන ශිර්ෂ පාඨයෙන් එම ලිපිය පළ තරත්, එහි සඳහන් කරුණු තවමත් නොමග යන සුළු අන්දමින් පළ කර තිබ‍ේ එම වාර්තාව මෙතනින්. Archived Link

    ඔවුන් විසින් පසුව අද (සැප්තැම්බර් 10) “ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ද” යනුවෙන් පළකළ වාර්තාව මෙතැනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ මෑතක දී සිදුවූ ආදායම් වර්ගීකරණයේ වෙනස්කම් හේතුවෙන්, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට නොමිලේ එන්නත් දීම නැවැත්වීමේ ලකුණු යනුවෙන්, පුවත්පත් වර්තාවක සිරස්තලයක් ඔස්සේ පසුව සමාජ මාධ්‍ය ඔස්සේ ද වයිරල් වූ  ප්‍රකාශය අසත්‍ය බවයි. 

    ලෝක බැංකුව යනු කිසිදිනෙක නොමිලේ එන්නත් සපයන ආයතනයක් නොවන අතර කෝවිඩ් සමයේදී පවා ඔවුන් ලංකාවට එන්නත් ලබාදුන්නේ පසුව පියවිය යුතු ණය පහසුකමක් ලෙසයි. 2021 කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙලට ද ලෝක බැංකුව ගැවී හරහා ලංකාවට ආධාර දී තිබුනේ එම පදනමින්.

    ලෝක බැංකුව මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය, UNICEF ඇතුළු පාර්ශව  ද හවුල්කාරිත්වයක් දරන ස්වාධින සංවිධානයක් වන Gavi සංවිධානය හරහා විවිධ රටවලට එන්නත් ආධාර දුන්න ද Gavi සංවිධානයේ එන්නත් ආධාර ලබාගැනීම සඳහා වන ඒක පුද්ගල දළ ජාතික ආදායම් සීමාව මීට දශකයටත් පෙර ඉක්මවා යාමත් සමඟ 2016 වසරින් පසු ලංකාවට Gavi හරහා ආධාර ලැබී නැහැ.

    එසේම ශ්‍රී ලංකාව යනු එන්නත් ආධාර මත යැපෙන රටක් නොවන අතර, 1995 වසරේ සිටම ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ (EPI) මූලික එන්නත් සියල්ලම 100%ක්ම දේශීය අයවැය ප්‍රතිපාදන මඟින් මිලදී ගනු ලබයි. 

    ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවත “ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්” ලෙස වර්ගීකරණය කිරීම විශේෂයෙන්ම බලපාන්නේ රට ලබාගන්නා ජාත්‍යන්තර ණය කොන්දේසිවලටයි. 

    ඒ අනුව, ලංකාව මීට මාස කිහිපයකට පෙර ලැබූ ලෝක බැංකු වර්ගීකරණය පිළිබඳ පුවත පදනම් කර ගනිමින්, එහි ප්‍රථිඵලයක් ලෙස එන්නත් හිමිකම් අහිමි වන බවට පළකර තිබෙන්නේ නොමඟ යවන සුළු පුවතකි.

    Result Stamp

    Title: ලෝක බැංකුවේ ආදායම් වර්ගීකරණය නිසා ලංකාවට නොමිලේ එන්නත් අහිමි වෙනවාද?

    Written By: Pavithra Sandamali

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-09-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.